සංවෘත රාජ්‍ය සේවය වෘත්තීය අයිතිය කොටු කළාද? | Page 3 | සිළුමිණ

සංවෘත රාජ්‍ය සේවය වෘත්තීය අයිතිය කොටු කළාද?

 රාජ්‍ය සේවයේ සංවෘත සේවා නිලධාරීන්ට බලපා ඇති කරුණු කාරණා රැසක් නිසා එම සේවාවන්හි නිරත සේවක සේවිකාවන් විශාල අපහසුතාවකට පත්ව ඇති බවත් මේ නිසා හැකි ඉක්මනින් රාජ්‍ය සේවයේ සංවෘත සේවක වෘත්තීය අයිතින් රැක දිය යුතු බවත් එම වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවයේ සංවෘත සේවය යන්න කුමක්ද යන්න ගැන මේ වන විට මහජනයා තුළත් විශාල ගැටලුවක්ව පවතිනවා. එම සේවාවන්ට වරප්‍රසාද වැඩි බවත් ඇතැම් විට රාජ්‍ය නිලධාරීන් පවසනවා. මේ සම්බන්ධව විමර්ශනාත්මකව සොයා බැලීමට අප උත්සුක වූයේ එම නිසයි.

විශේෂයෙන්ම තැපැල්, දුම්රිය, මෝටර් රථ ප්‍රවාහන, රේගුව වැනි ආයතන රැසක සේවකයන් සංවෘත රාජ්‍ය සේවාවේ සේවකයන් ලෙස වර්ගීකරණය වී තිබෙනවා.

එම සේවකයන් බඳවා ගැනීමේ පටිපාටියේ පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ වෙනත් රජයේ කිසිදු ආයතනයකට සේවා මාරුවීම් ලබා ගත නොහැකි බවත් සියලු උසස්වීම් වැටුප් වර්ධක එම ආයතනයට අනුකූල හා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුවන බවත්ය.

ඒකාබද්ධ රාජ්‍ය සේවයේ සේවකයන්ට ඕනෑම රාජ්‍ය දෙපාර්තමේන්තුවකට මාරුවී යාමට හැකියාව ඇත. එසේම පළාත් රාජ්‍ය සේවයේ යෙදෙන්නන්ට අදාළ පළාත් සභා බල ප්‍රදේශය තුළ මාරු වී යාමට මෙන්ම තමන්ට අවශ්‍ය පරිදි මාරු වීම් සකස් කර ගැන්මටත් හැකියාව තිබෙනවා. එසේ වුවත් සංවෘත රාජ්‍ය සේවයේ ඒ අයුරින් කටයුතු කරන්නට බැහැ. ඔවුන් විශ්‍රාම යන තුරුම අදාළ ආයතනයේ දෙපාර්තමේන්තුවේම සේවය කළ යුතු වෙනවා. උසස්වීම් ලබන්නට නම් අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙන්ම අදාළ කඩයිම් විභාග මෙන්ම අනෙකුත් සුදුසුකම්ද සපුරා ලිය යුතු වනවා.

එමෙන්ම මේ ඇතැම් සංවෘත සේවා රාජකාරි වෙනත් ආයතනවල නොමැතිවීම නිසාම ඔවුන්ට මාරුවීම් හදා ගන්නත් බැහැ. උදාහරණයක් ලෙස දුම්රිය රියැදුරන් දුම්රිය නියාමකවරුන්ට වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු වී යාමට හැකියාවක් නැහැ. ඒ අනුව සංවෘත රාජ්‍ය සේවයට බැඳෙන්නන් තමන් සේවයට බැඳෙන්නට පෙර සිටම තමන්ගේ උසස්වීම් වැටුප් වර්ධක මෙන්ම තමන්ට පවරනු ලබන සේවයට අවශ්‍ය යැයි සලකනු ලබන අදාළ දෙපාර්තමේන්තුවේ ඕනෑම ස්ථානයක, ඕනෑම ශාඛාවක සේවය කිරීමට බැඳී සිටිනවා.

එවන් තත්ත්වයක් තුළ සංවෘත රාජ්‍ය සේවයේ අර්බුද යැයි මතුකරනු ලබන විවිධ විවිධ හේතු අනුමත කළ හැකිද? මේ සම්බන්ධයෙන් දුම්රිය, තැපැල් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් සමඟ අප සාකච්ඡා කළා.

මේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ 2006 වසරේදී රජය මඟින් සිදු කළ රාජ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල උසස්වීම් හා වැටුප් වර්ධක ක්‍රමවේදය නිසා මේ තත්ත්වය උද්ගත වී ඇති බවයි. යම් අයකු රැකියාවකට පැමිණෙන්නේ ඉදිරියේ පවතින යම් ඉලක්කයක් මත බවත් එම ඉලක්කය ඒකාබද්ධ රාජ්‍ය සේවයේ මෙන්ම සංවෘත රාජ්‍ය සේවයේ යෙදෙන අයට මෙන්ම රාජ්‍ය සංස්ථා මණ්ඩල මෙන්ම පෞද්ගලික අංශයේ අයටද පොදු ධර්මතාවක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එසේ පැමිණෙන ඉලක්කය මෙන්ම සේවක රැකියා අභිමානය බිඳ වැටෙන අයුරින් සිදු කළ මේ සංශෝධනය නිසා ගැටලු මතු වු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ නිසා 2006 වසරේ සිට මේ දක්වා දුම්රිය, තැපැල් ඇතුළු අනෙකුත් බොහෝ ක්ෂේත්‍රවල වර්ජන, පිකටිං උද්ඝෝෂණ ඇතිව තිබෙන බවත් පෙන්වා දෙනවා. මේ කරුණු සැලකිල්ලට ගත් කල අපට පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ රාජ්‍ය සේවයේ සංවෘත රාජකාරි සේවා යනුවෙන් කොටස් කර තිබීමෙන් එම සේවකයන් එම ආයතනයටම කොටුවන අතර ඒකාබද්ධ රාජ්‍ය සේවයේ සේවකයන්ට දිවයිනේ තමන් කැමැති රාජ්‍ය ආයතනයක, තමන් කැමැති පළාතකට මාරු වී යාමට හැකි බවයි.

එවන් තත්ත්වයක් සංවෘත සේවාවලට නොමැත්තේ එම සංවෘත සේවා රාජකාරි අනෙකුත් සේවාවල නොමැති නිසාම නොවන බවයි මෙහිදී පෙනී ගියේ. උදාහරණයක් ලෙස දුම්රිය ලිපිකරු තනතුර දරන්නා මෙන්ම රාජ්‍ය සේවයේ ලිපිකරු එකම ශ්‍රේණියකට අයත් වුවත් දුම්රිය ලිපිකරුවන්ට උසස් වීම් ලබා ගත හැකි ප්‍රමාණය ඉතාම සිමිතය. එමෙන්ම 2006 වසරේදී සියලු රාජ්‍ය ආයතන සේවාවන් එකම තලයකට ගෙන සිදු කරන ලද සංශෝධනයද මේ සංවෘත සේවාවන්ට දැඩි ලෙසින් බලපා ඇති බව පෙනේ. එම සංශෝධනයට අනුව ඉහළට යාමට ඇති සුදුසුකම් ලාභීන් ප්‍රමාණය ඉතාම අල්ප වන අතර ප්‍රායෝගිකව ඇතැම් විට ඉහළම තලයට යා නොහැකි තත්ත්වයක්ද උදා වී තිබේ. තැපැල් සේවා වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මේ වන විට වසර සිය ගණනාවක් පැවැති ලියුම් බෙදන්නා හෙවත් ‘පියුම්‘ තනතුර ඇතුළු තනතුරු 18ක් මේ චක්‍රලේඛය අනුව අහෝසි වී ගොස් ඇති බවයි.

ලිපි තෝරන්නා යන තනතුර හිමි තැනැත්තාට දිවයින පුරාම ඇති ගම් නියම්ගම් මෙන්ම අන්තර්ජාතිකව රටවල් සම්බන්ධයෙන් මෙන්ම විදේශ නගර හා ගුවන් ගමන් සේවා සම්බන්ධයෙන්ද දැනුමක් තිබිය යුතු වූ අතර මේ වන විට ලිපි තෝරන්නා යන තනතුරක් නොමැති නිසා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තැපැල් සහායක නමින් තනතුරක් ඇති කර තිබෙන අතර ලියුම් බෙදන්නා, ලිපි තෝරන්නා මෙන්ම අතු ගෑමට සිටින සේවකයන්ද තැපැල් සහායක යනුවෙන් නම් කර තිබීමෙන් වෘත්තීය ගරුත්වය නැතිව ගොස් රාජකාරි ව්‍යුහය පිළිබඳවද ගැටලු මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

එසේම කළමනාකරණ තනතුරේ ඉහළම තනතුරට යාම සඳහා නිලධාරියකුට වසර 42ක සේවා කාලයක් සැපිරිය යුතු බවද ඔවුන් පෙන්වා දුන්නා. අපොස උසස් පෙළ විභාගයෙන් පසුව වයස අවුරුදු 20 හෝ 22 අතර දී සේවයට බැඳෙන අයකුට වසර 42ක සේවා කාලයක් එක් කළ විට අනිවාර්යෙන්ම වයස අවුරුදු 62ක් ඉක්මවා යනවා. මේ සංශෝධන සිදු කළ අය මේ සම්බන්ධව අනවධානයෙන් සිදු කරන ලද මේ කාර්යය නිසා සංවෘත සේවාවන්ගේ විශාල ගැටලු මතුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම මීට පෙර නොතිබූ තැපැල් ස්ථානාධිපති 3 ශ්‍රේණිය නමින් නව තනතුරක් ඇති කළත් ඔවුන්ට හිමි රාජකාරියක් ගැන සඳහන් කර නැහැ. එම නිසා වසර 10ක කාලයක් ඔවුන් එම ශ්‍රේණියේ සේවය කළ යුතු අතර, අනතුරුව 2 ශ්‍රේණියට අනුයුක්ත වනවා.

මේ අතිරේක අවුරුදු 10ක කාලය නිසා සංවෘත සේවාවන්ට දැඩි අපහසුවක් ඇතිව තිබෙන අතර විශ්‍රාම යන තුරුත් ඉහළ ශ්‍රේණියකට යා නොහැකි වීම සම්බන්ධව පෙන්වා දී තිබෙනවා.

කළමනාකරණ ශ්‍රේණියේ නිලධාරීන් නොමැති වීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සේවකයන් යොදා ගෙන එම තනතුරු ආවරණය කර තිබෙනවා. රැකියා නොමැතිව දහස් ගණනක් පාරේ සිටියදී විශ්‍රාමික පිරිස් විශ්‍රාම වැටුප හා තවත් දීමනාවක්ද ලබා ගෙන රාජකාරි කටයුතු කරනු ලබන බවයි මේ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ. මේ ආකාරයෙන්ම දුම්රිය නියාමක වරුන්ගේද 1 ශ්‍රේණියට උසස්වීමට පෙර තිබූ සේවා කාලය වසර 11 සිට වසර 15 දක්වා ඉහළ දැමීම නිසා ගැටලු මතුව තිබෙනවා.

දුම්රිය තැපැල් වැනි සංවෘත රාජ්‍ය සේවා දින 365ම පැය 24ම සේවය කරනු ලබන ආයතන වන අතර ඔවුන්ට අදාළ වැටුප් ක්‍රමයට අමතරව සිදුව ඇත්තේ පොදු රාජ්‍ය ක්‍රමවේදයම ක්‍රියාත්මක කිරීම නිසා උසස්වීම් ලබා ගැනීමට ඇති අපහසුව හා ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කළ නොහැකි උසස්වීම් රටාවන් සකස් කර තිබීම බවයි අපට පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධව වෘත්තීය සමිති විසින් කෙටුම්පත් සකස් කර ලබා දී ඇති නමුත් ඒවා ක්‍රියාත්මක නොකර තිබෙන බවයි ඔවුන් විසින් පෙන්වා දුන්නේ.

සංවෘත රාජ්‍ය සේවය දින 365ම සේවය කරන අයගෙන් බහුතරයකගෙන් සමන්විත වුවත් එම සේවාවේද ගණකාධිකාරි, ඉංජිනේරු මෙන්ම තැපැල් වැනි සේවාවන්හි කළමනාකරණ නිලධාරි හැනි ඒකාබද්ධ රාජ්‍ය සේවයෙන් සේවයට බැඳුණු සේවකයන් ට වසර 4කින් හෝ 5කින් හෝ මාරු වී යාමටත් තමන්ට අවශ්‍ය දෙපාර්තමේන්තුවකට මාරු වී යාමට හැකි වනවා.

සංවෘත රාජ්‍ය සේවයේ වුවත් මේ ආකාරයෙන් එක් කොටසකට මාරු වී යාමට හැකි හා තවත් කෙටසකට මාරු විමට නොහැකි ලෙසින් ක්‍රියාත්මක වන මේ ගැටලුව ඇතිව තිබෙන්නේ 2006 වසරේ ඇති කළ චක්‍ර ලේඛය මඟින්. මේ සම්බන්ධයෙන් වරින් වර රාජ්‍ය නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් පවසා සිටියේ එක් ආයතනයකට හෝ එක් දෙපාර්තමේන්තුවකට පමණක් විශේෂයක් කළ නොහැකි හෙයින් පොදුවේ ක්‍රමවේදයක් 2006 වසරේදී සකස් කර ඇති බවයි. එහෙත් ගැටලුව වී ඇත්තේ එසේ සකස් කරන ලද ක්‍රමවේදය ඇතැම් සංවෘත දෙපාර්තමේන්තුවල ප්‍රායෝගිකව කළ හැකිද යන්නයි?

අපේ රටේ බොහෝ විට නීති රීති සම්පාදනය කරන්නේ පරිගණකයෙනි, රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරුන් බොහෝ විට කටයුතු කරන්නේ තමන්ගේ මට්ටමේ සිටය. ප්‍රායෝගික තලය අපේ බොහෝ නිලධාරීන්ට හුරු නැත. දුම්රිය නියාමකවරුන් 700ක් අවශ්‍ය වූ විටක දෙපාර්තමේන්තුවේ සිටියේ 350ක් පමණයි. දුම්රිය රියැදුරකු නිසි පරිදි පුහුණු කර විවෘත මාර්ගයට යෙදීමට වසර 5ක කාලයක් ගත වේ. වරක් අමාත්‍යාංශ ලේකම්වරයකු පැවසුවේ යුද්ධ කරන්න උගන්වන්න යන්නෙත් මාස 6ක් විතරයි. මොකටද අවුරුදු 5ක් යනුයෙනි.

මෙවන් නිලධාරීන්ගේ කටයුතුවලින් නිසි රාජ්‍ය සේවාව පවත්වා ගැනීමට හැකිවේද යන්න ගැටලුවකි. අවම වශයෙන් 2006 වසරේදී ක්‍රියාත්මක කළ මේ ක්‍රමවේදය ඉදිරියේදී පැමිණෙන සේවකයන් උදෙසා පමණක් ක්‍රියාත්මක කළා නම් එහිදි මතුවන ගැටලු අවම කර ගැනීමට තිබුණි.

කෙසේ වුවත් මේ වන විට තැපෑලෙන් පමණක් නොව දුම්රියෙන්ද යළි රතු එළි පැමිණ ඇත. දුම්රියට ලැබුණේ තාවකාලික විසඳුමකි.

තාරක වික්‍රමසේකර

Comments

2006 වසරේ සිට සංවෘත රාඡය සේවාවල (තැපැල් , දුම්රිය වැනි) ඇත්ත ගැටලුව විවෘතව පල කල සිලුමිණ පුවත් පතට අපගේ ස්තූතිය.......

2006 වසරේ සිට සංවෘත රාඡය සේවාවල (තැපැල් , දුම්රිය වැනි) ඇත්ත ගැටලුව විවෘතව පල කල සිලුමිණ පුවත් පතට අපගේ ස්තූතිය.......

පිටු