
“අද රෑ දොළහට ‘බිග්බෙන්’ කුලුනේ ඔරලෝසුව වදින හැටි නම් බලන්නම ඕනා...” මුනුපුරා කීවා.
“ඔහෙප්පලයං අද රෑ නෙවෙන්නං නත්තල්? රූප පෙට්ටියෙන් ලෝකෙ පුරා උත්සව ටික බලන්න ඇහැක් නෙව...” සීයා සතුටින් කීවා. ඒ එක්කම සීයාගේ මූණ එක පාරට මැලැවුණා.
“ඇයි සීයේ...?”
“අපි නං ඉතින් සතුටු වෙනවා, ගෙවල් සරසනවා, කනවා-බොනවා, නටනවා. ඒත් පුතාට මතක නැතුව ඇති අද වගේ දවසක අපේ රටට වුණු අලකලංචිය... ඒ මිනිස්සු තාම නත්තල් දවසට තමන්ගේ නෑදෑ-හිතමිතුරන් වෙනුවෙන් පහනක් දල්වලා පින් දෙනවා...”
“සීයා කියන්නේ සුනාමි ගැන නේද...?”
“හ්ම්...”
“අනේ සීයේ අපිට දැන් මොනවද කරන්න පුළුවන් ඒ වගේ දේකට මූණ දුන්න අයට... දැන් ගොඩක් කල් නේ...”
“හනේ මන්දා ළමයෝ... දැන් ඉතින් මැරිච්ච අය මැරුණා. ඉතිරි වුණු අය... සමහර පොඩි ළමයි... තාමත් දරාගන්න බැරි දුකකින් ඉන්නවා ඇති... මැරුණ අයට නං පිං දීලා තමතමන් ඇදහූ ආගම ධර්මය අනුව මරණින් මතු යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්... ඉන්න අයගේ හිත් ඉතිං ලෝකේ හැටි මෙහෙමයි කියලා හදාගන්න උදව් වෙන-එක තමයි කොරන්න තියෙන්නෙ...”
“ජේසු තුමා හිටියා නං ඒ අයගේ හිත් හදයි නේද සීයේ...?”
“බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වගේ ශාස්තෘවරු කියපු දේවල් හරියට පිළිපදිනවා නම් එතන උන්නාන්සේලා ඉන්නවා හා සමානයි තමයි කොල්ලෝ... ඒවා අනුගමනය නොකර පිස්සු නටන හින්දානේ මේ ඔක්කොම සංගදි...”
“මොනවද සීයේ ඔක්කොම සංගදි කියන්නේ...?”
“අද නත්තල් හින්දා අපි ජේසු තුමාගේ කියමන් විතරක් අරන් බලමුකො... අසල්වැසියාට ප්‍රේම කරන්න, එක කම්මුලකට ගැහුවොත් අනෙක් කම්මුලත් දෙන්න... ඔය වගේ මනුස්සකං ගැන නේ ළමයෝ උන්නාන්සේ දෙසුවෙ...”
“හපෝ සීයේ! අද කාලේ එක කම්මුලකට ගැහුවාම අනිත් එකත් දුන්නොත් නියමෙට තියේවි...! ගහපු එකා අපේ බෙල්ලත් ගෙනියලයි නතර වෙන්නෙ...!”
“ඒක තමයි කොළුවෝ කියන්නේ පිරිහීම කියලා... මිනිස්සුන්ගේ පව් වෙනුවෙන් කුරුසිය කරගහපු උන්නාන්සේ කීව විදිහට ජීවත් වුණා නං, අනුන්ගේ දුක තේරුම් ගත්තා නං අද ලෝකේ මෙහෙම කලකෝලහාල වෙයිද...? උන්නාන්සේ ඉපදුණු සරල විදිහ හිතලා මිනිස්සු සරල රටාවකට පුරුදු වුණා නං අද මේ තරම් දේවල්වලට පොරකාගනීද? රජතුන්කට්ටුව ජේසු බබා බලන්න වල්ගතරුවේ දිසාව බලාගෙන ආවලු. ඒ තරම් සොබාදහම එක්ක ගනුදෙනු වෙන දේවල් ගැන අහල-දැකලා මහ පොළොව නූහුලන දේවල් පරිසරේට කොරයිද...?” සීයා කියාගෙන කියාගෙන ගිය විදිහට මුනුපුරා බලන් හිටියේ කට ඇරගෙන.
“ඒ කියන්නේ සීයේ අපි නත්තල් සැමරුවාට වැඩක් නැද්ද?...”
“එහෙම නෙමෙයි බං කොලුවෝ... නත්තල සමරන්නේ ජේසු බබාගේ උපත වෙනුවෙන්... ඒ වගේ උත්තමයෙක් ලෝකෙට ආව දවස කොයිතරම් සතුටක්ද? ඒක නෙවෙයි මම කියන්නේ... තමන් සතුටු වෙනවා වගේම අනෙක් අයත් සතුටු වෙන විදිහට වැඩ කරන්න, තමන් පමණට වඩා කරන වියදම්වලින් දුප්පත් මිනිහෙක්ට ඇඳුමක්, කෑමවේලක් අරන් දෙන්න පුළුවන් නම් ඒක තමයි නියම කිතුනු දහම...”
“සීයා කියන දේ ඇත්ත තමයි... අපිටත් පුළුවන් නම් ජේසු තුමා වගේ අනිත් අයගේ දුක තේරුම් අරන් ඒ වෙලාවට පිහිටක් වෙන්න, මේ ලොකේ කොයි තරම් නම් ලස්සන වෙයිද...?”
පාඨක හද ගැස්මට විවර වන සිළුමිණ ‘ජනහද, ඔබේම පිටුවට නිර්මාණ එවන්න.
සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස්
ඩී.ආර්.විජයවර්ධන මාවත
කොළඹ 10