නත්තල සහ නිහැඬියාව | සිළුමිණ

නත්තල සහ නිහැඬියාව

 කුරණ මීසම් සේවක ගරු.සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා

“................(නාළිකාවේ නම) නාළිකාව සද්දෙට අහගෙන ඉන්නවා කියලා (අසන්නාගේ නම)............කියල එවලා තියෙනවා..........”

ඔය වගේ කතා අපේ fm නාළිකාවල අද තොරතෝංචියක් නැතුව ඇහෙනවා. “සද්දෙට අහගෙන ඉන්නවා”කියලා කියන්නේ, මුළු ගමටම ඇහෙන්න රේඩියෝව දාගෙන ඉන්නවා කියන එක වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.එහෙම රේඩියෝව සද්දෙට දාගෙන ගෙදර සාලෙ ඉදන් අහගෙන ඉන්නෙ කොහොමද කියල මට නම් තේරුම් ගන්න බැරිතරම්. “සද්දෙට ඇහුවම” මුදලක් දෙන නිසා අමාරුවෙන් හරි එහෙම කරනවා ඇති කියල මට සමහර වෙලාවට හිතෙනවා.පෞද්ගලික බස්වල යද් දී සින්දු දාල කන්කරච්චලේ බැහැ කියල දාහක් අය කියනව මට ඇහිල තියෙනවා.දැන් ඔය බොහෝ සංගීත ප්‍රසංගවල සද්දේ තියෙන තරමට සාර්ථකයි කියල ඒ අය හිතෙනව ඇති කියලත් මට හිතෙනවා.ඒ මදිවට earphones කණේ ගහගෙන “ සද්දෙට සින්දු” අහන අය වැහි වැහැලා ඉන්නව. අවට තියෙන කර්කෂක සද්ද බද්ද ඇහෙන්නේ නැති උනාට කන්බෙරේ කැඩී බි දී විනාශ වන තරමට සද්දෙන් සින්දු අහනවා.

තමා “ පාළුකරයේ හඩ ශබ්දය” කියල ස්නාවක ජුවාම් තුමන් තමන් ගැන ස්වයං හැදින්වීමක් කරනවා.ගලවුම්කරුවාණන් වහන්සේගේ මග සුදානම් කරන්න, උස් මිටි තැන් සමතලා කරන්න. දෙවියන් වහන්සේ එවූ අවසාන දිවැසිවරයා ස්නාවක ජුවාම් තුමායි.උන්වහන්සේ පාළුකරයේ සිට නැගු හඩ බොහෝ ජනතාවගේ හදවත කම්පනය කරන්න සමත් වුණා. “පශ්චත්තාප වී සුබ අස්න අදහා ගන්න”කියල එතුමා හඩ නගා කීව දේ මිනිස්සුන්ගේ හදවත පසාරු කරගෙන ගිහින්, ජීවිතේම වෙනස් කළා.සමහරුන්ගේ ජීවිතවලට ඒ හඩ ශබ්දය අභියෝගයක් වුනා.සමහරුන්ට එය තර්ජනයක් වගේ දැනෙන්න පටන් ගත්තා.හෙරෝද් රජුට, හෙරෝදියාස් බිසවට එය දරාගන්න බැරි තරම් කුණාටුවක් බවට පත්වුණා.

පාළුකරය කියල හඳුන්වපු ප්‍රදේශය කාන්තාරයමත් නොවේ.එය කිසිදු මිනිස් වාසයක් නොතිබුණ, නගරයේ සංකීර්ණ සහ ඝෝෂාකාරී පරිසරයෙන් ඈත්වූ පාළු, නිසංසල ප්‍රදේශයක්.පාළුකරය දෙවියන් වහන්සේව ගැඹුරින් අත් දකින තැනක් හැටියටයි ශුද්ධවූ බයිබලය පෙන්වා දෙන්නෙ. හතළිස් අවුරුද්දක් තිස්සේ පාළුකරය මැදින් පොරොන්දු දේශය කරා ගමන් කරපු ඉශ්රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ බලය, ශක්තිය වගේම ප්‍රේමය, දයාව කරුණාව අත් දැක්කා.ජේසුන් වහන්සේ හතළිස් දවසක් පුරාම පාළුකරයේ ගත කරමින් තම ප්‍රසිද්ධ ජීවිතයට සුදානම් වුණා.පාළුකරයේ නිහැඩියාව, නිසසල බව, එහි තනිවීම දෙවියන් වහන්ස්ගේ හඬට සවන් දෙන්න, කෙනෙකුගේ ජීවිතය ඇතුළට කිඳා බැහැල තමන් ගැනම හිතා බලන්න කෙනකුව පොළඹවනවා.

අපේ ජීවිතේ සමහර සිද්ධීන් අපව අතීශය සතුටට පත් කරනවා.ඒවගේම ඇතැම් සිද්ධීන් අපව මහත් වේදනාවට වගේම කම්පනයට පත් කරනවා.ඒ බොහෝ දේ අපට මුළු ජීවිත කාලෙම මතක තියෙනවා.මතකයේ තිබීම හෝ සතුට, වේදනාව, කම්පනය වගේ හැගීම් හෝ නොවේ වැදගත් වෙන්නෙ.වැදගත් වෙන්නේ ඒ සිද්ධීන් තුළින් දෙවියන් වහන්සේගේ හඬ ඔබට ඇසීමයි.එය තමයි අර්ථ නිර්මාණය කියන්නෙ.

ඒ සඳහා ස්වඅවබෝධය අවශ්‍යයි.නිශ්ශබ්දතාවය, නිසසල බව නැතිව මේ අත්දැකීම ලබන්න බැහැ.සංකීර්ණ, ඝෝෂාකාරී, කලබලකාරී, අවිවේකි ජීවිත රටාවෙන් ඈත් වෙලා පාළුකරයේ නිහැඩියාවට, නිසංසල අත්දැකීමට ඇතුළු වූණොත් මිස, අපේ ජීවිත අත්දැකීම්වලට අර්ථ නිර්මාණය කරගන්න හැකියාවක් නැහැ.

නාස්ති කරපු අවස්ථා, මිනිසුන්ට උදව් පදව් කිරීම මගහැරී අවස්ථා, ආත්මාර්ථකාමී වුණ අවස්ථා, කලකිරුණ අවස්ථා, වගේම සතුට, ප්‍රීතිය, සැනසුම ලැබූ අවස්ථා.ඒවායින් අර්ථ නිර්මාණය කර ගැනීමයි වැදගත් වෙනනේ.

පළමු නත්තල බිහිවන්නේ නිශ්ශබ්ද, නිසසල පරිසරයක රාත්‍රී යාමයේ. නගරයේ සංකීර්ණ බවින් ඈත් වූ ගම්බද නිහඩ පරිසරයක නත්තල අපට කියන එක් වැදගත් පණිවුඩයක් වන්නේ නිහැඬියාවේ වැදගත්කමයි.


නත්තල් දිනයෙහි කාලය කළමණාකරණය කර ගනිමු

වසරක් අවසානය එළඹෙන මොහොතේ දී සමරනු ලබන නත්තල් උත්සවය බොහෝ කාර්යබහුල කාලවකවානුවකි. කිස්තුභක්තිකයින් වසර අවසානයේ සමරන සුවිශේෂී ආගමික උත්සවය වන නත්තල ඔවුන් තම තමන්ට අවේණික පිළිවෙත්වලට අනුකූලව සමරනු ලබයි. විශේෂයෙන් මවක් තම දරුවන්ට නත්තල යනු කුමක්ද යන්න පිළිබඳව කියා දීම අතිශයින් වැදගත් වේ.

උදෑසන සිට රාත්‍රීය දක්වා ගතවන සෑම මොහොතක දීම සෑම දෙනෙකු ම උත්සහ ගන්නේ තමන්ට හිමි වී ඇති කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ය. ඒත් එම කාලය නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ කී දෙනා ද? ගෙවීගිය කාලය යළි ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය. එසේ නම් මේ නිසි අවබෝධයෙන් යුක්තව නත්තල අසිරිමත් ලෙස සැමරීමට කාලය කළමණාකරණය කර ගන්නා ගත කරන ආකාරය දැන ගනිමු.

නිසි වේලාවට නැගිටීම

මෙය බෝහෝ දෙනෙකුට සිදු කළ නොහැකි කාර්යයකි. එහෙත් එලාම් ඔරලෝසුවක් භාවිතා කර උදෑසන නැගිටීමට පුරුදු වීම වඩාත් යෝග්‍ය ය. නත්තල් දිනට උදෑසනින් ම නැගිට සියලු කාර්යභාර්යයන් කිරීමට පටන් ගන්නේ නම් එම දවසින් උපරිම එල ප්‍රයෝජන ගත හැකි ය.බටහිර විද්වතුන් සඳහන් කරන අන්දමට සෑම දිනකම එකම වේලාවට නැගීටීම සඳහා එලාම් ඔරලෝසුව වඩාත් ප්‍රයෝජනවත් වේ. පුද්ගලයකු තමන්ට අවශ්‍ය වේලාවේදී නැගීටීමෙන් එම පුද්ගලයාගේ දවසේ වැඩකටයුතු පිළිවෙළකට සිදු කර ගත හැකි ය. එමගින් මානසික ආතතියෙන් තොරව ජිවිතය සඑල කර ගත හැක. බොහෝ දෙනෙකු නත්තල් දිනයෙහි කිරීමට බොහෝ දෑ සිතා ගෙන සිටී. එහෙත් දහවල් කාලයෙහි අවදි වුවහොත් ඒ සියල්ලක්ම සිදු කිරීමට නොහැකි වේ.

එක් කාර්යක් සිදුකර අවසන් වු පසු අනෙක් කාර්යය කිරීම

එකම වේලාවෙහි කාර්යයන් කිහිපයක් සිදු නොකළ යුතු ය. එවිට එකම කාර්යයක්වත් නිරවුල්ව සිදු කළ නොහැක. ඒ බව බටහිර මනෝ විශේෂඥයින් තම පරීක්ෂණ මඟින් සනාථ කර ඇත. වැඩ රාජකාරී විවිධ පුද්ගලයින්ට බෙදා දීම සිදු කළ හැකිය. එයින් සමගිය සහ සමාදානය පවුල තුළ වර්ධනය වේ.ඒ බව ද බටහිර මනෝ විශ්ලේශකයින් තම පරීක්ෂණ මඟින් සනාථ කර ඇත. එක් කාර්යයක් සිදු කිරීමේ දී ඒ කාර්යය සඳහා පමණක් පුද්ගල අවධානය සම්පුර්ණයෙන් ම යෙදිය යුතු ය. එලෙස පුද්ගලයා සිදු කරන සෑම කාර්යයකටම පුර්ණ අවධානය යොමු කිරීම මඟින් කුසලතා පුර්ණ පුද්ගලයකු බවට පත් වීමට පුළුවන.

වැඩ කරන කාලය අතරතුර කෙටි ‍විවේකයක් ගත යුතු ය.

නත්තල් ගස් සෑදීම,ගවලෙන් නිර්මාණය කිරීම, කැරොල් ගීත පුහුණු වීම, නිවෙස් අලංකාර කිරීම, නත්තල් කේක් සැකසීම ආදීය කිරීමේදී විවේකය අත්‍යවශ්‍යම සාධකයකි.

දීර්ඝ කාලයක් එක දිගට වැඩ කිරීම නොසුදුසු ය. එමඟින් මිනිසාට මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති විය හැකි ය. බටහිර මනෝ විශ්ලේශකයින් තම පරීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ පැය 2 ක කාලයක් එක දිගට වැඩ කිරීමේ දී විනාඩි 15 ක් පමණවත් විවේක ගත යුතු බවය. පමණ ඉක්මවා වෙහෙසීම මිනිස් මනසට දරා ගැනීමට නොහැකිය. එම නිසා තමන් ගත කරන විවේක කාලය අතරතුර තමන් කැමති ගීතයකට සවන් දීම වඩාත් සුදුසු බව විද්වතුන් පෙන්වා දී ඇත .

තමන් භාවිත කරන උපකරණ නිසි ස්ථානයන් හි තැන්පත් කිරීම.

මෙය බොහෝ දෙනෙකු සිදු නොකරන දෙයකි. එහෙත් මෙමගින් කාලය ඉතුරු කර ගැනීමට පුළුවන. වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනෙකු තමන් පරිහරණය කරන භාණ්ඩ නිසි ස්ථානයෙහි නොතැබීමෙන් මනස ව්‍යාකූල කර ගනියි. එහෙත් මෙය යහපත් ගුණ ධර්මයක් ලෙස පුරුදු කර ගන්නවා නම් පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. තමන් භාවිත කරන උපකරණ නිසි ස්ථානයක නොතැබීමෙන් නත්තල් සැරසිලි නියමාකාරයටම සිදු කිරීමට නොහැකි වේ.

ප්‍රධාන කාර්යයන් කිරීමෙන් අනතුරුව අනෙකුත් කාර්යයන් සිදු කිරීම.

මෙලෙස තම වැඩ කටයුතු සිදු නොකිරීමෙන් බොහෝ දෙනෙකු පසුකාලීනව පසුතැවිලි වේ. එනිසා සෑම පුද්ගලයෙක්ම තමන් කළ යුතු කාර්යය නිසි පරිදි අවබෝධ කර ගෙන නිසි පරිදි කාලය කළමණාකරණය කර ගත යුතු ය. නත්තල් දිනය තුළ සිදු කළ යුතු ප්‍රධානතම කාර්යට වැඩි අවදානයක් දිය යුතු ය. එලෙස නොමැති වුවහොත් එය මුළු පවුලටම බලපානු ලබයි. විශේෂයෙන් මවක් නත්තල් දිනය යනු කුමක්ද? එය මිනිස් ජීවිතවලට ළංවන ආකාරය පිළිබඳව තම දරුවන්ට කියා දිය යුතු ය. ඒ ආකාරයෙන් සාමයෙන් සහ සතුටින් පිරි නත්තලක් උදා කර ගැනීමට හැකි වේ.

 මදාරා මුදලිගේ


ලෝකයේ විවිධ රටවල නත්තල සමරන හැටි

වසරක අවසානයේ සීතල දේශගුණයත් සමඟ පැමිණෙන නත්තල මුළු ලෝකවාසීන්ටම ගෙන දෙන්නේ අමුතුම සතුටකි. නත්තල් දිනයෙහි මුළු ලෝකයේ ම ජීවත්වන ක්‍රිස්තු භක්තිකයින් තමන්ට අවේණික ක්‍රමවේදයන්ට අනුගතව නත්තල සැමරීම සිදු කරනු ලබයි. මේ ලෝකයේ විවිධ රටවල්වල නත්තල සැමරීම සිදු කරන අන්දම පිළිබඳව තොරතුරු බිඳකි.

ඇමරිකා එක්සත් ජනපදය - නත්තල් සමයේ සුප්‍රකට චරිතයක් වන නත්තල් සීයාගේ සංකල්පය බිහි වී තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. පිනිමුවන් බැඳි හිම යානයක එන නත්තල් සීයා 1863 දී නිර්මාණය වී ති‍බේ. ඇමරිකානු කිතුණු බැතිමතුන් අලංකාර ලෙස ගවලෙන් සෑදීම,නත්තල් ගස් සැරසීම,කැරොල් ගී ගැයීම, සහ දේව මෙහෙයට සහභාගී වීම, සිදු කරති. ඇමරිකානුවන්ගේ නත්තල් භෝජන සංග්‍රහයට අර්තාපල්,එළවළු සළාද,කළුකුම් මස් ආදිය අන්තර්ගත වේ. ඇමරිකානුවන් තම නෑදෑ හිතවතුන්ට සුභපැතීම සිදු කරන්නේ Merry Christmas හෝ Happy Christmas යනුවෙනි. වර්තමානයේ දී ඇමරිකානු ජනතාව දෙව්මැදුරු තුළ, තම නිවෙස් තුළ සහ ප්‍රසිද්ධ මංමාවත් තුළ සජීවි ගවලෙන් සකස් කර නත්තල උත්සවත්ශ්‍රියෙන් සමරනු ලබයි.

ජපානය - ජපන් ජනතාව නත්තල් සැමරීම සඳහා විශාල කාලයක් වැය නොකරනු ලබති. ඔවුන් විශේෂයෙන් ම සිදු කරන්නේ තම නැදෑ හිතමිතුරන් අතර තෑගිභෝග හුවමාරු කිරීම සහ විදුලි ආලෝක සැරසිලි සිදු කිරීම පමණි.ජපානයේ නත්තල් දිනය එරට ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කර නැත. ජපානයේ දරුවන්ගේ නිවාඩු කාලය ආරම්භ වන්නේ දෙසැම්බර් 23 වන දිනයේ ය. මව්පියන්, දරුවන් සහ ඇසල්වැසි ජනයා එක්ව නත්තල සමරන මෙරට ජනතාවට එදින ආදරණීයන්ගේ දිනයක් ලෙස ද හදුන්වනු ලබයි. ජපානයේ නත්තල් සමරන ජනයාගේ ප්‍රධානතම ආහාරය වන්නේ ලෝකයේ සුප්‍රකට බහුජාතික අවන්හලක පිළියෙළ කරන "Kentucky for Christmas!' (Kurisumasu ni wa kentakkii!) "යන ආහාරය වේ. තව ද ජපානයේ නත්තල් කේක් අනෙකුත් රටවල්වල මෙන් අධික වියදමකින් යුක්තව පිළියෙළ නොකර ස්පොන්ජ් කේක් සකසනු ලබයි. සැබවින්ම නත්තල් දිනය ජපන් ජාතිකයනට එතරම් වැදගත් වන්නේ නැත.

ඔස්ට්‍රේලියාව - මෙරට ජනතාව තම සීත සෘතුවේ සමරනු ලබන සුවිශේෂී උත්සවයක් ලෙස නත්තල් දිනය හදුන්වනු ලබයි. මෙදින රාත්‍රියේ දී ඔස්ට්‍රේලියානු ජනයා තම නැදෑ හිතමිතුරන් සමඟ එක් වී ආහාර වර්ග පරිභෝජනය කරමින් සතුටු සාමීචියේ

යෙදීම උත්සවත්ශ්‍රීයෙන් සිදු කරයි. ඔවුන් තම නිවෙස් නත්තල් ගස්වලින් සහ විදුලි ආලෝකයෙන් අලංකාර කිරීම සඳහා විශාල වියදමක් දරයි. "Christmas Bush" යනුවෙන් හදුන්වන කොළ පැහැති කුඩා කොළවලින් යුත් ක්‍රීම් පැහැති මල් තිබෙන සිත්ගන්නා සුළු ශාකයක් ඔස්ට්‍රේලියානු ජනයා නත්තල් සමයේ දී නිවෙස් අලංකාර කිරීම සඳහා භාවිතා කරයි. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නත්තල් සතිය ලෙස නම් කරමින් මෙම නත්ලත් උත්සවය සඳහා විනෝදජනක උත්සව කිහිපයක්ම පවත්වයි. සම්ප්‍රදායික බටහිර ආහාර යටතට ගැනෙන මුහුදු ආහාර ලෙස හදුන්වන ඉස්සන්, කකුළුවන්, සහ පොකිරිස්සන් මෙම ජනයා නත්තල් දිනයේ ආහාර වේලට එක් කරනු ලබයි.

ඉන්දියාව - ඉන්දියානු ජනයා නත්තල් උත්සවය විශාල අයුරින් සමරන්නේ නැත.2.3% ක ක්‍රිස්තියානි ජනතාවක් ඉන්දියාවේ ජීවත් වෙති. එම පිරිසගෙන් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ ඉන්දියාවේ මුම්බායි ප්‍රදේශයේ ය. දකුණු ඉන්දියාවේ ක්‍රිස්තියානි ජනයා නත්තල් දින රාත්‍රීයේ දී තම නිවෙස්වල ඉටිපන්දම් දල්වනු ලබති. එමෙන් ම ඔවුන් නත්තල් තාරකා විචිත්‍ර වර්ණයෙන් නිර්මාණය කර තම නිවෙස් අලංකාර

කිරීම විශේෂ ලෙස සිදු කරයි. ඉන්දියාවේ නාගරිකව ජීවත්වන ජනතාව තම නිවෙස්වල කැරොල් ගීත ගායනා කරන අතර ග්‍රාමීයව ජීවත්වෙන ජනයා නත්තල් උපත පිළිබඳව තම නෑදෑ හිතවතුන් සමඟ එක් වී සාකච්ජා කරති. මොවුන් නත්තල් කේක් වර්ගවලට වඩා කැමැත්තක් දක්වන්නේ විවිධ රසකැවිලි සකස් කිරීමට ය.

කැනඩාව - ප්‍රංශ,ඉංග්‍රීසි,අයිරිෂ්,ස්කොට්ලන්ත,ජර්මන්,යුක්රේන් යන විවිධ රටවල්වල ජනයා කැනඩාවෙහි ජීවත් වෙති. එම රටවල ජීවත්වන බොහෝ ජනයා රෝමානු කතෝලිකයින් වේ. මෙරට ජනතාව නත්තල සැමරීම සඳහා තම නැදෑ හිත මිතුරන් අතර නත්තල් සුභපැතුම්පත් හුවමාරු කර ගැනීම තුළින් නත්තල සමරනු ලබයි. නත්තල් සීයාගේ පැමිණීම මෙරට වෙසෙන ළමයින් දැඩි ලෙස විශ්වාස කරයි. කැනඩාවෙහි ටොරෙන්ටෝ නගරයෙහි "නත්තල් සීයලාගේ පාරාදීසය" ලෙස නම් කර ඇති ස්ථානයක නත්තල් දින චිචිත්‍රාංගයන් යුක්ත උත්සව කිහිපයක්ම පවත්වනු ලැබේ. මෙරට නත්තල් උත්සවය දෙසැම්බර් 26 වන දින සිට එළඹෙන වසරේ ජනවාරි 06 වන දින තෙක් ම සමරනු ලැබීම සම්ප්‍රදායික ක්‍රමවේදය වේ. නත්තල් කේක්වලට අමතරව මිදි පුඩිම, කුකුළු මස්, අර්තාපල් සහ එළවළු මශ්‍රි කර සකසා ගන්නා ආහාර සැකසීම සිදු කිරීම මොවුන්ගේ සිරිත් අතර වේ.

 මදාරා මුදලිගේ


ඔබේ පැනයට අපෙන් පිළිතුරු

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු කාන්තාවනි. ඔබේ රැකියා ස්ථානයේ ඔබ මුහුණපාන පෞද්ගලික හෝ පොදු ගැටලු පිළිබඳව අප වෙත ලියා එවන්න.

ඔබේ අනන්‍යතාව සුරකින අතර තහවුරු කළ හැකි නිවැරදි තොරතුරු පමණක් ලියා එවන්න. ඔබගේ ගැටලු පෞරුෂ සංවර්ධන උපදේශිකා වජිරා අමා දිසානායක මහත්මිය වෙත යොමු කර සහනදායී පිළිතුරු ලබා දීමට අපි සූදානම්. ඔබේ ගැටලු මෙම කූපනය සමඟ අමුණා පහත ලිපිනයට යොමු කරන්න.

සංස්කාරිකා,

දියත දිනන කත,

සිළුමිණ, ලේක්හවුස්,

කොළඹ 10

ප්‍රශ්නය - උඩවලවේ ප්‍රමෝදා

මම තිස් හැවිරිදි වියේ මවක්. මගේ ලොකු පුතාට අවුරුදු පහළොවයි. චූටි දුවට අවුරුදු දහයයි. මම විවාහ වූයේ අවුරුදු දහ තුන ඉවර වුණා විතරයි වගේ වෙනකොට. නමුත් එය නීත්‍යානුකූල විවාහයක් නෙවෙයි. මගේ නොදන්නාකමට මම සම්බන්ධයක පැටලුණා. ඒ වනවිට මම වැඩිවියට පත්වෙලත් නැහැ. ගමේ සිටි නරක යයි සම්මත කෙනෙකු සමඟ මම සම්බන්ධයක් ඇති කර ගත්තා. ඒ නිසා මට ඉගෙන ගන්න බැරි වුණා. ඔය අතර දිගින් දිගට ඔහුගේ වධ හිංසාවලට ලක් වුණා. මට දරුවන් දෙතුන් දෙනෙකු ම ගබ්සා වුණා. ඔය අතර උපන් දරුවන් දෙදෙනාව මට පුළුවන් විදිහට පාසලට දාලා ඉගැන්නුවා. මට වසර 17 ක් ම සිද්ධ වුණේ ඔහුගේ වද හිංසාවලට ලක් වෙන්න තමයි. ඊට පසු බැරිම තැන මම උඩවලවේ සිට කොළඹට පලා ආවා. එතරම් ප්‍රසිද්ධ නැති ඇඟළුම් කම්හලක රැකියාවක් කරනවා. මට මසකට ජීවත්වන්න වැටුපක් ලැබෙනවා. දරුවන් දෙදෙනා සැමියාගේ දෙමවුපියන් සමඟ හැදෙනවා. නවාතැනේ සිට වැඩට යන එන අතර මුණ ගැසුණ හමුදා සෙබලෙකු සමඟ මම සම්බන්ධයක් ඇති කර ගත්තා. දැන් ඔහු සමඟ එකම නිවසක ජීවත්වන ගමන් වැඩට යනවා. ඔහු ඉතාම හොඳ කෙනෙක්. මගේ සියලු විස්තර ඔහු දන්නවා‍. ඔහුට ඕන වෙලා තියෙන්නේ මාව විවාහ කරගන්න. මම මගේ කලින් සැමියා සමඟ විවාහ වෙලා නැහැ. එතකොට මගේ විවාහය නීතියෙන් වලංගු නැහැ නේද? මම ඒ ගැන හිත හිත නිතර තැවෙනවා. මගේ දැන් කාර්යාලයේ අය දන්නෙ නැහැ මම කලින් විවාහ වෙලා හිටි බව. ඔවුන් හිතන්නේ ම‍ගේ සැමියා මොහු බවයි. මම මේ ගැන හිතමින් නිතර තැවෙනවා. මට පිහිටක් වන්න. උපදෙසක් දෙන්න.

පිළිතුර

ප්‍රමෝදා... ඔබේ ජීවිතයේ දශක තුනකට ඔබ දශක 07 ක විතර අත්දැකීම් ලබා තිබෙනවා. දුක් විඳලා තිබෙනවා‍. මම නම් හිතන්නේ ඔබේ පවුල් පරිසරයක් මෙවන් අවාසනාවන්ත ජීවන වියමනත් ඔබට හිමිකර දෙන්නට ඇති බවයි.‍ දැන් ඉතිං වෙච්ච දේවල් වෙලා ඉවරයි. මම කිසි විටක ඔබෙන් ‘ඇයි ‍එහෙම කළේ’ කියලා අහන්නෙ නැහැ. එහෙම ඇහුවනම් ඔබට තියෙන පීඩනය තවත් වැඩිවෙනවනේ‍. දැන් ඒ දේවල් වෙලා ඉවර බව සිතන්න. අපි අනාගතයට මුහුණ දෙමු. විවාහ නොවුණත් ඔබ පිරිමියෙකු සමඟ වසර 17 ක් එකම ගෙදරක ජීවත් වුණා. ඒ වගේ ම ඔබ දෙදෙනාට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඉතිං වඩා හොඳයි නේද කතා බහ කරලා වෙන් වුණා නම්. එකට ජීවත්වෙන්න බැරි කොට කතා බහ කරලා වෙන් වෙන්න බැරි තරම් වෛරයක් ඉපදුණොත් එයා මනුස්සයෙක් නෙමෙයිනේ. අපි තිරිසන් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ අපට ඕනේ තීරණ ග්‍රහණය කරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් අනිත් කෙනාට සමාව දෙන්න බැරි නම් ඒ මනුස්ස කමෙන් ඇති වැ‍ෙඩ් මොකද්ද? සමහර වෙලාවට ඉතා උසස් පෞරුෂයක් තියෙනවා කියලා අපි හිතන අයත් ප්‍රශ්නයක් ආවම පලා යනවා. ඔවුන්ට ඒ ප්‍රශ්නයට මූණ දෙන්න හැකියාවක් නැහැ. කිසිම වෙලාවක හිත හයිය නැති කෙනෙක් සමඟ තනියම ප්‍රශ්නය විසඳන්න යන්න එපා. හැකි පමණ පළමු සැමියා සමඟ කතා බහ කර තීරණයකට එන්නට උත්සාහ ගන්න. ඔබේ වැඩිමහල් නෑදෑයන්ගේ උදව්ව ඒ සඳහා ලබාගන්න. ඉතා තද කෙනෙක් වුණත් මෙළෙක් කරන්න වචනවලින් පුළුවන්. ඔබට අවශ්‍ය වන්නේ ඉවසීම තමයි.

ඔබේ නව සැමියා ඉතා හොඳයි කියන්නට තවම වේලාසන වැඩි බවයි මට හිතෙන්නෙ. ඔබට ඔහුගෙන් දරුවෙක් ලැබුණොත් තවත් අසරණ වෙනවා නේද? ඒ නිසා ඒ ගැන හිතලා බලන්න. මම නම් හිතන්නෙ ඉක්මනින් විවාහ වීම හොඳ බවයි. නැත්නම් තව සමාජ ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා නේද?

ඔහුගේ දෙමවුපියන්, පවුල් පසුබිම ඔබ හොයා බැලුවාද? ඔබ ඔහු ගැන සිහින දකින අවදියේයි ඉන්නේ. ජීවිතේ මුල් කාලේ එහෙම තමයි. නමුත් පස්සෙ කාලෙක අපි දන්නෙ නැතිවම අපේ සිහින ලෝකය ඛාදනය වනවා.

අපි හැමෝටම ජීවිතේ නරක කාල තියෙනවා. කාටවත් කවදාවත් කියන්න බැහැ මම මුළු ජීවිත කාලෙම සතුටින් හිටියා කියලා. එක අතකින් ඔයා උත්සාහවන්තයි. ගැහැනියක් ගුටි කකා අසරණව වැතිරිලා ඉන්න ඕන නැහැ. තමන්ගෙ ශක්තිය අවදි කරගන්න ඕන. ඒ නිසා ඒ ගැන කතා කරලා විසඳගන්න. රැකියාව දිගටම කරන්න.

අමා 

 

Comments