සමනළ කන්දේ හිලව්වට ඇත්දළ ජෝඩුවක් | සිළුමිණ

සමනළ කන්දේ හිලව්වට ඇත්දළ ජෝඩුවක්

මෙතෙක් කතාව...

හැල් වී බහුලව වැඩුණු 'වේහැල්ල' ග්‍රාමයේ බෙත්මේ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. වැලිවිට සරණංකර හිමියන් ඇසුරට පත් උන් වහන්සේගේ චතුර ධර්මදේශනය සහ පුස්කොළ පොත් ලිවීමේ හැකියාව හඳුනාගත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු තඹ සන්නසකින් සමනොළගිර විහාරය බාර දීම ඓතිහාසික සිදුවීමකි. රජු ධම්මදින්න හිමියන්ගේ සොහෙ‍ායුරුට 'මුලමොර' නම් ගම්වරය දුන්නේ රට මැද ලන්දේසීන්ගෙන් රැක ගන්නටය. ශ්‍රීමත් ෆ්රැන්සිස් මොලමුරේ මහතා පැවතෙන්නේ ඒ පෙළපතිනි. 1707දී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු වැලිවිට ශ්‍රී සරණංකර සාමණේරයන් වහන්සේ වෙත අලි-ඇතුන් පිදුවේ උන් වහන්සේ සිංහලෙන් සහ පාලි බසින් ධර්මදේශනාවක් පවත්වා මිසදිටු බමුණා සෑහීමකට පත් කිරීමත්, 'සාරාර්ථ සංග්‍රහය' සහ 'භෙසජ්ජ මංජුසාවේ' සිංහල සන්නය වැනි ශාස්ත්‍රීය සේවාවටත් ප්‍රසාදයක් වශයෙනි. ඒවා ප්‍රතික්ෂේප කළ උන් වහන්සේ තම ලබන හොඳම පඬුර යළි බෞද්ධ ප්‍රබෝධය රටේ ඇති කිරීම බව රජුට සැල කළහ. ඒ රජුගේත් ඉන් පසු අබිසෙස් ලත් ශ්‍රී විජය රාජසිංහ රජුගේත් අවසානය වන තුරු ඉටු කළ නොහැකි වූ ඉල්ලීම සපිරීමට ඊළඟට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු කටයුතු යෙදීය. ඒ සඳහා සුදුසු දූත පිරිසක්, තාර්කා නැවෙන්, රාජකීය පුද පඬුරුද සහිතව අයෝධ්‍යාවට පිටත් කෙරිණි. එයින් තුටුපහටු වූ සියම් රජු උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස නැවකින් සිංහලද්වීපයට එවීය.

 

සියමෙන් පිටත් වූ නෞකාද්වයට ලැබුණු සුළං අත අනුව උපාලි තෙරණුන් වැඩි නැව කොළඹ වරායටත්, අපේ පිරිස රැගෙන ආපසු මවුබිම බලා යාත්‍රා කළ තාර්කා නැව ත්‍රිකුණාමල වරායටත් සේන්දු වූයේ දින කිහිපයකට පසුවය‍. දෙපිරිසම මහත් ගෞරව සම්ප්‍රයුක්තව පිළිගෙන, මහත් හරසර දක්වා මහනුවර මල්වතු මහා විහාරයේ විශේෂ ලැගුම්ගෙය වෙත වැඩමවන ලදී. ඉන් සත් මසක් පමණ ගත වූ පසු සියම් රාජකීය ධර්මදූත පිරිසේ නායක උපාලි මහ තෙරුන් වහන්සේ විසින් මල්වතු මහ විහාර මධ්‍යයේ පිහිටි ධර්මශාලාව විශුංගාම සීමාව ලෙස සම්මත කරවා උපසම්පදා කර්මය පැවැත්වීමට දින යොදාගන්නා ලදී.

‘වේහැල්ලේ ශාසන ඉතිහාසය’ නමින් රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයේ සඳහන් පරිදි ‘ශ්‍රී බුද්ධ වර්ෂ 2296 හෙවත් 1753 ඇසළ පුර පසළොස්වක දින නාග නමැති සියම් ඇමැතියා පෙළහර සහිත යානාවකින් එකී සීමා මාලකය වෙත පමුණුවා අතිරේක දශවර්ගික මහා සංඝ සභාව ඉදිරියෙහි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වය හා බ්‍රහ්ම ජෝති - මහා පුඤ්ඤ යන මහ තෙරවරුන්ගේ කර්මාචාර්යයත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදී’. මෙය සිදු වූයේ දෙවැනි විමලධර්මසූරිය රජු රක්ඛංග දේශයෙන් උපසම්පදාව වැඩමවීමෙන් වසර පනස් හයකට පසුවය.

ඉන් පසු මල්වතු මහා විහාර සහ අස්ගිරි විහාර වාසී ප්‍රධාන සාමණේරවරුන්ද උපසම්පදා කර්මයට භාජනය කරවන ලදි. ශාසනික කටයුතු නිම වූ පසු මල්වතු මහා විහාරස්ථ සීමාමාලකයේ වැඩ හුන් මහා සංඝරත්නය බැහැදැකීමට කීර්ති ශ්‍රී රාජසිංහ රාජෝත්තමයාණන් වහන්සේ සර්වාභරණයෙන් සැරසී රාජකීය පෙරහරින් සැපත් වූහ. නරේන්ද්‍රයන් අතින් විජිනිපත් පූජා කිරීම මීළඟ අංගයයි. එහිදී මුලින්ම පිරිනැමෙන්නේ සංඝරාජ පදවියයි. ඒ විජිනිපත වැලිවිට සරණංකර හිමියන් වෙත මහත් ගෞරව පුරස්සරව රජු විසින් පූජා කරන ලදි. ඊළඟට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත තෙරුණ් හට පෝය මළු විහාරස්ථ නායක පදවියත්, උරුලෑවත්තේ ධම්මසිද්ධි තෙරුන් හට අස්ගිරි විහාරස්ථ නායක පදවියත් ඒ ගම්භීර මොහොතේ පුද කෙරිණි. ඒ අනුව ශ්‍යාමෝපාලි වංශය මෙරට බිහි විය.

ඉන් පසු හතළිස් දෙනමක් ගණින්නාන්සේලා දකුණ සහ සපරගමුව නියෝජනය කරමින් සහභාගි කරවා තවත් උපසම්පදා කර්මයක් සංවිධානය කිරීමට වේහැල්ලේ ධම්මදින්න හිමියෝ සමත් වූහ. මේ වන විටත් සිරි සමනොළගල විහාර පදවිය සහ ඊට අඩුත්තු ගොඩ මඩ විල් ඉම් ඇතුළු සියල්ල බාරව සිටි වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ ඒ සේවය කෙරෙහි පැහැදුණු රජ වැලිවිට සරණංකර සඟරජ සමඟ එකඟත්වයකට එළැඹ කුට්ටාපිටිය විහාරගම සහිත ශ්‍රීපාස්ථාන විහාරයත් දකුණු-සපරගමු දෙදිසාව සහිත පහතරට නායක පදවියත් එයට අයත් නිල වටාපත සහ ඇත් දළ ජෝඩුව වේහැල්ලේ ධම්මදින්න හිමියන්ට පූජා කළේය.

මේ ඇත්දළ ජෝඩුවේ කතාව තවත් එකකි. අම්මඩුව කුඩා කතරගම දේවාලයේ වත්මන් බස්නායක නිලමේවරයා වන උදය ඇමටියගොඩ බණ්ඩාර මහතා විසින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කළ ‘සපරගමු වංශකතාවේ’ ඉතිහාසයෙන් සාක්ෂි ගෙනහැර දක්වන පරිදි ‘සෙංකඩගල ශ්‍රී වර්ධන නම් නගරයේ රජ පැමිණි වීර වික්‍රම හෙවත් වික්‍රමබාහු රජුගෙන් පසු ශ්‍රී පාදස්ථානය බෞද්ධයන්ට අහිමි විය.’ සෙංකඩගල රාජධානිය වෙනස් වී රට ව්‍යාකූලත්වයට පත් වූ අතර පළමුවැනි සීතාවක රාජසිංහ නමින් 1581දී රජ පැමිණි මායාදුන්නේ පුත් ටිකිරි කුමරු පෘතුගීසීන් දුන් ලණු ගිලීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රභූන් ඝාතනය කළේය. එයින් ඇති වූ අර්බුදකාරි සමයේ ඉන්දියාවෙන් පැමිණි අරිට්ඨකී වෙණ්ඩු පෙරුමාල් නම් හින්දු පූජකයා ‘බොරදියේ මසුන් බාන්නට’ සමත් විය. පළමු රාජසිංහ රජු ශිවාගම වැලඳ භික්ෂූන් ඝාතනය කරවා, ශ්‍රීපාදස්ථානයද ආඬි පකීර්ලාට පවරා දුන්නේය. සිරිපතුල ‘ශිවනොලි පාදම්’ වූයේ එසේය. කූට ලෙස උදුරාගත් දා සිට 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්වරුන් විසින් බොහෝ වටිනා දෑ පසුව පැමිණි රජවරුන්ට සතුටු පඬුරු පාක්කුඩම් ලෙස පුදනු ලැබීය. ඒ තවදුරටත් සමන්තකූටයේ කොටසක් හෝ තමන් සතු කරගැනීමේ අරමුණිනි. ඔවුන් කිර්ති ශ්‍රී රාජසිංහ රජුට තෑගි කරන ලද අඩි හතකුත් අඟල් තුනක් දිගැති දැවැන්ත ඇත්දළ යුගල ‘ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදාස් දෙසිය අනූහතරට පත් සඳ ශ්‍රීපාදස්ථානයට පූජා වන ඇත්දළ ජෝඩුව’ ලෙස කොටා සිරිපා සලකුණද සහිතව වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ට බාර කරන ලදි. කරතොට හිමියන් අල්ලාගෙන යෑමට පැමිණි දොඩම්වෙල නිලමේ මෙය සතුරු දේපළක් ලෙස නම් කළේය.

මතු සබැඳේ...

[email protected]

Comments