
ලෝකය කවර දෙයකින් වැසී පවතින්නේදැයි දෙවියකු විසින් අසන ලද පැනයට බුදුරදුන් දුන් පිළිතුර වූයේ අවිද්‍යාවෙන් ලෝකය වැසී පවත්නා බව ය (කෙනස්සු නිවුතො ලොකො... අවිජ්ජාය නිවුතො ලොකො). බොහෝ විට සිදුවනුයේ අවිද්‍යාවෙන් යුක්තව කිසිවක් නොදැන ඉපදුන මිනිසුන් අවිද්‍යාවෙන් යුක්තව ම මිය පරලොව යෑම ය. මෙසේ ගෙවී ගිය කාලය අසීමිත ය. එය වර්ෂ ගණනින් තබා කල්ප ගණනින් වුවද දැක්විය නොහැකිය. කෙතරම් කාලයක් ඉක්ම ගිය ද සත්ත්වයාට ඒ පිළිබඳ වැටහීමක් නැත. සියල්ල අවිද්‍යාවෙන් වැසී ඇති හෙයින් සංසාර චක්‍රයේ නියම ස්වභාවය දත නොහැකි ය. එක ම ස්වභාවය නැවත නැවත සිදු වෙමින් පවතී. එක් ජීවිතයක් නිමා වී නැවත උපදින විට පෙර ජීවිතය පිළිබඳ මතකයක් නොමැති හෙයින් මේ ජීවිතය ඉතා අලුත් සහ වටිනා ජීවිතයක් බව වැටහී මින් පෙර කිසිදා තමා නුදුටු ලෝකයක හැසිරෙන ආකාරයෙන් කටයුතු කරයි. මුළා බව මේ සියල්ලට හේතුව යි. ගද්දූලබද්ධ සූත්‍රය මේ සඳහා නිදසුන් සපය යි. කණුවක ගැටගැසූ සුනඛයා සෑම විට ම කැරකෙන්නේ කණුව වටා ය. ලගින තාක් ලගින්නේ එම ස්ථානයේම ය. ඔහුට එම සීමාව ඉක්මවා යා නොහැකිව එක තැන වාසය කර යි. සසර ස්වභාවය ම එවැන්නකි. කාම, රූප, අරූප යන භවත්‍රයේ සත්ත්වයා උපදී. සුද්ධාවාස භූමි හැර අනෙක් සියලු භූමිවල මේ සියලු සත්ත්වයෝ ම නැවත නැවත උපදිති. මේ මනුෂ්‍ය ලෝකයේ පමණක් මහ පොළවේ වැලි කැට ප්‍රමාණයට වඩා දස දහස් කෝටි ප්‍රකෝටි වාරයකට අධිකව ඉපදී ඇත. අනෙක් භවයන් තුළ ද මේ ආකාරයෙන් ම ඉපදී ඇත. එක් ස්ථානයක කොතෙක් වර ඉපදී ඇති ද යන්න දත නොහැකි ය. එය අප්‍රමාණය වශයෙන් පමණක් කිව හැකි ය. ඉපදුණු සෑම වරෙක ම සිදු කොට ඇත්තේ එක හා සමාන ක්‍රියාකාරකම් ය. එම නිසා එයට අදාළ ව ඒ ඒ භවයන්හි ප්‍රතිසන්ධිය ලබයි. නුවණින් කල්පනා කළහොත් එහි ගතයුත්තක් නැත.
මුළාව
අවිද්‍යාව ප්‍රධාන කොටගත් අනෙකුත් ක්ලේශ ධර්මයන් විසින් මෙහෙයවනු ලබන මේ ජීවිතය නැවත නැවත මේ භවයන්හි බැඳ තබ යි. ඉන් නික්මෙන්නට අදහසක් හෝ පහළ නොවෙයි. දුක් පීඩා පැමිණෙන කල්හි ඊළඟ භවයෙහි හෝ සැපවත් භවයක් ලබන්නෙමියි යන බලාපොරොත්තුව ඇති කොටගෙන නැවතත් සසරම ප්‍රාර්ථනා කර යි. සැප ලැබෙන විට එහි මුළා බවට පැමිණ අකුසල් සිදු කොට දුගති ලෝකයන් හි ප්‍රතිසන්ධිය ලබ යි. එම ජීවිතයන් තුළ ද මුළා බව හේතුවෙන් එම ජීවිතයට ඇලූම් කොට නැවත නැවත භවය ම සකස් කොට ගනී. දුප්පත්ව උපන් කල්හි සැපවත් ලෝකයන්හි ඉපදීම පිණිස කටයුතු සම්පාදනය කරනු ලබ යි. මේ අයුරින් ගෙවී ගිය ජීවිත අප්‍රමාණ ය. එහෙත් තව ම එම ගමන අවසන් වී නැත. සත්ත්වයා සිතන ආකාරයට ඔවුනට ඒ ඒ ජීවිත තුළ සිදු කළ යුතු කටයුතු අප්‍රමාණ ය. කොතෙක් සිදු කළ ද එය අවසන් නොවේ. එක ම ක්‍රියාවලිය ඉපදුණු භවයන් තුළ දස දහස් වාරයක් සිදු කොට ඇත. කණුවේ ගැටගැසූ සුනඛයා සේ සසරේ භවයන් තුළ සත්ත්වයා මුළා බවට පත්ව අතරමං වී සිටී. ගැටලුව වන්නේ තමා සසරේ මුළා වී ඇති බව නොවැටහීම ය. අවිද්‍යාව නම් මෙය යි. (චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීම අවිද්‍යාව ලෙස සම්මාදිට්ඨි සූත්‍රයේ දක්වා ඇත. එම කරුණු පසුව විග්‍රහ කෙරේ.) සංසාරය චක්‍රයක් වශයෙන් දක්වන්නේ එහෙයිනි. චක්‍රයේ පසු කළ කොටස් නැවතත් සම්මුඛ වේ. සසර ද එවැන්නකි. අප එක ම ස්ථානය පසු කොට දස දහස් වාරයක් ගමන් කොට ඇත. නමුත් අවිද්‍යාවෙන් සත්‍ය වසන හෙයින් එහි යථාර්ථය නොවැටහේ. තමා මෙයට පූර්වයෙන් එම ස්ථානයේ නතර වී විවිධ කටයුතු කොට එය පසුකොට ගොස් ඇති බව කිසිදා සිහිපත් නොවේ. මනුෂ්‍ය ලෝකය තුළ ම කෝටි ප්‍රකෝටි වාරයක් මේ ජීවිතයට පූර්වයෙන් ඉප දී සිටිය ද අප මේ ජීවිතය තුළ මේ ජීවත් වන්නේ පෙර කිසිදා මෙවන් ලෝකයක ජීවත් වී නොසිටිය ආකාරයෙනි.
සසර
අප පූර්වයෙහි මෙහි උපන් බව මදකට හෝ සිහිපත් වන්නේ නොවේ. කරුණු මෙසේ හෙයින් අප අපගේ චින්තනය හසුරුවන්නේ මේ ආකාරයට ම නම් කිසිදා සසර ගමන නිමා නොවන බව සහ එහි ජීවත් වීමෙන් තෘප්තියකට නොපැමිණෙන බව දත යුතු ය. සසර දීර්ඝ යැයි පැවසුව ද එහි දිග හෝ කොට බවක් නොමැත. අපගේ චින්තනය අනුව එය එසේ වැටහෙයි. මෙය තේරුම් ගැනීමට අපහසු ඉතා සියුම් කරුණකි. මේ සඳහා නිදසුන් ධම්මපදයෙන් අප්‍රමාණව සොයාගත හැක. එයින් එකක් පමණක් දක්වනු ලැබේ.
දීඝා ජාගරතො රත්ති
දීඝං සන්තස්ස යොජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං
(නොනිදන්නාට රැය දිගු ය. ගමන් විඩා ඇත්තාට යොදුන දිගු ය. සදහම් නොදත් අනුවණයනට සසර දිගු ය).
(ඛුද්දක නිකාය, ධම්මපද පාළි, බාල වර්ගය, 38 පිටු.)
මෙහි දක්වන කරුණු නුවණින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු ය. ඉතා සියුම් හා ගැඹුරු කරුණක් මෙම ගාථාවෙන් විද්‍යමාන වේ. අවිද්‍යාවෙන් අප කෙතරම් මුළා කොට ඇති ද යන්න ඉන් වටහා ගත හැකි ය. මෙම ගාථාවේ පළමු පදයන් මගින් නිදසුන් දෙකක් සපයා ඇත. එම නිදසුන් පසුව දක්වන පදයෙහි අර්ථය වටහා ගැනීම පහසු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇත. දීඝා ජාගරතො රත්ති යනුවෙන් දක්වා ඇත්තේ නොනිදන තැනැත්තාට රාත්‍රිය දිගු ය වශයෙනි. මින් පළමුව දත යුත්තේ රාත්‍රියේ කාල ප්‍රමාණය එක හා සමාන බවකි. එනමුදු නොනිදන තැනැත්තාට වැටහෙනුයේ රාත්‍රිය ඉතා දීර්ඝ බවකි. රාත්‍රියෙහි දික් හෝ කොට බවක් නොමැත. එහෙත් නොනිදා සිටින විට එය ඉතා දිගු රාත්‍රියක් වශයෙන් වැටහේ. එය නින්ද නොයෑම නිසා සිතට දැනෙන අදහසක් පමණි. එසේ ම යොදුන නම් එක ම දුර ප්‍රමාණයකි. එහෙත් ගමන් විඩා ඇති පුද්ගලයාට යොදුන මහත් දුරක් වශයෙන් වැටහේ. මෙයින් ද අවබෝධ කළ යුත්තේ යොදුන නම් දුර ප්‍රමාණය එක හා සමාන නමුදු විඩාව ඇති කල්හි එය ඉතා දීර්ඝ ආකාරයෙන් වැටහීම ය. මෙහි දක්වන සියුම් කරුණ නුවණින් ම දත යුතු ය. ඉහත නිදසුන් දක්වා පසුව සසර ස්වභාවය දක්වා ඇත. සසර දික් වන්නේ කවර පුද්ගලයන්ට ද? එනම් ධර්මය නොදත් අනුවණ පුද්ගලයන්ට ය. රාත්‍රියෙහි දිග හෝ කොට බවක් නොමැත්තා සේ ද, යොදුන නම් දුර ප්‍රමාණයේ දිග හෝ කොට බවක් නොමැත්තා සේ ද සසර තුළ ද දිග හෝ කොට බවක් නොමැත. ධර්මය නොදැන එකම තැන නැවත නැවත ගමන් කිරීමක් පවතී. ධර්මය නොදත් පුද්ගලයාට වැටහෙනුයේ සසර යනු දීර්ඝ ස්වභාවයක් වශයෙනි. එය සත්‍යය වශයෙන් පවතින්නක් නොව සිතට දැනෙන දෙයකි. නමුත් පැවසිය හැකි එක ම දෙය නම් සසර යන ස්වභාවය තුළ දිගු හෝ කොට බවක් නොමැති අතර එක ම තැන නැවත නැවත ගමන් කරමින් සිටින බව පමණක් ය.
මාරයා
සසර යනු මෙසේ ශූන්‍යය ස්වභාවයකින් යුත්තකි. ලෝකය ශූන්‍ය දෙයක් වශයෙන් දැකීම සඳහා බුදුරදුන් අනුශාසනා කළේ එහෙයිනි. ඒ බව සුත්ත නිපාතයේ මෝඝරාජ සූත්‍රයෙන් දත හැකි ය.
සුඤ්ඤතො ලොකං අවෙක්‍ඛස්සු මොඝරාජ සදා සතො
අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා
එවං ලොකං අවෙක්‍ඛන්තං මච්චුරාජා න පස්සති
(සුත්ත නිපාතය, පාරායන වග්ගය, මොඝරාජ සූත්‍රය, 344 පිටු.)
(මොඝරාජය හැමකල්හි සිහි ඇතිව සක්කාය දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය හෙයින් බලව. මේ ආකාරයෙන් මාරයා ඉක්ම වන්නේ ය. මෙසෙයින් ලොව දක්නහු මෘත්‍යුරාජ තෙම නොදක්නේ ය.)
සැම කල්හි මනා සිහියෙන් යුක්තව ආත්ම දෘෂ්ටිය දුරු කොට ලෝකය ශූන්‍ය ලෙස දක්නට මෙහි දී උපදෙස් දී ඇත. නුවණින් දක්නා කල්හි සැබැවින් ම ලෝකය යනු ශූන්‍ය දෙයකි. මෙහි ශූන්‍යය යනු කිසිවක් නැති හිස් දෙයක් නොවන බව දත යුතු ය. බුදුරදුන් විසින් නොයෙක් වර ලෝක ස්වභාවය පෙන්වා දී ඇත. නිදර්ශනයක් ලෙස කාමය පිළිබඳ දැක්විය හැක. කාමයේ ආස්වාදයක් පවතින බවත් එහි ආස්වාදයක් නොමැති නම් සත්ත්වයා එහි නොඇලෙන බව දක්වා ඇත. ආස්වාදයක් තිබෙන හෙයින් ම එහි ඇලූම් කර යි. එසේ ම කාමයේ ආදීනවයක් පවත්නා බව ද පෙන්වා දෙයි. ආදීනවයන් පවතින හෙයින් ම ඒ තුළ කලකිරෙන ආකාරය ද දක්වයි. කරුණු මෙසේ හෙයින් ඉන් නිස්සරණය ලැබීම පිළිබඳ දක්වයි. ලෝකය ශූන්‍ය වශයෙන් දැකීමට මනා නුවණක් පැවතිය යුතු ය. එය අවබෝධයෙන් හා මහත් ප්‍රඥාවෙන් යුක්තව සිදු කරන්නකි. කිසිවක් නොමැති බව ශූන්‍ය ලෙස නොගත යුතු ය. සසර ස්වභාවය මනා කොට දකිමින් ම එය තේරුම් ගත යුතු ය.
බැඳීම්
සසර තුළ ඔවුනොවුනට හමු නොවුණු සත්ත්වයෙක් නොමැත. අප එකිනෙකා නොයෙක් භවයන් තුළ විවිධ ස්වරූපයන්ගෙන් හමු වී ඇත. එහෙත් අපට ඒ බවක් මතක නැත. ඒත් ප්‍රබල සම්බන්ධතා ගොඩනඟාගෙන තිබූණේ නම් ඔවුන් නැවත නැවත හමුවීම ප්‍රබල ලෙස දැනේ. එය යහපත් ලෙස හෝ අයහපත් ලෙස සිදු විය හැකිය. සිද්ධාර්ථ කුමාරු සහ යසෝදරාවන් සසරේ බොහෝ අවස්ථාවන් තුළ එකිනෙකාට හමු වී තිබේ. ඒ අතර ම දෙව්දත් තෙරුන් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා ද නොයෙක් වර හමු වී ඇත. අනෙක් අය ද ඒ ඒ ස්වභාවයන්ගෙන් අවස්ථානුරූපීව සම්මුඛ වී ඇත. මෙය නිදසුනක් පමණි. අපගේ ජීවිත තුළ ද අප නොදැනගත්ත ද යම් යම් පුද්ගලයින් අපගේ ජීවිතවලට සම්මුඛ වනුයේ යම් යම් සබඳතා මත ය. දෙමාපියන්, දරුවන්, ස්වාමි භාර්යා, නෑදැයන්, ගුරුවරුන්, මිත්‍රයන්, සතුරන් ආදී වශයෙන් එම සසර සම්බන්ධතාවයන් මත පුද්ගලයන් හමු වේ. එහෙත් අපගේ නුවණ මදකම සහ සසරේ පවත්නා සියුම් ස්වභාවය අනුව ඒ ඒ පුද්ගලයින් අපගේ ජීවිතවලට හමු වූයේ කිනම් සම්බන්ධයක් මත ද යන්න අවබෝධ නොවේ. එය බුදුරදුන්ට පමණක් මනා කොට පැවසිය හැකිය. අන් අයට එම කරුණු අවිෂය බව දත යුතු ය. ජීවිතයේ හා සසරේ ස්වභාවය පැවසීම ඉතා දීර්ඝව සිදු කළ යුත්තකි. දක්වන ලද කරුණු අනුසාරයෙන් තව දුරටත් නුවණ මෙහෙයවා මෙම කරුණු අවබෝධ කිරීමට උත්සහ ගත යුතු ය. එවිට සසර හා ජීවිතයේ ස්වභාවය යම් තරමකින් හෝ වටහා ගැනීමට හැකි වනු ඇත.
ලබන සතියේ... ලෝකය තේරුම් ගැනීම සඳහා චින්තනය කෙසේ හැසිරවිය යුතු ද?
ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී) බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී