
මොරගහකන්ද නිල් දියවර මේ මිහිමඬලේ අනන්ත යහපත උදෙසා මුදා හැරෙන මෙම මංගල මොහොත ඵෙතිහාසික, යුග ප්‍රවර්තක, විජයග්‍රාහී අභිමානවත් අවස්ථාවක් පමණක් නොව මගේ දේශයේ අතීත ශ්‍රී විභූතියේ ආශ්චර්ය, සාඩම්බරය පිළිබඳ අප්‍රමාණ ධාරණවත් අගත, අනගත සියලු දනන්ගේ අධ්‍යාත්මය පුබුදුවමින් නැගෙන සුරම්‍ය වින්දනයක් සේ මම දකින්නෙමි. වැවෙන් උපන් සුපසන් සංස්කෘතික පරමාධිපත්‍යයක යශෝරාවය ඒ ඉතිතහාසයෙන් මට මෙන්ම ඔබටද ඇසෙන්නේ ය. හෙළ දෙරණ පෙරදිග ධාන්‍යාගාරය සේ ජගත් වන්දනාවට නිමිත්තක් කළ වීර දූ පුතුන්ගේ නිජබිමක ශාන්තිය අපේ සනාතන උරුමයක් බව ඔබ දන්නෙහිය. වසර දෙදහස් හය සියයකට නොඅඩු ස්වතන්ත්‍ර භාවයේත්, ස්වෛරීභාවයේත් ප්‍රහර්ෂය දැනෙන මොහොතකි මේ. සොබා දහමේ චමත්කාරය, සෞන්දර්ය විචිත්‍රත්වය මෙන්ම එහි අඳුරු පීඩාවන්ද අප්‍රතිහත ධෛර්යෙන් හා උට්ඨාන වීර්යෙන් විඳ දරා ගත් මගේ රජරට නෑයන්ට මෙන්ම සියලු ගම් නගර වාසී සදාදර පුරවැසියන්ටද උද්දාමයට පත්විය හැකි මොරගහකන්ද ජලාභිනන්දන ව්‍යාපෘතිය හෙට ලියැවෙන ඉතිහාසයට එක් කරන නිමේෂය මෙය බව ඔබ දන්නෙහිය. වැව් බැඳීමෙන් දිය සැදීමෙන් ලෝ දනන් විස්මයට පත් කළ ඔවුන්ගේ ගෞරවයට, මානයට, අධ්‍යාත්මීකරණයට, දේවත්වාරෝපණයට නිමිති වූ ස්වර්ණ භූමියක මෙවන් ජන මෙහෙවරක හිමිකාරත්වය භාරකාරත්වය උර දරා ගත් රාජ්‍ය නායකයකුට වඩා රජරට පොළොවෙන් උපන් ගොවි පුතෙකු ලෙස මට දැනෙන්නේ පරමා නන්දයක් බව නිහතමානීව සඳහන් කිරීමට මට ඉඩ දුන මැනවි
හැරවුම් ලක්ෂ්‍යයක්
දුරුතු මහේ අට වැනිදා හෙවත් ජනවාරි 8 වැනිදා යනු මගේ පෞද්ගලික විජයග්‍රහණය හා බැඳුණු අපූර්ව සංවේදී අත්දැකීම් මාලාවක පිළිබිඹුවක් මෙන්ම මගේ මාතෘ භූමියට සනාතන ජල නිධානයක ශාන්තිය හිමි වන නව යුගයක ඇරඹුමක්, හැරවුම් ලක්ෂ්‍යයක් ලෙසද මම හඳුන්වමි. මේ මොරගහකන්ද ජලාශයේ ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකින් සමන්විත යෝධ ව්‍යාපෘතියක අග්‍ර ඵලයකි. ඒ වූකලී අප සතු වාරි වික්‍රමයේ විස්මයක් ලෙස ඉතිහාසයට එක් වූ පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක් ඉක්මවන්නා වු අනුපමේය මහ ජල ප්‍රවාහයක් වැන්න. එමතු නොව වයඹ, උතුරු මැද, නැගෙනහිර මෙන්ම මධ්‍යම පළාතෙහි වූ හේකටර්යාර් අසූ දෙදහසකට නොඅඩු ගම් බිම් සනහාලන එගම් වැසි දනන් ගිම් හිමි නිවාලන සීත ගඟුලක් ලෙසද මේ දියවර ඇදී යනු ඇත. එදා මෙදාතුර වැස්ස වලාහක දෙවියන්ට ළසෝ දුක කියමින් අහසට දෑත් නැගූ මගේ නෑයන් සුවපත් කරවන සෙත් පිරිතක් සේ මේ දියවර ගලා බසින අයුරු මම අද මගේ දැසින්ම දකින්නෙමි. නිල්ල නිලන මිහිකත සඳවතින් හිනැහෙන සොඳුරු රැයක විසිතුරු පෙළහරක් සේ ගලා බසින මේ සුනිල දියෙන් ජාතියේ අධ්‍යාත්මය සුවපත් වනු දකින මගේ දෑස් තුටු කඳුළින් පිරී යනු මට දැනෙයි.
සත්තකින්ම ගමන් ගමට, දොරින් දොරට සුබ ප්‍රාර්ථනා රැගෙන ඇදෙන දේව දූතයකු මෙන් මේ දියවර නොසිඳී ගලා බසිනු නිසැකය. දෙදහස් හත වසරේ දුරුතු මහේ විසිපස් වැනිදා මොරගහකන්ද ජල ව්‍යාපෘතියට මුල්ගල තබා මා පෙරළා පැමිණියේ අප්‍රමාණ සොම්නසකින් වුවද කිසියම් අදිසි බලවේගයකින් ඒ සතුට උදුරා ගත් ආකාරයද මෙවේලේ මට සිහිපත් වෙයි. අර්නස්ට් හෙමින් වේ කීවාක් මෙන් පුද්ගලයකු විනාශ කළ හැකි වුවද ඔහු සතු අධිෂ්ඨානය හා අපේක්ෂා විනාශ කළ නොහැකි බව ඉඳුරා දත් මම මගේ වචීපරම දේශපාලන මිතුරන් සමග නොගැටී උපේක්ෂාවෙන් යන ගමනක නිමග්න වූයෙමි. මම මගේ සිහිනයෙන් ඈත් නොවීමි. නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගණනක් මුළුල්ලේ අඹන් ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය හිනැහෙන අයුරු ඒ සිහින විජිතයේදී මම අප්‍රමාණව දිටිමි. එදා මගේ පිළිමලුන් විසින් උදුරා ගන්නා ලද්දේ මගේ සිහිනය නොව මගේ රජරට නෑයන්ගේ සනාතන ප්‍රාර්ථනාව බව මම නිරන්තරවම මෙනෙහි කළෙමි. සත්‍යය හා යුක්තිය පරාජය කළ නොහැකි බවද මම දැඩිව විශ්වාස කළෙමි. මගේ ප්‍රයත්නය විය යුත්තේ කටයුත්ත කිරීම විනා පසු බැසීම නොවේ යන භගවත් ගීතා පාඨය මට ශක්තියක් හා ජීවයක් එක් කළ බව සහතිකය.
දේශපාලනය යනු වචනයේ පරිසමාප්ත අරුතින්ම ජනතාව උදෙසා ජනතාව වෙනුවෙන් අවංකව, ලාභ අපේක්ෂාවෙන් තොරව කළයුතු කැපවීමක් බව මම නිබඳව ඇදහිමි. නිල, බල, ධන, යස ඉසුරු පොරයට වැටුණු දේශපාලනය ඒ උතුම් මාවත හැර දමා ගිය සාහසික ප්‍රචණ්ඩ විලාසය කොබඳුදැයි මා විග්‍රහ කළ යුතු නැත. මම මගේ ජීවිතය පරදුවට තබමින් එදා නැගී සිටියේ ඒ දේශපාලන පරාභවයෙන් මගේ දේශය මුදා ගැනීමේ සද් චේතනාවෙන් බව සඳහන් කිරීමට ඉඩ දෙන්න. යුක්තිය හා ධර්මය රජයන දේශයක් උදෙසා වූ පොදු ජන ප්‍රාර්ථනා පියුම විකසිත කිරීමේ නියමු මෙහෙවර දෛවය මා වෙත පවරා ඇතැයි මම එතෙක් නොදැන සිටියෙමි. එහෙත් අභීතව, අදීනව, අකම්පිතව මම ඒ ජනතා අපේක්ෂාව විජයග්‍රහණය කරවීමට කැපවීමි. 2015 ජනවාරි 08 වැනිදා ඒ විජයග්‍රහණයේ මියුරු පල මගේ ජනතාවට අත් කර ගත හැකි විය. මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමට හැකිවීමද ඒ විජයග්‍රහණයේම යථාර්ථවාදී පලයක් සේ මම කල්පනා කරමි.
පතිරූප දේශයක්
මානව ශිෂ්ටාචාරයේ විස්මිත විජයග්‍රහණයන් පිළිබඳ උරුමයන්හි සනාතන සිහිවටන සේ අදත් කෘතවේදී ජනතාව විසින් වන්දනා කරනු ලබන අනුරාධපුර, පොලොන්නරු යුගවල විශිෂ්ටත්වය මා ඔබට විග්‍රහ කළ යුතු නැත. ඒ අසිරිමත් නගරවල කොතැන ගියත් ඇස ගැටෙන සෙල් පිලිම, ගල් කැටයම්, වැව් දාගැබ්, සඳකඩ පහන්, මහල් ප්‍රාසාද මෙන්ම වෙනත් ඇදහිලි හා විශ්වාස පිළිබඳ සංකේතවලින්ද සියවස් ගණනක් මුළුල්ලේ අපි සුපෝෂණය වීමු. අපගේ සංස්කෘතික ආධ්‍යාත්මයේ ආඪ්‍යත්වය ඒ ශිෂ්ටාචාරයේ උල්පත බව ඔබ දන්නෙහිය. කලා ශිල්ප මහිමයට නොදෙවෙනි සම්භාව්‍ය ගද්‍ය පද්‍ය නිධානයන්හි උපතද ඒ යුග හා අවියෝජනීය ලෙස බැඳී තිබෙන්නේය. ජාති, වර්ග භේදය දුරලමින් පත්තිනි දෙවියන් පුදන ඒ ආගමික භක්තිය අපට අදත් අප්‍රමාණ ශාන්තියක්මැයි.
මගේ අධිෂ්ඨානය එවන් පතිරූප දේශයක් ඔබට ප්‍රතිනිර්මාණය කිරීමය. සොබා දහමේ සියලු සම්පත් මේ මිහිමත උපන් සියලු මිනිසුන්ටද සියලු සතුන්ටද එක සේ හිමි උරුමයක් බව මා උගත්තේ මගේම රජ රට නෑයන්ගෙනි.
ජාතික උරුමයක් බවට පත් කෙරෙන මේ මොරගහකන්ද ජල ව්‍යාපෘතිය දේශයේ අභිමානය පිළිබඳ නූතන වංශ කථාවේ සාඩම්බර ප්‍රකාශනයක් වැන්න. එබඳු ප්‍රදානයක් සඳහා මවිසින් උසුලන දුක්ඛසෙය්‍යා, දුර්භෝජන අද මට දැනෙන්නේ මල් වැස්සක් ලෙසය. මේ විස්මිත ජල ව්‍යාපෘතියෙහි සියලු සැලසුම් ප්‍රතිලාභ පිළිබඳ වෙනම සඳහන් කළ යුතුය. එහෙත් ඒ පිළිබඳව සැකෙවින් හෝ කිසිවක් සිහි නොකර මට මගේ මෙම සටහන අවසන් කළ නොහැක්කේය. මෙරටේ ඉදිවූ අවසන් වාරි ව්‍යාපෘතිය මෙම මොරගහකන්ද ව්‍යාපෘතියයි. මේ ජන ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් කෝටි දහ අට දහස ඉක්මවා ඇත. පළාත් තුනක වෙසෙන දහස් ගණන් ගොවි ජනතාවගේ පවුල්වල අපේක්ෂාවන් නියඟයට වියළී විනාශ වී යෑමට යළිත් කිසි දිනක ඉඩක් නොතබන මහ බලයක් සේ මේ ජල ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. දෙදහස් වසරක් ඉක්වමූ වාරි තාක්ෂණයේ සියලු විජයග්‍රහණයන් පිරිසිඳ දත් අපගේ වාරි තාක්ෂණය නූතන තාක්ෂණය සමග මුසු කෙරෙමින් ගොඩ නැගුනු මෙම ව්‍යාපෘතිය මානව ශිෂ්ටාචාරයේම විස්මය ජගත් ඉතිහාසයට එක් කරන්නකි. එකිනෙකට වෙනස් ශිල්පීය විධික්‍රම උපයෝගී කර ගනිමින් නිම වූ වේලි තුනකින් මෙම ජලාශය සමන්විත වෙයි. ගලින් පිරවූ වේල්ලක්, කොන්ක්‍රීට්වලින් පිරවූ වේල්ලක් හා පස්වලින් පිරවූ වේල්ලක් ලෙස ඒ වේලි තුන නිර්මාණය වී ඇත. ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලිබලයක්ද මෙයින් එක් වනු ඇත. මෙම ජලාශය ආශ්‍රිතව වාර්ෂිකව ඇද හැලෙන වර්ෂපතනය ඝණ මීටර් මිලියන අටසියය ඉක්මවන බවත් ඒ මහා ජල කඳ සාගරයට ගලා යනු වැළැක්වීමට මේ ව්‍යාපෘතිය නිසා හැකි වී තිබෙන බවත් වාරි ඉංජිනේරුවෝ අවධාරණය කරති. මේ ජල ව්‍යාපෘතියෙහි ඵලයක් ලෙස තවත් ලොකු කුඩා වැව් දහසකට අධික ප්‍රමාණයක් ජලයෙන් පිරී යනු ඇත. ජෝන් ඩේවි, හෙන්රි පාකර් වැනි ඉංග්‍රීසි ලේඛකයන් විසින්ද සිංහලයාගේ ජලාශ නිර්මාණ ශිල්පය මෙන්ම ‘බිසෝ කොටුව’ නැමැති විශිෂ්ට තාක්ෂණය ගැන සඳහන් කරනු ලැබීම අපට ආඩම්බරයක් බවද මම කල්පනා කරන්නෙමි. අපගේ ආදි මුතුන් මිත්තන්ගේ කාර්මික නිපුණත්වය මෙන්ම ඔවුන්ගේ මිනිස් ශ්‍රමයෙහි අසම සම ජීව ගුණයද විදහා පාන වාරි සංස්කෘතිය සඳහා අද අප විසින් යන්ත්‍ර සූත්‍ර ද භාවිතා කරනු ලබන බව කිව යුතුමය.
මම අවසන් වශයෙන් මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමි. පාරම්පරික වාරි තාක්ෂණ ශිල්පයේ මෙන්ම නූතන කාර්මික තාක්ෂණයේ මනා සුසංයෝගයෙන් නිමවා, දේශයේ සියලු ජන කොටස්වල අභිවෘද්ධියද, සමෘද්ධියද උදෙසා පිදෙන මෙම මොරගහකන්ද ව්‍යාපෘතිය අපගේ නූතන ඉතිහාසයේ නව හැරවුමක් බවට පත්වනු නිසැකය. ඒ ජල රළ මතින් නැගී පවනක් සේ ඇදී යන්නේ රජරට මගේ නෑයන්ගේද කෙතට බතට ගරු කළ මගේ දේශයේ ජනතාවගේද කඳුල සුසුම මුසුවු සොම්නසක නොබිඳුණු ප්‍රාර්ථනාවන් බවද දැක්විය යුතුය. සූරාකෑමට, ආත්ම ලාභයට කීර්ති ප්‍රශංසා, මල්දම්වලට ලොල්වූ දේශපාලනය ආභරණයක් බවට පත් කරගත් රෝගී මානසිකත්වයෙන් මිදෙමින් ඒ දේශපාලනය සාමූහික ආධ්‍යාත්මික ප්‍රකාශනයක් සේද, පරමාදර්ශී ප්‍රතිඥාවක් සේද ප්‍රතිසංස්කරණය කිරීමේ භාරදූර අභියෝගයට උරදුන් මේ රටේ පොදු ජනතාව අතරින්ම මතු වූ ජනතා සේවකයකු ලෙස නිහතමානීව සතුටු වීමට මේ මොරගහකන්ද ජලාශය මගේ ආත්මීය තෘප්තියටද ඉවහල් වනු ඇත.
යශෝරාවය
වැවෙන්, කෙතෙන් පිබිදුනු ආධ්‍යාත්මයක යශෝරාවය ඒ දියවර තුළින් මට ඇසෙන බව යළි යළිත් ඔබට පවසා මම ඉමහත් අස්වැසිල්ලක්ද ශාන්තියක්ද ලබමි. අනුරාධපුර පොලොන්නරු ශිෂ්ටාචාරය සිප ඇදෙන ඒ ජලාශය අබියස අනිමිස ලෝචනයෙන් බලා සිටින්නට මම ප්‍රිය කරමි. මා වැනි කුරා කුහුඹු මිනිසකුගේ අධිෂ්ඨානයේ හා අභිමානයේ ශක්තියද මගේම නෑයන්ගේ ආධ්‍යාත්මයේ රිද්මයද ඒ නිල් දියවර සමග මුසු වී ගලා බසින බව දැනෙන හැඟෙන හැම මොහොතක්ම මට ආඩම්බරයකි. හෙට ලියැවෙන ඉතිහාසයෙන් මට පිරිනැමිය හැකි බුහුමනට වඩා ඔබේ හදවතින් මට පුදන ගෞරවය වඩාත් උතුම් බවද සඳහන් කරමි.
මුඩු බිම් වියළි බිම් නිල් කෙත් බවට හැරේ
වැව් තාවුලේ වන වදුලේ මිහිරි සරේ
සියොතුන් ගයන තුති ගී දෙසවනෙහි පිරේ
මොරගහකන්ද නවයුගයක් ලකුණු කෙරේ
මා ඔබේ,
පොදු ජනසේවක, මෛත්‍රීපාල සිරිසේන
හෘද සංවාදයක් ඇසුරෙන් සකස් කළේ ගාමිණි සුමනසේකර