අනුරපුරයෙන් මතු වූ කුරුටු රූ | සිළුමිණ

අනුරපුරයෙන් මතු වූ කුරුටු රූ

‍අනුරාධපුර ඓතිහාසික ස්මාරක ආශ්‍රිත කුරුටු සටහන් සංකේත වාර්තා කිරීම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය මගින් සිදු කෙරිණ. මේ සඳහා අනුරාධපුර ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ලංකාරාමය යන චෛත්‍යයන්හි සලපතළ මළුවල ගල් පුවරු මත කොටා ඇති කුරුටු සටහන් සංකේත කෙරෙහි අවධානය යොමු විය. ශ්‍රී ලාංකේය ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේදී ඓතිහාසික ස්මාරක ආශ්‍රිත කුරුටු සංකේත කොතෙක් දුරට උපයෝගි කරගත හැකිද යන්න විමසීම මෙහි අපේක්ෂිත අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය විමසීමේදී ක්‍රිස්තු පූර්වයේ සිට ක්‍රමිකව වර්ධනය වෙමින් ආවා වූ ලිඛිත සාක්ෂි මත ගොඩනැගුණු විශ්වසනීය ඉතිහාසයක් තිබේ. ඒ හැරුණු විට පුරාවිද්‍යාඥයන් විසින් ගවේෂණ පර්යේෂණ ආශ්‍රයෙන් ගොඩනැංවූ සත්‍ය වූත් නිවැරදි වූත් ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා දිව යන ඉතිහාසයක්ද තිබේ.

මේ සියල්ල විමසීමෙන් ශ්‍රී ලංකාවේ මානව ජනාවාසයේ ඉපැරණි බව හෝ එහි දිග පළල පිළිබඳ විමසීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. අදින් වසර හය දාහකට එපිට යුගයේ විසූ ප්‍රාග් ඓතිහාසික අතීත මානවයා පවා තමන්ගේ සිතැඟි, තමන් ඇසූ දුටූ දේ, අභිචාර, තමන් අවට පරිසරය, කාලගුණය දේශගුණය හෝ තම අත්දැකීම් සංඥා සංකේත හෝ කුරුටු සිතුවම් ලෙස හෝ සටහන් කර තැබීමට උත්සාහ ගෙන ඇති බව කැණීම් මගින් අනාවරණය කොට ගෙන ඇත. නිශ්චිත අදහස් සහිත නොවූ මේ සංකේත ක්‍රමිකව භාෂාව නිර්මාණය වීමට හේතු වූ බව හඳුනාගෙන තිබේ. එසේ නිර්මාණය කරගත් අක්ෂර මාලාව දෛනික කටයුතු පහසු කරගැනීමටත්, ආර්ථික සමාජ, දේශපාලනික, ‍තොරතුරු වාර්තා කොට තැබීමටත් භාවිත කොට තිබේ. එමෙන්ම සංස්කෘතික හා අභිචාරාත්මක කටයුතුවලදී මේ කේවල හෝ පොකුරු සංකේත ලෙස භාවිත කර ඇත. අක්ෂර හා ලේඛනය හුරු වූ පසුද සංඥා, සංකේත, සිතුවම් මගින් තොරතුරු සටහන් කර තැබීමට ලාංකිකයා අවධානය යොමු කොට ඇත. අභිචාර, පරම්පරා කුලගොත්, නම්, ආගමික සංඥා, වැව් කුඹුරු හෝ භූමිය සඟසතු කිරීමේදී එය වාර්තා කිරීමට මෙසේ සංකේත හා සංඥා භාවිත කොට ඇත. එමගින් බොහෝ දුරට සිදු කර ඇත්තේ ජන සමාජය පණිවිඩ ලබා දීමයි.

අතීත සමාජයේ වැසියා ඒ සංකේත නිවැරදිව හඳුනාගත්තද වත්මන් ජන සමාජය එම සංකේත නිවැරදිව කියැවීමට නොදනී. එබැවින් නිදන්යයි වරදවා වටහාගැනීම හෝ වැරදි තොරතුරු මත මේ සංකේතා හා අශ්‍රිත ස්ථාන කඩාබිඳ විනාශ කිරීමටත් ඒවා හානියට පත් කිරීමටත් වත්මන් සමාජය යොමු වී සිටී. එවන් කාලයක කුරුටු සංඥා සංකේත පිටපත් කර තැබීමට හා ඒවා විමර්ශනයට අවධානය යොමු කිරීම ප්‍රසංශනීය වේ.

ඓතිහාසික යුගය හා බැඳුණු බෞද්ධ උරුම පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව හමු වේ. ඒ අතර චිත්‍ර, මූර්ති, කැටයම්, අභිලේඛන මෙන්ම වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්ද වේ. මේවා සැලැකිය යුතු ප්‍රමාණයෙන් උගතුන්ගේ අවධානයට යොමු විය. ඒවා ලංකාවේ ලිඛිත ඉතිහාසයෙන් සැඟව ගිය තැන් ඉස්මතු කරගැනීමටද හිඩැස් පියවාගැනීමටද බොහෝ සෙයින් උපකාරි කොට ගෙන තිබේ. මේ ආරාමික සංකීර්ණයන්හි චිත්‍ර සටහන් ලෙස හඳුනාගත හැකි කුරුටු සටහන් හා සංකේත විශාල ප්‍රමාණයක් විසිර පවතී. බහුල වශයෙන් ගල් පුවරු මතද මැටි පුවරු මතද ගඩොළු, මැටිබඳුන් කැබලි ආදිය මතද සුළු ප්‍රමාණයක් දැකගත හැකිය. මේ සංකේත නෙත ගැටෙන ප්‍රමාණය අඩු වූවද ආරාමික පරිශ්‍රයන්හි ස්වාභාවික ගල්තල, පඩි පේළි, ප්‍රාකාර බිත්ති, වෙනත් ශිලාමය ඉදිකිරීම් හා විශේෂයෙන් චෛත්‍ය සලපතලළ මළුවලද බෙහෙවින් දක්නට ලැබේ. මේ අර්ථවිරහිත කුරුටුගෑම්යැයි කෙනකුට හැඟී යා හැකි වූවද විමර්ශනාත්මකව විවේක බුද්ධියෙන් මේ සංකේත අධ්‍යයනය කිරීමේදී පැවති අතීත මානව සමාජයේ සමාජිකයන්ගේ කුලගොත් සටහන් හා ලෞකික ජීවිතයේ සුබ සිද්ධිය ළඟා කරගැනීමට ඉවහල් වන අභිචාරාත්මක සංකල්පයෙන් යෙදූ සටහන් බව අනුමාන කළ හැකිය. රූප පමණක් නොව, අක්ෂර භාවිත කොට ලියූ වදන්ද ප්‍රාර්ථනාද මේ අතර වන බව හඳුනාගෙන තිබේ. ඒ හැරුණු විට සිරිපතුල් ලාංඡන රැසක්ද දැකගන්නට ලැබී ඇත.

මේ ගවේෂණයේදී මහායාන, තන්ත්‍රයාන, මන්ත්‍රයාන දෘෂ්ටිය හා සමාජීය දෘෂ්ටිය යටතේ චෛත්‍ය සලපතළ මළුවල පිහිටි කුරුටු සටහන් වෙන් වෙන්ව විම්ර්ශනය කිරීමට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.

මේ හැරුණු විට අක්ෂර හෝ සංඥා හෙවත් පණිවිඩ සටහන්ද මේ අතර වේ. මහින්දාගමනයට පෙර මෙරට වාසය කළ ජනතාව භාවිත කළ ලේඛන භාෂාවේ සංකේතද මේ අතර වේයැයි හඳුනාගෙන ඇත. බොහෝ විට එක් රූපයක් හෝ සංකේතයක් සම්පර්ණ පණිවිඩයක් ලෙස හඳුනාගැනීමට හැකි වී තිබේ. එසේ නම් මේ අක්ෂර හෝ අක්ෂර රූප නිවැරදිව කියවාගැනීම මගින් මගින් මහින්දාගමනයට පෙර මෙරට විසූ ජනයාගේ භාෂාව, ඔවුන්ගේ ආකල්ප මෙන්ම ඔවුන්ගේ ඇදහිලි විශ්වාස හා ආගමික අදහස්, මෙන්ම සංස්කෘතිය ගැනද අදට වඩා පුළුල් අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

උදාහරණයක් ලෙස අනුරාධපුර රන්මසු උයනහි විශ්ව චක්‍රය අතීතයේ විසූ දියුණු මානව සමාජයක වැසියා අනාගතයේ මෙරට වෙසෙන ජන සමාජය වෙත යොමු කළ පණිවිඩයක් ලෙස කියවීමට කෙනකු උත්සාහ ගනිද්දී තවත් අයෙක් එය ආගමික පණිවිඩයක් ලෙස හඳුනාගනී. එය කුමක් වූවද නිදන් බිඳින්නකු හට අවස්ථාව ලැබුණේ නම් එය බිඳ බලනු නොඅනුමානය.

අතීත ලංකාවේ රජවරුන් තම රාජ්‍ය ලාංඡනය හෝ සංකේතය ලෙස සත්ව හෝ වෙනත් රූප භාවිතයට ගෙන තිබේ. ඒ අතර මත්ස්‍ය, හස්ති රූ හා ස්වස්තිකයද වේ.

එසේ වුවද ඓතිහාසික ස්මාරක ස්ථාන අශ්‍රිව ඇති කුරුටු සංකේත පිළිබඳ ප්‍රමාණාත්මක පර්යේෂණයක් මෙතෙක් සිදු වී නැත. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැන හෝ නොදැන විනාශයට පත් වන මේ සංකේත නිවැරදිව වාර්තා කර තැබීම හා පැරණි මානව සමාජයේ ඕනෑ-එපාකම් හා ඓතිහාසික සංකල්ප හඳුනා ගැනීම පර්යේෂණයේ එක් අරමුණක් වී තිබේ. ලංකාරාමයේ සලපතළ මළුවෙන් කුරුටු සංකේත 29ක් හඳුනාගෙන ඇති අතර ථූපාරමයෙන් සංකේත 7ක් හඳුනාගෙන තිබේ. මිරිසවැටිය සලපතළ මළුවෙන් සංකේත 112ක්ද අභයගිරිය සලපතළ මළුවෙන් සංකේත 546ක්ද වශයෙන් සංකේත 694ක් හඳුනාගෙන පිටපත් කර ඇත.

මිනිසා විසින් අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත් සකේත ලෙස මේ විර්ශනයේදී ස්වස්තිකය, ත්‍රිරත්නය, සිරිවස, මත්ස්‍ය සංකේත, නෙළුම් පොහොට්ටුව (පෙති දෙක හෝ තුන) පිපුණු නෙළුම, ජ්‍යාමිතික සංකේත, ස්තූප, හෙණ්ඩුව, හංසයා, ස්ත්‍රි පුරුෂ මානව රූප, ස්ත්‍රි පුරුෂ ලිංග සංකේත, සිරිපතුල් මේ අතර වේ. එහෙත් මේ සංකේත ස්තූප මළුවෙහි නිරූපණය කරන ලද්දේ ඇයිද යන්න නිශ්චිත නැත.

සවස්තිකය භාවිතය පිළිබඳ සාධක භාරතයෙන් වාර්තා වේ. ස්වස්තිකය භාවිත කිරීමේ පැරණි සාධක හමු වන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ ටෙරාකොටාවලයැයි කියැවේ. ඉන්දියාවේ හා ලංකාවේ බෞද්ධ කලා නිර්මාණවලද ස්වස්තිකය දක්නට ඇත. ස්වස්තිකය මගින් චලනය වන සූර්යයා නිරූපිත වේයැයි මතයක් පවතී. ඉන් ජී‍වය, සෞඛ්‍යය, ධනය හා ආලෝකය අර්ථවත් වේයැයි ප්‍රකාශිතය. එහෙත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් ප්‍රකාශ කරන්නේ ස්වස්තිකය ක්‍රි.පූ. 604-523 කාලයේ බෞද්ධ භික්ෂූන් අතින් නිර්මාණයන් වූ බවය. එය ආරක්ෂාව සලසන සංකේතයකි. මේ සංකේත බොහෝ විට අනන්‍යතාව තහවුරු කිරීම සඳහා භාවිත වූ බව පැහැදිලිය.

සිරිවස හෙවත් භද්‍රපීඨ සංකේතය මේ ස්තූප මළුවල තීබී හමු වී ඇත. ඒ හැරුණු විට අෂ්ට මංගල සංකේත අතරද බ්‍රහ්මීය සෙල්ලිපිවලද මේ සංකේතය දක්නට තිබේ. ජෝන් ස්ටීල් පවසනුයේ සිරිවස සංකේතය පාරලෞකික ජීවිතය හඟවන බවයි. මෙය ලිංග පූජාව සංකේතවත් කිරීමට මෙන්ම ආධිපත්‍ය, වෘත්තිය, තනතුරු නාම දැක්වීමටද යොදන බව විශ්වාස කෙරේ. ඉන්දියාවේ හා ලංකාවේ පැරණි සමාජයන්හි දියුණුව හා සෞභාග්‍යය හැඟවීමටද යොදාගත් වර්ධමාන සංකේතය ජෛනයන්ගේ අෂ්ටමංගල ලකුණු අතරද දක්නට ලැබේ.

ස්තූප මළුවල තිබී හමු වූ රත්න සංකේතය මගින් බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නය සංකේත කෙරේ. ඉන්දියාවේ කැටයම්වල මෙන්ම ලංකාවේ සිරිපතුල් ගල්වලද මේ පූජනීයත්වය දැක්වීම සඳහා භාවිත වන මේ සංකේතය යෙදී ඇත. එහේ පයට පෑගෙන සලපතළ මළුවේ මෙය යෙදිම ගැටලුසහගත බව පර්යේෂකයන්ගේ අදහසයි.

ඉන්දියාවේ හා ලංකාවේ සෙල්ලිපිවල සටහන්ව ඇති මත්ස්‍ය සංකේතය ලෝකයේ විවිධ රටවල බහුවිධ අර්ථයෙන් භාවිත කෙරෙන සංකේතයකි. ඉන්දියාවේදී මෙය ආගමික කටයුතු සඳහාද ලංකාවේදී මංගල සංකේතයක් ලෙසද යොදාගෙන තිබේ. මේ සංකේතය මිරිසවැටිය හා අභයගිරිය ස්තූප මළුවල දක්නට ලැබී ඇත. එමෙන්ම මේ සංකේත බොහෝ විට අනන්‍යතාව තහවුරු කිරිම සඳහා භවිත වූ බව පැහැදිලිය.

මේ ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂකවරයා ලෙස පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ කටයුතු කළ අතර, ප්‍රධාන පර්යේෂණ උපදේශකවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.

 

 ටෙක්ලා පද්මිණී කාරියවසම්
 සේයාරූ - දුෂ්මන්ත මායාදුන්නේ
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය 

Comments