අවිජ්ජා පච්චයා සංඛාරා | සිළුමිණ

අවිජ්ජා පච්චයා සංඛාරා

 අන්ධකාරය තුළ කිසිවක් නොපෙනෙන පරිද්දෙන් සත්ත්වයාට සසර සත්‍ය ස්වභාවය වසා තබනුයේ අවිද්‍යාවයි. සංසාර චක්‍රයේ සැබෑ ලක්‍ෂණ විද්‍යමාන කරමින් දේශිත ධර්මය පටිච්චසමුප්පාදය යි. පටිච්චසමුප්පාදය යනු ඉතා ගැඹුරු දේශනයකි. මඳ නුවණින් එහි විග්‍රහ කළ කරුණු මනාකොට දත නොහැකි ය. කරුණු මෙසේ හෙයින් සියලු දෙනාටම අවබෝධ කරගැනීමේ පහසු ආකාරයන්ගෙන් මෙහි දී පටිච්චසමුප්පාදය විග්‍රහ කරනු ලැබේ. ප්‍රත්‍ය ධර්මයන් විද්‍යමාන කල්හි ප්‍රත්‍යයෝත්පන්න ධර්ම ඇති වන ආකාරය දැක්වීම සඳහා පටිච්චසමුප්පාද ධර්මය විග්‍රහ කොට ඇත. ප්‍රත්‍ය ධර්මයන් සහ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන් මොනවාද යන්න මෙහි දී ප්‍රථමයෙන් ම දත යුතු ය. ඒ ඒ ධර්ම හට ගැනීමට පැවැත්මට උපකාර වන ධර්මයන්ට ප්‍රත්‍ය ධර්මයන් යනුවෙන් පැවසේ. ඒ ප්‍රත්‍යය ධර්මයෙන් හටගත් ධර්මයන්ට ප්‍රත්‍යයෝත්පන්න ධර්ම යැයි කියනු ලැබේ. නිර්වාණය හැර ලොව පවත්නා සකළ ධර්මයෝ ම හේතු ප්‍රත්‍යයන්ගෙන් නිපන් ධර්මයෝ වෙති. සංඛත ධර්ම යනුවෙන් දැක්වෙන්නේ මෙම ස්වභාවය යි. පටිච්චසමුප්පාදයෙහි අංග දොළසකි. ඒවා ක්‍රමයෙන් විග්‍රහ කරනු ලැබේ.

අවිද්‍යාව

දුක්ඛාදි චතුරාර්ය සත්‍යය ධර්මයන් නොදන්නා ස්වභාවය අවිද්‍යාව නම් වේ. ජීවිතයේ සැබෑ ලක්‍ෂණයන් වසා සත්ත්ව පුද්ගල භාවයක් පදනම් කොටගෙන ආරම්මණයන් හා ගැටී මහත් ව්‍යසනයට පත් වෙමින් සසර තුළ මුළා බවට පත්ව දීර්ඝ කාලයක් ගත කොට තිබෙනුයේ අවිද්‍යාව හේතුවෙනි. මෝහය යනු අවිද්‍යාව සඳහා භාවිත වන්නකි. ජීවිතය යනු ස්කන්ධ පඤ්චකයකි. නාම රූප ධර්මය යනු ද ස්කන්ධ පඤ්චකය යි. එහෙත් සත්ත්වයෝ ස්කන්ධයක් වශයෙන් නොගෙන පුද්ගල ස්වභාවයක් ඒ තුළ ආරෝපණය කොටගෙන කටයුතු කරති. ලොව තුළ සියලු ගැටුම් නිර්මාණය වනුයේ ආත්ම දෘෂ්ටියෙන් යුක්තව ලොව ග්‍රහණය කිරීම හේතුවෙනි. තමා මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයෙක් යැයි සිතා විවිධ කරුණු අරබයා ගැටලු නිර්මාණය කර ගනී. ආත්ම දෘෂ්ටිය පැමිණි කල්හි ජීවිතයට එය මහත් පීඩාවකි. සෑම මොහොතක ම මම නමැති පුද්ගලයා ප්‍රමුඛස්ථානයේ තබා කටයුතු කරයි. ඉන් අනතුරුව ඒ ඔස්සේ ම මගේ යන දෘෂ්ටිය ද ඇති වේ. ස්කන්ධයෝ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනිති. එහි නිර්මාතෘවරයෙක් නැත. කර්ම, විඤ්ඤාණ, තණ්හා ආදී හේතු පාදක වී නිර්මාණය වී තිබේ. පටිච්චසමුප්පාදයේ පැවසෙන සියලු කරුණු මේ සඳහා යොදාගත යුතු ය. යම් විටෙක මම යන දෘෂ්ටිය ඇති වී නම් එම පුද්ගලයා රැක ගැනීම ජීවිතයේ මුලික කරුණ වේ. ස්කන්ධ පඤ්චකය ම ඒ ඒ අවධිවල ආත්ම වශයෙන් ගනී. ඇතැම් විට රූපය ආත්ම වශයෙන් ගෙන කටයුතු කරයි. ඒ මොහොතේ දී තමාගේ යැයි සලකා කටයුතු කරන මෙම රූපය රැක ගැනීම සඳහා අප්‍රමාණ වෙහෙසක් ගනී. සත්ත්වයා තම රූපයට හානි පැමිණෙන විට ඉමහත් බියක් දක්වයි. කෙතරම් ශක්ති සම්පන්න පුද්ගලයකු වුව ද යම් බලවත් රෝගයක් ශරීරයේ හටගත් කල්හි මහත් කම්පනයට පත් වේ. කෙසේ හෝ තම රෝගය සුව කිරීම සඳහා වෙහෙස දරයි.

අතිධාවනය

මෙයින් දක්වනු ලැබූයේ සාමාන්‍ය ලෝක සත්ත්වයා ක්‍රියාකරන ආකාරය පිළිබඳව ය. මෙම කරුණු විග්‍රහ කිරීමේ දී කිසිවිට අතිධාවනය නොකළ යුතු ය. සම්මුති ලෝකය තුළ සිදු කරන ව්‍යවහාරයන් සෑම විටම එයට අනුරූපීව කළ යුතු ය. ශරීරයට රෝගයක් පැමිණි කල්හි එය සුව කිරීමට උත්සහ කළ යුතු ය. හැකි සෑම විටම ශරීරයේ රෝගයන් හට නොගන්නා ආකාරයට ශරීරය ආරක්‍ෂා කර ගනීම අතිශයින් ම සුදුසු ය. ශරීරය තමාගේ නොවේ හෝ එය ස්කන්ධයක් පමණක් යැයි සලකා අතහැර දැමුවහොත් එයින් මහත් ව්‍යසනයට පත් වේ. එය සත්‍යය දැකීමක් නොව මුළාබව යි. ඇතැම් පුද්ගලයන් මෙම ධර්ම කරුණු දැන අන් අයගේ ජීවිතවලට චෝදනා කරන ආකාරයක් දැකිය හැකිය. යමෙක් ප්‍රියමනාපව ඇඳුමක් අදින කල්හි බොරුවට ධර්මය කටපාඩම් කොටගත් ඇතැම් උදවිය ඒ දෙස බලා පවසනුයේ කෙතරම් ලස්සනට සැරසුවත් එහි ‘දෙතිස් කුණපයක් ඇත්තේ ය‘ යනුවෙනි. මෙවැනි අවස්ථාවන් සමාජය තුළ බහුල ය. මෙම කරුණු ඉතා පරෙස්සමින් විග්‍රහ කළ යුතු ය. එවන් අවස්ථාවන්වල දී සිත තුළ ක්‍රියාත්මක වනුයේ කුසල ධර්මයක් නොව වඤ්චනික ධර්මයකි. අනෙක් පුද්ගලයාගේ රූප ස්වභාවය හෝ ඇඳුම්වල ප්‍රිය ස්වභාවය ඉවසා ගැනීමට නොහැකි වූ පුද්ගලයෝ තම ඊර්ෂ්‍යාව වසා ගැනීමට ධර්ම කරුණක් ඉස්මතු කොට එම පුද්ගලයාට ගරහා සිත සනසවා ගනිති. මෙය ද අවිද්‍යාවේ ම ලක්‍ෂණයක් බව දත යුතු ය.

කෙලෙස් සැඟවීම

ධර්මාවබෝධය ලැබීමේ අභිලාෂයෙන් කටයුතු කරන බොහෝ පුද්ගලයෝ යම් යම් කරුණු ස්වල්පයක් දැනගත් කල්හි එම කරුණු තම කෙලෙස් සඟවා ගැනීමට ඉහත අයුරින් භාවිත කරති. සම්මුති ලෝකයේ කටයුතු කරන ස්වභාවය නොදැන එය අතික්‍රමණය කරමින් නිවැරදිව ජීවිත ගත කරන අන් පුද්ගලයන්ට නිකරුණේ චෝදනා කරමින් අපහාස කරති. මෙම දුර්වලතාව සමාජයේ බොහෝ මිනිසුන් තුළින් දැකිය හැකි ය. අවිද්‍යාවන් මිදීම සඳහා දේශිත ධර්මය ම ඔවුහු තම අවිද්‍යාව වඩා වර්ධනය කර ගැනීම සඳහා භාවිත කරති. කරුණු මෙසේ හෙයින් අවිද්‍යාව නමැති මෙම ධර්මය සත්ත්වයින්ගේ ජීවිත ඉතා සූක්‍ෂ්ම ලෙස වෙළාගෙන ඇති බව දත යුතු ය. එවැනි අදහස්වලින් යුක්ත පුද්ගලයන්ට කිසිදා ධර්මය පහදා දිය නොහැකිය. ඔවුහු ලොව තුළ අතිශයින්ම මුළාවට පත් වූවෝ ය.

අවිද්‍යාව තුළ පවත්නා මෙවන් සූක්‍ෂම ස්වභාවයන් සත්ත්වයා බොහෝ විපත්වලට ඇද දම යි. සම්මුති ලෝකය සහ එහි හැසිරිය යුතු ආකාරය, වචන භාවිතය කවරේද යන්න වෙන් වෙන් වශයෙන් දත යුතු ය. පරමාර්ථ ස්වභාවය අවබෝධ කළ යුත්තේ සම්මුතිය ප්‍රතික්ෂේප නොකිරීමෙනි. මෙය තේරුම් ගැනීමට ඉතා අපහසු ය. එසේ හෙයින් ම සත්ත්වයෝ මහත් වියවුලක පැටලී සිටිති. සිතේ ලක්‍ෂණය නම් සෑම විට ම ක්ලේෂයන් ඔස්සේ දිව යෑම ය. සත්ත්වයෝ ඒ බව නොදනිති. කරුණු මෙසේ හෙයින් ම ලෝකයෙන් එතෙර වීමේ මාර්ගය සොයා පැමිණ ලෝකය තුළ ම අතරමං වී ඔවුනොවුන්ට චෝදනා කරමින් එහි ම නතර වී සිටිති. පරමාර්ථ සත්‍යය ස්වභාවය දැනීම යනු ලෝකයේ පවත්නා අනෙක් සියල්ල ප්‍රතික්ෂේප කිරීම හෝ ඒවාට චෝදනා කිරීම නොවන බව දත යුතු ය. සැබෑ ලෙස ම ධර්මය දන්නා තැනැත්තා කිසිවක් විවේචනය නොකරයි. එයට හේතුව නම් එය ඔහුට අයත් කෘත්‍ය නොවන හෙයිනි. ඇතැම්හු ගැඹුරු ධර්ම කරුණු කටපාඩම් කරගැනීමේ මානසිකත්වයකින් යුක්තව කටයුතු කරති. ඒවා උපකාර කරගනුයේ තම වැරදි අන් අය පවසන කල්හි ඔවුන් නොදන්නා ගැඹුරු පද උපයෝගී කොටගෙන වාදයෙන් අන් අය පරාජය කිරීමට ය.

අමෝහය

එසේ අන් අය වාදයෙන් පරාජය කොට තම වැරදි වෙනදාටත් වඩා කදිම ආකාරයෙන් අපූරුවට සිදු කරමින් සිටින ජීවිත සමාජයේ කොතෙකුත් දැකිය හැකි ය. සැබෑ ලෙස ම ධර්මය දත් තැනැත්තා ධර්ම කරුණු පාදක කොටගෙන වචන හරඹයකින් අන් අය පෙළීමට පත් නොකරයි. ඔහු නිහඬය, එසේම ගැඹුරු චින්තනයකින් යුක්ත ය. එසේ හෙයින් ම එම ජීවිත ඝෝෂාකාරී බවෙන් තොරය. සම්මුතියට අනුව කථාව පවත්වයි. එයට අනුරූපීව ම චර්යාව සකස් කොට ගනී. තමා ධර්මයෙන් පොහොසත් යැයි ලොවට හඬගසා පැවසීමක් නැත. බොරු සංයමයක් ද නැත. තම සත්‍යය ස්වභාවයෙන් යුක්තව ම ලෝකය තුළ ජීවත් වේ. අවිද්‍යාවේ සහ විද්‍යාව හෙවත් අමෝහයේ ස්වභාවයන් පවසන කරුණු අනුසාරයෙන් දත යුතු ය.

අවිද්‍යාව විවිධ පර්යායෙන් සත්ත්වයා ලෝකය තුළ මුළා කොට ඇත. අරමුණු විෂයෙහි මුළාකොට ඒ සියල්ල සමඟ මහත් වූ තරඟයකට සත්ත්වයා යොමු කොට ඇත. එකෙක් පරයා අනෙකා නැඟී සිටීමට සෑම විට ම උත්සහ දරා ඇත. අවිද්‍යාව විසින් එය කොතෙක් අපූරුවට කොට ඇත්තේ ද යත් ධර්ම ඥානය ලැබීම සඳහා ද තරඟයක් නිර්මාණය කොට ඇත. භාවනා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම, මහත්-මහත් වූ පින්කම් කිරීම, ආරාම නිර්මාණය, උපාසක උපාසිකාවක් වශයෙන් පෙනී සිටීම ආදී සෑම ස්ථානයක ම තරඟයක් නිර්මාණය කොට ඇත. අවිද්‍යාවේ මෙම උපක්‍රමයට හසු වූ බොහෝ ජනයා නිවන සොයමින් සසර මඟෙහිම ගමන් කරනු පෙනේ. බුදුරදුන් අවිද්‍යාවෙන් ලොව වැසී පවත්නා බව (අවිජ්ජාය නිවුතො ලොකො) පවසන ලද්දේ මෙවැනි ස්වභාවයක් අවිද්‍යාව තුළ පවත්නා හෙයිනි. ඒ බව අවබෝධ කිරීම අතිශයින් දුෂ්කර ය. යෝනිසෝමනසිකාරය තුළින් ම දත යුතු ය. විවේකයෙන් යුක්තව තම ජීවිතයට සිදු වී පවත්නේ කවරක් ද යන්න මෙනෙහි කිරීමට පවා මිනිසුන්ට චිත්ත සංයමයක් නොවන්නේ ඔවුනට භාවනා කිරීම සඳහා ආරාම සෙවීම එහි ස්වභාවයන් අන් අය සමඟ හුවමාරු කර ගැනීමට කාලය කැප කිරීමට ඇති හෙයිනි.

සම්මෝහය

අවිද්‍යාව යනු දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන ආර්ය සත්‍යය සතර පිළිබඳ ඇති සම්මෝහය හෙවත් නොදැනීම ය. මෙම කරුණ මෙසේ පවසන විට සියලු දෙනා ඉතා කැමැත්තෙන් අසා දැන ගනී. එහෙත් එය ප්‍රායෝගික ලෝකය තුළ අත්විඳින්නේ කෙසේ ද යන්න නොසොයයි. ඒ පිළිබඳ යම් වැටහීමක් ඇති කිරීමේ අදහසින් ඉහත කරුණු දක්වා ඇත. සිත ඉතා වඤ්චනිකය. අප සියලු දෙනා එහි මායාකාරී ස්වභාවයට හසු වී සිටින හෙයින් සසර තුළ සත්‍ය ස්වභාවය දැකීම අසීරු වී ඇත. සෑම විට ම එක ම කරුණ තුළ නැවත නැවත මුළාවට පත් වේ. ලෝකයේ අරමුණු බොහෝ ඇත. ඒ ඔස්සේ ගොඩනැඟෙන සිතුවිලි ද අප්‍රමාණය. එහෙත් නුවණින් කල්පනා කළ කල්හි අප යම් විටෙක ජීවිතයේ බොහෝ අවස්ථාවන් තුළ දුකට පත් වී ඇත්තේ ද, ඒ එක ම කරුණක් තුළ බව පෙනී යනු ඇත. වෙනසකට ඇත්තේ එය පැමිණි ස්වභාවය, කාලය හා පුද්ගලයින්ගේ වෙනස්වීමක් පමණි. එහි පවත්නා සියුම් ස්වභාවයන් හා සමානකම දත හැකි වූයේ නම් අප ඒ ඔස්සේ ගොඩනඟන මානසික ක්‍රියාවලිය බොහෝ සෙයින් වෙනස් වනු ඇත. ධර්මය අවබෝධ කළ පුද්ගලයන් ලොව තුළ කුමන අරමුණක් සම්මුඛ වුව ද කිසිවිට කම්පනයට හෝ කැලඹීමට පත් නොවනුයේ අරමුණු තුළ පවත්නා යථා ස්වභාවය දැන අවිද්‍යාවෙන් මිදී ඇති හෙයිනි. මේ පිළිබඳ කරුණු නුවණින් දැන අවිද්‍යාවේ විවිධ ස්වභාවයන් දැන එයට හසු නොවී එය ඉක්මවා යෑමට උත්සාහ ගත යුතු ය.

ලබන සතියේ... අවිද්‍යාව සංස්කාරයන්ට හේතු වන අයුරු

ජී.ජී.ජී. පුෂ්පකුමාර්
බෞද්ධ දර්ශනය (විශේෂවේදී)
බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරී

Comments