
විසි එක්වැනි පාපන්දු ලෝක කුසලාන මංගල්‍යය ජුනි 14 වන දා රුසියාව සහ සවුදි අරාබිය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ඔලිම්පික් ක්‍රීඩා මංගල්‍යට පමණක් දෙවැනි වන පාපන්දු ලෝක ශූරතාවයේ මෙවර සත්කාරකයා රුසියාවයි. මීට ප්‍රථම 1930 වසරේ සිට 2014 වසර දක්වා විසි වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පවත්වා තිබේ. වසර හතරකට වරක් පැවැත්වෙන මෙම පාපන්දු මංගල්‍යය (1942 සහ 1946 දෙවන ලෝක යුද්ධය හේතුවෙන්) අවස්ථා දෙකේදී පමණක් පැවැත්වීමට හැකි නොවීය.
ෆීෆා තරගාවලියේ දී පිරිනමන ජුලියස් රිමේට් රන් කුසලානය දිනා ගැනීම සඳහා ලෝකයේ කලාප මට්ටමින් කණ්ඩායම් 32 ක් මෙවර තරග වැදීමට නියමිතය. 1930 පළමු ලෝක කුසලානය සඳහා තරගකළ කණ්ඩායම් සංඛ්‍යාව 13 කි. නමුත් 1934 සිට කණ්ඩායම් 16 ක් තරගකළ අතර 1982 ස්පාඤ්ඤයේ පැවති 12 වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ සිට ඒ සඳහා තරග වදින අවසන් කණ්ඩායම් ගණන 24 ක් බවට පත්විය. ලෝක පාපන්දු සම්මේලනය විසින් පාපන්දු ක්‍රීඩාව තව දුරටත් ව්‍යාප්ත කිරීමට සහ ජනප්‍රිය කිරීමට ගත් තීන්දුවක් අනුව 1998 ප‍්‍රංශයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ සිට කණ්ඩායම් 32 ක් අවසන් වටය සඳහා සහභාගි කර ගත්තේය.
1930 වසරේ දී පැවති පළමු පාපන්දු ලෝක ශූරතාව හිමි කර ගැනීමට සත්කාරක උරුගුවේ කණ්ඩායම සමත් විය. අවසන් වරට 2014 පැවති ශූරතාව හිමි කර ගත්තේ ප්‍රබල ජර්මන් කණ්ඩායමයි. මෙතෙක් වැඩිම වාර ගණනක් කුසලාන දිනා ගෙන ඇත්තේ බ්‍රසීල කණ්ඩායම විසිනි. ඔවුන් පස් වතාවක් ශූරතාවට හිමිකම් කියා ඇත. ඒ පිළිවෙළින් 1958, 1962, 1970, 1994 සහ 2002 වසරවලදීය. ඉතාලිය (1934, 1938, 1982 සහ 2006) හා ජර්මනිය (1954, 1974, 1990 සහ 2014) සිව් වතාව බැගින් ලෝක ශූරතා පාපන්දු කුසලානය තම දෝතට ගෙන ඇත. ඉන් අවස්ථා දෙකක දී ජර්මනිය කුසලානය දිනා ගත්තේ (1954 සහ 1974) බටහිර ජර්මනිය ලෙසය. උරුගුවේ (1930 සහ 1950) හා ආර්ජන්ටිනාව (1978 සහ 1986) දෙවතාව බැගින් ලෝක ශූරතාව තම රට වෙත ගෙන ගොස් ඇත. එංගලන්තය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය එක් වතාවක් හෝ මෙම රන් කුසලානයේ පහසට හිමිකම් කියා තිබේ.
ඉතාලිය, ප්‍රංශය, මෙක්සිකෝව, බ්‍රසීලය සහ ජර්මනිය යන රටවල් දෙවතාව බැගින් ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සත්කාරකත්වය දරා ඇත. බ්‍රසීලය දෙවරක් සත්කාරකත්වය දැරුවත් ඒ එක් අවස්ථාවක දී හෝ ශූරතාව ජය ගැනීමට සමත් නොවීම සුවිශේෂීය. ඔවුන් ශූරතාව ජයගත් අවස්ථා පහම සටහන් වන්නේ විදෙස් රටවල් තුළ දී ය. එය ඔවුන්ගේ විශේෂ දක්ෂතාවයකි. ඉතාලිය එක් වරක් තම සත්කාරකත්වයෙන් ශූරතාවය හිමිකර ගත් අතර ඉතිරි අවස්ථා තුනද යුරෝපය තුළදී කුසලානය ජයග්‍රහණය කර ඇත. ජර්මනිය ද එක්වරක් තම සත්කාරකත්වය යටතේ ශූරතාවය හිමිකර ගෙන ඇති අතර 2014 දී පමණක් කලාපයෙන් පිටතදී කුසලානය හිමිකර ගෙන ඇත. මෙතෙක් පවත්වා ඇති අවස්ථාවන් 20 තුළදී සත්කාර කණ්ඩායම විසින් අවස්ථා 6 ක දී කුසලාන ජය ගෙන ඇත. උරුගුවේ (1930), ඉතාලිය (1934), එංගලන්තය (1966), බටහිර ජර්මනිය (1974), ආර්ජන්ටිනාව (1978) සහ ප්‍රංශය (1998) එම අවස්ථාවන්ය.
වැඩිම අවස්ථාවක් අනුශූරතාව දිනා ගෙන අත්තේ ජර්මනිය විසිනි. ඒ අවස්ථා හතරකි. නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාවද අවස්ථා තුන බැගින් අනුශූරතාව දිනා ගෙන ඇත. ජර්මනිය අවස්ථා 8 ක දී අවසන් තරගයට වරම් ලබා ගත් අතර බ්‍රසීලය අවස්ථා 7 ක දී අවසන් තරගයට මුහුණ දී තිබුණි.
සත්කාරක රට අවසන් තරගයට සුදුසුකම් ලබා තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී අවසන් තරගය පරාජයට පත් වී ඇති අවස්ථා ගණන දෙකකි. ඒ 1950 දී උරුගුවේ පිල හමුවේ බ්‍රසීලයත්, 1958 දී බ්‍රසීල පිල හමුවේ ස්වීඩන් පිලත් ය.
පවත්වා ඇති ෆිෆා ශූරතා 20 න් ශූරතා 11 ක් යුරෝපයට හිමි වී ඇති අතර ඉතිරි ශූරතා 9 දිනා ගනු ලැබුවේ දකුණු ඇමරිකාව විසිනි. සෑම විටම අනු ශූරතාවයද දිනා ගත්තේ ද මෙම කලාප දෙකේ රටවල් විසිනි.
ෆිෆා අවසන් වටයට සුදුසුකම් ලැබූ රටවල් අතරින් ඉදිරියෙන් සිටින්නේ බ්‍රසීලය යි. ඔවුන් පසුගිය ශූරතා 20 සඳහාම සුදුසුකම් ලබා තිබූ අතර ද මෙවර 21 වන වතාවටත් සුදුසුකම් ලබා ඇත. ජර්මනිය සහ ඉතාලිය 18 වතාව බැගින් ද, ආර්ජන්ටිනාව අවස්ථ 16 කදී ද අවසන් වටයට සුදුසුකම් ලබා තිබුණි.
ෆිෆා තරගවලදී වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයා වන්නේ ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් විසිනි. ඔහු ගෝල 16 ක් ලබා ගෙන ඇත. දෙවන තැන සිටින බ්‍රසීලයේ රොනාල්ඩෝ ගෝල 15 ක් ද, තෙවන තැන සිටින ජර්මනියේ ගර්ඩ් මුලර් ගෝල 14 ක් ද ලබා ගැනීමට සමත් විය.
මෙවර රුසියාවේ පැවැත්වෙන 21 වන ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සිව් වතාවක්ම ශූරතාව දිනා සිටින ඉතාලිය මෙන්ම 1990 සිට පසුගිය වතාව (2014) දක්වා අවසන් වටය නියෝජනය කළ රුසියාවේ සාම්ප්‍රදායික එදිරිවාදියා වන අමරිකා එක්සත් ජනපද කණ්ඩායම ද සුදුසුකම් නොලැබීම කැපී පෙනෙන සිදු වීමකි.
ඉදිරියේ දී සතිපතා 1 වන ලෝක කුසලානයේ සිට 20 වන ලෝක කුසලානය දක්වා සාරාංශ සටහනක් සති පතා ගෙන ඒම ක්‍රීඩාවේ මුල්පිටුව මඟින් අපි බලාපොරොත්තු වෙමු.
කසුන් ඉරුගල්බණ්ඩාර