
චන්දික හතුරුසිංහ වර්තමාන ශ්‍රී ලංකා පුහුණුකරුවාය. ඔහු කණ්ඩායම බාරගනිද්දී බොහෝදෙනෙකු ඔහුගේ හැකියාවන් සම්බන්ධයෙන් ඇස් මානාගෙන සිටියේය. ඇතැමකු කීවේ ඔහු විශ්ව කර්මයකු ලෙසය. තෙවකකු කීවේ ඔහුට කළ හැකි කිසිවක් නැත කියාය. හතුරු කළේ නිහඩව කණ්ඩායම සමඟ වැඩ කිරීමය. ඔහුගේ අරමුණ දීර්ඝකාලීනය. ජයග්‍රහණය කොන්ක්‍රීට් කිරීමය. දියාරුවී තිබූ මැටි පිඩක් එකවර දෑතින් ගෙන යා හැකි ගලක් කරන්නකුට එකී මැටි වලට නව මැටි දමා දියරමය ගතිය පහකර පදම් කරගැනීමට සිදුවන්නේය. එයට යම් කාලයක් අවශ්‍යය. ගලක් පදම් කරනවාට වඩා මිනිසුන් පදම් කිරීමට වැඩි කාලයක් අවශ්‍ය බව අප පිළිගත යුතුය. ඒ මන්දයත් මිනිසා තරග කරන්නේ තවත් මිනිසකු සමගය. එසේ ක්‍රීඩාකරන ප්‍රතිවාදී මිනිසා හතුරුගේ මිනිසා ජයගන්නා තුරු නිහඩව සිටින්නේ නැත. ඔවුහුද යම් යම්දේ කරති. ඇතැම් දේ සාර්ථක වෙයි. ඇතැම් දේවල් සාර්ථක වන්නේ නැතිවන්නට පුළුවන. මිනිසා කරන්නේ තවතවත් නිර්මාණශීලී වීමය.
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය දැන් ඇරඹී තිබේ. මෙම සටහන තබන විට කණ්ඩායම් තුන අතර තරග දෙකක් පවත්වා ඇත. ඒ අනුව එහි සත්කාර බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ජයලබා ඇත. සෙනසුරාදා දිනයේ හතුරුට එරෙහි හතුරු ක්‍රීඩා කරන්නට නියමිතව තිබිණි. අප එසේ කියන්නේ හතුරුගේ පැරණි වගකීම හා නව වගකීම එකිනෙක හමුවන්නේ එදින වන හෙයිනි. නව වගකීම එ් සඳහා යන්නේ තරගයක පරාජයක අත්දැකීමක් හා අතීත පරාජ වැලක වේදනා බර තුවාල කැලල් සමඟය. එහෙත් පැරණි ආදරය එන්නේ තමන් අතහැරියාය යන වෛරය මුසු සත්කාරක අපේක්ෂා සහිතවය. එහෙයින් මෙම තරගය අතිශය තියුණු ස්වරූපයක් ගැනීමට නියමිතවන්නට පිළිවන. අපගේ මෙම උත්සහය සිකුරාදා පැවැත්වීමට නියමිතවූ තරගය සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා උදයේ පේන කියන්නට නොවේ. හතුරු සතුව දැන් ඇති අභියෝග සම්බන්ධයෙන් කතා බස් කරන්නටය.
අපි කියන්නේ දැන් අපි සැවොම හතුරුට තවතවත් මිතුරුවිය යුතු බවය. විශ්වාසයෙන් වෙළිය යුතු බවය. ඔහු දෙස කෘතවේදීත්වය පළකළ යුතු බවය. ඔහු දැන් 2019 ලෝක කුසලාන කණ්ඩායම නිර්මාණය කිරීමේ පළමු ගල ගසා තිබේ. එය දෙබරයකට ගැසීමක් වැනිය. තනිවම ආර්.ප්‍රේමදාස පිටියේ හෝ එස්. එස්.සී. පිටියේ දැමූ දින හත අටක සෙල්ලම් දැන් ඔහු ජාත්‍යන්තර පිටියේ අත්හදා බැලීම අරඹා ඇත. ඒ ඩකා හි ජාතික ක්‍රීඩාංගණයේදීය. වැලි ඇටයක් ගණනේ හුරු පුරුදු බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන්ම ඔහු යුද ප්‍රකාශ කර ඇත. එය වම් අත හා දකුණු අත සිදුකරන සටනක් වැනිය. දැන් ඒ සඳහා බංග්ලාදේශ ජනතාව ඔහුට එරෙහිය. ඔහු මේ පරදුවට තබා ඇත්තේ තම කීර්තියය. එහෙයින් ඔහුට අවශ්‍ය සාර්ථකත්වය මිස අසාර්ථකත්වය නොවේ. හතුරු ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගයේදී දැක්වූ ප්‍රතිචාරය, උනන්දුව ඔහු කොතරම් කලබල වී ඇත්ද යන්න හෙළිදරව් කළේය. එය නොසන්සුන් බව සැඟවූ සන්සුන් බවකි. මේ නොසන්සුන් බවට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඔහු සමඟ බව ඒත්තු ගැන්වීමය. එය අප සතු පළමු වගකීමය.
අපගේ කියැවීමට අනුව නම් හතුරු සාර්ථකය. ලකුණු අතර නොසිටි, කඩුලු අතර නොසිටි හිටපු එක්දින නායක තිසර පෙර්රාව හතුරු සන්සුන් කළේය. ඔහුගෙන් කඩුලු ගැනීමට හැකිබව තහවුරු කරනු ලැබුණේය. ඔහුගේ පිත්තට ලකුණු ලබාගත හැකිබව පෙන්නුවේය. ශ්‍රී ලංකාව සහභාගිවූ පළමු තරගයේදී සිද්ධ වූයේ එයය. ආරම්භක පිතිකරුවා වශයෙන් කුසල් ජනිත් පෙරේරා දක්ෂතා දැක්වූයේය. එය ලකුණු 80ක් දක්වා වර්ධනය කරගැනීමට හතුරුගේ උපකාර ඉවහල් වන්නට ඇති බව නිසැකය. එහෙත් ඔහුගේ ඉනිම සමාප්ත කරන්නට, පරිපූර්ණත්වයට පත්කරන්නට අවශ්‍ය ඉවසීම හා පන්දු තෝරාගැනීම සිදුකළ යුතුව තිබේ. එ් හතුරු හා තිලාන් එක්ව දුන් පළමු පාඩම් අත්හදා බැලූ අවස්ථාවයි. එහෙයින් අප සිතන්නේ හතුරු සාර්ථක බවය.
ඇන්ජි උපරිමයෙන් උත්සහ කරනු පෙණිනි. ඔහුට සහය වෙමින් චන්දි ද සිය උපරිම උත්සහයෙන් තරග කරනු දක්නට ලැබුණේය. නායකත්වය නොව කණ්ඩායම් හැඟීම ඔවුන් තුළ විද්‍යාමාන විය. අසේල ගුණරත්න පන්දුවෙන් කළ දේ පිත්තෙන් නොකළද ඔහු කණ්ඩායමේ ඉන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙනි. ඔහුට ඕනෑම අංශයකින් කණ්ඩායමට සේවය කළ හැකිය. අසේලගේ වගකීම එසේය. එහෙත් ඔහුගෙන් අත්‍යවශ්‍යම අවස්ථාවේ කණ්ඩායමට බොහෝ දේ උකහාගන්නා ආකාරය හතුරු කියා දිය යුතුය. අවබෝධකර දිය යුතුය. එය ඔහුට මෙම පළමු තරගයෙන් අවබෝධ වන්නට ඇත. එයත් කදිමය. ඇන්ජි පනහකට ගියේ නැත. එල්ල කළ පහර හා තෝරාගත් පන්දුව මෙන්ම කාලය මැනීම, පිටිය කියැවීම සම්බන්ධයෙන් තවත් බොහෝදේ සලකන්නැයි පෙන්වන්නට පුළුවන. කඩුලු වැටී සිටියදී කඩුල්ලේ රැඳී සිට කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යන්නට ඇන්ජිව පෙලඹවිය යුතුය. ඇන්ජි විය යුත්තේ තවත් කෝලි කෙනෙක් නොවේ. ඔහු විය යුත්තේ තවත් දෝනි කෙනෙකි. ඔහුට දෝනිගේ භූමිකාව හොඳින් ක්‍රියාවට නැංවිය හැකිය. පළමු තරගයෙන් හතුරු බොහෝ පාඩම් උගත් බව නිසැකය. එහි විශාල ධනාත්මක ලක්ෂණ දක්නට තිබුණේය. හොඳ සටන් කාමීත්වයක් දැකිය හැකිවිය. එය කණ්ඩායමට කාන්දු වුණේ හතුරුගේ ආගමනයත්, තිලාන් ඇතුළු සෙසු පිරිසගේ වෙහෙසත්, ක්‍රීඩකයන්ගේ අනුපමේය කැපවීමත් හේතුවෙනි. මේ සම්බන්ධයෙන් සිතන කල අපට කිව යුත්තේ සියලෝම හතුරු හා මිතුරු සිතින් අත්වැල් බැඳගන්නා ලෙසය. එය බංග්ලාදේශයට ඇසෙනු ඇත්තේ මහා ඔල්වරසන් හඩක් ලෙසය. එම ඔල්වරසන් හඩ වෙනුවට හූ හඩක් ක්‍රීඩකයන්ට ඇසෙනවා විය හැකිය. එය වෙනස් කිරීමේ යතුරු ඇත්තේ අප අතය. එහෙයින් ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබේ ඉවසීම හා කැපවීම හතුරුගේ ජයග්‍රහණයේ මුල් අස්වැන්න බව සිහිපත් කළ යුතුය. මුදල් නොගෙවා විශේෂයෙන් පුහුණු නොකොට ලබාගත හැක්කේ එය පමණි. ඒ සඳහා හුරුවන්නේ නම් හොඳ කණ්ඩායමක් අපට දැකබලාගැනීමට හැකිවන බවනම් නොඅනුමානය.