‘අවීචි මහා නරකාදිය’ | සිළුමිණ

‘අවීචි මහා නරකාදිය’

 පුරා සතියක් ගෙවී අවසන්ය. අදින් එළඹෙන අරුණෝදයට ගෙවූ සතිය ගෙනැවිත් ඇත්තේ මොනවාද? ඔබ ම සිතන්න.

සඳුදා - දූෂිතයින් සටනට

රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නය වන වංචාව, දූෂණය හා නාස්තිය නැති කරන්නට කතා කරන්නේ මහා පරිමාණ දූෂණවලට වගකිව යුතු දූෂීතයන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි.

වංචාව, දූෂණය නැවැත්වීමේ අයිතිය තමන් අතට ගන්නට මේ දූෂීතයින් උත්සාහ කිරිමෙන් ජනතාව තුළ තිබෙන දූෂණයට එරෙහි මානසිකත්වය අවුල් වන බව ද ලේකම්වරයා පවසයි.

ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා (15) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.

‘‘මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අඩක් පමණ අවසන් වී තිබෙනවා. මෙවර මැතිවරණය විශේෂ සලකුණක් තියපු මැතිවරණයක්. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අලූත් ක්‍රමයකටයි. එනිසා මෙවර මැතිවරණය අලූත් අත්හදා බැලීමක්. මහා දැවැන්ත තරගය, ගැටුම් අඩුවෙලා තිබෙනවා. කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන නිසා තරගය කොට්ඨාසයට සීමා වෙලා. තරගකාරිත්වය, ගැටුම අඩුවෙලා.

මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට, දූෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා. මීට පෙර ප්‍රතිපත්ති සහ වෙනත් තේමා පාඨයන් කතාබහට ලක්වුණත් මෙවර මුලට ඇවිත් තිබෙන්නේ වංචාවට, දූෂණයට එරෙහි සටන් පාඨයයි. එයට හේතුව අපේ රටේ පළාත් පාලන ආයතන සියල්ල වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන් පිරී තිබීමයි.

අනෙකුත් පක්‍ෂවල අපේක්‍ෂකයින් මන්ත්‍රීධුරය ලබා ගන්නේම වංචා, දූෂණ කිරීමටයි. ඔවුන්ට මන්ත්‍රීධුරය හොරකම් කරන්න බලපත්‍රයක් වී තිබෙනවා. මීට පෙර හිටපු උප සභාපතිලා, සභාපතිලා, විශාල ප්‍රමාණයක් නීති විරෝධී කටයුතු කර තිබෙනවා. දැනුත් කරමින් සිටිනවා. පහුගිය දවසක වාර්තා වුණා, හිටපු උප සභාපතිවරයෙක් බුරුත ගස් කපලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා කියලා. තවත් අපේක්‍ෂකයෙක් ගංජා කිලෝ 32ක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තව කෙනෙක් කසිප්පු පෙරළා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වගේ නීති විරෝධී වැඩ පහසු කරගන්න තමයි මේ අය මන්ත්‍රීකමට තරග කරන්නේ. වංචාවට, දූෂණයට හවුල් වෙන්න මන්ත්‍රීකම අරගන්න පොරකනවා. මේ තත්ත්වය නිසාම වංචාවට, දූෂණයට එරෙහි ජනතාවගේ හඬ වැඩිවෙලා තිබෙනවා.’’ යැයි ද හෙතෙම ප්‍රකාශ කර සිටියේය. තීරණය ඔබ අතය.

කොළඹ බලය අපිට දෙන්න

“කොළඹ අලංකාර කළා යැයි කියමින් කෑ ගසන අය ඇරඹූ කිසිම ව්‍යාපෘතියකට මුදල් ගෙවා අවසන් කර තිබුණේ නැතැයි” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කොළඹ හැව්ලොක් සිටිහි දී පැවැසීය.

“කොළඹ අලංකාර කෙරුණේ යයි කෑගසන ව්‍යාපෘති වෙනුවෙන් වසර තුනක් ගතවන විටත් වත්මන් ජාතික රජය මුදල් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා, රටේ ආර්ථිකය දැන් ස්ථාවර කර තිබෙන හෙයින් එක්සත් ජාතික පක්ෂ නගර සභාව යටතේ කොළඹ නගරය සංවර්ධනය පහසුවෙන්ම කළ හැකි යැයි” ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නැගෙනහිර හා බටහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

“රට දියුණු කරමින් කොළඹ දියුණු කළ යුතුයි. අප කොළඹට ණය ගැතියි. අපේ පක්ෂය හැදුනෙත්, ආරක්ෂා වුණෙත් කොළඹ නිසයි. 1960 දශකයේ සිට අපේ බලකොටුව ලෙස පැවතුණේ කොළඹයි. ඒ නිසා නගර සභා ඡන්දයක දී කොළඹ ජනතාව වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටසකට වඩා වැඩ කොටසක් කළ යුතුයි.

“ඔවුන් එදා කොළඹ නගරයේ අලංකාරත්වය පිළිබඳව කතා කළා. නමුත් ඇත්ත වශයෙන්ම අලංකරණය පිළිබඳ දැන ගැනීමට හැකි වුණේ මා අගමැතිවූ පසුයි. අලංකාරය වෙනුවෙන් ඔවුන් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් ගෙවා අවසන් කර නැහැ.

ඔවුන් අලංකාරය වෙනුවෙන් ආරම්භ කළ ව්‍යපෘති වෙනුවෙන් වසර 03 ක් ගත වන විටත් අපේ ආණ්ඩුවට ගෙවීමට සිදුව තිබෙනවා.

පසුගිය ආණ්ඩුව කොළඹ අලංකරණය කළ බවට කෑ ගහනවා. විශාල වශයෙන් මුදල් විනාශ කළා. භාණ්ඩාගාරය හිස් කළා. ඔවුන් ඉදි කළ තට්ටු නිවාස සඳහා මුදල් ගෙවන්න සිදුව තිබෙන්නේද අපටයි.

ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ නගර සභාවේ නිල කාලය අවසන් වුණා. ඒ නිසා දැන් ඔබෙන් ඉල්ලන්නේ ආණ්ඩුවේ බලයත්, නගරසභාවේ බලයත් යන දෙකම අපට දෙන ලෙසයි.

අඟරුවාදා - සාධාරණය කාටද?

පොලිසියේ භාවනා චක්‍රලේඛය අනුව උදෑසන භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් බැණ පහරදීමට උත්සාහ කරනු ලැබූ බව කියන පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්‍රියාකරු තමන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

මෙම සිදුවීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වූ බවත්, දැඩි සිත්තැවුලෙන්ම පසුගිය ඔක්තෝබර මාසයේ විශ්‍රාම ගිය බවත් ඔහු යොමු කළ ලිපියේ සඳහන්වේ.

මෙම සිදුවීම ගැන එම විදුලිසෝපාන ක්‍රියාකරු මුලින්ම රහස් පොලිසියේ ප්‍රධානීන්ට පැමිණිල්ලක් කර තිබුණු අතර ඉන් විමර්ශනයක් සිදු නොවීම නිසා පොලිස් කොමිසමට ද පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද සාධාරණයක් ඉටු නොවුණ නිසා තමාට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඔහු ජනාධිපතිට කළ පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

එම පැමිණිල්ලේ පිටපත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට ද යොමු කර ඇත.

කී දේ නොඇසීමේ විපාකය

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරුන් තමන්ට විරුද්ධව කරන ප්‍රකාශවලට දැඩි විරෝධය පළ කළ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා පැවැති කැබිනට් රැස්වීමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තාවිය. එසේ නැගිට යාමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන් හමුවේ දීර්ඝ කථාවක් ද කර තිබේ. අද පැවැති කැබිනට් රැස්වීම ආරම්භයේ දීම කැසට් රෙකෝඩරයක්ද රැගෙන රැස්වීමට පැමිණි ජනපති සිරිසේන මහතා තමන් විසින් අද කරනු ලබන ප්‍රකාශයට කැමති අය මෙන්ම අකමැති අයද සිටිය හැකි නමුත් තමන් මෙම ප්‍රකාශය කරන බවත් පවසා ඇත.

විනාඩි 35ක කාලයක් දැඩි ස්වරයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා එජාපයේ හරීන් ප්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, නලින් බණ්ඩාර හා සුජීව සේනසිංහ වැනි ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

තමා බැඳුම්කර කොමිසම පත්කළේ එජාපයට මඩ ගැසීමට නොව හොරුන්ට දඬුවම් කිරීමට බව පවසා ඇති ජනපතිවරයා හොරුන්ට දඬුවම් දෙනවාට විරුද්ධ ද නැද්ද යනුවෙන් විමසා ඇත.

රවී කරුණානායක මුදල් ඇමැති ධූරයටත් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයටත් පත් කිරීමේ දී තමා දැඩි විරෝධය පළ කළ බව කී ජනපති සිරිසේන මහතා එදා තමන් කී දේ ඇසුවානම් අද මෙවැනි අර්බුදයක් ඇතිනොවන බව ද පවසා ඇත. මේ ආකාරයට ආණ්ඩු කළ නොහැකි බව කී ජනපති සිරිසේන මහතා ආණ්ඩුව කරගෙන යනවාද නැද්ද යන්න එජාප මැති ඇමැතිවරුන් තීරණය කළ යුතු බව ද කියා සිටිමින් රැස්වීමෙන් පිටව ගිය බව ද වාර්තාවේ.

අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකු ජනපති කාර්යාලයට ගොස් මෙවැන්නක් ඉදිරියට ඇතිවීමට ඉඩ නොතබන බව කියමින් ජනපතිවරයා නැවත කැබිනට් රැස්වීමට කැඳවාගෙන පැමිණ ඇතැයි වාර්තා වේ.

බදාදා - වාර්තා එළියට

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනධිපති වාර්තාවෙහි පිටපත 26ක් සහ සංක්ෂිප්ත වාර්ථාවක්ද බරපතග වංචා දූෂණ පිළිබඳ විමර්ෂණ වාර්තාවෙහි පිටපත් 34ක් ද පසුගියදා (17) පෙ.ව 11.18ට ජනාධිපති කාර්යාලයේ නීතීඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.

බ්‍රහස්පතින්දා - තේරීම හරිද

මහජන නියෝජිතයකු වීමට කිසිසේත්ම නුසුදුසු දූෂීත අපේක්ෂකයන් 50 දෙනකු පිළිබඳ තොරතුරු මාර්තු 12 ව්‍යාපාරය සතුව ඇතැයි එම ව්‍යාපාරය කියයි.

ස්ත්‍රී දූෂකයෙක්, මිනී මැරුම් ඇතුළු දරුණු ගණයේ අපරාධකරුවන් හයදෙනෙක්, මුදල් වංචාකරුවන් 14 දෙනෙක්, පාතාල නායකයන් පස්දෙනෙක්, නීති විරෝධී මත්පැන් කසිප්පු ජාවාරම් හා සූදු අන්තුවන් 14 දෙනෙක්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 06 දෙනෙක් හා දැව ජාවාරම් කරුවන් හතර දෙනෙක් මේ අතර සිටින බව මාර්තු 12 ව්‍යාපාරය අද(16) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවක දී එහි කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මොවුන් අතර ප්‍රධාන පක්ෂ හතරටම අයත් පුද්ගලයින් සිටින බව ද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ඔපරේෂන් 2

‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න. මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි

ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය.

‘‘පසුගිය කාලය තුළ මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා.

මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහි දී කියා සිටියේය.

සිකුරාදා - අවීචි මහා නරකාදිය

“දේශපාලනඥයින් අතර සිටිනා දූෂිතයින් වංචාකාරයින් හොරුන් සියලූ දෙනා අවීචි මහා නරකාදියට ගියදාට පසුවදා මම ගෙදර යනවා.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (18) කොස්ගම දී පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සීතාවකපුර නගරසභාවේ හා ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ජනරැලියකදීය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා. මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ. මම ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ. ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා.

පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමඟ එකතු වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”.

සෙනසුරාදා - නැන්දට මිලියන 20ක්

මිග් යානා (යුක්රේන) ගනුදෙනුව සම්බන්ධ සිද්ධියට අදාළ සැකකරුවකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8ක් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7ක්, කොළඹින් අක්කරයක් හා නිවාස සංකීර්ණයක නිවසක් සැකකරු නමින් මිල දී ගෙන ඇති බවට හෙළිවී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන් අතර එම ඉඩම් විකිණීම හා පැවරීම අත්හිටුවන ලෙස ද අධිකරණයෙන් ඉල්ලීමක් කෙරුණි.

එමෙන්ම උදයංග වීරතුංග මහතාගේ උපදෙස් මත මිතුරෙකුගෙන් ණයට ගත් රුපියල් මිලියන 20ක් සැකකරුගේ නැන්දණිය නමින් තැන්පත් කර ඇති බවට හෙළි වූ බව ද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියාසිටි අතර එම ගිණුම් පරික්‍ෂා කිරීමට අවසර ලබා දෙන ලෙසයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේය. ඒ ගිණුම් පරික්‍ෂා කිරීමට බැංකු කළමනාකාරවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.

රසික කොටුදුරගේ

Comments