දෙන්නට වුණු දේ ගමේ අය දැනගත්තේ වසර හත­ර­කට පසුයි! | Page 3 | සිළුමිණ

දෙන්නට වුණු දේ ගමේ අය දැනගත්තේ වසර හත­ර­කට පසුයි!

වැව් දියෙන් මතුව මඳ සුළගින් සැනහෙන රතු නෙළුම් යායක දසුන මා නෙත ගැටේ. මානෑව කඳු සිරස මතින් බැස යන හිරු මෝදුවී එන අඳුර සමඟ නොතිත් ගැටුමකට මුල පුරා තිබේ. කවදාකවත් සිඳී නොයන මානෑව වැව් කොමළියට මේ විසල් කඳු සිරසෙන් කොපමණ රැකවරණයක් සැලසේදැයි මම මෙනෙහි කළෙමි. මේ විසල් කඳු සිරසට නෙළුමින් සුසැදි වැව් කොමළියට යාබදව පිහිටි මානෑව ගම් පියස මින් දශක කිහිපයකට පෙර සසල කළ අනුවේදනීය පෙම් පුවතක තතු සොයා ගිය ගමනකි මේ.

වනන්තරේ වෙනසක් නෑ පෙම් සිතුවිලි පෑදේ

හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ

මෙපුවත පාදක කොටගෙන සිනමාවේදි ධර්ම ශ්‍රී කල්දේරා සිනමාවට නැඟූ රෑන ගිරව් චිත්‍රපටයේ දසුන් පෙළක පසුබිමින් ආචාර්ය අමරදේවයන් සමඟ නන්දා මාලනිය එම චිත්‍රපටයට ගැයූ ගීයක පද මා මනසේ මතුව එයි. සිතින් ඇසෙනා ඒ හඬ පරයා ඔබ්බෙන් ඇති හේන් යායේ උඩ පැලකින් මතුව එන මියුරු වස්දඬු රාවයෙන් මා සිත වශීකෘතව යයි. අවට නිහැඬියාව බිඳිමින් වරින් වර මතුවන කිරල් හඬින් සමවැදුණු මා සිත මොහොතකට වෙනතකට හරවයි. ප්‍රේමයෙන් ආතුරවූවකු ගේ මතයේ දළුලන සිතුවිලි මා හදවත විනිවිද යන්නාක් මෙන්ය.

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

එප්පාවල - කැකිරාව ප්‍රධාන මාවතේ එප්පාවල නගරයේ සිට කිලෝ මීටර් 20 ක් පමණ පැමිණි පසු හමුවන මානෑව හන්දියේ සිට වම් පසින් ඇති අතුරු මාර්ගයෙන් පිවිස, සැතපුම් තුනක් පමණ ආ විට ඉපැරැණි මානෑව ගම්මානය හමුවේ. මෙහි ඉතිහාසය පෙර රජ දවස දක්වා දිව යන්නකි. මානෑව කඳු පාමුල පිහිටි මහානාම රජදවස ඉදිව ඇතැයි සැලකෙන මාලිගාවක නටබුන් ඒ ගැන මනාව දෙස් දෙති. ඉපලෝගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි මෙහි ගැමියන්ගේ එවක පටන්ම ප්‍රමුඛ ජීවනෝපාය වී ඇත්තේ ගොවිතැනය. හේන, කුඹුර අදත්මේ ගම්මැද්දට නුහුරු නොවුවකි.

ඒ හැටේ දශකයේ මුල භාගයයි. ඔහු නමින් ටිකිරි බණ්ඩා ය. ඇය බණ්ඩාර මැණිකා ය. කිරි වැදී පැසී එන බඩඉරිඟු යාය මැදින් මතුව පෙනෙන බණ්ඩාර මැණිකාගේ රුව දකින හැම වාරයක් පාසාම ටිකිරිගේ හිත කාටත් රහසේම නොසන්සුන් වන්නට විය. හිරිගඩු පිපෙන සීතල දුරුතු මහේ ගෙවීයන හැම රාත්‍රියකම නොකිය හැකි ප්‍රේමයක් ඔහු හිත පුරා දළුලා වැඩේ. මේ මහා කඳු

සිරසටත් වඩා විසල් වූ ප්‍රේමය ඛේදවාචකයකින් හමාර වූයේ කවර නම් අභාග්‍යයක් නිසාදැයි වටහා ගත නොහැක්කකි.

මානෑව ගම්වාසී හැට අට වියැති ආර්.බී.ඩී. විමලසේන මහතා පැවසුයේ මෙවැනි කතාවකි. ඔහු පවසන අන්දමින් බණ්ඩාර මැණිකා ඔහුගේ ලොකු අම්මාගේ දියණියයි.

“අවුරුදු හතරකට පස්සේ තමයි ගමේ මිනිස්සු දැනගෙන තියෙන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොකද වුණේ කියලා. අනුරාධපුර දිසාපති කන්තෝරුවේ ඔය පිටින් ආපු මහත්තුරු කට්ටියක් විනෝදෙට මේ කන්දට නැගලා තියෙනවා. එතකොට තමයි කන්ද මුදුනට වෙන්ඩ තියෙන තැනිතලාවක තිබිලා ඇට සැකිලි දෙක දැකලා තියෙන්නේ. අතේ දාපු වළලු, කරාබු දෙකක්, තුවක්කුවක්, පිහියක්, පතරොං එහෙම තිබිලා තියෙනවා. පස්සේ මේ කතාව අල්ලලා හදපු චිත්‍රපටියේ ඔය සිද්ධිය නෑ. වෙඩි තියලා කෙල්ල අරගෙන යනකොට චිත්‍රපටිය ඉවර වෙනවා. මට යන්තන් මතකයි ගාමිණි ෙෆාන්සේකා මහත්තයා එහෙම ඇවිල්ලා චිත්‍රපටිය ගහපු හැටි. කෙල්ලට රගපෑවේ විජිත මල්ලිකා. ඒ කාලේ හිටපු ලස්සනම නිළියක්. කැමරා උස්සගෙන මහ පිරිසක් ඇවිල්ලා කරපු වැඩේ ගම්මැදිවල අපිට ඒ කාලේ හරි ලොකු දෙයක්. නිතරම අපි ඒ කාණ්ඩෙ පස්සේ වැටිලා හිටියේ.”

කිසිවෙකුට හෝ නොනැමෙන, කඩවසම් ටිකිරි පිළිබඳ හැඟීමෙන් මැණිකාගේ තුරුණු සිත ද පිරී යන්නට විය. විටෙක ඔහුගේ අහිංසක දගකාරකම්වලට පෙම්බැඳි ඇය තවත් වරෙක ඔහු වෙනුවෙන් හැඬුවාය. එනිසාම ජීවිතයේ කෙදිනක හෝ ඔහු නිසාම දිවි දෙන්නට සපත වුවාය.

හිමිදිරියේ පිපී එන වන මල්, මේ වැව් කොමළිය, විසල් කඳු සිරස නමක් ගමක්

නොදන්නා නේක සකුණයෝ හා බැස යන හිරු ඒ සඳහා සාක්ෂි දැරූහ. වැලි දුලි මත සැඟව ගිය අතීතය යළි සිහිපත් කළ ගම්වාසී තලතුනා වැඩිහිටියෙකු වන එම්.පී. මෛත්‍රීපාල රාජකරුණා මහතා ද එදවස ගැන මෙසේ සිහිපත් කළේය.

“ඔය පවුල් දෙක එක ළඟ ගෙවල් දෙකේ ඉඳලා තියෙන්නේ. එකම හේන තමයි දෙකට කඩාගෙන ගොවිතැන් කරලා තියෙන්නේ. ඒ තරං ලොකු බැඳීමක් පවුල් දෙකේ තිබිලා තියෙනවා. අපේ අම්මලා අපිට කියපු විදිහට ටිකිරි බණ්ඩා බොහෝම හැඩි දැඩි කාටවත් බය නැති කොල්ලෙක්. හැබැයි කාටවත් වරදක් තිබිලත් නෑ. නිතරම තුවක්කුව අතේ තිබිලා තියෙනවා. කෙල්ලත් හරි හැඩට ඉඳලා තියෙනවා. මේ සිද්ධිය වෙනකොට කෙල්ලට අවුරුදු 20 ත් තරමත්, කොල්ලට අවුරුදු 22 ක් තරම් වෙන්ඩ ඇති කියලයි අම්මලා කියන්නේ.”

“ඒ තරම් ලොකු බැඳීමක් තිබිලත් ඉතින් අවසානේ මොකද වුණේ? ”මානෑව ගමේ අතීත මතකයන් වල අහුමුලු හොඳහැටි දත් ආර්.ඩී.බී. විමලසේන මහතා වෙතින් මම විමසුවෙමි.

“මොකද වුණේ කියන්නේ කොහොම හරි දෙන්නගේ සම්බන්දෙට කෙල්ලගේ අයියා කැමති වෙලා නෑ. එතැනින් පස්සේ තමයි හැම විපතක්ම වෙන්ඩ අරන් තියෙන්නේ.” විමලසේන මහතා වචන ගැළපීය.

මුළු මහ පොළොවම හා අනන්ත වු අහස ඇයම බව සිතූ ගෙවීයන හැම මොහොතකම ඇයම පැතූ ඔහුගේ සිත දුකින් හඬා වැටෙන්නට විය. දඬු වැටට එපිටින් ඇයගේ කෝල සිනා අසිරිය සිහිනෙන් මෙන් ඇසෙන්නාක්මෙන්ය. ඈත වන රොදකින් මතුව ආ රෑ කොවුලෙකුගේ ශෝකාකූල හඬ හදවතේ ගැඹුරුම තැන් විනිවිද යද්දී එක්තරා දිනක හිරු බැසයන හෝරාවේ වියෝ වේදනාවෙන් ආතුර වු ටිකිරිගේ සිතුවිලි පුපුරු ගසන්නට විය.

“මැණිකා යමු මාත් එක්ක” සිතේ නැඟි අප්‍රමාණ සෙනෙහස නිසාම ටිකිරි පෙම්වතියට ආයාචනය කළේය.

“මට අයියලා, අම්මලා කියන දේකට පිටින් යන්ඩ බෑ. අයිය හිත හදාගන්ඩ..” රැයක් දවාලක් නොමැතිව හඬා වැටුණු හිත දැඩි කොටගත් බණ්ඩාර මැණිකා එක එල්ලේම පැවසුවාය. ටිකිරි බණ්ඩාට දැනුණේ සියලු සිහින නිමේෂයකදී තම දෙපාමුල කඩා වැටෙන්නාක් මෙනි. තමන්ට අහිමි වන්නට කිසිවක් නොහේය යන අසරණ හැඟීමෙන් සියොළඟ වෙලී යද්දී සිත වාවා ගත නොහුණු ටිකිරි

අන් කවරදාටත් වඩා දැඩි වන සේ තුවක්කුව සුරතට ගෙන එක්තරා තීරණාත්මක ගමනකට පිවිසියේ කවරෙකු හමුවුවත් යළි ආපසු නොහැරෙන අධිෂ්ඨානයෙනි. ඉන් පසුව සිදුවුයේ කුමක්ද? ඒ මතකය අනුවේදනීය එකකි.

 

වයසින් මුහුකුරා ගිය ටී.බී. මුදියන්සේ මහතාගේ මතකය මෙබන්දකි.

“බණ්ඩාර මැණිකෙගේ අම්මටයි, තාත්තටයි, බාප්පටයි, අයියටයි ගෙදරටම ඇවිල්ලා වෙඩි තියලා තියෙනවා. ඒකෙන් අම්මයි, තාත්තයි, බාප්පයි එතැනම මැරිලා තියෙනවා. අයියගේ අතකට වෙඩි වැදිලා තියෙන්නේ. ඒත් අයියා කොහොම හරි බේරිලා තියෙනවා. දැන් ඒ මනුස්සයාත් නැතිවෙලා සෑහෙන කාලයක්. ඒ වෙලාවෙම කෙල්ල අරගෙන ගිහිල්ලා තියෙනවා. එක එක ආරංචි ආවා. අහවල් තැන, අහවල් ගමේ ඉන්නවා වගේ ආරංචි. ඒත් අවුරුදු ගාණක් යනකල් දෙන්නට මොකද වුණේ කියලා කාටවත් හොයාගන්ඩ හම්බ වුණේ නෑ. පුරාණගම තිබ්බේ දැන් ඔය වෙල් යායයි, හේන් යායයි තියෙන හරියේ. පස්සේ තමයි මිනිස්සු ගම මැදට වෙන්ඩ ගෙවල් හදාගෙන පදිංචි වෙලා තියෙන්නේ. ඔය සිද්ධිය වෙලා තියෙන්නේ වැව පාමුල තිබ්බ පුරාණ ගම් මැද්දේ. අදත් වැව පාමුල තියෙන සොහොන් පරණ කනත්තේ හදපුවා. ගම්මැද්දේ පන්සල ඒ කාලේ ඉඳන්ම තිබිලා තියෙනවා. අදත් මේ ගම ගැන කිව්ව ගමන් මිනිස්සු මතක් කරන්නේ මේ සිද්ධිය. චිත්‍රපටි කතාවෙන් පස්සේ ප්‍රසිද්ධිය තවත් වැඩිවුණා.”

දලු ලා වැඩුණු ප්‍රේමයක අවසානය සටහන් වූයේ එලෙසය. වන ගොමු අතරින් මතුව ආ සියොතුන්ගේ නාදය නිහඬ වෙද්දී එදා මුළු ගමම ඛේදවාචකයක හඬින් දෙදරුම් කන්නට ඇත. ඒ අතීත මං මතින් නික්මී මානෑව ගම්මැද්දෙන් මම බැහැර ආවෙමි. තවත් මද වේලාවකින් අඳුර මකා හිරු උදාවනු ඇත්තේය. සියල්ල අතීතයට බාර කළ මානෑව ගම්මැද්දේ වෙසෙන ටිකිරි හා බණ්ඩාර මැණිකේ ගේ පරම්පාරාවේ ඇත්තෝ පරණ තරහ අමතක කොට නෑදෑකම් සමඟින් අදටත් යෙහෙන් කල් ගෙවති.

Comments