
මනුෂ්‍යයන් වන අප අතර ජාති, ආගම්, කුල හා පාට පක්ෂ වශයෙන් බේද රැසකි. ඒ ඔස්සේ හැළහැප්පීම්වලට මුහුණ පෑමට සිදු වුවද සැවොම ඇට ලේ මස් නහරවලින් සැදි එකම මනුසත්වයකු බව පසක් කළ සිදුවීමක් පට වාර්තා වූයේ මහනුවරිනි. අකාලයේ මෙලොව හැරයෑමට සිදු වූ ද්‍රවිඩ තරුණයෙකු ජිවිතයත් මරණයත් අතර සිටිමින් තම වර්ගයේ සහෝදර ද්‍රවිඩ තරුණයෙකුට සහ සිංහල තරුණයෙකුට තම වකුගඩු පුදා අලුත් ජීවිතයක් ලබා දී පසුගියදා මෙලොවින් සමුගත්තේය.
මහනුවර කුණ්ඩසාලේ ආයුර්වේද පාරේ ජයන්ති උද්‍යානයේ පදංචි තිස්පස් හැවිරිදි රාමසාමි රවි චන්ද්‍රන් තරුණයා සහෝදරයන් සිවුදෙනෙකුගෙන් යුතු පවුලේ තෙවැනියාය. ඔහු සේවය කළේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු ලෙසය. බිරිය විජය ලෙච්චමිය. එකම දියණිය සිවු හැවිරිදිය. පියා මියගොස් ඇති රවි චන්ද්‍රන් තම අම්මා සහ සහෝදරයන් සමග සතුටින් ජිවත් විය. ඔහුගේ ජිවිතයේ බොහෝ සිහින තිබෙන්නට ඇත.
රවි චන්ද්‍රන් පසුගියදා නගරයට ගියේ බිරියටද පවසා අවශ්‍යතාවක් සඳහාය. පාර මාරුවීමේදී ඔහු කවදත් වැඩි ආරක්ෂාව සඳහා ගියේ කහ ඉර මතිනි. එහෙත් එදින තම ජීවිතයේ තීරණාත්මක දිනයක් බව ඔහු කිසිසේත්ම නොසිතන්නට ඇත. කහ ඉර මතින් ඇවිද යද්දි අනපේක්ෂිත අයුරින් වේගයෙන් පැමිණි ඩිපෙන්ඩර් රථයක ගැටුණු ඔහු මිටර් විස්සක් පමණ ඉදිරිය ඇදී ගියේය. ඒ සිදුවිම රවි චන්ද්‍රන්ගේ ජිවිත ගමනේ අවසානය වෙතැයි කිසිවෙක්වත් නොසිතූහ. රියේ ගැටුණු රවි චන්ද්‍රන් කඩිනමින් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරිණි.
රෝහලට ඇතළත් කෙරුණු රවි චන්ද්‍රන්ගේ ජිවිතය බේරා ගැනිමට වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් ගත්හ. ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
සියලු සිත්හි බලාපොරොත්තු තබමින් තම දරුවා ස්වාමි පුරුෂයා අද දෑස් විවර කර අප දෙස බලනු ඇතැයි සිතා ඥාතිහු දිනපතා උදේ දිවා සවස් වරුවලදී රෝහල කරා පිය නැගූහ. මේ අයුරින් දින සති ගෙවී යද්දි වෛද්‍යවරුන් ද ඔහුගේ ජිවිතය බේරා ගැනිමට කළ හැකි සෑම පිළියමක්ම කර තිබිණි.එදිනද රවි චන්ද්‍රන්ගේ ඥාතීහු රෝහල කරා පිය නැගුවේ ඔහුගේ රෝගී තත්ත්වයේ කිසියම් හෝ ප්‍රගතියක් ඇතැයි දහසක් බලාපොරොත්තු තබා ගෙනය.
එහෙත් ඥාතීන්ට එදා අසන්නට හා දකින්නට ලැබුණේ රවි චන්ද්‍රන් දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් හුස්ම ගනිමින් සිටින අන්දමය. ඔහු මිය ගොස් නැත. නමුත් ඔහුගේ මොළය මිය ගොස්ය. විශේෂඥ වෛද්‍යවරුන් විසින් තෙවරක්ම පරික්ෂා කරනු ලැබීමෙන් පසු අවසන් නිගමනයවී තිබුණේ රවි චන්ද්‍රන් තවදුරටත් ජිවත් කළ නොහැකි බවයි. ඔහුගේ ජීවිතය යන්ත්‍රයක ආධාරයෙන් තව දින දෙක තුනකට සිමා වි තිබුණි. එන්ට එන්ටම තව දුරටත් දුර්වල වන ඔහු තව දිනකින් හෝ දෙකකින් සදහටම දෑස් පියා ගනු ඇත.
රවි චන්ද්‍රන්ගේ තත්ත්වය දැන ගත් අවස්ථාව ඥාතීන්ට ඉතාම සංවේගකාරි අවස්ථාවකි. මෙවැනි අවස්ථාවක් දෙමවුපියන්ට පැවසිම වෛද්‍යවරුන්ට වුවද ඉතා අසීරුය. සිය ඥාතියා තව දින දෙක තුනකින් ඔවුන් අතරින් සමු ගන්නා බව ඇසිම කාටනම් දරා ගත හැකිද? රවි චන්ද්‍රන්ගේ ඥාතීන්ට ද ඒ පුවත දැඩි වේදනාකාරී විය.
වෛද්‍යවරුන් රවි චන්ද්‍රන් තරුණයාගේ සෞඛ්‍යය තත්ත්වය ඔහුගේ ඥාතින්ට පහදා දෙද්දී ඥාතිහු හඩා වැලපුණහ. එහෙත් ඔවුන්ට කළ හැකි කිසිවක් නැත. ජිවිතයට මුහුණ දිය යුතුය. මරණයෙන් කිසිවෙකුට පලා යා නොහැක. මරණයට මුහුණ දෙන්නා ජීවිතයෙන් සමුගෙන ගියද ජිවත් වන්නන් ඒ මරණයේ දුක දරාගත යුතුය. මෙලොව හැර යෑමට සිදුවන පුද්ගලයාට තමා ජිවත් වු ලෝකයට ජිවිතය හැරයන මොහොතේ හෝ කළ හැකි යමක් තිබිය හැක. සිහිසුන් නැතිව වැතිර සිටින ඔහුට තමා කළ යුත්තේ කුමක්දැයි තිරණය කළ නොහැක. ඒ කොටස තම දෙමවුපියන් හෝ තම සමීපතමයන්ට බාරය. ඉන් ඔහුට මෙලොවට මෙන්ම පරලොවටද සෙතක් වනු ඇත.
රවි චන්ද්‍රන්ගේ පවුලේ උදවිය ඒ කාර්යය සියතට ගත්හ. පියා අහිමි වීමත් සමඟ පවුලේ බර කරට ගත් රවි චන්ද්‍රන්ගේ වැඩිමහලු සහෝදරයා සිය මව සමඟ සාකච්ඡා කළේය. ඇගේ තවත් පුතෙකුගේ ද ජීවිතය දුම්රිය අනතුරකින් වයස අවුරුදු දහ අටක් වැනි අඩු වයසකදී අහිමිව තිබිණි. එසේ තිබියදී මවකට සිය තවත් දරුවකුද අහිමිව යෑම කෙසේ නම් දරා ගන්නද? දැඩි ආයාසයක් ගෙන මව සහ පුතු තිරණයකට එළඹුණහ. රවි චන්ද්‍රන් තවදුරටත් ජිවත් නොවනු ඇත. ඔවුහු රවි චන්ද්‍රන්ගේ බිරියගෙන්ද අවසර ලබා අවයව ජීවිතය යදින තවත් රෝගීන් දෙදෙනෙකු සඳහා පරිත්‍යාග කිරිමට සිය කැමැත්ත ලබා දුන්හ. මෙවන් කටයුත්තකදී අවයව දන්දීමට කැමැත්ත ලබා දුන්නද වෛද්‍යවරුන් විසින් සිදු කළ යුතු කටයුතු බොහොමයකි.
මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිමේ ඒකකයට මේ බව දැනුම් දිමත් සමඟ ඉදිරි කටයුතු සැලසුම් කෙරුණු අතර අවයව ලබා ගැනිම පේරාදෙණිය දන්ත රෝහලේ දැඩි සත්කාර ඒකකයේදි සිදු කෙරිණි. එම ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර, මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය විසින් එම තරුණයාගේ වකුගඩු ඉවත් කිරිමේ සැත්කම සාර්ථකව ඉටු කළහ. මහනුවර මහ රෝහලේදි පුද්ගලයින් දෙදෙනෙකුට එම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම පසුගියදා සිදු කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණඩලය සහ හෙද කාර්ය මණ්ඩලය විසිනි.
වකුගඩු ආබාධවලින් පෙළෙමින් මහනුවර මහ රෝහලේ දිර්ඝ කාලින ප්‍රතිකාර ලබමින් ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් අසාධ්‍ය තත්ත්වයේ පසු වු හතළිස් නව හැවිරිදි ද්‍රවිඩ තරුණයෙකුට සහ පනස් වියැති සිංහල තරුණයෙකුට මෙම වකුගඩු දෙක සාර්ථකව බද්ධ කෙරිණි.
අවයව පරිත්‍යාග කළේ ද්‍රවිඩ තරුණයෙකි. එම අවයවවලින් ජීවය ලැබුවේ ද්‍රවිඩ සහ සිංහල පුද්ගලයන් දෙදෙනෙකි. සමාජයේ ජාතින් අතර කුමන විරසක හා නොගැළපීම් පැවතියද ඔවුන්ගේ සිරුරුවලට එම අවයව මනා ලෙස ගැළපිණ. ඉන් මරණය පෙනි පෙනි දිවි ගෙවු පුද්ගලයින් දෙදෙනෙකුට ජිවය ලැබිණ.
අවයව පරිත්‍යාග කිරිමේදි මේ අවයව ලබා දෙන්නේ කවුරුන්ටද කුමන ජාතිකයකුටදැයි රවි චන්ද්‍රන්ගේ පවුලේ කිසිවෙක්වත් නොවිමසූහ. අවයව ලබා ගැනිමේදි ද මේ කාගේ අවයවදැයි කවුරුත්ම විමසුවේ නැත. ඔවුන් වෙත වූයේ ජීවත් වීමේ නොනිත් ආශාවය. උතුම් වූ මනුෂ්‍යත්වය පෙරදැරි කරගනිමින් රවි චන්ද්‍රන් ඔවුන්ගේ ඒ අවශ්‍යතාව පිරිමසාලූයේය. ජාති භේද වපුරවමින් කුළල් කා ගන්නා උදවියට පාඩමක් කියාදී රවි චන්ද්‍රන් තරුණයා මෙලොවින් සදහටම සමු ගත්තේය.