නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

යුග මාතා

හැත්තෑ දෙවසරක් ආයු වැලඳූ දෙල්ලව හාමිනේ මිය පරලොව ගියා ය.

මම ඒ මළගෙදර ගියෙමි.

ඇයට අවසන් ගෞරවය දක්වා පසෙකට වී නිහඬව සිටි නිමේෂයේ කාලය නමැති වැල්ලෙන් වැසී ගිය අතීත මතකයන් මුතු කැට සේ මා අබිම‍ුවේ දිග හැරෙන්නට විය.

දෙල්ලව, මිල්ලව වැනි පෙදෙස් ගාලු කඩවත් සතරට අයත් මොරවක් කෝරල සීමාවේ පිහිටි දිරිය මිනිසුන්ගේ ගම්මාන විය.

බටකැටියේ රාලහාමි මොරවක් කෝරලයේ සිටි මධ්‍යම ප්‍රමාණයේ කුඹුරු හිමියකුව සිටියේ ය. ඔහුට දැවැන්ත ගව පට්ටියක් ද විය. එහි කිරි එළදෙන්නු සියයක් පමණ වූහ. අපේ ගම වන කිරිළිපණේ මී කිරිවලට ප්‍රසිද්ධ වූයේ බටකැටියේ ගවපට්ටිය නිසා ය.

ඉතින් මේ බටකැටියේ රාලහාමිට ඇදුම රෝගය වැලඳිණි. එය දරුණු වී ඔහුට අසාධ්‍ය විය. කිරිළිපනේ පල්ලේගම්ගොඩ බාල අප්පුහාමි බටකැටියේ රාලිහාමිගේ හොඳ මිතුරෙකි. වාසනාවකට මෙන් බාල අප්පුහාමි සිය මිතුරා බලන්නට ආවේය. රාලහාමිගේ ශෝචනීය තත්වය දුටු බාල අප්පුහාමි වහාම ඌරාපොළ වෙද මහත්තයා කැඳවාගෙන ආවේය. ඒ ඇදුමට ජීවකයකුව ප්‍රසිද්ධව සිටි වෙදැදුරෙකි.

ඇදුමට කෙරුණු ප්‍රතිකාරය විස්මිතය.

වහලේ බාල්කයක කඹවලින් එල්ලන ලද මෝල් ගසකි. එය තිරස් අතට එල්ලී තිබිණි. පපුවේ කල්කයක් ගාන ලද රෝගියා ඔසවා මෝල් ගසෙහි රැඳවිණි. රඳවන ලද්දේ දණහිස් සන්ධිවලිනි. එවිට රෝගියාගේ හිස පහළට එල්ලී වැටිණි.

ඔහු ගේ හිසට කෙළින් බිම තබන ලද මහ කොරහකි.

පපුවේ ගා තිබුණේ විස්මිත කල්කයකි. රෝගියා‍ගේ පපුවේ සෙම බුරුල් වෙවී නාසය දිගේ කොරහට වැටෙන්නට විය. පැය කිහිපයක දී කොරහ පිරිණි.

මෝල් ගසින් බිමට බාන ලද්දේ තවදුරටත් රෝගියෙක් නොවේ. ඇදුමින් නිට්ටාවට සුවය ලැබූ ‍නිරෝගී මිනිසෙකි.

ඇදුමින් මැරෙන්නට වැටී සිටි බටකැටියේ රාලහාමි සුවපත් වූයේ එසේ ය. රාලහාමි ජීවකයාණන්ට කෘත ගුණ දැක්වූයේ සිය දියණිය ඔහු ගේ දෙවැනි පුතාට සරණකර දීමෙනි.

මෙදා මිය ගොස් සිටින දෙල්ලව හාමිනේ එදා එසේ සරණ ආ මනාලියයි.

දෙල්ලව හාමිනේ දිරිය මාතාවකි. බටකැටිය නම් වූ මහා වගුරු බිම සරුසාර කෙතක් බවට පත් වූයේ ඇගේ ආගමනයෙන් පසු ය. ජනතා හාල් මෝල, ජනතා ප්‍රවාහන සේවය, ජනතා පොල් මෝල සහ ජනතා හාඩ්වෙයාර් ඇතුළු දිරිමත් හිමිකාර දරු පරපුරක් බිහි කළ මාතාව ඇයයි.

දෙල්ලව හාමිනේ ඔත්පළ වී වසරක් ගෙවී තිබිණි. එදා සිට ම කුඹුරු යාය පුරන් විය. වසර හැත්තෑ ගණනක් තිස්සේ සරුසාර අස්වැන්න ලබා දුන් බටකැටියේ පුරන් කුඹුරු යාය දෙස මම ශෝකයෙන් බලා සිටියෙමි.

 

කිරිළිපණේ පියදාස මුණසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


පවුල් බැම්ම

අසරණ පවුලකට ආණ්ඩුවෙන් ලැබුණු ඉඩම් කෑල්ලකි. පහත් බිමකි. එහි තනන ලද පුංචි ගෙයකි.

කුලී වැඩ කර දරු පවුල නඩත්තු කරන ගෙහිමියාත්, බිරියත්, පාසල් යන දරු දෙදෙනාත් හැරුණු විට වියපත් තැනැත්තියක් එහි වෙසෙයි. ඒ ගෙදර බිරියගේ මවයි.

පෙදෙසම ගංවතුරින් යට වූ දිනෙක ඒ ගැන සොයා බලන පිරිසක් මේ ගෙදර ළඟට ද ආහ. ඒ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාධරයෝ ය.

“අපිට පේන හැටියට මේ කියන තත්ත්වය අනුව ඔය ගොල්ලන්ට මේ වයසක අම්මව රැක බලාගන්න, නඩත්තු කරන්න විදියක් නෑ. ඒ හින්ද හොඳම දේ එයාව කෑම - බීම, රැකවරණය තියන තැනකට යොමු කරන එකයි. අපි ඒකට උදව් කරන්නං. ඔයගොල්ලො කැමැතියි නේද?” පිරිසේ වගකිවයුත්තා වියපත් මවගේ දියණිය ගෙන් ඇසුවේ ය.

“අනේ මහත්තයො, අපේ අම්මව අපිට කවදාවත් වෙන දිහෑකට අරින්ඩ බෑ. අපිට කොච්චර අගහිඟකම් තිබුණත් කොච්චර හිරිහැර වුණත් අපේ අම්ම අපිත් එක්කම ඉන්ඩ ඕනෑ” දියණිය කීවාය.

“හොඳට හිතල බලන්ඩ! අපි කියන්නෙ කාගෙත් හොඳට”

ඇය අසරණ හිනාවක් පෑවා ය.

“අනේ බෑ මහත්තයො”

 

වත්තල, හැඳල, අ.ද. සුනිල් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. 

නෙළුම්විල

සිළුමිණ,

ලේක්හවුස්,

 

කොළඹ 10.

Comments