
දවසකට හෝ සිරගත වන්නට සිදුවන්නේ නම් එය කරුමයකි. මේ මිනිසුන් තුළ ඇති මතයයි . සැබැවින්ම එය කරුමයක් කියා සිතෙන්නේ හිර ගෙදර දී මිනිසෙකුට සාමාන්‍ය ජීවිතයෙන් සම්පුර්ණයෙන්ම අත් මිදෙන්නට සිදුවන බැවිනි. හිරගෙදර දී හිතෙන හිතෙන දේවල් කරන්නට බැරිය. සියල්ල සිදු වන්නේ කාල සටහනකට අනුවය. හිරගෙදරදි පෝලිම් නැතිව කිසිවක් සිදුවන්නේ නැත. බත් කන්නට යන්නේද පෝලීමේය. බෙහෙත් ගන්නට, නාන්නට, පමණක් නොව වැසිකිළි යාමට ඇත්තේ ද පෝලීමේය. නමුදු හිර ගෙදර ඉතිහාසයේම නොවූ අන්දමේ අපූරු වැඩසටහන් මාලාවක් ඉකුත් දා වැලිකඩ බන්ධනාගාරයේ සිදූ වුයේය. සිරගෙදර දිවි ගෙවන්නන්ට එදා පෝලිම් නැතිව වසරක් නොව වසර දහයක් නැතිනම් ඊටත් වඩාත් වැඩි කාලයක් නොවිඳි අත්දැකීමක් විඳින්නට ලැබුණේය.
හිරගෙදර දී ගෙදර මෙන් තමන්ට ඕනෑ ඕනෑ හැටියට කටට රහට කන්න ලැබෙන්නේ නැත. උණුවෙන් බත් ටික මස් මාළු එළවළු එකක් දෙකක් සමඟ ලැබුණ ද ඇතැමුන්ට කෑම ප්‍රියක් නැත. නීරසය දිය රහය. ඔවුහු කටට රසට කෑම කෑමට පසුගිය කාලයේ විවිධ උපක්‍රම භාවිතා කළහ. නමුදු මේ කියන්නට යන්නේ එවැනි කතාවක් නොවේ. හිඟන්නන්ට උණු බත් කොයින් ද කියනවා සේ පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට ද බොහෝ කලකට පසු කටට රසට ආහාර වේලක් රස විඳින්නට අවස්ථාව ලැබූණේය.
වැලිකඩ බන්ධනාගාරයේ එදින සිටි රැඳවියන් පිරිස දෙදහස් නවසියකි. කුමන ප්‍රශ්න තිබුණ ද සිර ගෙදර කුස්සියේ දිනපතා තුන් වේලටම කෑම පිසෙන්නේය. එහි කෑම පිසින්නේ නැත්තේ එක්කෝ සිරකරුවන් තම ආහාර වේල යම් සද්කාර්යයක් සඳහා පරිත්‍යාග කළොත් පමණි. නමුදු මේ සද්ක්‍රියාව සිදු වූ දා වැලිකඩ කුස්සියේ බත පිසුණේ කාන්තා අංශයේ කාන්තා රැඳවියන් සඳහා පමණි. එසේ නම් එදා වැලිකඩ රැඳවියන්ට කෑම ලැබුණේ කෙසේද?
හිර කරුවෝද මනුෂ්‍යයෝය. මේ සිරකරුවන් ට දැන් ඇත්තේ පුනරුත්ථාපන ක්‍රමවේදයයි. මේ ක්‍රමවේදය යටතේ හිර ගෙදර රැඳවියන් සඳහා විවිධ පුනරුත්ථාපන ක්‍රමවේද වන්නේය. රැඳවියා තුළ කායික හික්මීමක් මෙන්ම මානසික හික්මීමක් ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය . මේ මානසික හික්මීම ඇති කිරීම සඳහා බණ භාවනා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන්නේය. ඒ අනුව වසරක් තිස්සේ මාලඹේ මහමෙව්නා අසපුවේ භික්ෂුන් වහන්සේගේ දායකත්වයෙන් වැලිකඩ බන්ධනාගාරයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ආගමික වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේය .
එදිනට පැමිණෙ භික්ෂුන් වහන්සේ විසින් රැඳවියන් දෙසිය හතළිස් පස් දෙනෙකු සඳහා බුද්ධ වන්දනාව ධර්මය දේශනා කිරීම මෙන්ම රැඳවියන් විසින් භික්ෂුන් වහන්සේ සඳහා දන් පිළිගැන්වීම ආදි කටයුතු කරන්නේය. ඉකුත්දා සීල සමාදාන වැඩ සටහනත් සමඟ රැඳවියන් භික්ෂූන් වහන්සේ වෙත දානය පිරිනැමීම වෙනුවට රැඳවියන් සඳහා අසපුවෙන් හිර ගෙදරට ආහාර වේලක් පිරිනැමිණි. මෙලෙස පිරිනැමුණ විශේෂ දාන වේල පිටුපස කතාවක් ඇත්තේය. එය කියන්නට දන්නේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්නය.
“වසරකුත් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සෑම සතියකම බ්‍රහස්පතින්දා මේ ආගමික වැඩ සටහන ක්‍රියාත්මක වෙනවා. රැඳවියෝ ආගමික වැඩසටහන්වලට සහභාගි වීමට කැමතියි. භාවනා වැඩසටහන්වලට සහභාගිවෙන රැඳවියන් සඳහා මෙට්ටයක් ලබා දෙමු ද කියලා භිකෂුන් වහන්සේ සමඟ අප කතා වුණා. මේ ඇතිරිල්ල පරිත්‍යාග කිරීමට මහමෙව්නා අසපුවේ භික්ෂුන් වහන්සේ කැමැති වුණා ඒ කතාව දිග දුර ගිහින් තමයි සිල් සමාදන් වන රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර ගතව සිටින සියලුම රැඳවියන්ට ප්‍රණිත ආහාර වේලක් ලබා දෙන්නට යෝජනා වූණේ.
ඒ වගේම මෙදින කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ දහනව දෙනෙකුට දවල් දානය පුජා කරනු ලැබූණා. භික්ෂුන් වහන්සේ සඳහා දානය පිරිනැමුණේ පන්සල් වාට්ටූවේදී. එදින රැඳවියෝ අටසිය දෙනෙකු සිල් සමාදන් වුණා. භික්ෂූන් වහන්සේ සමඟ කතා කරන විට අප කිව්වේ අවුරුු ගාණක් තිස්සේ මරණීය දණ්ඩනය ලබා සිරගෙදරම සිටින රැඳවියන්ට රොටියක් ආප්පයක් වත් කන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ එකම ආහාරය බන්ධනාගාරයෙන් ලබාදෙන බත්වේල පමණයි කියලා.
අවසානයේ තීරණය වුණේ මේ රැඳවියන් සඳහා උදේ දවල් හොඳ ආහාර වේලක් ලබා දෙමු කියලා. එදා හිරගෙදර සිල් ගත් රැඳවියන්ගේ දවල් දානය හා හීල් දානය පිළියෙල කර ගෙනාවේ මහමෙව්නා අසපුවෙන්. එය විශේෂයි. හීල් දානය සඳහා මැකරෝනි, චීස්, යෝගට්, බිත්තර ආප්ප, ලුණු මිරිස් , රොටි, සැමන් සම්බෝල, කිරි හොදි සමඟ පරිප්පු තිබුණා. ඊට අමතරව කිරි තේ ලබා දුන්නා. එදින දවල් දානය සඳහා ෆ්‍රයිඩ් රයිස්, මාළු ඩෙවල්, සෝයා, වෙජිටබල් චොප්සි තිබුණා. අතුරුපස සඳහා අයිස් ක්‍රීම්, සවස තේ සඳහා කේක් කැල්ලක් කෙසෙල් ගෙඩියක් හා කිරි තේ දෙනු ලැබුවා. මම දන්න විදිහට බන්ධනාගාර ඉතිහාසයේම රැඳවියන්ට මේ අයුරින් කෑම වේලක් ලැබී නැහැ. මේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා හා බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක ඇතුළු නිලධාරිවරුන්ගේ සහයෝගය ලැබුණා.”
විසිට් බලන්නට එනවිට රැඳවියන් සඳහා ඥාතීන් ගෙන එන බත් මුල ඔවුන්ට කන්නට ලැබෙන්නේ පරික්ෂා කීරිමෙන් පසුවය. අවසානයේ රැඳවියා අතට ලැබෙන්නේ හැන්දෙන් ගෑරුප්පුවෙන් එහෙට මෙහෙට අනන ලද බත්මුලකි. ඇතැම් විට රැඳවියාට එය කෑමට ප්‍රියක් නැත. ප්‍රශ්න කොතෙක් තිබුණ ද හිතට අස්වැසිල්ලක් නැති වූව ගෙදර යන්නට දිනක් නැති කවදාවත් ගෙදර යන්නට නොලැබෙන බව දන්නා මරණීය දණ්ඩනය ලබා සිටින රැඳවියෝ මෙවැනි ආහාර වේලක් ලැබීම ගැන අපමණ සතුටට පත් වූහ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් රැඳවියෙකු පවසන්නේ මෙවැනි කතාවකි.
“මම හිරේ ඇවිල්ලා අවුරුදු දොළහක් වෙනවා කරපු වැරැද්දට මරණිය දඩුවම ලැබුණා . බිරිය මගෙන් වෙන් වුණා. මම මගේ දරුවෝ දැකපු කාලයක් මතක නැහැ. නැන්දා විතරයි මා බලන්න එන්නේ. ජීවිතේ පළමුවැනි වතාවටයි මම සිල් ගත්තේ . මම පන්සිල් පද පහවත් දැනගෙන හිටිය කෙනෙක් නෙමෙයි. අවුරුද්දක් විතර වෙනවා මම ධර්ම මාර්ගයට යොමුවෙලා. දැන් මට මගේ ජීවිතයේ පුදුමාකාර අස්වැසිල්ලක් දැනෙනවා. මම හිතන්නේ හිරේ ආවට පස්සේ මෙවැනි රසවත් ආහාර වේලක් ලැබුණමයි. අපේ හැමෝම මේ ගැන ඉන්නේ සතුටෙන්.”
අප හා කතාබහ කළ ඔහු මරණීය දණ්ඩනය ලැබූ රැඳවියෙකි.
“මට මරණීය දණ්ඩනය ලද මොහොතේ මට දැනුණේ සියල්ලම අහිමි වුණා වගෙයි. හිරගෙදර ගැන හිතේ බියක් ඇති වුණා. නමුත් මෙහි පැමිණි පසු හිතේ බය ටිකෙන් ටික අඩු වුණා. මා ධර්ම වැඩ සටහනට නොකඩවා සහභාගි වෙනවා. භාවනා කරනවා. ඒ නිසා මගේ ජීවිතය හුඟක් වෙනස් වුණා. මගේ සිත දැන සැහැල්ලුයි. හිරගෙදර ඉන්න බවක් දැනෙන්නේ නැහැ. ධර්මය අසන නිසා ඒ පිළිපදින නිසා මගේ සිත නිරවුල්. ගෙදරින් බලන්න ආවාම මගෙන් අහනවා කොහොමද සතුටින් ඉන්නේ කියා. මං ඒ අයට කිව්වේ මා තෙරුවන් සරණ ගොස් පන්සිල් රකින නිසා මගේ සිත සන්සුන් බවයි.”
සිල් අැත්තන් එක්කෙනෙකු දෙන්නෙකුට නොව දෙතුන් සියකට වුව ආවතේවකම් කිරීම පහසු නැත. දෙසැම්බර් තිස් එක්වෙනිදා වැලිකඩ සිල් සමාදන් වූ රැඳවියන් ගේ ආවතේව සඳහා පනහකින් සැදුම්ලත් පිරිසක් යොදවා සිටියහ. සියල්ල ඉතා සන්සුන්ව පිළිවෙළකට සිදු කෙරිණි. කාගේත් සිත් පහදන මෙම දානමය පින්කමේ ගෞරවය හිමි විය යුත්තේ පොල්ගහවෙල මහමෙව්නා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අමාවතුර මහමෙව්නා භාවනා අසපුවේ භික්ෂුන් වහන්සේ හා ඒ ඇසුරේ සිටින මීට දායකත්වය දැක්වු නන් අයුරින් සහාය වූ පිරිසටය.