සිරිපතුල කෙතරම් විශාලද? | Page 2 | සිළුමිණ

සිරිපතුල කෙතරම් විශාලද?

බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට 08

මෙතෙක් කතාව...

බෙත්මෙ වලව්වේ දෙටුපුත් ‘අප්පුහාමි’ 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ ‘වේහැල්ලේ ධම්මදින්න’ ගණවොලීන් නමිනි. මොලමුරේ පෙළපත පැවතෙන්නේ එහිමියන්ගේ සොහොයුරුට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ලැබුණු ‘මුලමොර’ ගම්වරය නිසාය. රජුගේ ආරාධනයෙන් 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩම කළ උපාලි මහාස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදි. රජු විසින් සංඝරාජ පදවිය වැලිවිට සරණංකර හිමියන් වෙතද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය සහ වැලිවිට සරණංකර හිමියන් ඇසුරේ දැක්වූ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස තඹ සන්නසකින් සිරි සමනොළ ගල විහාරාධිපති පදවියද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්ලා සිරීපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එහි පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ සටහන් අවම වුවත් වෙනත් භාෂාවලින් ඒවා ලියවී තිබේ. බොහෝ රජවරුන්ද සිරිපතුල නැමදීමට පැමිණ කළ විවිධ පූජා පිළිබඳ ඉතිහාස සාක්ෂිි දරයි. ඒ බෞද්ධයන්ගෙන් සිරිපා පාලනය ගිලිහුණේ 1581දීය. වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ මුල් පැවිදි බිම වන වේහැල්ලේ වේළුවන විහාරාධිපති හිමියන් බැහැදැක අපි තවත් බොහෝ තොරතුරු දැනගතිමු.

 

අබේසේකරගම ගුණරතන වේහැල්ලේ වේළුවන විහාරාධිපති හිමියන්ගේ ආරාධනය පරිදි අපි පඩිපෙළ දිගේ පොත්ගුල වෙත ගියෙමු. එහි ඓතිහාසික වශයෙන් වැදගත් භාණ්ඩ රාශියක් මෙන්ම පුස්කොළ පොත් ආදියද එක් රැස් කොට තිබේ.

“මම උත්සාහ කරන්නේ මෙතැන කෞතුකාගාරයක් හදන්න. මේ තියෙන්නේ ධම්මදින්න හිමියන්ගේ පරිහරණ භාණ්ඩ: පන්හිඳ, පෑතැටිය, සෙමර මුවාගේ වලගින් සැදූ සෙමරයක්, ධම්මදින්න හිමියන්ට රජු පිරිනැමූ සෝමනයක්, ඒ කියන්නේ, මුල් ඇඳුමේ කොටසක්.’’

විහාරාධිපති හිමියන් එසේ පවසද්දී අප සමඟ ගමනට සහභාගි වූ උදය ඇමටියගොඩ බස්නායක නිලමේ සෝමනය පිළිබඳ වැඩිදුර විස්තරයක් කළේය:

“මේවා වියන්නේ පටරෙදිවලින්. ඒ අලුත් පටරෙද්දෙන් සෝමනය ඇඳගෙන බස්නායක නිලමේලා දළදා පෙරහැරේ එහෙම යද්දි, බමරු එනවා සෝමනේ වහන්න පට රෙදි සුවඳට. ඒ වගේම මේ කඩු-කස්තාන දෙන්නෙත් අදාළ නිළයට විතරයි.’’

ස්වාමීන් වහන්සේ පුස්තකාලයේ රහස් කාමරය විවෘත කළහ. “මෙතන සර්වඥ ධාතූන් වහන්සේ එකොළොස් නමක් වැඩ ඉන්නවා. එය නම් අපි ප්‍රදර්ශනය කරනවා පෙරහර කාලෙට. මේවා අපේ නායක හිමියන්ට රජතුමාගෙන් ලැබුණා කියලයි විශ්වාස කරන්නේ. මේ සමඟම තිබුණු රන් ආලේප කර මැණික් ඇල්ලූ වාලම්පුරිය හොරු අරන්. ඒ විතරක් නෙවේ; අර කස්තාන එහෙමත් බේරුණේ පුදුම විදිහට! ඒ හොරුන් උත්සාහ කර තිබුණා මේ ඇත් දළ දෙකත් අරගෙන යන්න. වටිනා පැරණි පිඟන් භාණ්ඩ අපි අහුලාගත්තේ මඟ වැටිලා තිබිලා. පස්සේ යකඩ පට්ටම්වලින් කූඩුවක් වගේ ආවරණයක් හදලා ඔක්කෝම ආරක්ෂා කරන්න කටයුතු කළා. ඉතිහාසය පුරා වුණේ වේහැල්ලේ අයතිය, උරුමය නැති වෙවී ගිය එක තමයි.’’ උන් වහන්සේ පැවසුවේ උපේක්ෂාව අබිබවා ගිය කණගාටුදායක ස්වරයකිනි. ඒ පිළිබඳ විස්තර දැනගැනීමට පෙර පන්සිය පනස් ජාතකය ලියූ පුස්කොළ පොත් වහන්සේ දෙනම, ආයූර්වේද වෙද පොත්, තවත් බොහෝ ඉතිහාස කතා-තොරතුරු රැගත් ගන්ථ, කළුවර ලීයෙන් යෙදූ කැටයම් ඇතුළට කාවද්දා තැනූ අල්මාරි සහ පෙට්ටගම්, සිරිපාදයට පූජා කළ බවට අකුරු කොටා ඇති කෙණ්ඩිය, පැරැණි ලාම්පු ආදි බොහෝ දෑ සිය කැමරා කාචයේ රඳවාගන්නට රුවන් අපමණ වෙහෙසක් දැරුවේය. ඒවා සංරක්ෂණය කිරීමට විහාරාධිපති හිමියන් දරන වෙහෙස එමෙන් සිය-දහස් ගුණයක් බව අපට පැහැදිලි විය.

මේ අතර සිරිපතුල පිළිබඳ සංවාදයක්ද ඇති විය. ඇමටියගොඩ බස්නායක නිලමේවරයා සිය සපරගමුවේ වංශකථාව ග්‍රන්ථය මූලාශ්‍ර කරගෙන තොරතුරු හෙළි කරන්නට විය.

“බුදු සිරිපතුල සියැසින් දුටු විදේශිකයන් ඒ පිළිබඳ ලියා තිබූ සටහන් මගේ පර්යේෂණයෙදි හමු වුණා. දස වැනි ශත වර්ෂයේ සංචාරකයකු ලෙස ලංකාවට ආ චීන ජාතික මාඕ ජුතුවා සිරි පා සටහනේ දිග අඩි 7ක් පමණ වන බවයි ලියා තිබෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1290 පමණ ආ ඕලන්ද ජාතික ගියෝවන්නි ද මරිඤ්ඤොල්ලි කියා තිබෙන්නේ සිරිපා පතුලේ දිග අත්ලෙන් දෙකහමාරක් විතර කියලා. ඊට අවුරුදු හැටකට විතර පසු ආ ඉබන් බතූතා වගේම ජර්මන් ජාතික මාශල් ස්කොච් කියන සංචාරකයාත් කියලා තියෙන්නේ සිරිපාදේ අඩි පහමාරක් විතර දිගයි කියලා. ඒත් රොබට් නොක්ස් වගේම එමර්සන් ටෙනන්ට් කියන්නේ සිරිපතුලේ දිග අඩි දෙකක් විතර වනවා කියලයි.

කොහොම හරි අපේ රටේ රජවරුත් සිරිපා වැඳපුදාගෙන තිබෙනවා. එළාර රජ්ජුරුවන්ගේ දීඝජන්තු සෙනෙවියාත් සිරිපාදයට රතු රෙදිකඩක් පූජා කළ කෙනෙක්. හැබැයි කිසිම දේශීය කෙනෙක් සිරිපතුලේ ප්‍රමාණය පිළිබඳව කියන්න උත්සාහ කරලා නැත්තේ එය ඒ තරම් හොඳ නෑ වගේම ලේසි-පහසු දෙයකුත් නොවෙන නිසා. ඒ වගේම සිරිපාදයට දේශීය විදේශීය වන්දනාකරුවන් පිදූ රන්-රිදී, මුතු-මැණික් ආභරණ ආදි සියල්ල ආක්‍රමණිකයන් කොල්ල කාගෙන ගිය බව නම් ඉතිහාසය කියවද්දී හොඳින්ම තේරෙනවා. 18 වැනි සිය වස අගභාගය වන තුරුත් ශ්‍රීපාදය සියැසින් දැකගන්න අවස්ථාව තිබුණලු. මළුව මැද බඹ දෙකක් පමණ ගැඹුරින් ඉඳුනිල් මැණිකක් මත සිරිපා සටහන තිබුණු බවත් සඳහන් වෙනවා. ඒ තරම් ගැඹුරු වෙලා තිබෙන්නේ අපේ රජවරු වරින් වර එතැන ආරක්ෂාවට ගල් බැමි ඉදි කරපු නිසයි. ඒත් බටහිර ආක්‍රමණිකයන්ගෙන් මේ වන්දනීය ස්ථානය බේරාගන්න කළු ගල් දමා වසා තිබෙන්නේ නිල් මැණිකත් සොරාගෙන යයි කියන බියටයි.’’

බස්නායක නිලමේවරයාගේ ඒ පැහැදිලි කිරීමෙන් පසු විහාරාධිපති හිමියෝ වේහැල්ලේ ධම්මදින්න හිමියන් සහ ශ්‍රී පාදස්ථානය පිළිබඳ අතීත සිදුවීම් පෙළක් සමඟ සැඟවී ගිය කතා පෙළක්ද අපට පැවසූහ.

මතු සබඳි...

සේයාරූ - රුවන් ද සිල්වා

 පසුගිය 07 වැනිදා පළ වූ කොටසෙහි ‘බෑන සමනොළ’පර්වතය තම වාසය සඳහා යොදාගත් බවට ජනප්‍රවාදයෙහි එන්නේ ‘භාගින්‍යෙය සුමනයන්’ ලෙස නිවැරැදි විය යුතුය. 

Comments