හිරෙන් නිද­හ­ස්වීම නිසා අව­සන් වට­යට | සිළුමිණ

හිරෙන් නිද­හ­ස්වීම නිසා අව­සන් වට­යට

ප්‍රේක්ෂකයෝ දෑස් දල්වා වේදිකාව දෙස බලා සිටන්නාහ. ඒ ඔහු කොයි මොහොතේ හෝ ඇඟ කිලිපොළා යන විස්මයජනක වික්‍රමයක් කරන්නේ යැයි යන විශ්වාසයෙනි. විසකුරු නාගයන්, ගෝනුස්සන් ඔහුගේ සුරතලුන් බඳුය. විටෙක ඔහු හිස මතින් වාහනයක් ගෙන ගියේය. තවත් විටෙක ඔහු කොන්ක්‍රීට් කඩා දමන්නේය. ඔහු මේවා පුරුදු වූයේ නිවෙසේ ඉන්න අතරේය. ඒ රියැලිටි තරගයකට සහභාගි වීමේ අරමුණිනි. නමුදු සියල්ල උඩිකුරු යටිකුරු කරමින් ඔහුට හිර ගෙදරක කොටු වන්නට සිදු විය. සිහින බිඳ වැටුණු ජීවන්ත යළි නැඟී සිටියේ භාවනාවෙන් ලද හික්මීම නිසාය. ඔහුට මෙලෙස පෙරට ඒමට අතහිත දුන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරිහුය.

හිරගෙදර මහ පුදුම තැනකි. එහි වෙසෙන්නෝ විවිධාකාරය. සමාජ මතය වන්නේ ද සිරගෙදර යනු එවන්නන්ට ම වෙන්වූ තැනක් ලෙසිනි. හිරගෙදර ගැන ඒ අදහස වෙනස් කරමින් උපාධි ලබාගන්නා සාමාන්‍ය හා උසස් පෙළ විභාග ලියන‍්නෝ මෙන් ම බණ දහම් ප්‍රගුණ කරන්නෝ ද හමුවෙති. මේ අතරින් දැන් සිරගෙදර අලුත් ම නොම්බරයක් වී ඇත්තේ සර්කස් කාරයෙක් ය. අයි.ටී.එන්. නාලිකාවේ ‘Youth with Talent’ වැඩසටහනේ අවසන් පූර්ව වටයේ ජයග්‍රහණය ලද රැඳවියෙකු පිළිබඳ මේ දිනවල කවුරු කවුරුත් කතාබහ කරන්නා හ. පසුගිය දිනක අපි ඔහු සොයා ගියෙමු.

සුදු ඇඳුමෙන් සැරසුණු ශාන්ත පෙනුමක් ඇති තරුණයා දුටු මතින්, ඔහුගේ දස්කම් අප දෑස් ඉදිරි‍යේ මැවී පෙනෙන්නට වූයේය. විචිත්‍ර ඇඳුමෙන් සැරසුණු තරුණයා තම සහායකයන් වටකරගෙන විවිධ දක්ෂතා පෙන්වන්නේය. විටෙක ඔහු උසකින් පනින්නේ ය. තවත් වි‍ටෙක නාගයකු සමඟ සෙල්ලම් කරන්නේ ය. තවත් විටෙක ප්‍රේක්ෂකාගාරය මවිත කරමින් ඔල්වරසන් හඬ මැද කඩු කිනිසි ගිලින්නේ ය. ස්වාධීන රූපවාහිනි සේවයේ එම ‘ටැලන්ට්’ වැඩසටහනේ දක්ෂතා පෙන්වූ තරුණයා කොතරම් නම් සංයමයෙන් යුක්ත දැයි ඔහු හා කතාබහ කිරීමේදී මැනැවින් පැහැදිලි වේ.

සහෝදර සහෝදරියන් පස්දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා වූ ගමගේ දොන් ජනක ජීවන්ත ඉගෙනුම ලබා ඇත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණි. ඔහු වෘත්තියෙන් ඉදිකිරීම් ක‍්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත වූයේ. තිස්පස් හැවිරිදි ජනක දෙදරු පියෙකි. ඔහුට සිරගත වන්නට සිදුවූයේ අනපේක්ෂිත මොහොතකය. දෙදහස් අටව‍සරේ දිනෙක අවුරුදු උත්සවයක් නැරැඹීමට ගොස් සිටියදී ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් ඔහුට වසර පහකුත් සති දෙකක සිර දඬුවමක් නියම වූයේය. සිර දඬුවම් ලැබීමෙන් පසු මුලින් ම මහර බන්ධනාගාරයේ සිටි ඔහු පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරු කර එවන ලදී.

ජනකගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුණේ වැලිකඩට මාරුවීමත් සමඟ ය.

“මට අවුරුදු 5ක් අච්චු ලැබුණා. මං හිතෙන් කඩාගෙන වැටුණා. මගේ පුතාගේ වයස මාස දෙකයි. දුවට අවුරුද්දයි මාස දෙකයි. බිරිඳ රස්සාවක් කරන්නේ නැහැ. මට මේ අය ගැන මතක් වුණා. මගේ දුක කියා ගන්න කෙනෙක් හිටියේ නැහැ. B වෝඩ් එකේ 59 සිර කාමරයේ ඉඳගෙන මං දිවා රෑ කල්පනා කළා. පුදුම කඩා වැටීමක් තිබුණේ. ඒකේ තවත් රැඳවියෝ අටදෙනෙක් හිටියා. ඒ අතර හිටපු ප්‍රසාද් අයියා මගෙන් ඇහුවා ඇයි මල්ලි කියලා. මං ඒ අයියට මගේ කතාව කිව්වා. මම ඒ වෙනකොට අයිටීඑන් ටැලන්ට් ෂෝ එකේ දෙවෙනි වටයෙන් තේරිලා හිටියේ. මම ඒ හැමදේම ඔහුට කිව්වා. මගේ හිත හුඟක් ම බිඳ වැටිලා තිබුණේ අවසන් පූර්ව වටයට සහභාගි වෙන්න බැරිවෙයි කියලා. නමුත් හිතපු නැති විදිහට හැම දෙයක් ම සිද්ධ වුණා.” ජීවන්ත පවසන්නේ සිරගෙදර පැමිණි මුල්දිනවල සිදුවූවකි.

කුඩා කාලයේ සිටම භාවනාවට සිත පුරුදු කළ, ගමේ තරුණයන් මත්ද්‍රව්‍යවලන් මුදපා ගැනීම සඳහා මුල් වූ යෞවන සමාජයේ, අමද්‍යප සමිතියේ සභාපති ධුරය දැරූ ජීවන්තගේ ජීවිතයට දුක් කරදර ගලා ආවේ අනපේක්ෂිත ලෙස ය .

සහජයෙන් ගෙනා කුසලතාවලට කළඑළි බසින්නට ඉඩනොදී, දක්ෂතා ක්‍රියාකාරකම් හිරගෙදරට ම කොටු වී තිබෙන්නට තිබූ අවස්ථාව මඟහැරී ගියේ දෙවියකු වූ ප්‍රසාද්ගේ සහ‍ායෙනි.

“ප්‍රසාද් අයියා තමයි මා ගැන මහත්වරුන්ට කිව්වේ. ප්‍රධාන ජේලර් මහතා හමුවු දා මං මගේ හැකියා ගැන කිව්වා. එතුමා මා බන්ධනාගාර අධිකාරිතුමා ගාවට ගෙන ගියා. අධිකාරිතුමා කිව්වා වීඩියෝ පට බලන්න ඕන කියලා. මම කරපු ක්‍රියාකාරකම් බලපු දවසේ එතුමා කිව්වේ “පුතා මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා.” ඒත් ඒ වගකීම තමන් අතට අරගෙන කොහොම හරි මේ වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලබා දෙනවා කිව්වා. කො‍ෙහාම හරි වැඩසටහනට දවස් පහළොවක් විතර තියෙද්දි තමයි අනුමැතිය ලැබුණේ. පුහුණුවීම් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. උඩින් පනින අවස්ථා පුහුණු වුනේ හිරගෙදර දරමඩුවේ. අවශ්‍ය ක්‍රීඩා උපකරණ හදලා දුන්නේ හිරගෙදර කම්මලෙන්. මම නයා සමඟ පුහුණු වුණේ තරගය තියෙන දවසේ උදේ වරුවෙ ඒ ස්ථානයට ගියාට පස්සේ.

නයෙක් සමඟ සරඹ පාන ඔහු නයාට බිය නැති දැයි අපි ඇසුවෙමු.

“ඒ සත්තුන්ට කිසිම හානියක් කරලා නැහැ. විෂ දල අයින් කරලත් නැහැ. මට ඒ සත්තු දෂ්ට කළත් උන් සමඟ වෛර සිතුවිල්ලක්වත් නැහැ. මගේ අත්වලට පාදවලට එදා උත්සවයේදි නයා දෂ්ට කළා. නමුත් ඒවාට ප්‍රතිකාර කළේ නැහැ. මම මේ වනතුරු පැනඩෝල් පෙත්තක්වත් බීලා නැහැ. මගේ හිතේ තියෙන්නේ මෛත්‍රී සිතුවිලි පමණයි. මගේ අරමුණ මේ රටේ ප්‍රේක්ෂකයන්ට ෂැන්ඩෝ කලාවේ අලුත් ම වෙනස් ම අත්දැකීම් ලබාදීම. මේ හැම දෙයක් ම කරන්න මට පුළුවන් ශක්තිය ධෛර්ය ලැබෙන්නේ භාවනාව තුළින්.” ජීවන්ත පවසන්නේ තම හැකියා සහ දක්ෂතා ගැනය.

ජීවත්තට තම අරමුණ කරා යන්නට නිරන්තයෙන් ම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රමුඛ උසස් නිලධාරීන්ගේ සහාය ලැබුණේය. පටු ආකල්පවල ඇලී ගැලී නොසිටින මේ නිලධාරින් නිසා බන්ධනාගාරගත තවත් රැඳවියනට තම හැකියා ඔප මට්ටම් කර ගැනීමට අවස්ථාව ලැබුණේ ය.

සියල්ල අහිමි වූවා යැයි සිතූ රැඳවියකුට මානසිකව නැඟ‍ී සිටින්නට ද ජනතාව අතර තරුවක් වන්නට ද පාර සකස් කර දුන් ආකාරය බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා මෙසේ පවසන්නේ ය.

“මොහු පිළිබඳ ප්‍රධාන ජේලර් මොහාන් මා සමඟ කිව්වට මම රැඳවියාට කිව්වේ අපට ඔහුගේ පෙර දක්ෂතා දැකීමට අවශ්‍යයි කියලා. ඔහුගේ ගෙදරින් අපට ඒ වීඩියෝ පට බලන්න අවස්ථාව සලසා දුන්නා. ඒවා බැලුවාම අපට සිතුණේ මේ තරුණයාට යමක් කළ හැකියි කියලා. ඒ විශ්වාසයෙන් තමයි මොහාන් සහ මම ඒ වගකීම ගත්තේ. බන්ධනාගාර නීතිරීතිවලට පිටින් ගිහින් තමයි ‍අප මේ අවස්ථාව ගත්තේ. අච්චු ලැබූ සිරකරුවන් පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය බන්ධනාගාරය සතුයි. අපි මේ රැඳවි‍යාගේ මනස හැදුවා. ඉන් පසුව මොහුට පුහුණුවීමට අවශ්‍ය පහසුකම් අපට පුළුවන් විදියට ලබාදුන්නා. මෙම තරගයෙන් අවසන් වටයේ මොහුගේ ජයග්‍රහණය තමයි අපගේ ලොකුම බලාපොරොත්තුව. සැබවින්ම ඔහු දක්ෂයි. ඔහු දක්ෂයින් අතර විශිෂ්ටයෙක් කියලා හඳුන්වන්න මම කැමැතියි. සිරගෙදරට අවශ්‍ය මිනිසුන් රඳවාගෙන සිටීමට නොවේ. ඔවුන් තුළ ඇති හැකියාවන්ට, දක්ෂතාවන්ට තැන දීමට බන්ධනාගාරය හැමවිටම සූදානම්. මේ වනවිට ඒ වෙනුවෙන් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.”

ජීවන්තට හෙට දවසේ අරමුණක් ඇත‍. ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන් වෙනුවෙන් කළ කැපකිරීමට ප්‍රතිඵල පෙන්වීමටයි. ඔහුගේ පුහුණුවීම් කටයුතු කිරීම සඳහා යන එන ගමන්වලදී කාලය මිඩංගු කළ නිලධාරීන් කිහිප පොළකි. ඒ අතර ජේලර් ගයාන් තිලකරත්න, පුනරුත්ථාපන නිලධාරී ගුණසේකර, සැරයන් නිශාන්ත පීරිස්, නියාමක එස්.කේ. ජයවීර සහ රියදුරු පාලිත යන අය ය.

ජීවන්තගේ අපූරු ක්‍රියාකාරකම් ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නට මේ තරගය සඳහා සහභාගිවීමට අනුමැතිය ලද දා පටන් ඔහුට පුහුණුවීමට අවස්ථාව ලැබුණේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව හා රැකවරණය යටතේ ය.

‘යූත් විත් ටැලන්ට් ෂෝ’ තරගය සඳහා මුලින්ම තරගකරුවෝ 61520 ක් සහභාගි වූහ. ඒ අතර සිටි ජීවන්ත දැන් අවසන් දොළොස් දෙනා අතරට පැමිණ සිටින්නේ ය.

කොහොම වුණත් සිරගත වුව ද එදා මෙන් අද සිරකරුවන් සතු හැකියාවන්ට දක්ෂතාවයන්ට සිරගතවන්නට හිරගෙදරදී ඉඩක් නැති බවට හොඳම සාක්ෂිය ජනක ජීවන්තය.

 

Comments