ජාති භේද නැති ඇත් දළ ජාවාරම | සිළුමිණ

ජාති භේද නැති ඇත් දළ ජාවාරම

ප්‍රශ්න කිරීමේදී ඔවුන් තිදෙනා සිංහල දෙමළ සහ මුස්ලිම් පුද්ගලයන් බව තහවුරු විය. දේශපාලනික වශයෙන් ජාතිභේද අවුස්සාගෙන රට ප්‍රපාතයට ගෙන යන මිනිසුන් උපරිම සංහිඳියාවෙන් යුතුව ඇත් දළ ජාවාරමක යෙදුණු අයුරු අපූරුය. ඒ එකමුතුව රට ගොඩනැඟීමට නොයොදන්නේ මන්ද යන්න අපට ඇති පැනයයි.

“හලෝ... මම මැණික් මුදලාලිගේ පී ඒ කතා කරන්නේ. කොහොමද අපේ වැඩේ?’’

“ඒක ඊට වඩා අඩු කරන්න බෑ ලොක්කා... මොකද, පිටරටින් ඔෆර්-එකක් ඇවිත් තියෙනවා ලක්ෂ හැටකට. අපි දුන්නේ නැත්තේ ෂුවර් නැති නිසා...’’

“මම ඇහුවේ අපේ බොස් කියපු දේ. හරි මම තව ටිකකින් ෂුවර් එකටම කියන්නම්.’’

දුරකතන සංවාදය මොහොතකට නතර විය. යළිත් ආරම්භ විය.

“වැඩේ ‘ඕකේ’... බොස් එකඟයි ලක්ෂ පනහට. අපි කොහොමද වැඩේ කරන්නේ?’’

“සිලාවතුරට ඇවිත් මේ නොම්බරේට කෝල්-එකක් දෙන්න. ඊට පස්සේ කරන්න ඕන දේ අපි කියන්නම්.’’

“රයිට්. එහෙම කරමු.’’

මැණික් මුදලාලිගේ පෞද්ගලික සහායක රැගත් සුඛෝපභෝගී වටිනා මෝටර් රථය සිලාවතුර බලා ගමන් කරන්නට වූයේ හිමිදිරියටත් පෙරය. තව සුළු මොහොතකින් ඒ රථයේ ගෙනෙන්නට නියමිත අඩි පහාමාරක් දිග ඇත් දළ යුගල කිලෝ පනහක් බර බව ජාවාරම්කරුවෝ දනිති. ඒ නිසා මිලෙහි කිසිදු වෙනසක් නොකිරීමට ඔවුහු තීරණය කළහ. සිලාවතුරට කිලෝ මීටර කීපයක් මෙහා සිට තම රථය යතුරුපැදියකින් ලුහුබඳින බව මැණික් සහායකට දැනිණි. එහෙත් එයින් බියපත් නොවීමට මෝටර් රථයේ පිරිසට විශේෂ හේතුවක් තිබිණි. පෙර දින කියූ මං සලකුණු ඔස්සේ අදාළ කඩමණ්ඩිය අසල සුපිරි රථය නතර කරනවාත් සමඟම යතුරුපැදියෙන් පැමිණි දෙදෙනාද එතැනදී බයිසිකලයෙන් බැස්සෝය. කඩය තුළ සිටි සිංහල පුද්ගලයෙක් වාහනයෙන් පැමිණි මැණික් මුදලාලිගේ සහායක ඉදිරියට පැමිණ, කේශාන්තයේ සිට පාදාන්තය තෙක් විමසුම් ඇසක් හෙළුවේය.

මැණික් මුදලාලිගේ සහායකයාගේ දකුණු අතේ මැණික්කටුව අසල පැද්දෙන රත්රන් බ්‍රේස්ලට් එකත්, ඇඟිලි කීපයක තිබූ මුදු අතර කැපීපෙනෙන නවරත්න මුද්දත්, කරේ පහළට එල්ලෙන කඹයක් වැනි රන් මාලයත්, සුදෝ සුදට බැබළෙන දුහුල් කමිසයත් ඔහුගේ සැකය දුරු කළා වැනිය.

“බඩු තියෙන්නේ මෙහෙ නෙවෙයි..’’

“එහෙනම්?’’

“කැලේ තැනක... යමුද අපිත් එක්ක? හැබැයි තනියෙන්...’’

වාහනේ රියැදුරු එතැන නවතා යතුරුපැදිකරුවන් දෙදෙනා, ඔවුන්ගේ මිතුරා සහ ගැනුම්කරු පමණක් කැලේ තුළට වැදුණහ. එක් ජාවාරම්කරුවකුගේ තොප්පියේ නළල පැත්තේ සවි කර තිබූ විදුලි පන්දම උදේ කාලයෙත් අඳුරින් පිරුණු ඝන කැලය තුළ ඔවුන්ට ආලෝකය සැපයූ එකම ප්‍රභවය විය. සැතපුමක් පමණ දුර වනය මැද ගසක් යට නතර වුණු ඔවුහු එතැන හාරන්නට වූහ.

“දළ වළේ තමා තියෙනවා...’’ යතුරුපැදියෙන් පැමිණි එක් තලෙලු පුද්ගලයෙක් කැඩුණු සිංහලෙන් නිහඬතාව බින්දේය. තවත් මොහොතකින් ගෝනිවල එතූ දිගැටි යමක් වළෙන් මතු විය.

“බර නම් හොඳයි.’’ ගැනුම්කරු තෘප්තිමත් හඬින් කීවේය. පසුව ඔහු කෙස් ගසක් ගෙන දළේ බැඳ එයට ගිනිකූරක් ගැසූ විට දළ අසලදී නිවී ගියේ සැබෑ ඇත්දළ බව ඔප්පු කරමිනි. කෙළින් සිටුවා බැලූ කල ගැනුම්කරුගේ කනට තරම් උස් දළ යුගලේ මහත කෙළවර කඩතොල්ලන් වී තිබුණේ එය කපා ගත් දළ නොව ඇත් මළ සිරුර දිය වෙන්නට හැර ගලවාගත් බවට සාක්කියක් ලෙසය. ගැනුම්කරු දුරකතන ඇමතුමක් ගත්තේය.

“බොස් බඩු හොඳයි; බරත් හොඳයි; අඩි පහමාරක් විතර උසයි.’’

“එහෙමද? කෝ ඔතන අයිති කට්ටිය ඉන්නවාද? මට කතා කරන්න ඕනා...’’

ජාවාරම්කරුවන්ට දුරකතනයෙන් ඇමතූ මැණික් මුදලාලි ගනුදෙනුව ස්ථිර කළේය.

“එහෙනම් වැඩේ ස්ථිරයි නේ... අපි බඩු ගන්නවා ලක්ෂ පනහට. ප්‍රංශෙට යන නැවක් තියෙනවා හෙට අනිද්දම. ඒකට බෝට්ටුවකින් ඉක්මනින්ම පටවන්න ඕනා. අදම වැඩේ ඉවර කරමුද?’’

“අද අමාරුයි. හෙට පාන්දරම කෑෂ් එවන්න. අපි තැනක් කියන්නම්.’’

මැණික්කරුගේ නියෝජිතයා පසුදා පාන්දරින්ම පිටත් වුණේ අනුරාධපුරේ සිටය. ඔහු සමඟ ආයුධ සන්නද්ධ තවත් තිදෙනකු ඇත්දළ ගෙන ආ හැකි දිගින් යුත් නවීන පන්නයේ වෑන් රථයකින් ගමන ඇරැඹුවේ ජාවාරම්කරුවන් දුරකතනයෙන් සම්බන්ධ කරගන්නා ගමන්ය. ඒ අතර නියෝජිතයාට ලොක්කාගේන් ලැබුණු උපදෙස වූයේ ඔහුට ඇමතුම් නොදී කෙටි පණිවිඩ පමණක් එවීමට වගබලාගන්නා ලෙසයි. ඒ ඔවුන්ගේ උපාය කාට හෝ ඇසේය යන සැකය නිසාය.

මැණික්කරුගේ නියෝජිතයාට ලැබුණු උපදෙස් අනුව උඩින් සහ යටින් සැබැ පන්දහසේ කොළද මැද හිස් කඩදාසිද යෙදූ මුදල් මිටිවලින් ලක්ෂ පනහක පෙනුම ගෙනෙන මල්ල කරේ හරහට එල්ලාගත් නියෝජිතයා එයින් ආවරණය වන සේ පිස්තෝලය කමිසය තුළ රඳවාගත්තේය. මේ අතර ජාවාරම්කරුවන්ගෙන් පණිවිඩයක් ලැබුණේ සිලාවතුරට නොව තන්තිරිමලේට එන ලෙසටයි. කෙසේ හෝ මඟ සොයාගත් නියෝජිතයා ඇතුළු පිරිසට ජාවාරම්කරුවන් හමු වන විටත් දළ යළිත් වළ ලා ඇති බව දැනගන්නට ලැබිණි.

නියෝජිතයා මුදල් මල්ලද සමඟ තනිව කැලේට තමන් පසුපස ආ යුතු බව ජාවාරම්කරුවෝ කීහ. ඔහු නොබියව ඉදිරිපත් විණි. ඒ අතර තමන් සමඟ පැමිණි සන්නද්ධ පිරිසටත්, මැණික් මුදලාලිටත් 'මිස්ඩ් කෝල්' දීමට කලින් කතා කරගත් පරිදි ඔහු කටයුතු යෙදීය. කිසිදු කරදරයකින් තොරව එතරම් කැලේ තුළට නොගොස් පෝර මලුවල ඔතා වළ දමා තිබූ දළ යුගල ගොඩ ගනිද්දීම ආයුධ සන්නද්ධ පිරිස පැන ජාවාරම්කරුවන් වටලාගත්හ. ඒ සමඟම නියෝජිතයාද තමන් සඟවාගෙන සිටි පිස්තෝලය දිගු කර ජාවාරම්කරුවන්ට යටත් වන ලෙස අණ කළේය. ඔවුන් කිසිවකු නොසිතූ දෙය නම් මැණික් මුදලාලිද එස්එම්එස් පණිවිඩ ඔස්සේ මේ සියල්ලන්ට හොරෙන් වෙනත් පාරකින් එතැනට පැමිණ සිටීමයි. එහෙත් මැණික් මුදලාලි සිටියේ සම්ප්‍රදායිකව එවැන්නකු අඳින ඇඳුමෙන් නොව තම නිල ඇඳුමෙනි. ඒ විල්පත්තු ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයාය. ඔහුගේ නියෝජිතතයා ලෙස රත්තරන් පොරවාගෙන පැමිණ ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කළේ මේ වැටලීම සඳහා පොලිස් අධිකාරීවරයා තෝරාගත් කොස්තාපල්වරයෙකි. ආයුධ සන්නද්ධව අවසානයේ පැමිණියේද මේ වැටලීමට අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනෙකි.

ජාවාරම්කරුවන් සමඟම දළ අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කිරීමේදී ඔවුන් තිදෙනා සිංහල දෙමළ සහ මුස්ලිම් පුද්ගලයන් බව තහවුරු විය. දේශපාලනික වශයෙන් ජාතිභේද අවුස්සාගෙන රට ප්‍රපාතයට ගෙන යන මිනිසුන් උපරිම සංහිඳියාවෙන් යුතුව ඇත් දළ ජාවාරමක යෙදුණු අයුරු අපූරුය. ඒ එකමුතුව රට ගොඩනැඟීමට නොයොදන්නේ මන්ද යන්න අපට ඇති පැනයයි.

කෙසේ වෙතත් මේ සුවිසල් දළ යුගල අයත් ඇතා කවුද යන්න ඊළඟට විසඳීමට ඇති වැදගත්ම ගැටලුව විය.

හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තු මහතා මේ තොරතුරු අපට පවසන අතර ඒ වැදගත් සොයා ගැනීම ගැන අතීත මතකයක්ද අවදි කරමින් මෙසේ පැවසීය...

“ඔය පොලිස් අධිකාරීවරයා 2018 ආරම්භයත් සමඟ එ් ප්‍රදේශයේ රාජකාරියට ඇවිත් සැක කටයුතු අපරාධ පිළිබඳ බොහෝ උනන්දුවෙන් රාජකාරී කළ කෙනෙක්. ඔහුට හෝඩුවාවන් සපයන හොඳ ඔත්තුකරුවනුත් හිටිය නිසා මේ කටයුත්ත සාර්ථක වුණා. මැණික් මුදලාලි වගේ කතා කළේ, නියෝජිතයෙක් යැව්වේ ඒ හෝඩුවාවලින් ලැබුණු තොරතුරුවලට අනුව.

“විල්පත්තුවේ සිටි විශාලම දළ ඇතා තමයි මේ මරලා දාලා තියෙන්නේ කියන-එක ඒ වෙනකොටත් කිසි කෙනෙක් දැනගෙන හිටියේ නෑ. මොකද: සමහර වෙලාවට අලි-ඇත්තු ඝන කැලේට වැදිලා ටික කාලයක් නොපෙනී ඉන්න නිසා. ඒත් සාමාන්‍යයෙන් මේ වගේ විශේෂ සතුන් පිළිබඳ වනජීවී නිලධාරීන් වගේම සතුන් පිළිබඳ උනන්දුවෙන් ඉන්න පරිසර ලෝලී සංචාරකයන් ඇහැ ගහගෙන ඉන්නේ.

“‘කල්ලාරු’ ඇතාත් ඒ වගේ විශේෂ සත්ත්වයෙක්. මම කීප වතාවක්ම මෙයා දැක තිබෙනවා. විල්පත්තු උද්‍යානයේ නියෝජ්‍ය බාරකරු ඒබ්‍රහම් ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිතේ බේරගත්ත කාලේ මෙයා කිසිම විකෘතියකින් තොරව අඩි තුනාහමාරක විතර කෙළින් දළ දෙකක් ඇතිව වැඩෙන නාඹර ඇතෙක්. විල්පත්තු කොටි ප්‍රහාරයෙන් පුෂ්පානන්ද මහත්මයා මිය යන කාලෙ වෙනකොට අවුරුදු තිහක් විතර වුණු හොඳ කෙළින් දළ යුගලක් ඇති ප්‍රතාපවත් ඇතෙක් බවට පත් වෙලා හිටියා. ඒත් කල්ලාරු ඇතා අලි මිනිස් ගැටුමට කිසිම සම්බන්ධයක් තිබුණු සතෙක් නෙවෙයි. එයා හිටියේ මිනිස් වාසය අඩු තැන්වල.

“2016 අගෝස්තු විතර ඉඳන් 2017 අග වනතුරුම කල්ලාරු ගැන තොරතුරක් නැත්තේ ඝන කැලේට රිංගාගෙන ඉන්න නිසා කියලයි හැමෝම හිතුවේ. ඒත් අන්තිමට අර ජාවාරම්කරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්න කළාම තමයි දැන ගන්න ලැබුණේ මේ කල්ලාරු ඇතාගේ දළ දෙක කියලා.’’ වෛද්‍ය අතපත්තු සුසුමක් හෙළා සිය කණගාටුව පා කර හැරියේය; යළි කතාව පටන් ගත්තේය.

“මරපු තැන පෙන්නපන් කීවාම මහා ඝන කැලේ මැද්දේ තැනකට පොලිසිය එක්කන් ගිහින් තියෙනවා. එතැන විශාල ඇතෙකගේ ඇටකටු විසිරී තිබිලා. ටී-56කින් වෙඩි තියලා තියෙන්නේ. උණ්ඩ ඉළ ඇට පසාරු කරගෙන ගිහින්. ඒ කල්ලාරුගේ කියලා ‘දන්නෝ දනිති’. ඒ බව තහවුරු කළ යුත්තේ ආඥා පනතට අනුව වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂයි.’’

වෛද්‍ය නන්දන අතපත්තු කතාව අවසන් කරමින් මෙසේ කීවේය... “මේ හැම දේකින්ම පේන්නේ ළඟක ඉඳන් ඇත් දළ ජාවාරම් රැල්ලක් ඇති වෙලා තිබෙනවා කියන-එකයි. ඉස්සර ඒවාට වැඩිපුර අහු වුණේ සිංහල මිනිස්සු. දැන් ඒකට ජාති භේද මුකුත් නෑ. රටේ සම්පත් විනාශ කරන්න එකතු වෙන මේ අය රටේ සම්පත් ගොඩනඟන්නත් මෙහෙම එකතු වුණානම් මොකද? කොහොම වුණත් මෑතක සිදු වූ මේ රහස් හස්ති ඝාතනය එතරම් හොඳ ආදර්ශයක් නෙවෙයි. මේවා වළක්වන්න පවතින නීති හරියට ක්‍රියාත්මක කිරීම වගේම පරණ නීති අදට ගැළපෙන ආකාරයට සංශෝධනය කිරීමත් අවශ්‍යයි.’’

Comments