
මා හබුරුගල මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් වැඩ බාර ගත්තේ 1972 වසර මුලය. තුඩුව, ශ්‍රී විජයාරාම විහාරස්ථානය පිහිටියේ පාසල අසලය. විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ දිනක් විද්‍යාලයට පැමිණ මට විශේෂ ආරාධනයක් කළහ. එම ආරාධනය එළඹෙන පෝය දින විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති සල්පිල විවෘත කිරීමට එදින රාත්‍රි 7 ට විහාරස්ථානයට පැමිණෙන ලෙසය.
එකල සිටි දක්ෂතම කවියකු වූ උන්වහන්සේගේ කවි බණ ඇසීමට මහජනයා දැක්වූයේ ලොකු උනන්දුවකි. එදින උපාසක උපාසිකාවන් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් ධර්මශාලාව පිරී ඉතිරී ගොස් තිබුණි. සල්පිලේ වැඩකටයුතු මෙහෙයවීම බාරව සිටියේ කවිචන්ද්‍ර නමැති තරුණයකි. ඉඳ හිට පුවත්පත් සඟරා ආදියට කවියක් දෙකක් ලියන ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටියේ තොරණ සහ පන්සල්වල පැවැත්වෙන උත්සවවලදී කවි ගායනා කිරීමෙනි.
විහාරාධිපති ස්වාමීන් වහන්සේ ද දක්ෂ කවියකු වූ නිසා සල්පිලේ සියලුම වැඩ කවියෙන් ම ආරම්භ කොට කවියෙන් ම අවසන් කරන ලෙස ඔහුට අණකර තිබුණි.
“කවියෙනි, රසකයින් හිනැහෙන එකට හැපී
කවිකාරියනි ඇති වන මල් විලස පිපී
යන්නට සියලු වස් දොස් දෙක තුනට කැපී
අරඹමු සල් පිලේ කටයුතු මෙතන අපී”
සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වා සල්පිල විවෘත කිරීමට තිබුණේ මටය. ඒ සඳහා කවියා ආරාධනා කළේ මෙසේය.
“රිච්මන් විජේසේකර මැති දයාබර
බෙන්තොට පළාතේ “දිනමිණ” රිපෝටර
දල්වා සල්පිලේ මංගල පහනෙ තිර
ඇරගනු! මැතිතුමනි නිවනට යන්න දොර”
වෙන්දේසි කිරීම සඳහා ප්‍රදේශවාසීන් වෙතින් භාණ්ඩ රාශියක් ලැබී තිබුණි. ඒවා අතර විවිධ පැළ වර්ගද සබන් හා සුවඳ විලවුන් වර්ග ද ඉදල්, කොහු පාපිසි ආදී උපකරණ ද විය.
ප්‍රදේශයේ උපාසිකාවක් “මිසි නෝනා ගෙන් සල්පිලට පරිත්‍යාගයකි” යනුවෙන් ලියන ලද වැකියක් සහිත කඩදාසියක ඔතන ලද සුවඳ සබන් කැටයක් පරිත්‍යාග කර තිබුණි. දැන් කවි චන්ද්‍ර එක එක භාණ්ඩ අතට ගෙන කවි කියමින් වෙන්දේසිය කරගෙන යයි. අවසානයේ ඔහු අතට ගත්තේ මිසි නෝනා පරිත්‍යාග කර තිබූ සබන් කැටයයි.
“සුවඳ ගහන මේ මිසි නෝනගෙ බඩුව
ලන්සුව තබනු රුපියල් පහකට අඩුව”
පද දෙක කියා අවසන් කරනවාත් සමඟ ම ඒ අසල සිටි මිසි නෝනා උපාසිකාවට හොඳටම කේන්ති ගොස් සල්පිලේ තිබුණු කොස්සක් ගෙන කවි චන්ද්‍රට පහර දෙන්නට පටන් ගත්තාය. ඔහු අත තිබූ “මයික්‍රපෝනයත්” රැගෙන පාරට පැන ගුටි නොකා බේරුණු අතර පාරේ සිට මෙසේ කීය.
“මිසි නෝනට මගෙ රස කවි අරහං ය
අද සල් සල්පිලේ වැඩ මෙතකින් අවසන් ය”
විශ්‍රාමික විදුහල්පති
ආචාර්ය රිච්මන්ඩ් විජේසේකර
බෙන්තොට
ආකිමිඩීස් නියමය
විද්‍යා ගුරුවරයා පන්ති කාමරයට ගියේ විද්‍යා පාඩමකට ය. බොහෝ පාඩම්වල ඇත්තේ කණ්ඩායම් වැඩ ය. පන්තියේ සිසුන් කණ්ඩායම් හතරකට පහකට බෙදා ක්‍රියාකාරකමක් හෝ පැවැරුමක් ලබා දී සිසුන් වැඩෙහි යොදවයි. එහෙත් බොහෝ විට වන්නේ කණ්ඩායමේ එක් අයකු දෙදෙනකු වැඩ කරන අතර අනෙක් අය අල්ලාප සල්ලාපයේ යෙදීමයි. නැතිනම් ඉක්මනට පැවැරුම නිම කොට පන්තියේ දඟකිරීමයි.
විද්‍යා පාඩමට ද කණ්ඩායම් ක්‍රමය සඳහා ස්ථාන පහක දුනු තරාදියක්, දැව කුට්ටියක්, යකඩ පතුරු කිහිපයක්, ජල බඳුනක් ද විය. දැන් ගුරුවරයා පාඩම ආරම්භ කිරීමට සූදානම්ය. පාඩමට පිවිසීම සඳහා ආකිමීඩිස්ගේ ‘යුරේකා’ කතාව කියා දුන්නේ ළමයින්ගේ අවධානය ලබා ගැනීමටය.
‘ඔන්න ළමයිනේ රජ කෙනෙක් ළඟ රන් මුද්දක් තිබුණා. මේක නියම රත්තරන් ද කියල බලන්න විදියක් නෑ. රජතුමා ආකිමිඩිස් කියන විද්‍යාඥයා ගෙන්වූවා. මේ රන්මුද්ද නියම රත්තරන්ය කියා බලන්නේ කොහොමද කියලා ඇහුවා. විද්‍යාඥයාටත් මේක මහා ප්‍රශ්නයක්. දවසක්දා නාන කාමරයට නාන්නට යන ගමන් මතක් කළේ රන් මුද්ද ගැනයි. ඔහු නාන බේසම පුරවා නිරුවතින් එයට බැස්සා. ජල පරිමාවක් ඉවතට ගලා ගියා. ඔහුට තේරුණා ජලයේ උඩුකුරු තෙරපුම නිසා ඇතිවන විස්ථාපන ජල පරිමාව ගැන න්‍යායක්.”
මේ කතාවට පසු කණ්ඩායම් හතරකට බෙදා සරල නිරීක්ෂණ සහ සරල ගණනය කිරීමක් ද පැවැරීය.
වාරාවසාන විභාගයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය වූයේ ආකීමීඩිස්ගේ නියමය කුමක් ද? යනුවෙන්.
එක ළමයෙක් මෙහෙම ලියා ඇත.
“ආකිමීඩිස්ට රජතුමා රන් මුද්දක් දුන්නා. ඒක වටිනාකම බලන්න. මේකට ක්‍රමයක් ආකිමීඩිස්ට තිබුණේ නෑ. ආකිමීඩිස් නාන්නට යන ගමන් කල්පනා කළා. නිරුවතින් ටැංකියට බැස්සා. වතුර පරිමාවක් පිටාර ගියා. ඔහුට ඇති වූ සතුටට ‘යුරේකා... යුරේකා’ කියමින් නිරුවතින් ම රජ මාළිගයට ගියා. ආකිමීඩිස්ගේ නියමය එයයි.
විද්‍යා ගුරුවරයා උත්තරය කියවා ගුරු කාමරයට ගෙන්වා ගෙන නැවත වරක් ඔහුට පමණක් ආකිමීඩිස්ගේ නියමය කියා දුන්නේය.
විශ්‍රාමලත් විදුහල්පති
ඩී.සී.ද. සිල්වා