
අද යුද හමුදාවේ කාන්තා බළකායේ ක්‍රීඩා දස්කම් මේ විදිහට දක්වා තියෙන, එමෙන්ම සූප ශාස්ත්‍රයක් මේ ආකාරයෙන් හදාරා තියෙන එකම තැනැත්තිය මමයි. ඒ වගේම විධායක සූපවේදී නිල ඇඳුම අඳින්න හැකියාව ලැබිල තියෙන්නෙත් මට විතරයි
“අපේ රටේ ගොඩක් දෙනා හිතන්නෙ විභාගයක් පාස් වෙන්න බැරි වුණොත්, බලාපොරොත්තු වෙච්ච විදිහට සම්මාන ගන්න බැරි වුණොත් එහෙමත් නැත්තං කැම්පස් යන්න බැරි වුණොත් එතැනින් එහාට එයාට ජීවිතයක් නැහැයි කියල. ඒ වගේ වැරදි සිතිවිලි නිසා තමයි අද තරුණ ජීවිත අකාලයේ අපිට අහිමි වෙන්නෙ, ජීවිතය කියන්නෙ හැම දේකින්ම අත්දැකීම් ලබා ගෙන වැරැදුණු තැන් හදාගෙන අනිත් අයගේ සහයෝගයත් අරගෙන තමන්ට පුළුවන් විදිහට අනිත් අයටත් සහයෝගය දීල යන ගමනක් කියලයි මට හොඳටම තේරෙන්නෙ.”
අපට එහෙම කිව්වෙ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වීමට නොහැකි වූ පසුව යුද හමුදා සේවයට බැඳුණු තරුණ කාන්තාවක්. ඇය පබ්ලිස් සිල්වා වැනි අග්‍රගණ්‍ය සූපවේදීන්ගේ පවා පැසසුමට ලක් වූ අයෙක්. දක්ෂ ක්‍රීඩිකාවක්. රට දැය රැක ගැන්මට දිවි කැප කරමින් යුද වැදුණු සෙබළියක්. යුද හමුදාපතිතුමාගේ පවා අවධානය දිනාගෙන තවත් නොබෝ දිනකින් අපේ කප් රුක වන පොල් ගසෙන් අපට රස කර සකසාගත හැකි කෑම වට්ටෝරු 54කින් සමන්විත කෘතියක්ද ඇය විසින් මුද්‍රණයෙන් එළිදක්වනවා.
ඇය නමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 6 (ස්වේච්ඡා) කාන්තා බළකායේ ලාන්ස් කෝප්රල් ජේ.සී.අයි. නිශාන්තියි.
“කිසිම දෙයක් බැහැයි කියල මම කවදාවත් පස්සට ගියේ නැහැ. 2008 අවුරුද්දෙ මම යුද හමුදාවේ ස්වේච්ඡා බළසේනාවට බැඳෙනකොට රටේ උතුරු ප්‍රදේශයේ දැවැන්ත යුද්ධයක් තිබුණා. මම පළමුවෙන්ම දෙහිඅත්තකණ්ඩියේ සේවය කළත් පසුව වාකරේ, තොණ්ඩමනාරු, කොකාවිල් වගේ ත්‍රස්තවාදි සටන් උග්‍ර ප්‍රදේශවල සේවය සඳහා යන්න සිදු වුණා. යුද්ධ කාලෙ නිවාඩුවක් ගන්න විදිහක් තිබුණෙ නැහැ. අපි පුදුමාකාර දුකක් වින්දෙ. පැය 12ක සේවා කාලයක හිටපු අපිට වෙනත් කිසිම දෙයක් ගැන අවධානයක් යොමු කරන්න වෙලාවක් තිබුණෙ නැහැ.
“මම පාසල් යන කාලෙ ඉදල ක්‍රීඩාවට දස්කම් දැක්වූවා. ඒ නිසා මම පනාගොඩට ආවා. ක්‍රීඩා කණ්ඩායමට සම්බන්ධ වෙන්න. එතකොට ත්‍රස්තවාදී යුද්දෙ අවසන් වෙලා. මට රගර්, කබඩි වගේම එල්ලෙ ක්‍රීඩාවත් හොඳට සෙල්ලම් කරන්න පුළුවන් නිසා මම ඒ සේරමට සම්බන්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, මම ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාවත් හොඳින් හදාරා තිබුණා. 2010 අවුරුද්දේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශිකාවක් වශයෙන් මම පත්වීම් ලැබුවා. එතැන් පටන් යුද්ධ හමුදා සෙබළියන්ගේ ශාරීරික ක්‍රීඩා කුසලතා වර්ධනය කරන්න මම උපරිම දායකත්වයක් ලබා දුන්නා.
“ඒත් මට එල්ලෙ කණ්ඩායමේ නායකත්වය බාර ගන්න සිද්ධ වුණු නිසා අනෙක් ක්‍රීඩාවලට අවධානය යොමු කර ගන්න බැරි වුණා. අවුරුදු 3ක් මම එල්ලෙ කණ්ඩායමේ නායකත්වය දැරුවා. කාලයක් යනකොට එල්ලෙ කණ්ඩායමට මටත් වඩා දක්ෂ අය එන බව තේරුණ නිසා මම ඒ අයට ඉස්සරහට එන්න අත දීලා සූප ශාස්ත්‍රයට අවධානය යොමු කළා.
“මම ඒ අංශයට අවධානය යොමු කරන්න තවත් හේතුවක් වුණේ අම්ම හොඳට කෑම හදන්න දන්න කෙනෙක් නිසයි. අපිට පුංචි කඩයක් තිබුණා. අම්ම ඒ කඩේට ඉදි ආප්ප වගේ කෑම හදල දැම්මා. ඒක නිසා මටත් ඒවට උදවු කරල දැනුමක් තිබුණා.
“මගේ සූප ශාස්ත්‍ර දැනුම ගැන දැනගත්ත යුද හමුදාවේ කාන්තා බළකායේ නිලධාරීන් සහ නිලධාරිනියන් මගේ දෂ්ෂතාව ඉහළට නංවාගන්න උපකාර කළා.
“මම වෘත්තිය පුහුණු අධිකාරියේ සූපශාස්ත්‍ර පාඨමාලායක් හැදෑරුවා. එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න මට පුළුවන් වුණා. මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට සමාන ලෙසින් සැලකෙන ජාතික වෘත්තීය සුදුසුකම් - IV මට්ටම (NVQ Level - IV) සාමර්ථ්‍යය ලබමින් සුපවේදී ක්ෂේත්රයට හොඳ සුදුසුකමක් ලබාගත්තා. ඒ දැනුම දිගින් දිගටම ඉදිරියට ගෙනියන්න මට ඕන වුණා. මේ අතරේ මට සූපවේදී තරගයකට ඉදිරිපත් වෙන්න හැකියාව ලැබුණා.
“ඒ තරගයට සුප්‍රකට සුපවේදී පබ්ලිස් සිල්වා මහතා පැමිණියා. මගේ දස්කම් ඒ මහතා හුඟක් අගය කළා. පස්සෙ මට ඒ මහත්තයාත් එක්ක රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.
“මම පබ්ලිස් සිල්වා මහතාත් සමඟ සූපශාස්ත්‍රයෙන් ඉහළට යන හැටි සාකච්ඡා කළා. ඒ මහතා මට කිව්වා දන්න සූපවේදී ශාස්ත්‍ර ගැන හොඳින් අවධානය යොමු කරල පොතක් එළිදක්වන්න පුළුවන් නම් හොඳයි කියලා. එතුමා කොස් ආශ්රිත නිෂ්පාදන 53ක් තියෙන පොතක් එළි දක්වා තිබෙන බවත් මම දන්නවා.
“මම කල්පනා කළා අපට මොකක්ද කරන්න පුළුවන් කියලා. අපේ කප්රුක වෙන පොල් ගහෙන් අපට ලැබෙන ආහාර ගොඩක් තියෙන නිසා මම පොල් ආශ්රිත නිෂ්පාදන අඩංගු ආහාර ව්ට්ටෝරුවක් හැදුවා. මම දන්න මට උයන්න පිහන්න පුළුවන් හැම නිෂ්පාදනයක්ම එහි අඩංගු කළා. ඒ නිෂ්පාදන 54ක් මම දන්නවා. පබ්ලිස් සිල්වා මහත්මයාගේ කොස් නිෂ්පාදන 53යි තිබුණෙ. මම ඊට වඩා එකක් වැඩි ආහාර වට්ටෝරුවක් නිපදවාගත්තා. ඒක තරගයකට එහෙමත් නැත් නම් අබිබවා යන දෙයක් නොවෙයි; මම දන්න හැම ආහාර වට්ටෝරුවක්ම අඩංගු කරලයි ඒ සූපශාස්ත්‍ර පොත නිෂ්පාදනය කෙළේ.
“පබ්ලිස් සිල්වා මහතා වගේ සූපශාස්ත්‍රයේ ඉහළින්ම ඉන්න මහත්වරුන්ගෙන් අපට ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. එතුමා නිසයි මම මේ විදිහට පොතක් එළිදක්වන්න පෙලඹුණේ.
“මට දැන් හොඳ දැනුමක් තියෙනවා මේ ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන්. යුද හමුදාපතිතුමා මේ සම්බන්ධව අවධානය යොමු කරලා මට අවශ්‍ය පහසුකම් සපයන්න දැනුම් දී තිබෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
“මමත් සාමාන්‍ය පෙළවත් පාස් වෙන්න බැරි වුණු කෙනෙක් කියල අධ්‍යාපනය එහෙමත් නැත් නම් අනාගතයට පයින් ගහලා නිකම් හිටියා නම් මොකද වෙන්නේ?
“අද යුද හමුදාවේ කාන්තා බළකායේ ක්‍රීඩා දස්කම් මේ විදිහට දක්වා තියෙන, එමෙන්ම සූප ශාස්ත්‍රයක් මේ ආකාරයෙන් හදාරා තියෙන එකම තැනැත්තිය මමයි. ඒ වගේම විධායක සූපවේදී නිල ඇඳුම අඳින්න හැකියාව ලැබිල තියෙන්නෙත් මට විතරයි කියන-එක මම ආඩම්බරයෙන් කියන්නෙ. තුවක්කුව කියන ආයුධය විතරක් නෙමෙයි; රගර් බෝලය, එල්ලේ පිත්ත වගේම කුස්සියෙ වැඩත් අපිට හොඳින් පුළුවන් බව අපි හිතාගත්තා නම් අපිට ජීවිතේ බොහෝ දුරක් පහසුවෙන් යන්න පුළුවන් වෙනවා.
“කිසිම දෙයක් මම අධෛර්යවත් වෙලා අත්හැරියෙ නැහැ. මගෙ තාත්තා නැහැ; අම්මයි මල්ලියි විතරයි ඉන්නෙ. ඒත් ඒ කිසිම දෙයක් මගෙ ඉදිරි ගමනට බාධාවක් කරගත්තේ නැහැ.
“කඩුවෙල මගේ ගෙවල් පැත්තේ ඉන්න සේරම දෙනා මට උදවු කරනවා. ඒ අයටත්, යුද හමුදාවෙ මට උදවු-උපකාර කරන සියලු දෙනාටත් මගේ හද පිරි ගෞරවාන්විත ස්තුතිය මම පුද කරනවා.”
සූපශාස්ත්‍රයේ දස්කම් දක්වමින් ‘දෙරණ සූප ස්ටාර්’ තරගයේ අවසන් තරගකරුවන් පස්දෙනා අතරට පැමිණීමටත් ඇයට හැකි වුණා. එසේම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් වර්ෂ 2013දී පවත්වන ලද ප්‍රදර්ශනයේදීත්, යුද්ධ හමුදාව විසින් 2014, 2015 සහ 2016 යන වර්ෂයන්හි පවත්වන ලද සූපවේදය පිළිබඳ ප්‍රදර්ශනයන් සහ අනෙකුත් එවැනි ප්‍රදර්ශන අවස්ථාවන්හිදීත් ඇය සූපවේදය පිළිබඳ තම කුසලතා මනාව ප්‍රදර්ශනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නව නිමැවුම්කරුවන්ගේ කොමිසම විසින් මීට සති කිහිපයකට පෙර පැවැත්වූ ‘සහසක් නිමැවුම්’ ජාතික නව නිමැවුම් තරගාවලියේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඇයට හැකි වුණා. විදුලි යන්ත්‍රයක් භාවිතයෙන් පුවක් ගසේ කොළපත ආධාරයෙන් සෞඛ්යාරක්ෂිත පිඟන් සහ බඳුන් නිර්මාණය කිරීම වෙනුවෙන් එම ජයග්‍රහණය හිමි වූ අතර, විදේශ තරග කිහිපයකටද සහභාගි වීම සඳහා ඇය තෝරාගෙන තිබෙනවා. ඇය විසින් රචනා කරන ලද ‘කප්රුකෙන් නවතම කෑම වට්ටෝරු’ ග්‍රන්ථයේ පොල් නිෂ්පාදන ආශ්‍රිතව පිළියෙල කරගත හැකි නව කෑම වට්ටෝරු 54ක් අඩංගු වනවා. එම ආහාරවල පෝෂණ ගුණය පිළිබඳවත් එහි අන්තර්ගතයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් මේ සෙබළියගේ විවිධ දක්ෂතා පිළිබඳ දැනගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇයගෙන් යුද හමුදාවට ගත හැකි සේවාවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයාදෙන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට උපදෙස් දී තිබෙනවා.
තමාට මේ ගමන යන්නට අත-හිත දෙන යුද හමුදාපතිතුමාට මෙන්ම වත්මන් මධ්‍යස්ථ සේනා විධායක බ්‍රිගේඩියර් අතුල සිල්වා මහතාටත් බළකාධිපති බළකා අධිපති බ්‍රිගේඩියර් ඩී.ටී.එන්.මුණසිංහටත් ඇයට උදවු-උපකාර කළ සියලු දෙනාටත් ඇය මේ අවස්ථාවේ ස්තුති කරනවා.
ඇය විසින් සම්පාදනය කරන ලද ‘කප්රුකෙන් නවතම කෑම වට්ටෝරු’ ග්‍රන්ථය මේ වන විට මුද්‍රණයේ පවතින අතර, නුදුරු දිනක එය යුද්ධ හමුදාපතිවරයාට පිරිනැමීමට බලාපොරොත්තුව සිටිනවා.
සේයාරූ - විමල් කරුණාතිලක