යටත්විජිතවාදි අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට... | සිළුමිණ

යටත්විජිතවාදි අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට...

ග්‍රීක, රෝම, තුර්කි, පර්සියානු හා චීන ආදි පැරණි අධිරාජ්‍යයන්ගේ අවපතනයෙන් පසු, 16 වන සියවසේ පූර්වභාගයේ පමණ ලෝකයේ නූතන යටත්විජිතවාදි යුගය ආරම්භ විය. ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් 1492දී ඇමෙරිකාව සොයාගැනීමත්, 1498දී වස්කෝ ද ගාමා ඉන්දියාවට පැමිණීමත් සමඟ පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඤ, බෙල්ජියම්, ප්‍රංස හා ඉංග්‍රීසි යන යුරෝපා ජාතීහු ආසියාව, අප්‍රිකාව හා ඇමෙරිකාව ආක්‍රමණය කළහ. මේ ආක්‍රමණයන්හි අරමුණ වූයේ, ලාභදායි වෙළෙඳාම සඳහා සුදුසු භූමි ප්‍රදේශ අත්පත් කරගැනීම ය.

මේ අධිරාජ්‍යවාදීහු තමන් යටතට පත් වූ විජිතයන්හි ඛනිජ සම්පත් පමණක් නො ව, පෞරාණික ස්ථානයන්හි වූ රන්මුවා පිළිම හා වටිනා ආභරණ ද පැහැරගත්හ; එසේ ම කුළුබඩු වහලුන් හා අලි-ඇතුන් වෙළෙඳාමෙන් මහත් ධනයක් රැස් කරගත්හ.

කෙසේ වෙතත් ප්‍රථම ලෝකසංග්‍රාමයෙන් පසු යටත්විජිතවාදයට එරෙහිව යමින් නිදහස සාක්ෂාත් කරගැනීම සඳහා දියත් කෙරුණු අරගල ලොව පුරා පැතිර-ගියේ ය. දෙවැනි ලෝකයුද්ධයෙන් පසු මේ අරගල තවදුරටත් උත්සන්න වී, යටත්විජිත වශයෙන් පැවති රාජ්‍ය සියල්ලට නිදහස ලැබිණි.

එහෙත් මෙසේ ලද නිදහසින් පසු වුව යටත්විජිතයන්හි තත්ත්වය යහපත් අතට හැරිණියි කිව නොහැකි ය. ආර්ථික හා සමාජ-සංස්කෘතික වශයෙන් යටත්විජිත වැසියන් තුළ පැවති මානසික බන්ධනයන්හි ලිහිල් වීමක් සිදු නො වී ය. එපමණක් නො ව, පෙර නොවූ-විරූ දූෂිත තත්ත්ව අලුතින් ද නිර්මාණය විය. ශ්‍රී ලංකාවට ද මේ තත්ත්වයට මුහුණදීමට සිදු විය.

ද්‍රව්‍යමය සම්පත් අහිමි වීම හැරුණු විට අධිරාජ්‍යවාදීන් අතින් යටත්විජිත වැසියන්ට සිදු වූ මහත් ම හානිය නම්, පළමු කොට ඔවුන් ස්වකීය පෘථිවිතලයෙන්, සත්ත්ව හා ශාක ප්‍රජාවගෙන් - සමස්ත වශයෙන් ගත් කල මුළුමහත් ස්වාභාවික පරිසරයෙන් ම පිටස්තර වූ විකෘති මනස් සහිත පුද්ගල කොට්ඨාසයක් බවට පත් කරනු ලැබීම ය. දෙවනුව ඔවුහු තමන්ට හුරු-පුරුදු ජීවිතයෙන් ද වෙන් කෙරුණාහ.

නිදහස ලැබීම යන්නෙන් සැබැවින් ම සිදු වූයේ, විදේශීය අධිරාජ්‍යවාදි පාලනපන්තිය වෙතින් දේශීය පාලකයන් අතට බලය මාරු වීම ය. ඉන් අනතුරු ජනයා පෙර පුරුදු තත්ත්වයට යළි පරිවර්තනය වූයේ නැත. යටත්විජිත පාලකයන් විසින් ඔවුන් තුළ ජනිත කරන ලද විකෘතිය තවදුරටත් වර්ධනය වූවා විනා, ඔවුන් මෙරට ස්වාභාවික පසට යළි මුල් ඇදගැනීමක් සිදු නො වී ය.

මිෂනාරි අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ ජනයා තුළ ශ්‍රම විභජනය පිළිබඳ එතෙක් පැවති ආකල්පය වෙනස් විය. මිෂනාරි අධ්‍යාපනයෙන් පෝෂණය වී ගුරු, ලිපිකාර ආදි වෘත්තීන්ට ඇතුළු වූ මෙරට ගැමි තරුණයන් තුළ කායික ශ්‍රමය පහත් කොට සැලකීමේ නැඹුරුවක් ඇති විය. තමන් ලබන අධ්‍යාපනයෙන් කොයි-කවුරුත් අපේක්ෂා කෙළේ පුටුවක් පිට හිඳගෙන කරන රැකියාවකි. මේ ආකල්පය නිදහසින් පසුව තවදුරටත් වර්ධනය වූ අතර එහි ප්‍රතිවිපාක වර්තමානයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කෙරෙහි විශේෂයෙන් බලපා ඇත. අද මෙරට වී ගොවිතැන වේගවත් බිඳ වැටීමකට භාවිත වෙමින් පවතියි. තරුණයෝ කුඹුරට බැසීම මදිකමක් කොට සලකති. නැත හොත්, අලසකම ඒ සඳහා ඔවුනට ඉඩ නො දෙයි. කය නොවෙහෙසා කළ හැකි මත්ද්‍රව්‍ය හා මත්පැන් වෙළෙඳාම වැනි වෙනත් පහසු රැකී-රක්ෂා ද එමට ඇත‍.

පෘතුගීසි, ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇති කළ පාසල් ක්‍රමයට පටහැණි වූ අධ්‍යාපනික ක්‍රමයක් අතීතයේ සිට මෙරට පැවතිණි. 1885 වන විට පන්සල් ආශ්‍රිත ව පැවති මේ පාසල් මෙරට නොයෙක් පළාත්වල 1769ක් වූ බව වාර්තා වේ.

මේ පන්සල් පාසල්වල අධ්‍යාපනය ලත් දේශීය වැසියෝ වසර දහස් ගණනක් තිස්සේ මෙරට ස්වාභාවික පරිසරය මැනැවින් ආරක්ෂා කළහ. මිෂනාරී අධ්‍යාපනයට අන්තර්ග්‍රහණය වීමෙන් පසු, ගහ-කොළ, සතා-සිව්පාවුන් හා ගංගා-ඇළ-දොළ ආශ්‍රිත ස්වාභාවික පරිසරය සුරැකීමේ මානසික තත්ත්වයක් ඔවුන් තුළ නො වී ය. ස්වාර්ථය තකා ජීවත් වීමේ ඒකායන මාර්ගය හැරුණු විට ඔවුනට වෙනත් විකල්ප නොවී ය. එහෙයින් මිල මුදල් ගලා එන කුමක් වුව වනසා-ලීමට ඔවුන් පසු බට වූයේ නැත. මේ තත්ත්වය නිදහසින් පසුව වඩාත් උග්‍ර විය. අද දවසේ සිදු කෙරෙන මහා පරිමාණ පරිසර විනාශය නුදුරු අනාගතයේ මෙරට නිරුදක කාන්තාරයක් බවට පත් වීමේ පෙරනිමිත්තකි.‍

මානව සම්බන්ධතා මෙතරම් විකෘත වී ගිය අන් යුගයක් ගැන සිතිය නොහැකි ය. මා-පිය, දූ-දරු සබඳතා ද දේපළ, මිල-මුදල් මත රඳා පවතින තත්ත්වයක් නිර්මාණය වී ඇත. අද වන විට මෙරට අනාථ නිවාස පිරී ඇත්තේ ව්‍යාපාරිකයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ හා නීතිඥයන්ගේ දෙමවුපියන්ගෙනි. ඇතැම් මවුපියන්ගේ දූ-දරුවෝ විදේශගත ව සුවපහසු ජීවිත ගත කරති. මවගේ හෝ පියාගේ හෝ අභාවය සැල කෙරෙන දූරකථන පණිවිඩයක් පවා ඔවුන්ට සාමාන්‍ය ප්‍රවෘත්තියක් සේ හැඟී ගිය හොත් එහි කිසිදු පුදුමයක් නැත.

යටත්විජිත යුගයේ රෝපණය වී නිදහසින් පසු තවදුරටත් දලු ලා වැඩුණු ප්‍රමුඛාංගයක් නම්, අධ්‍යාපනය යි. 1954 අප්‍රියෙල් මස දෙවැනි දින පිහිටුවන ලද, මඩිහේ පඤ්ඤාසීහ, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, කොටහේනේ පඤ්ඤාකිත්ති යනාදි නාහිමිවරුන‍්ගෙන් හා මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර, පී ද එස් කුලරත්න, එල්එච් මෙත්තානන්ද හා ටීබී ඇල්ලෙපොළ යනාදි ගිහි විද්වතුන්ගෙන් ද සමන්විත වූ බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ අන්තර්ගත මේ පිළිබඳ සටහන බෙහෙවින් වැදගත් කොට සැලකිය හැකි ය:

“මේ රටේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය පිළියෙල වී තිබෙන්නේ ලංකාව යටත්විජිතයක්ව පැවැති කාලයේ -එනම්: 1930දී- සකස් කරන ලද යල් පැන ගිය විෂයමාලාවක් අනුව ය. අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාකම් පිරිමසා ගැනීම සඳහා යටත්විජිතයකට සුදුසු පරිදි අධ්‍යාපනය සකස් කරන ලදි. මේ රටේ වහල් සාමාජිකයන් ගොඩනැඟීම ඒ අධ්‍යාපන ක්‍රමයෙන් බලාපොරොත්තු විය...

“අද මෙරට පවතින්නේ, පරමාර්ථයක් නොමැති අධ්‍යාපන ක්‍රමයකි. අද ගුරුවරු ඒ ඒ විෂයයන්ට අයත් කරුණු උගන්වති. කුමක් සඳහා ද යනු නොදනිත්...”

“බටහිරින් ගෙනෙන ලද ප්‍රමාණය ඉක්මගිය තරගවලට මුල් තැන දුන් අධ්‍යාපන ක්‍රම නිසා අප සමාජය විනාශ මුඛයට පත් විය. මුදල් ඉපයීම හා සැපපහසුකම් ලැබීම සමාජයක උසස් ම අංග නම්, ඒ බටහිර අධ්‍යාපන ක්‍රමයෙන් විශාල සේවයක් ඉටු ව‍ූ බව නිසැක ව ම කිව යුතු ය. එහෙත් අප බලාපොරොත්තු වන්නේ එපමණක් ම නො වේ. අපි මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මික දියුණුව උසස් කොට සලකමු. පොහොසතාට හෝ බලවතාට හෝ උගතාට වඩා හැදුණු මිනිසාට අපි සලකමු. අප මෙරට ඇති කළ යුත්තේ හැදුණු මිනිසුන්ගෙන් යුත් සමාජයකි.

“අද පාඨශාලාවල ළමයින් කෙරෙහි බෙහෙවින් බලපවත්වන්නේ, එකිනෙකා අතර පවතින තරග චේතනාව ය. බාලාංශ පන්තිවල පටන් පාඨශාලා අවසානය දක්වා ම දිනපතා, සතිපතා, මාස් පතා, වාරයක් පාසා, අවුරුද්දක් පාසා ළමයින් අතර, පන්ති අතර, කණ්ඩායම් අතර හෝ පාඨශාලා අතර පවත්වන නොයෙකුත් තරග ළමයින්ගේ මුළු ජීවිතය කෙරෙහි ම බලපවත්වන්නේ ය. කෙසේ හෝ තමන් අනෙකා ජය ගන්නෙමැ යි සිතා යථා හෝ අයථා මාර්ගවලින්, වංක හෝ අවංක ක්‍රමවලින් අනෙකා පරදවා ජය ගැනීමට මනුෂ්‍යයා පොලඹවන්නේ මේ තරග සිතිවිලි ය. ලෝකයේ යුද්ධ පටන් ගැනීමේ මුල ද මෙය යි.

“... පුද්ගලයන්ට හා සමාජයට බියක් ගෙන දෙන එකිනෙකා ඇන-කොටාගැනීමට හේතු වන, වෛරය දියුණු කරවන තරග පාඨශාලාවලින් ඉවත් කළ යුතු ය.”

අද වන විට මේ තත්ත්වය එහි උච්ච තලය කරා නැංවී ඇත. එදාටත් වඩා අද දවසේ ගුරුවරු තමන් සිය විෂයය උගන්වන්නේ කුමක් සඳහා දැ යි නො දනිති. ඒ ගුරුවරුන්ගේ වරද නො වේ; ඔවුන්ට කටයුතු කිරීමට සිදු වී ඇති න්‍යායපත්‍රයේ වරද ය. එමෙන් ම අද එදාට වඩා මහා පරිමාණයෙන් සිසුහු තරගයකට මුහුණ දී සිටිති. අධ්‍යාපනය ඔවුන් මත බලෙන් පටවා ඇතිතාක් සේ ය. මේ තරගයෙන් පරාජයට පත් වන ඇතැම් ශිෂ්‍යයෝ දිවි නසාගනිති.

අද අධ්‍යාපනය වෙළෙඳ ව්‍යාපාරයන් බවට පත් ව ඇත. නිදහස් අධ්‍යාපනය යැ යි කීවත් ඒ එක්තරා ප්‍රමාණයකට පමණි. විශේෂයෙන් කලා විෂයධාරාව හා සම්බන්ධ අධ්‍යාපනය බෙහෙවින් නිසරු ය. මේ අධ්‍යාපනයේ ප්‍රමුඛ ලක්ෂණය නම් කටපාඩම් කිරීමත්, යළි වැමෑරීමත් ය.

මහාචාර්ය මාර්තා නස්බෝන් දක්වන අන්දමට මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූවක් නො වේ:

“ඉන්දියාව පු‍රා ඉගැන්වූ දේ නැවත වැමෑරීමේ ක්‍රමය දශක ගණනාවක් පුරා පැවතී ඇත. ... උගත් දේ නැවත වැමෑරීමේ ක්‍රමය යටත්විජිත සමයේ සිට ම පැවැති නිසා එය තාමත් පැවතීම වඩාත් තේරුම් ගත හැකි ය. යටත්විජිත සමයේ තාගෝර් ඉගෙනීමට ගිය පාසල්වලත් පැවතියේ මෙසේ උගත් යමක් කටපාඩම් කිරීමේ අධ්‍යාපනය නිසා තාගෝර් හැකි ඉක්මනින් ඒ පාසල් හැර ගිය බව ප්‍රකට කරුණකි.”

(කලාව කුමකට ද, මාර්තා නස්බෝන්, පරිවර්තනය - ලියනගේ අමරකීර්ති, පි. 190)

ඒ සමඟ ම මාර්තා නස්බෝන් මහාචාර්යවරිය ඉන්දියාවේ අධ්‍යාපනය පිළිබඳව තබන පහත දක්වන සටහන ද ශ්‍රී ලංකාවට මුළුමනින් ම අදාළ ය:

“කටපාඩම් කර ගත් දේ පුනරුච්චාරණය කිරීමේ අධ්‍යාපනය ඉන්දියාවේ ආණ්ඩුවේ පාසල්වල ආධිපත්‍යය දරයි... ඒ තරමට ම දරුවන් කෙරෙහි හානි දායක දෙයක් නම්, කුප්‍රකට ‘ප්‍රයිවේට් ටියුෂන්’ නම් භාවිත යයි. ඉන් කෙරෙන්නේ, පාසල් කාලයෙන් පසු පොහොසත් පවුල්වල ළමයින්ට ඔවුන්ගේ නිවෙස්වලදී ඉගැන්වීමට ගාස්තුවක් අය කිරීම යි. ඒ වූකලි පාසල් කාලය තුළ හොඳින් ඉගැන්වීමෙන් වැළකී සිටීමට ගුරුවරුන්ට දිරි දෙන භාවිතයකි. එපමණක් නො ව, පාසල් ගුරුවරුන් නිර්මාණාත්මක අත්හදා බැලීම් කරන්නේ ද, ශිෂ්‍යයන්ට ආනුභාවය සපයා අවදි කරන්නට තැත් කරන්නේ ද ඉතා කලාතුරකිනි. ඒ ගුරුවරුන්ගේ අපේක්ෂාව වන්නේ ශිෂ්‍යයන්ට ජාතික විභාගවලින් සාර්ථක වීමට හැකියාව ලැබෙන සේ ඔවුන්ගේ හිස් කරුණුවලින් පුරවා-ලීම යි.” (එම, පිටු. 190–191).

කටපාඩම් කරගත් දෙය යළි වැමෑරීම කිසි සේත් ම ‘අධ්‍යාපනය’ යන වචනයෙන් හැඳින්විය නොහැකි යැ යි මෙරට කිසිවකු හෝ සිතන බවක් නො පෙනේ. ඒ ක්‍රමයට ‘උගන්නවුන්’ ගත් කල, වනපොත් කළ දෑ ක්ෂණික ව අමතක වී යෑමෙන් පසු ඔවුන් තුළ ඉතිරි වන්නේ කුමක් ද?

‍මේ ගණයට අයත් උපාධිධාරීන් පමණක් නො ව, පශ්චාද්-උපාධිලාභීන් ද දහස් ගණනක් පසුගිය වකවානුවේ සමාජයට එක් වී ඇත. ඔවුන්ගෙන් මේ සමාජයට ගත හැකි හරවත් දායකත්වය කුමක් ද? කවර වෘත්තියකට ඇතුළු වුව ද, බොරුවෙන් වැරදි වසාගැනීම හැර අන් යමක් කිරීමට ඔවුනට හැකි වේ ද?

බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභාවත්, මාර්තා නස්බෝන් මහාචාර්යවරියත් මීට අදාළව ගෙනහැර දක්වන කරුණු සමාලෝචනය කිරීමේදී පැහැදිලි වන්නේ මෙරට තවමත් යටත්විජිතවාදි අධ්‍යාපන ක්‍රමය ම රජයන බව නො වේ ද?

Comments