70 වැනි ජාතික නිදහස් දිනය හා මෛත්‍රීගේ දූෂණ විරෝධි මෙහෙයුම! | Page 4 | සිළුමිණ

70 වැනි ජාතික නිදහස් දිනය හා මෛත්‍රීගේ දූෂණ විරෝධි මෙහෙයුම!

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිපයෙන් ආරම්භ කරන ලද දූෂණ විරෝධි සටන විජයග්‍රහණය බවට පත් කිරීමේ වගකීම සංකේතවත් කරමින් ලබන 10 වනදා සිය අගනා ඡන්ද අයිතිය භාවිත කරන ලෙස මතක් කරමු. සත්තකින්ම මේ රටේ ජනතා සම්පත් කොල්ලකමින් දූෂණ-වංචා සිදු කළ කිසිවකුට දේශපාලනය කිරීමට ඉඩ නොතැබීමද අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. මේ අනුව 70 වැනි ජාතික නිදහස සමරන සියලු යහපත්, සදාචාර සම්පන්න ජනතාව සිට ගත යුත්තේ දූෂණ විරෝධි මෙහෙයුමේ සෙන්පති බවට පත්ව සිටින මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ බවද සඳහන් කරමු.

ශ්‍රී ලංකාවේ 70 වැනි ජාතික නිදහස් සැමරුම් උලෙළ උත්කර්ෂයෙන් සිහිපත් කෙරෙන අද මෙරට ජාතික නිදහස පිළිබඳ නොයෙක් ස්මෘතීන් අප හද තුළ නැඟෙයි. එසේම නිදහස යනු කවර අර්ථයකින් විග්‍රහ කළත්, එය මේ මිහි මත ජීවත් වන සියලු ශිෂ්ට සම්පන්න ජනතාවගේ පරම හිමිකමක් මෙන්ම උදුරාගත නොහැකි උදාර සංකල්පයක් බවද නිසැකය. නිදහස උදෙසා කෙරෙන අරගලයකදී මුළු සමාජයක්ම, රටක්ම ස්වකීය පෞද්ගලික භේද-වාද පසෙක ලා එකමුතුව හා අධිෂ්ඨානශීලිව ක්‍රියා කළ ආකාරය පිළිබඳ ඉතිහාසයේ සඳහන්ව තිබේ. එනිසා නිදහස් දිනය උණුසුම් හා සාඩම්බර අපේක්ෂාවලින් අප පුබුදු කරවන්නකි.

නිදහස

එසේම වරක් හිමි වූ නිදහස යළිත් අහිමි වී යා හැකි බවද එබඳු අවස්ථා ලෝක ඉතිහාසයේ වුව දුලබ නොවන බවද අපි දනිමු. මේ අනුව නිදහස යනු මානව ශිෂ්ටාචාර ගමන් මගෙහි මානව වර්ගයා විසින්ම අත්පත් කරගන්නා ලද පරම විජයග්‍රහණයකි. ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳ කථාව 1948න් ඔබ්බට දිව යන්නකි. විදේශ ආක්‍රමණවලට එරෙහිව ගෙන ගිය අරගල පිළිබඳ සාඩම්බර වාර්තා අපට තිබේ. එසේ වුවද අප නිදහස ලෙස සිහිපත් කරන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් 1948 පෙබරවාරි 04 වනදා අපට ලබා දෙන ලද ස්වාධීනත්වයයි. මේ නිදහස හුදු නාමමාත්‍ර වූවක් වන්නේ ඒ සමග ස්ථාපිත වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවරුන්ගේ සෙවණැල්ල හා ඒ අනුව බිහි වූ කොම්ප්‍රදෝරු ධනපති පන්ති සමාජ ආධිපත්‍යයත් නිසාය. නිදහසේ පියා ලෙස ගෞරවයට පාත්‍ර වූ ඩීඇස් සේනානායක අගමැතිවරයාට වුවද වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නිදහස් රටක් හා නිදහස් සමාජයක් ගොඩ නැගිය නොහැකි විය.

ඉංග්‍රීසි පන්නයේ ශ්‍රී ලාංකික පාලනයක් තුළ රටට අවශ්‍ය ස්වාධීන දේශපාලන හා සංස්කෘතික සමාජය බිහි නොවීමද පුදුමයක් නොවේ. මේ හිඩැස දුටු ප්‍රථම ශ්‍රී ලාංකික දේශපාලන චින්තකයා වූයේ ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතාය. ඔහුගේ පුරෝගාමිත්වයෙන් 1956 සිදු වූ දේශපාලන පෙරළිය ‘පනස් හයේ විප්ලවය‘ ලෙස ඉතිහාසයේ බුහුමනට පාත්‍ර වන්නේ ඒ පසුබිමෙහිය. 1956 විප්ලවය අහඹු සිදුවීමක් නොව මෙරටේ ජාතික චින්තන ව්‍යාපාරය මල් පල දැරීමකි. එහි ඉතිහාසය අනගාරික ධර්මපාලතුමාගෙනුත් ඔබ්බට දිව යයි. පනස් හයේ පෙරළිය ලෙස අර්ථ ගන්වා තිබෙන දේශපාලන සමාජ පරිවර්තනය නිසැකයෙන්ම මෙරටේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය මුහුණ දුන් බිහිසුණුම පරාජයක් විය. ඒ සමගම බ්‍රිතාන්‍ය යටත්විජිත ආකෘතියේ පදනම දෙදරා ගියේය. පොදු ජන ප්‍රාර්ථනා පිළිබඳ උදාර හැඟීම් පුබුදු විය. මෙය නිසැකයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේක්ෂා කළ දෙයක් නොවීය. ඔවුන් විසින් ස්ථාපිත කරන ලද කළු-සුදු මානසික ශ්‍රී ලාංකිකයන්ට මේ විප්ලවය සිදු වනු වැළැක්වීමටද නොහැකි විය. එදා මහජන එක්සත් පෙරමුණ ඔස්සේ සංකේතවත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ නැවුම් අපේක්ෂාය. ඒ සියල්ල ජනතාවට ලබා දෙන බවට අගමැති බණ්ඩාරනායක මහතා සහතික විය. ඒ අනුව සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික, විදේශ සබඳතා ආදි ක්ෂේත්‍ර ගණනාවකම විප්ලවීය වෙනස්කම් රැසක් සිදු කිරීමට බණ්ඩාරනායක රජයට හැකි විය. එහෙත් රටේ අභාග්‍යකට මෙන්ම බණ්ඩාරනායක රාජ්‍ය ප්‍රතිපත්තිය ඉදිරියට යෑම වැළැක්වීම සඳහා ප්‍රතිගාමි බලවේග ක්‍රියාත්මක විය.

ප්‍රතිගාමි බලවේග

බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් ඒ ප්‍රතිපත්ති අවසන් කළ හැකියැයි ප්‍රතිගාමීන් කල්පනා කළත් එයද එපරිද්දෙන්ම ඉටු නොවූ බවද සඳහන් කළ යුතුය. එතැන් සිට නිදහස් රටක් ලෙස පෙරට ඇදුණු ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන පිළිබඳ ඉතා සංක්ෂිප්තව කිව හොත් එමඟින් රටේ ප්‍රජාතන්ත්‍රවාදි හා ජනතාවාදි අපේක්ෂා සාක්ෂාත් කරගත නොහැකි වූ බව පමණක් සඳහන් කිරීම වටී. ඩීඇස් නිර්මාණය කළ එජාපය හා බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ සක්‍රිය බලවේග බවට පත් වුවද ඒවායේ දේශපාලන ශේෂපත්‍ර පිළිබඳ අපට තෘප්තිමත් විය නොහැකිය. 1972දී ඇති කළ ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 1978දී සම්මත කළ විධායක ජනාධිපති ක්‍රමයෙන් වුවද ජනතා අපේක්ෂා මල්පල ගැන්විය නොහැකි විය. 1978න් පසු මේ පරිහානිය ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත විය. ජේආර්ගේ සිට මහින්ද දක්වා බලයට පත් කිසිදු රාජ්‍ය නායකයකුට ඒ සඳහා විධිමත් දේශපාලන දැක්මක් නොවූ බව පෙනේ.

අපතේ ගිය අවස්ථාව

තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමට රාජ්‍ය නායකත්වය දුන් මහින්ද රාජපක්ෂට මේ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා වැඩි අවකාශයක් තිබිණි. එහෙත් ඔහු යුද ජයග්‍රහණයෙන් පසු යොමු වූයේ වෙනම බලාධිකාරයක් ගොඩනඟාගැනීමටය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ සකලවිධ ප්‍රජාතන්ත්‍රවාදි අභිලාෂයන් යටපත් කරමින් රාජාණ්ඩුක්‍රමයක හිතුවක්කාර පාලකයකු බිහි වීමට මං පෑදිණි. 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ බහුතර ජනතාව ඒ ඒකාධිපති පාලනය පෙරළා දැමීම සඳහා ඒකරාශි වීම ‍ඵෙතිහාසික සංසිද්ධියකි. සැබැවින්ම මෙරටේ සිදු වූ දෙවන නිදහස් සටන 2015 ජනවාරි 08 දා විජයග්‍රහණය කළ බව කීම නිවැරදිය. 2015 ජනවාරි 08 දා එකී දෙවන ඓතිහාසික විප්ලවයට උර දෙන්නේද බණ්ඩාරනායකගේ ශ්‍රීලනිපය විසින්ම කරන ලද විශිෂ්ට නිර්මාණයක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෛත්‍රීපාල දේශපාලන සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාවේ නිදහසේ පියා ලෙස ගෞරවයට පාත්‍ර වී සිටින ඩීඇස් සේනානායකගේ හා පනස් හයේ විප්ලවයේ නියමුවා ලෙස ඉතිහාසයට එක්ව සිටින බණ්ඩාරනායකගේ දේශපාලන සමාජ අපේක්ෂා මල් පල දැරීමක් වැන්න. මෙරට ගොවි ජනපද ව්‍යාපාරය බිහි කරමින් එදා ඩීඇස් සේනානායක අපේක්ෂා කළේ තමන් විසින් බිහි කරන ලද ගොවිජනපදයක, ගොවිනායකයකුගේ පුතකු මෙරටේ ජනනායකයකු ලෙස පත් වුව හොත් එය ඵෙතිහාසික සංසිද්ධියක් බවය. එසේම බණ්ඩාරනායකයන් තුළ වූයේද තමන් විසින් නිර්මාණය කරන ලද පොදු ජන පක්ෂය වූ ශ්‍රීලනිපයෙන් සාමාන්‍ය පන්තියේ පොදු ජන පුත්‍රයකු නැත හොත් පනස් හයේ දරුවකු රටේ රාජ්‍ය නායකත්වයට පත් වුව හොත් මැනැවයි යන සිතිවිල්ලමය. සත්තකින්ම මෛත්‍රී යනු ඒ ශ්‍රේෂ්ඨ මානවවාදි දේශපාලන ප්‍රාඥයන්ගේ නියත විවරණ ලද ග්‍රාමීය සමාජයට අයත් නායකයා බව නිසැකය. මෙරටේ ප්‍රභූ පන්තිය නියෝජනය කළ දේශපාලනඥයන් දෙදෙනකුගේම දේශපාලන සිහින යථාර්ථයක් බවට පත් කළ මෛත්‍රී විසින් 2015 ජනවාරි 08 වැනිදා සිදු කරන ලද දේශපාලන විප්ලවයට අද සිදු වී තිබෙන්නේ කුමක්ද? ඒ දේශපාලන ගමනට හා සමාජ, ප්‍රජාතන්ත්‍රවාදි නිදහසට එල්ල වී තිබෙන අභියෝගය කුමක්ද? වෙනත් වචනවලින් කිව හොත් 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ බහුතර ජනතාව අපේක්ෂා කළ නිදහස, සදාචාර දේශපාලන සංස්කෘතිය, යථාර්ථයක් වී තිබේද?

නූතන නිදහස

මේ ප්‍රශ්නයට නොයෙක් පිළිතුරු දිය හැකිය. එහෙත් 2015 ජනවාරි 08 එතෙක් ස්ථාපිතව තිබූ දේශපාලන ආධිප්‍යය පෙරළා අභිනව දේශපාලන වෙනසක ඇරඹුම සටහන් කළ ඓතිතහාසික පියවරක් බව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම හකුළාදැමීම සඳහා සම්මත කළ 18 වැනි සංශෝධනය කටුගාදැමීමෙන් ඇරඹුණු ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණය අලුත් දේශපාලන සංස්කෘතියක ඇරඹුම විය. ස්වාධීන කොමිෂන් සභා ආරම්භ කිරීම හා නීතිය හා අධිකරණය ස්වාධීන ආයතන ලෙස බලගැන්වීම ආදි පියවර ගණනාවක් ඔස්සේ ව්‍යාප්ත වූ එම දේශපාලන ක්‍රියාදාමය නිසැකයෙන්ම යහපාලනයක ගුණාත්මක අගය තහවුරු කරන්නක් විය. එහෙත් මෛත්‍රීගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් අනතුරුව එළඹුණු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනැඟීමට අවශ්‍ය සම්පූර්ණ ජනවරමක් එජාපයට හෝ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට හෝ නොලැබිණි. මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මෙහිදී ගන්නා ලද්දේ තවත් විප්ලවීය පියවරකි. එනම් මෙරටේ ඉතිහාසයේ පළමුවරට එජාපය හා ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය එකතු කර සම්මුති ආණ්ඩුවක් ගොඩනැඟීමය. මේ අලුත් දේශපාලන අත්දැකීම දෙස ජනතාව බලා සිටියේ විස්මය මුසු වූ කුතූහලයකින්ය. මෙහිදී ශ්‍රීලනිපයේ හා සන්ධානයේ තවත් කණ්ඩායමක් ආණ්ඩුවට සම්බන්ධ නොවී ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයට යෑමද තවත් විශේෂ සිදුවීමක් විය. මෙලෙස ඇරඹුණු යහපාලන සම්මුති ආණ්ඩුව අනුක්‍රමයෙන් තල්ලු වී ගියේ රටේ ජනතා අභිලාෂයන් මුදුන් පත්කරලීමේ හා දූෂණ, වංචාවලින් තොර යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනංවාගැනීමේ දිශාවකට නොවීම ජාතියේම අවාසනාවකි. ශ්‍රීලනිපය මෛත්‍රීට භාර වුවද ශ්‍රීලනිපය හා සන්ධානයේ පිරිසක් වෙනම දේශපාලන න්‍යායපත්‍රයකට වැඩ අරඹමින් සිටියහ. එජාප හා ශ්‍රීලනිප සම්මුතිය බිඳදැමීම ඔවුන්ගේ එක් අරමුණක් බව පැහැදිලි විය. මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මුහුණ දෙන ලද ප්‍රබල අභියෝගය වූයේද මෙයයි. රාජපක්ෂ පාලනයේ දූෂණ, වංචා, භීෂණ හා අක්‍රමිකතාවලින් පිරී-ගිය යුගය පිළිබඳ නීතිමය හා සාධාරණ යුක්තියක් අපේක්ෂා කළ ජනතාව තුළ වර්ධනය වූයේ අපේක්ෂා භංගත්වයකි. රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ සෙවණැල්ල යටට වී වංචා, දූෂණ, අක්‍රමිකතා කළ අයට එරෙහිව පියවර ගැනීම මන්දගාමි වූ අතර, ඒවා බොහෝ විට වේදිකා මත කෙරෙන අනාවරණයන්ට පමණක් සීමා විය.

ඒකාබද්ධ ගැම්මට පොටක්

දූෂණ විරෝධයේ අපේක්ෂාව බවට පත්ව සිටි මෛත්‍රී ජනාධිපතිවරයා මෙන්ම රනිල් අගමැතිවරයාද මැදි වූයේ යළිත් බරපතළ දූෂණ හා වැරදි ක්‍රියාකාරකම් සහිත අලුත් විකෘතියකටය. සම්මුති ආණ්ඩුව පිළිබඳ සියලු අපේක්ෂා දෙදරා-ගිය ප්‍රථම දූෂිත ගනුදෙනුව ලෙස මහ බැංකු බැඳුම්කර මගඩිය සිදු වන්නේ මේ අතරය. සම්මුති ආණ්ඩුවේ හොරු සිටිතියි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයට අලුත් ගැම්මක් ගැනීමට එමගින් අවකාශ ලැබිණි. එපමණක් නොව, රාජපක්ෂ පාලනයේ දූෂණ, අක්‍රමිකතා හා වංචා පිළිබඳ චෝදනා ලද අයට පවා හිස කෙළින් තබාගැනීමට මේ ගර්හිත බැංකු මගඩිය කදිම තුරුම්පුවක් විය. ජනමාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීම්, අත්අඩංගුවට පත් වීම් වාර්තා වුවත් සියල්ල ජනතාවගේ කලකිරීමට හේතු වූ බවද සඳහන් කළ යුතුය. මෛත්‍රී ජනාධිපතිවරයාට දූෂිතයන් රකින බවට නොයෙක් චෝදනා හා විවේචනද එල්ල විය. රාජපක්ෂ පාලනය තුළ සිදු වීයැයි කී සකලවිධ දූෂණ, වංචා යහපාලන ආණ්ඩුවේ ආරම්භයේ දීම සිදුවීම විපක්ෂවලින් පමණක් නොව ආණ්ඩුව පිහිටුවීමට උපකාර කළ සිවිල් සංවිධානවලද දැඩි විවේචනයට ලක් විය. දූෂණ විරෝධි රැල්ල දූෂණ සාගරයක ගිලී යමින් තිබෙන බවද ඔවුහු කීහ. මෙරටේ ස්ථාපිතව තිබුණු ගර්හිත දේශපාලන (අ)සංස්කෘතියටත් දූෂණ, භීෂණ, වංචාවලට එරෙහිව ක්‍රියා කිරීමටත් ජනතාව විසින් රාජ්‍ය නායකත්වයට පත් කරන ලද මෛත්‍රීට ජනාධිපතිවරයා මේ සියල්ලට එරෙහිව නැඟී සිටින්නේ මේ අතරය. දූෂණ විරෝධි දේශපාලන ව්‍යාපාරයක පළමු වෙඩිමුරය තබමින් නැඟී සිටි මෛත්‍රී ජනාධිපතිවරයා මහ බැංකු මගඩි විමර්ශනය සඳහා මෙන්ම පසුගිය පාලන සමය තුළ සිදු වූ බරපතළ වංචා විමර්ශනය සඳහාද ජනාධිපති කොමිෂන් දෙකක් පත් කිරීම ආණ්ඩුවේම විස්මයට හේතු විය.

මෛත්‍රී ඉන්දියාවේ දූෂණ විරෝධි ව්‍යාපාරයේ ප්‍රකට නායකයකු වන අන්නා හසාරේගේ භූමිකාවට පණ දී ඇතැයි සමහරු කීමට පටන් ගත්හ. අන්නා හසාරේ යනු දේශපාලන චරිතයක් නොව මහාත්මා ගාන්ධිවාදියෙකි. මෛත්‍රී ජනාධිපතිවරයාද ගාන්ධිතුමාගේ අහිංසාවාදය හා ස්වදේශවාදය තම දේශපාලනයට අවශෝෂණය කරගත් විප්ලවවාදි දේශපාලන චරිතයකි. මෛත්‍රී ශ්‍රීලනිප පිරිපහදු කරමින් එහි ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කරද්දී එය නොඉවසූ සමහරු සිය පැවැත්ම සඳහා වෙනම පක්ෂයක්ද නිමවූහ. රූකඩ චරිත කීපයක් නිලවලට පත් කර, එකී දේශපාලන පිරුවටය රැගෙන අද රට වටා යන ඔවුන් ජනතාවට කියන්නේ ශ්‍රීලනිප ප්‍රතිපත්ති සුරැකීමටත් එජාපය පරාජය කිරීමටත් බලවේගයක් සෑදූ බවය. එහෙත් මේ අයගේ එජාප. විරෝධයේ තරම හා ශ්‍රීලනිප ළැදියාව කෙබඳුදැයි කවුරුත් දනිති.

හොරු - හොරු

කුමක් වුවත් අද මෛත්‍රී ජනාධිපතිවරයා තමා නායකත්වය දෙන ආණ්ඩුව ඇතුළේත්, තමා පරාජය කළ දේශපාලන බලාධිකාරයට එරෙහිවත් හුදෙකලා සටනක් ඇරඹීමට තරම් ප්‍රබලව සිටියි. මෛත්‍රීගේ ඒ දූෂණ විරෝධයෙන් තැති ගත් ආණ්ඩුව තුළ මෙන්ම ඉන් පිටතද සිටින අය දැඩි සේ කැලඹීමට පත්ව සිටිති. බැඳුම්කර හොරුන්ද වෙනත් දූෂණ, වංචා මඟින් ජනතා සම්පත් කොල්ලකෑ අයද අද එක පෙරමුණකට එක් වෙමින් සිටිතියි මෛත්‍රී ජනාධිපතිවරයා කියන කථාවද සහතික ඇත්තය. එදා ඇස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා කළේත් තමන්ගේ ආණ්ඩුවේ සිටින හොරුන් ගැන විමර්ශනය කිරීමට පියවර ගැනීමය. තල්ගොඩපිටිය කොමිසම ලෙස ඉතිහාසයට එක්ව තිබෙන්නේ එයයි. අද මෛත්‍රී ක්‍රියා කරන්නේද ඒ පූර්වාදර්ශය අනුවය. මේ වන විට බැඳුම්කර රිය සක එජාපයේ සමහරුන් පසුපස ඇදෙන බවද රහසක් නොවේ. බැඳුම්කර හා වංචා දූෂණ විවාද පාර්ලිමේන්තුවට ආවේද මෛත්‍රී ජනාධිපතිවරයාගේ විවේචන නිසාය. කොහොමටත් මේ වන විට එජාපය නම් බැඳුම්කර වාර්තාව ගැන නොයෙක් කථාන්තරද කියා තිබේ.

මොනවා වුවත් දූෂිතයන් රැකීම සඳහා මෛත්‍රී ජනාධිපතිවරයා සූදානම් නැති බව නම් මේ වන විට ජනතාවද තේරුම් ගෙන තිබේ. මෙතෙක් හැම හොරකු විසින්ම ජනාධිපතිවරුන් සමග පවත්වන ලද සබඳතා කෙබඳුදැයි රටම දනිති. අල්ලස් හා දූෂණ පනත සම්මත කර වසර 23ක් තරම් කාලයක් ගත වුවත් එයින් මේ වන විට දඬුවම් දී ඇත්තේ සිව් දෙනකුට පමණක් බව මෛත්‍රී ජනාධිපතිවරයාම පවසා තිබිණි. මේ කොමිසමට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කර ඇත්තේද දේශපාලන බලවතුන් බව කවුරුත් දනිති. ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය මෙන්ම අදත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැඩි විවේචන තිබේ. දේශපාලනඥයන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ටද ඒවා තඹයකට අදාළ නොවේ. මුදල් විශුද්ධිකරණය හෙවත් කළු සල්ලි සුදු කිරීමේ නඩුවලින්ද නීති තර්ක පෙන්වා නිදහස් වී දේශපාලනය කිරීමට වුවද හැකි රටකි මේ. වංචා දූෂණ සිදු කළ හොරුන් කිසි හිරිකිතයක් චකිතයක් නැතිව ප්‍රසිද්ධියේත් වේදිකාවලත් හැසිරෙන ආකාරයද කාටත් පෙනේ.

ජනතාවට වගකීමක්

ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් දූෂිතයන් පරාජය කරන ලෙසත්, සුචරිතවත් දේශපාලකයන් ගමෙන් තෝරා තම දූෂණ විරෝධි සටන ශක්තිමත් කරන ලෙසත් මෛත්‍රී ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් ජනතාවට කියයි. අනෙක් සියලු දෙනා ම පාහේ බලය ඉල්ලන්නේ වෙන වෙන දේවලටය. පොහොට්ටුකාරයන් කියන්නේ එජාප ගැති මේ ආණ්ඩුව පරාජය කළ යුතු බවය. ජවිපෙ කියන්නේත් දූෂණය නැති පාලනයක් සඳහා ගම තමන්ට භාර දෙන ලෙසය. සත්තකින්ම මේ මැතිවරණය යොදාගත යුත්තේ පවුල් රැකීමට හෝ වෙනත් අරමුණු සඳහා බලය දීමට හෝ නොව දූෂණවලට, වංචාවලට විරුද්ධව බව අපි ජනතාවට මතක් කරමු. දේශපාලකයන්ට කඩේ යන හා අන්ධ භක්තියෙන් නායකයන්ගේ වහලුන් බවට පත්ව සිටින රටක් නිදහස් කරගත හැක්කේ දූෂණය, වංචාව මුලිනුපුටා දැමීමෙන් බව අද ඉතා පැහැදිලි වී තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයා අද රටටම, ජනතාවටම දෙන විශිෂ්ට පණිවිඩයද එයයි. මේ පණිවිඩය දුර්වල කරන විහිළු කථා සපයන දේශපාලන විකටයෝද අපට හිඟ නොවෙති.

මෛත්‍රී ජනාධිපතිවරයා විසින් ශ්‍රීලනිපයෙන් ආරම්භ කරන ලද දූෂණ විරෝධි සටන විජයග්‍රහණය බවට පත් කිරීමේ වගකීම සංකේතවත් කරමින් ලබන 10 වනදා සිය අගනා ඡන්ද අයිතිය භාවිත කරන ලෙස මතක් කරමු. සත්තකින්ම මේ රටේ ජනතා සම්පත් කොල්ලකමින් දූෂණ-වංචා සිදු කළ කිසිවකුට දේශපාලනය කිරීමට ඉඩ නොතැබීමද අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. මේ අනුව 70 වැනි ජාතික නිදහස සමරන සියලු යහපත්, සදාචාර සම්පන්න ජනතාව සිට ගත යුත්තේ දූෂණ විරෝධි මෙහෙයුමේ සෙන්පති බවට පත්ව සිටින මෛත්‍රී ජනාධිපතිවරයා සමඟ බවද සඳහන් කරමු.

 සුමේධ ජයබාහු

Comments