අපේ අස්වනු නෙළන්න කවුරු හරි ඇවිත් යන්න එන්න | Page 3 | සිළුමිණ

අපේ අස්වනු නෙළන්න කවුරු හරි ඇවිත් යන්න එන්න

අපේ රට ඈත අතීතයේ සිටම පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් පිදුම් ලැබ ඇත්තේය. අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හිදී අප රට කෘෂිකර්මයෙන් සශ්‍රීකව පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. ගමයි පන්සලයි වැවයි දාගැබයි එක්කරමින් එදා හෙළ ගොවියා මුළු රටම සශ්‍රීක කීරීමට මහත් ප්‍රයත්නයක් දැරීය. කාලයාගේ ඇවෑමෙන් අප ගොවිතැනට නූතන තාක්ෂණය එක්වී කෘමිනාශක හා කෘත්‍රිම පොහොර වගාබිම්වලට එක්විය. සරු අස්වනු පතා කෘත්‍රිම පොහොර හා කෘෂිරසායනවලට හුරු වුවද ඒ සමඟම ගොවියාට ලැබුණේ වස විසය. එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝග ඇතුළු වෙනත් ආබාධ රටේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් බහුලව වාර්තා වන්නට විය. දැන් එය මහත් ව්‍යසනයක් බවට පත්ව තිබේ.

ගොවියා මේ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රජය විශේෂ ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරතුරදී සංවිධාන හා පුද්ගලයන් වශයෙන්ද වස විසෙන් තොර ගොවිතැනක් සඳහා ගොවියා උනන්දු කරවීමේ ව්‍යාපෘති පෙරට එමින් පවතී. වගාවට රසායන පොහොර වෙනුවට කාබනික පොහොර පමණක් භාවිත කරමින් නිරෝගී බුද්ධිමත් පරපුරක් බිහි කරලීම උදෙසා පිරිපුන් ආහාර වේලක් පිරි නැමීමේ උදාර කර්තව්‍යකට උරදී සිටින හිමි නමක ගැන අපට තොරතුරු වාර්තා වූයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමගිපුර ධර්මරාජ විහාරස්ථානයෙනි. රටටම ආදර්ශයක් දෙමින් සෑම ඉරුදිනකම සිය විහාරස්ථානය අවට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ කාර්යයට අත ගසා සිටිනුයේ සමගිපුර ධර්මරාජ විහාරාධිපති කලාඔයේ විනීත හිමිපාණන්ය.

උන්වහන්සේ මේ වෙද්දී ප්‍රදේශයේ දූදරුවන්ගේ කුසගිනි නිවීම සඳහා සිය විහාරස්ථාන භූමියේ බෝග වගාවට පියවර ගත්තේ මින් වසර පහකට පමණ පෙර සිටය. විහාරස්ථාන දායකයන්ගේ ද ආධාර උපකාර ඇතිව උන්වහන්සේ මීට පෙර බඩ ඉරිඟු, උඳු හා තිබ්බටු වැනි වගා විහාරස්ථාන බිමේ වගා කෙරවුහ. එම වගාවලින් සරු අස්වනු නෙළද්දී උන්වහන්සේ ඒ බිමේ වරක් ඉද්ද මල් වගා කළහ. එනමුදු වරින් වර ඇතිවූ වැසි නිසා ඉද්ද වගා වැනසෙද්දී පුරන්ව ගොස් තිබූ පන්සල් බිමෙන් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට තීරණය කළ උන්වහන්සේ මෙදා අක්කර ගණනාවක මුං වැපීරීම ආරම්භ කළහ. කෙටි කාලයකදී මුං වගාව සාර්ථක ලෙස වර්ධනය වීමත් සමග උන්වහන්සේගේ සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්විණි.

වෙහෙස මහන්සිවී දායක පිරිසගේද උදව් උපකාරයෙන් වගාව ආරක්ෂා කර ගැනීමත් සමඟ උන්වහන්සේ වෙනත් ප්‍රශ්නයකට මුහුණ දුන්හ. මුං අස්වනු නෙළන කාල සීමාව එළැඹියත් තමන් වහන්සේට තනිව කිසි විටක මුං අස්වනු නෙළීම අසීරු කාර්යක් බව උන්වහන්සේ වටහා ගත්හ‍‍. ඒ සඳහා උන්වහන්සේ අපූරු ක්‍රමයක් අනුගමනය කළහ.

“මං මේ ගැන දිගින් දිගටම හිතුවා. අවසානයේ මුහුණු පොතේ පොඩි සටහනක් යොදන්න තීරණය කළා. පන්සලට එන දායක තරුණ පිරිස ද මෙයට කැමැත්ත පළ කළා.”

අදාළ පුවත මුහුණු පොතේ පළ කර තිබුණේ මෙලෙසය.

“අපේ පන්සලේ මුං අස්වැන්න නෙළා දෙන්න කව්රු හරි ඇවිත් යන්න එන්න”

සටහන සඳහා ලද ප්‍රතිචාර සංඛ්‍යාව සියය ඉක්මවීය. මුහුණු පොතේ පළ කෙරුණු ඒ සටහනත් සමඟින් මුං අස්වනු නෙළීමේ දිනය යොදා ගත් විහාරාධිපති හිමි ඒ ගැන සිය දායකකාරකාදීන් ද දැනුම්වත් කළේය. මුහුණු පොතේ සටහන ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වීමට වැඩි දිනක් ගත වූයේ නැත. සමහරු ඒ දැක තවත් කතා මවද්දී ප්‍රදේශයේ ‍දේශපාලඥයකුගේ ද දෑස් ද ඒ‍ සටහන වෙත යොමුවිණි. මුං අස්වනු නෙළන දිනයේ දේශපාලඥයා කාටත් නොකියා විහාරස්ථානයට පැමි‍‍ණෙද්දී විහාරාධිපති හිමිපාණන්ට පමණක් නොව සතර පේරුවේ දායකයින්ටද අදහා ගත නොහැකි විය. සැවොම ‍කුතුහලයෙන් බලා සිටියදී විහාරස්ථානයේ මංගල මුං අස්වැන්න නෙළීමට හේනට බැස්සේ වාරි මාර්ග හා ජල කළමණාකර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාය. එපමණක් නොව පන්සලේ දායකයන් නොවන එහෙත් මුහුණු පොතේ දැමූ සටහන දැක පැමිණි තරුණ පිරිස ද එදින මුං අස්වනු නෙළීමට එක් වූහ. අස්වනු නෙළීමේ කටයුත්තට කෘෂිකර්ම දෙපාර්ත්තුමේන්තුව නියෝජනය කරමින් වනාතවිල්ලුව සහ පුත්තලම ගොවිජන සේවා කාර්යාල නිලධාරින් කිහිප දෙනෙකු සහභාගි වී සිටි අතර, මේ අවස්ථාවට ප්‍රදේශවාසි දායක දායිකාවන් සියලු දෙනාගේ නොමද සහාය ලැබුණි.

“රටේ පවතින උග්‍ර නියඟය නිසා ජනතාව විඳින අපහසුතා සුළුපටු නැහැ. අපතේ යන ජලය නිසි ප්‍රයෝජනයට ගන්නේ නම් මෙවැනි වගා බිම් සශ්‍රීක කරන්න පුළුවන්. මී ඔයේ ජලය කාගේවත් කිසිවෙකුගේ ප්‍රයෝජනයකට නොගෙන නිකං නිස්සාරණේ කලපුවට ගලා බසිනවා. ඉන් ප්‍රයෝජන ගන්නා ක්‍රමයක් සොයා දුනහොත් මෙවැනි වගා තවත් කළ හැකියි.” යනුවෙන් එහිදී කලාඔයේ විනීත හිමියෝ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. ශ්‍රී ධර්මරාජ විහාරස්ථානය වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථාන අතුරින් අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයකි. මයිලන්කුලම, විලුක, සමගිපුර, කරඩිකුවල් හා සාලියපුර යන ප්‍රදේශවලින් විහාරස්ථානයේ දහම් පාසලට සිසුහු සියයට අධික සංඛ්‍යාවක් පැමිණෙති. එම සිසුන්ගේ ඉරිදා උදෑසන ආහාර වේල සඳහා මේ මුං අස්වැන්න යොදා ගන්නා අතර මුං පොලා තම්බා ආහාරයට ගැනීම සඳහා සැකසෙනුයේ විහාරස්ථානයේ දායක දායිකාවන් අතිනි.

Comments