කීරොටී පාදේ මේසෙට පිටිං ගෙහුං | සිළුමිණ

කීරොටී පාදේ මේසෙට පිටිං ගෙහුං

දුම්බර පළාතේ උඩගම පන්සල ප්‍රසිද්ධ වුණේ උඩුගොඩ සුමන‍ජෝතිනායක හාමුදුරුවන් නිසාය. උන්වහන්සේ බණ දහම් විතරක් ‍ෙනමෙයි, නැකැත් සාත්තරේ පරතෙරට ගිහිං. ඒ විතරක් යැ සර්ප වෙදකමට ඉසිවරයෙක්. පණ ගෙහුං කරතියාගෙන එන ලෙඩ්ඩු දෙපයින් ඇවිදගෙන යද්දී, නායක හාමුදුරුවෝ බලා ඉන්නේ පිරී යන සතුටකින්. මේ විහාරස්ථානෙට දාන මාන හිඟයක් නැතුවා. පන්සලටත් අමුණු හත අටක ඉඩකඩම් තියෙයි. සුමනජෝති හාමුදුරු‍වෝ නැකතක් සුද්ද කොරල දුන්නොත් ඒකේ මේං මේ තිථිය පරහයි, මේ පාදේ විරසකයි කියන්ට හපනෙක් මේ ‍කෝරළේ නැතුවා.

බෝගහ ‍කොටුවේ ඉස්කෝලේ මහත්ත‍යා අලුතෙම්ම ගෙයක් හදාගන්ට අවශ්‍ය කරන ලී දඬු උළු ගඩොල් සුදානම් කරගෙන, සුමනජෝති හිමියන් බැහැ දකින්ට ගියේ දැහැන් ගිලංපස සුජානං කරගෙනයි. නායක හාමුදුරුවෝ ඉස්කෝලේ මහත්තයගෙ වේලා පත්කඩේ පරීක්ෂා කරල කෝණ මාස මඟඇරල වෙසක් මාසේ පුරට, පාරට්ටු නැකතක් සුද්ද ‍ෙකාරල දුන්නා. ඉස්කෝලේ මහත්තයට යාංතං ආටා පාටා කොල්ල දෙන්ට නාකයි. ගමේ හීං එවුංගෙ ඇස් පාදන උත්තමයා හොඳ නරක කියාදෙන දෙහෙට්ටා. ඒ විතරක්යැ. ඉස්කෝලෙ මහත්තයට හෙලත්තාඩුවක් ‍ෙකාරන්ට බැරුවා. ඒ උත්තමයා අකුරු සාස්තරේ විතරක් නෙවෙයි, නැකැත් සාත්තරෙත් දන්නවා. ඒත් ඉතිං සුමනජෝති හාමුදුරුවන්ට කිට්ටු කොරන්ට බැරුවා.

මැදින් මහේත්, බක් මහේත් අතර එන මීන කෝණ මාසෙ මඟ ඇරල, වෙසක් මහට හතර ‍ෙකාණ අට කොණ පෑහෙන මේෂ, වෘෂභ නැකැත්වලට වාස්තු සාත්තරේට සමපුට්ටු වෙන අත්දුටු ප්‍රත්‍යක්ෂ නැකැතක් සකස් කරල, කරන්ට ඕනෑ පදපහත්තියං කියා දුන්නා. “ ඉස්කෝලේ මහත්තය ඉස්ඉස්සරෝම අෂ්ඨ බහිරව පුජාව කම්මුතු කොල්ල ඉන්ට. මං ඇවිත් පිරිත් ‍ෙකාරල ගල් වළලා දාල නුල් ගහන්ට කියා දෙඤ්ඤං. නියම හෝරාවට ශංකු කීලය නැත්තං මුල්ම කුඤ්ඤය වාස්තුනාගයායේ නාභිගත ස්ථානයේම පිහිටුවන්ට ඕනෑ. ඊට පස්සේ හතර දිසාවට අනෙක් කුඤ්ඤ පිහිටුවා නූල් ඇදීමෙන් පසු අත්තිවාරම් කපාගන්ට ඕනෑ.”

ඉස්කෝලේ මහත්තයත් ඉස්මුදුනෙම්ම පිළ‍ිගෙන ඒ කියාපු ආකාරයට කෙම් පහන් කොල්ල, නැකැත් දවසට ඉස්සෙල්ල දවසේ ආයේම නායක හාමුදුරුවන් බැහැ දැක දන්වා හිටියා හීලට කී රොටී වළඳන්ට මනාප බව. කී රොටී කියන්නේ දුම්බර පැත්තේ පංකාදු පාතරාසයක්. හාල් පිටි ඔලිං කී රොටි කැටියක් කබලේ තමයි හදන්නේ. ඒක කන්ටම හදන හොද්දක් තියෙනවා. ඒ හොද්ද නිකම්ම නිකං නිලි හොද්දක් නෙවෙයි. සුදු ළූණු, ගම්මිරිස්, පොල්, එනසල් මෙව්වා යංතං කබල් ගාල ලුණු ඩිංගක් එක්ක ගලේ අඹරල ඒකට කිතුල් පැණි, පොල් කිරි එකතු කරල ගින්නේ කාකරාල ගන්න කිරි පැණි ‍හොද්ද, අර කී රොටී කබලේ හදන පොඩි පුස්නාම්බු ගෙඩියක් වාගේ තියෙන කී රොටිය අර හොද්දේ ගන්නල තියෙනවා. එතකොට අර කිරි පැණි ඒකට උරාගෙන බිම්මල වාගේ පිපිල මෙළෙක් වෙනවා. ආයෙ ඉතිං මේ කී රොටී බඩගන්නා තෙක් කන්ට පුළුවනි.

ඉතිං ඔන්න ඔයාකාරයට නැකැත් දවසේ පාං පැයෙම්ම ඔක්කොම සුජානං කොල්ල, දානෙ කොටහ අයින් කොල්ල අතානාතුවට ආ ඔක්කොටම සංග්‍රහ ‍ෙකාල්ල බලාන ඉන්නවා හාන්දුරුවෝ නැතුවා. ඉස්කෝලේ මහත්තයාගෙ හිතේ දෙපරාදුව. කවදාවත් නායක හාමුදුරුවෝ මුසාවාද කියන්නේ නැතුවා. මොකක් නමුත් හුටප්පරයක් අනිවරිතේ සිද්ධ වෙන්ට ඇති කියල හිතාන ඉන්නකොට තුම්මුනිං දාඩිය වක්කොරාන නායක හාමුදුරුවෝ වැඩපි. දැන් නැකැත් මෝසම් ඊමම, ආයෙ වළඳන්ට වේලාවක් නැතුවා..

ගිලං පස ‍කෝප්පයක් වළඳල නැකතට වැඩ ආරම්භ කෙරුවා. උන්නාන්සේගේ සුනංගුවට කාරණේ, නායක හාමුදුරුවෝ වඩින්ට සුජානං වෙනකොට වේඬරුව පැත්තේ එකෙකුට මහ එකා කටතියල, විස මුරුත්තාවෙලා තඩලාන ආපි. ඒකගෙ කෑ මුකේපාදල, විස බස්සවල, බේත් ගල තියල නස්න කොල්ල යංතං සිහිය එන කොට බේත් ගෙයි දපා තියල ඊළඟ බෙහෙත බඳින්ට හීංබණ්ඩට පංගනාතු කොල්ලයි වැඩල තියෙන්නේ.

ගෙපලේ පද පහත්තියං කම්මුතු කොල්ල නුල් ගහල කම්මුතු වෙනකොට, දාවල් දානෙට පන්සලේ සුරප්පට්ටු ගහනවා අහිච්චි, ඉස්කෝලේ මහත්තයා “අවසර බුද්ධ පුජාව තියන්ට වඩින්න තියෙයි නේද?” කියල අහනවා.

“හ්ම් ...ඒකත් වෙලාවට කොරන්ට එපැයි. මෙවුන්ට වැ‍ෙඩ් මහ වුණා. මයෙ හීල් දානෙ පුංචි වුණා. මෙවුංගෙ ගස්ටි ගාත්තරා ඔලට හොඳ පාඩමක් කියා දෙඤ්ඤං” කියල හිතිං හිතාගත්තා. අර පත්තියං බෙදාපු නූල ඇබිත්තක් ‍කොනකිං සලියල් කොරල පන්සලට වැඩියා.

දැන් ගේ වැඩ ආරම්භ කොල්ල කෙරීගෙන යනවා. හැබැයි පරහකට හිටියේ ටිකක් වැඩ කොරන කොට මොකක් හරි අඩයාලමක් සිද්දවෙලා වැඩ නවතිනවා. ඒ විතරක්යැ ඉස්කෝලේ මහත්තයාගෙ පවුලෙ එකා දෙන්නා පැත්ත වැටෙනවා වි‍ෙඩන් වි‍ෙඩ් දෙපෝය තුන හතරකින් ගියා ගෙයි වැඩ එහෙමම.

ඉස්කෝලේ මහත්තයගෙ මාමණ්ඩි අහනවා ගේ වැඩ හරියාකාරව නොකෙරෙන්නේ “ උඹලා අතින් මොකවත් අත් වරැද්දක් වුණාද? කියලා.

ඉස්කෝලේ මහත්තයා “එහෙම දෙයක් දැනුවත්ව සිද්ද වුණේ නෑ මාමණ්ඩි” කියාපි. හැබැයි අප්පච්චී “ එදා නායක හාමුදුරුවන්ට හීලට කී රොටී හැදුවට වළඳන්ට ඉස්පාසුවක් වුණේ නැතුවා. හා ගින්නෙම ආපහු වැඩියා.” කියලා ඉස්කෝලේ මහත්තයාගෙ බිරිය කියාපි.

“හ්ම් ...ඒක තමයි උඹලා හෙට පාං පැයෙම්ම කී රොටී ඇතිලියකුත් තනාන, දානේ කුරුණියකුත් ඇන්න ගෙහුං බුලත් නම්බු කොල්ල මේ සංගදිය කියාපල්ලා. එතකොට මේකට උපාමාරුවක් කියාදෙයි.” කිව්නේ නැතෑ.

උන්දෑ කියාදීපු හැටියට දෙන්නා දෙමාල්ලෝ හීල් මනේම දාන මාන උහාගෙන පන්සලට ගොහිං නායක හමුදුරුවන් හදි ගැහිල, බුලත් නම්බු කොල්ල මේ සංගදිය දන්නා හිටියා.

“හ්ම් ...වෙන හෙලත්තාඩුවක් මෙතන නැතුවා. කී රෙ‍ාටී පාදේ මේසෙට වැඩමවන්ට උඹලට සිහිපරාද වෙච්චි දොසේ නෙවැ. ගෙයි වැඩේට ඉස ගැහැව්වා, බුද්ධ චීවරෙන් නිච්චි නැතුව ගියා. ඩිංගිත්තක් ඈඳි ගනිල්ලා.” කියමින් සැතපෙන කුටියට වැඩියා. පිරිත් පැන් කුප්පියක් ගෙනත් දීල “මේ පිරිත් පැන් ටික ගෙයි හතර කොන ඉහ දාපල්ලා. එතකොට ඔය අලයට්ටු දුරුවං වෙලා යයි” කියාපි.

Comments