
මාතර, මාවරල ශ්‍රිමත් අනගාරික ධර්මපාල මහා විද්‍යාලය පිහිටා ඇත්තේ ලඳු කැලෑවකට මායිම්වය. වටේට පෙනෙන කඳු නිසා පාසලේ සිරියාව තවත් වැඩි කරයි. එදින පසුගිය අඟහරුවාදාය. (23දා) සුපුරුදු ලෙසින් පාසලේ තවත් එක් උදෑසනකි. සුදු වතින් සැරසුණු ළමෝ එකා දෙන්නා පාසල වෙත ඇදෙමින් සිටියහ. උදෑසන බැවින් පාසලට එතරම්ම සිසුන් පිරිසක් ඒ වෙද්දී පැමිණ නොසිටියහ. නිපුණිත් ඇගේ මිතුරියකත් එදින උදෑසන පාසලට පැමිණියේ පන්ති කාමරය පිරිසුදු කිරීම තමන්ට පැවරී තිබීම නිසාය.
පන්තියේ සිටියදී ඔවුන්ට ඇසෙන්නට වූයේ පාසල් වත්තේ සතකු කෑගසන ශබ්දයකි. නිපුණි ඒ කෙරෙහි විමසිලිමත් වූවාය. හඬ ආ දෙස විපරම් කිරීමේදී කිසියම් හෝ සතකු අනතුරකට ලක්ව ඇති බවක් ඇය තේරුම් ගත්තාය.
“අපේ පාසලේ පිටුපස්සේ තියෙන්නෙ ලඳු කැලේ. මේ කැලේ සතුන් ඉන්න බව අපි අසා තියෙනවා. මං උදේ පන්තියේ ඉන්දැද්දි සතෙක් වේදනාවෙන් කෑ ගසනවා වගේ හඬක් ඇසුණා. මාත් මගේ මිතුරියත් ඒ ගැන බලද්දි තරමක මුවෙක් මොකකදෝ පැටලිලා කෑ ගසනවා දැක්කා. ඌ හිටියේ බිම වැතිරගෙනයි” උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන එච්. ඩී. නිපුණි තමන් දුටු දේ විස්තර කළාය.
සිද්ධිය පාසල පුරා පැතිර යෑමට වැඩි වේලාවක් ගත නොවූ අතර මේ ගැන විදුහල්පතිතුමා වෙත දැනුම් දෙනු ලැබිණි. මුවා පැටලී සිටිනුයේ කම්බියෙන් ඇටවූ මද්දකට බව කාටත් පැහැදිලි විය. ඉන්පසු ඇරැඹුණේ මුවා බේරා ගැනීමේ මෙහෙයුමය.
මුවා බේරා ගැනීමේ මෙහෙයුමට මුල් වූයේ බී. ජීවන්ය. ඔහු උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයට තේරී සිටින සිසුවෙකි.
“මම අද අපේ ඉස්කෝලෙට පැමිණියේ විශ්වවිද්‍යාලයේ තේරීම් නිසා ඊට අදාළ ලිපි ලේඛන සකස් කරගැනීමටයි. එහෙම ඉන්න කොට තමයි මේ සතා ගැන දැන ගන්න ලැබුණේ. එතැනට ගිහින් බලද්දි මුවෙක් මද්දකට අහුවෙලා ඉන්නවා. ඒ සතා හිටියේ හරිම අපහසුවෙන්. මද්දට අහුවෙලා තිබුණේ සතාගේ කකුලයි. ඒ වෙලාවෙ පාසලේ හිටි ළමයි එතැන වටවුණා. මුවා වේදනාවෙන් දඟලන හැටි අපි දැක්කා. කම්බි ගොඩක මුවා පැටලිලා හිටියේ. සහෝදර ශිෂ්‍යයන් ගේ උදව් උපකාර ඇතිව මම විදුහල්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රමානුකූලව මුවා පැටලී සිටි යකඩ කම්බි ලිහුවා. කම්බිය ගලවද්දි මුවා වේදනාවෙන් කෑගැසුවා. ඒවෙද්දි කම්බියට මුවාගේ කකුල කැපිලා කකුලෙන් ලේ ගලනවා. නිදහස් කරගත් මුවා අපේ ඉස්කෝලේ තියෙන පන්ති කාමරයට අල්ලා ගෙන ආවා. වතුර දුන්නාම මුවා වතුර ටික ටික බිව්වා.”
මුවා පන්ති කාමරයේ රැඳවීමෙන් අනතුරුව විදුහල්පතිවරයා විසින් සිද්ධිය වන ජීවි නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබිණි.
කලමැටිය වන ජීවි මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි උත්පල උදාරංග මහතාගේ මැදිහත් වීම යටතේ වනජීවි කණ්ඩායමක් පැමිණ මුවා උඩවලව ඇත් අතුරු සෙවණේ වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගියේය.
“මේ වගේ සිද්ධියක් අපේ පාසලේ මින්පෙර කවදාවත් වෙලා නෑ. මේ වගේ උගුල් කවුරු තියනවාද කියලා අප දන්නේ නෑ. ඒ කම්බිය ගහක ඔතලයි තිබුණේ. කැලේ ඉන්න අසරණ සතුන්ට මේ වගේ වැඩක් කළේ කවුද කියා අපට හිතාගන්න බෑ. මේ වගේ සතුන්ට හිංසා කරන එක ඉතාම වැරදියි. අපි කවදාවත් සතුන්ට හිංසා කරන්නේ නැහැ. මේ අහුවෙලා හිටියේ ඕලු මුවෙක්. ඕලු මුවන් මේ ප්‍රදේශවලට ඇති විශාල සම්පතක් විදිහට තමයි හඳුවන්නේ. උන් ඉතා අහිංසකයි. පරිසරයේ කියන්නේ අපේ ජීවිතය. නමුත් මේ ගමේ ඇතැම් අයගේ මෙවැනි වැඩ නිසා අපටත් ගමේ ජීවත්වෙන එක ලැජ්ජාවක් වෙලා.” යැයි මද්දට හසුවී සිටි මුවා ප්‍රථමයෙන් දුටු නිපුණි පැවැසුවාය.
ඕලු මුවෝ පහත් කඳු ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙතත් මේ ප්‍රදේශවල ලඳු කැලෑවල නිතර සරති. ආහාර තෘණ හා කොළ අනුභව කරන මේ සත්වයා විශේෂයෙන් මුලටියන රක්ෂිතයේ හා සිංහරාජයේ විශේෂයෙන් දැකගත හැකි වේ. බොහෝ විට ගස්වල දලු කෑමට වඩාත් ප්‍රිය කරන ඕලු මුවන් දැඩි කම්පනයක් ඇති වූවිට මරණයට පවා පත්විය හැකි වේ. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේවනවිටත් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටිති. බොහෝ අවස්ථාවලදී දඩයක්කාරයක් විසින් මේ සතුන් උගුල් අටවමින් මරණයට පත් කිරීම සිදු කරනු ලබයි. මේ සතුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකම වේ.