
* පූට්ටු දළයා
* බුත්තුව ඇතා
* පොඩි පූට්ටුවා
* ගල්ගමුව දළ පූට්ටුවා
දළ දෙක මේ සතුන්ගේ අවාසනාවද?
සවස් කාලයේදී බංගලාව අසල ගල් පව්වට නැඟී සුමුදුර දෙස බලා සිටින බුත්තුව ඇතාගේ දර්ශනය එකල ඡායාරූප ශිල්පීන්ට මෙන්ම සාහිත්‍යකරුවන්ට ද රස ගුලාවක් විය. හිරුගේ රැස් දහර තම දළ යුග්මයේ පටලා සිඳු තුළ ගිලී යන සැඳෑ හිරු යළි ගොඩ ඇදීමට වැර දරන්නා සේ උපේක්ෂාවෙන් බලා සිටින මේ දළ හස්තියා අවසානයේ සැමදේ අනිත්‍ය යැයි වටහා ගත්තාක් සේ කුළු පව්වෙන් බැස යන්නේ නිශා කාලයේ වනපෙතට සිසිල දෙන අඳුරු කුටියක් සේය.
මද කිපුණු කාලයට නපුරු ගති පෙන්වූ පූට්ටුවා වාහන පසුපස එළවා යෑමට පුරුදුව සිටියත් වයසට යත්ම තැන්පත් බවක් දැක්වීය. පසු කාලයක මේ පූට්ටුවා අභිරහස් ලෙස අතුරුදහන් වූයේ උගේ දළ යුගල නිසා බව පැහැදිලි විය.
අලි බැලුවත් බලි බැලුවත් එපාවීමක් නැතැයි කියමනක් ඇත්තේ නිකම්ම නොවේ. එදිනෙදා මහ මඟදී හෝ ඇත් ගාලකදී දකින අලියකු හෝ ඇතකුට වඩා වනයේ දී අලින් දකින්නට බොහෝ දෙනා ප්‍රිය කරති. සොබා දහමේ සුන්දර වස්තු අතුරින් වන සතුන් තරම් මිනිසාගේ නෙත් සිත් බැඳ ගනීමට සමත් වූ වෙනත් දෙයක් මිහිපිට නැත. රන්වන් රැස් විහිදුවමින් බැස යන සැඳෑ හිරුට සෙමර සලන්නාක් සේ පුළුල් කන් පෙති සොලවමින් වනයෙන් එළියට ඇදෙන දිග් වූ දළයුග්ම ඇති ඇතෙකුගේ දර්ශනය නෙතට රසඳුනකි. සිතට නැවුම් සුවයකි. නමුත් ඒ සෑම කෙනෙකුට ම නොවේ. සියලු දේ මුදලට මිල කරන කුරිරු මිනිසකු අත රැඳෙන ගිනි අවියකින් පහර කන එවන් සුන්දර වස්තුවක් මහමෙරක් සේ බිම ඇද වැටෙන්නේ මුළු මිනිස් සමාජයටම ශාපයක් අත්කර දෙමින් නොවේද? පසුගියදා ගල්ගමුවේදී ඝාතනයට ලක්වූ දළ පූට්ටුවා මෙන්ම මෑතක් වනතුරුම අසන්නට ලැබුණු දළ ඇතුන්ගේ අවසන් සුසුම් ද එසේ පිට වූවාට සැක නැත.
අලියා වෙසෙන්නේ වනයේ ය. වනපෙත අවටින් දිස්වන එළිමහන් බිම් යාය උගේ ගොදුරු බිම ය. වැල් පඳුරු බුටෑවෙන් ද රස සාර පැළැටියෙන් ද හරිත තෘණ තලාවෙන් හා විල්ලු, වියැළි පිට්ටනි, දියළු මඩ වගුරු, ගල්පොකුණු, වැව් මං හා දියකඩිතිවලින් ද සපිරුණු මේ බිම් යාය මහා වනාත්තරයේ ජීවත් වන වනසතුනට හා පක්ෂීන්ට යහමින් ගොදුරු සපයයි. ස්වභාවධර්මය විසින් දායාද කළ අමිල පාරිසරික තෝතැන්නක් ලෙස මේ භූමි කලාපය හඳුන්වා දිය හැකි ය.
ආසියානු හා අප්‍රිකානු අලි ඇතුන්ගේ පරිණාමය හා චර්යාරටා පිළිබඳ ප්‍රාග් ඓතිහාසික ගවේෂණන්හි නියැළි ලෝක ප්‍රකට පඬිවරයකු මෙන්ම සත්ත්ව විද්‍යාඥයකු ද වු පී. ඊ. පී දැරණියගල මහතා පෙන්වා දී ඇති පරිදි ඝර්ම කලාපීය වනාන්තරවල වාසය කරන වනසතුන් හිරු එළියට වැඩි මනාපයක් දක්වන්නේ නැත. ඒ නිසා ම දැඩි හිරු රැසින් මිදීමට ඔවුන් දිවා කාලය ගත කරන්නේ ගන වනාන්තරයේය. එෙහත් සුර්යාලෝකය පොළොවට පතිත නොවන මහා වනාන්තරය මැද සතුන්ට අවශ්‍ය ආහාර නොමැත. එහෙයින් හිරු බැස යන සැඳෑ කාලයේ පටන් පසු දිනට හිරු පහන්වන අරුණෝදය දක්වා මේ වනසතුන් රාත්‍රි කාලය ගත කරන්නේ වනාත්තරයට බැහැරින් පිහිටි නිරාවරණ ගොදුරු බිම්වල ය.
අද අපේ වනගත ඇත් සම්පත සුළු සංඛ්‍යාවකට සීමා වී ඇත. එම ඇතුන් කීපදෙනාද මරා දැමීම දැඩි සංවේගයට කරුණකි. වැඩුණු දළ ඇතා සාමාන්‍ය රංචුවෙන් වෙන්වී ආරක්ෂක ප්‍රදේශවලින් බැහැරව හුදෙකලාවේ සැරිසරන වයස්ගත වූවෙකි. ඊට විද්‍යාත්මක හේතුවක් ද ඇත. අලියකු වයසට යත්ම ක්‍රමයෙන් උගේ දත් ගෙවී හැළී යෑමට පටන් ගනී. අන් සතුනට මෙන් අලියාගේ දත් ගෙවෙන්න ගෙවෙන්න එම අඩුව පිරිමැසීමට අලුතින් දත් ජෝඩුව බැගින් උගේ හකුපාඩා මුලින් ඉදිරියට තල්ලු වී ඒම ස්වභාව ධර්මය විසින් අලියාට උරුම කර දී ඇති විශේෂ වරප්‍රසාදයකි. උගේ පූර්ණ ජීවිත කාලය තුළ මෙසේ මුර හයක් ඌට අලුතින් දත් උපදී. අවසන් වරට එන දත් යුගල ඉදිරියට තල්ලු වී එනවිට උගේ මුවේ ඉදිරිපස තිබූ දත් සියල්ල ගෙවී හැලී ගොස් හමාරය. දැන් ඌට රංචුව සමඟ සැරිසරමින් ගස් කොළන් බිඳිමින් තද ආහාර අනුභවය අපහසුය. පහසුවෙන් ගිල දැමීමට හැකි වගා බෝග සොයමින් හේන් හා ගම්මාන අවට සැරිසැරීම මෙවන් අලින්ගේ සිරිතකි. ගම්මුන්ගේ වෙඩි පහරවලට ගොදුරුව අසරණ ලෙස මිය යන්නේ මේ වයස්ගත අලි මහල්ලන්ය.
ලංකාවේ ඇතුන් ගැන කතා කිරිමේදී යාල වනෝද්‍යානය අමතක කළ නොහැකිය. 1965 වනවිට එහි දළ ඇතුන් 15ක් පමණ සිටිබව වාර්තා වේ. ඒ අතරින් වලස්කෙම ‘පූට්ටු දළයා’ දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය විය. ඉදිරියට නෙරා ආ දළ යුගල එකිනෙක හරහා ගොස් අලංකාර පෙනුමක් ගෙන දුන් නිසා පූට්ටු දළයා එනමින් හැඳින්විණ. මද කිපුණු කාලයට නපුරු ගති පෙන්වූ පූට්ටුවා වාහන පසුපස එළවා යෑමට පුරුදුව සිටියත් වයසට යත්ම තැන්පත් බවක් දැක්වීය. පසු කාලයක මේ පූට්ටුවා අභිරහස් ලෙස අතුරුදහන් වූයේ උගේ දළ යුගල නිසා බව පැහැදිලි විය.
යාල සුරතල් සතුන් අතර කැපී පෙනුණු ‘බුත්තුව ඇතා’ සංචාරක බංගලා හා ගල් පව් අසල ගැවසිමට වැඩිමනාපයක් දැක්වීය. සවස් කාලයේදී බතුව බංගලාව අසල ගල් පව්වට නැඟී සුමුදුර දෙස බලා සිටින උගේ දර්ශනය ජායාරූප ශිල්පින්ට මෙන්ම සාහිත්‍යකරුවන්ට ද රස ගුලාවක් විය. හිරුගේ රැස් දහර නමැති රන්හුය යගදාවක් වන් තම දළ යුග්මයේ පටලා සිඳු තුළ ගිලී යන සැඳෑ හිරු යළි ගොඩ ඇදිමට වෙර දරන්නා සේ උපේක්ෂාවෙන් බලා සිටින මේ දළ හස්තියා අවසානයේ සැමදේ අනිත්‍ය යැයි වටහා ගත්තාක් සේ කුළු පව්වෙන් බැස යන්නේ නිශා කාලයේ වනපෙතට සිසිල දෙන අඳුරු කුටියක් සේය. එනමුදු ඌ ද අපට අහිමි වූයේ දළවලට ලොබ බැඳි මිනිසුන් නිසාය.
1970 දී මුල්වරට හමුවූ ‘පොඩි පූට්ටුවා’ යාල වන උයනේ සිටි පූට්ටු දළයන් අතර තුන්වැන්නා ය. නාඹර වියේ ඇති කුලෑටි බව නිසා ම මුල් කාලයේදී වාහනයක් දුටු විට මඟහැර යෑමට ඌ පුරුදුව සිටියත් වයසින් වැඩෙත්ම මිනිස් ඇසුරට හුරු පුරුදු විය. නිතරම යාල සෆාරිය අසලට පැමිණ සංචාරකයන්ගේ නෙත් සිත් පිනවමින් ඔවුන්ගේ සංග්‍රහ ලැබීමට තරම් ඌ මානව හිතවාදීව සිටියේ ය. අලංකාර දළ යුගලේ අග කතිර හැඩයට පූට්ටුවීම නිසා සිතුසේ හොඬවැල විදාහැර කෙළි ලොල් පෑමට අපොහොසත් වූ මේ ඇතා පෙනුමෙන් ධ්‍යානයට සම වැදුණු තාපසයෙක් වැනි ය.
1986 පෙබරවාරි මාසයේ එක් දවසක යාල අභයභූමි සීමාවේ පිහිටි ගොඩ කළපුව නම් ස්ථානයේදී හිතක් පපුවක් නැති තුච්ඡ අධමයකුගේ වෙඩි පහරකට ලක්ව මිය යනවිට පොඩි පූට්ටුවාගේ වයස අවුරුදු තිස්පහක් පමණ විය. එකක් දිගින් අඩි හතරක් බැගින් වූ දළ යුගලේ බර කිලෝ ග්රෑම් 18 ක් වූ අතර දළ හොරුන් විසින් එය විකුණා තිබුණේ රුපියල් විසිදාහක් වැනි සුළු මුදලකට ය. රටක් වටින පොඩි පූට්ටුවාට තුවක්කුවක් මානන්නට තරම් නීච වූ අධමයන් අදත් අප අතර සිටින බව අපි අමතක නොකළ යුත්තෙමු.
අලියා එක්තරා රටාවකට අනුව ජීවත්වන සත්ත්වයෙකි. උගේ සුපුරුදු ගමන් මාර්ග හා ගොදුරු බිම් හැර කිසිවිටකත් ඌ වෙනත් ප්‍රදේශ ආක්‍රමණය නොකරයි. අද අලි මිනිස් ගැටුම් පවතින සෑම ප්‍රදේශයකම අතීතය විමසා බලන විට ඒවායේ මුල් උරුමක්කාරයෝ අලි ඇත්තු ය. මහවැලි ‘එච්’ කලාපය යටතේ අනුරාධපුරයේ කැලෑ අක්කර හැත්තෑ දහසක් එදා එළි කෙරිණ. මේ ප්‍රදේශය අලි ජීවත්වීමට වඩා කැමැත්තක් දැක්වූ කොටසකි. එහි ජීවත්වූ අලි ඇත්තු දකුණින් විල්පත්තු වන උයනටත් උතුරින් මඩුකන්ද රක්ෂිතය දෙසටත් පලවා හැරිය ද ඔවුහු නැවැත නැවැතත් උන්ගේ සුපුරුදු ගොදුරු බිම් ප්‍රදේශයටම කඩා වැදීමට පටන්ගත්හ. කහල්ල - පල්ලෙ කැලෑව අභය භූමියේ අද රැඳී සිටින්නේ ද රැස් වෙහෙර අලි එළවීමේ පටන් ම ආපසු තම ජානගත නිජභූමිය සොයා එන අලි රංචු ය. ගල්ගමුව පූට්ටු දළයා ද එවැන්නෙකි.
මහවැලි ඒ. බී. සී. ඩී හා ඊ යන ප්‍රදේශවල තත්ත්වය ද එසේම ය. එම වනාන්තරවල සිටි අලි වස්ගමුව, මාදුරුඔය හා ගල්ඔය වනෝද්‍යාන තුළට එළවා දැමූවත් සිය නිජබිම් අත්හැර යන්නට ඔවුන් තුළ අකමැත්ත නිතර නිතර එම ගොවිජනපදවලට අලින්ගෙන් සිදුවන හානි අනුව පෙනී යයි.
අලින්ගේ ජීවන ප්‍රදේශ සීමා කිරීමෙන් සිදුවිය හැකි විනාශකාරී ප්‍රතිඵලවලට හොඳම උදාහරණයක් ඉන්දියාවෙන් ගත හැකි ය. එහි ‘ඩූන්’ නම් ප්‍රාන්තය අලි ඇතුන් වාසය කළ උන්ගේ සාරවත් ගොදුරු බිම් කලාපයක් විය. පසුව මේ ප්‍රදේශය උක් වගාවට යොදා ගැනීම නිසා යන එන මං නැතුව ගිය අලි උක් වගාවන් උක් කර්මාන්ත ශාලාත් විනාශ කර දැමීමට පටන් ගත්හ. එය වැළැක්වීමට ගත් සියලු උත්සාහයන් නිෂ්ඵල වීම නිසා ඉන්දීය රජය අවුරුදු 85 කට වඩා පැරැණි එරට වනසත්ත්ව ආරක්ෂක පනත සංශෝධනය කර අලි ඇතුන් මරා දැමීමට ඉඩ හැරියේ ය. අවනීතිය අතට ගත් මිනිසුන් අතින් අද ලංකාවේ සිදුවන්නේත් එවැන්නක් දැයි සැක උපදී.
කොපමණ කැලෑ විනාශ කර දැමුවත්, නිරපරාදේ අලි ඇතුන් මරා දමතත් ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බවට නිලධාරීන් කරන ප්‍රකාශ අපේ අලි සම්පත ගැන නිරන්තර අවධානයෙන් සිටින විද්වතුන්ගේ දැඩි පිළිකුලට භාජනය වී ඇත. සැබැවින් ම සිදුවී ඇත්තේ අලි ගහණය වැඩිවීම නොව වාසස්ථාන අහිමි වූ අලි අද වැඩි වැඩියෙන් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය වීම ය.
මීට පෙර මෙරට වනාන්තරවල වෙසෙන අලි ඇතුන් පිළිබඳ සංගණනයක් පැවැත්වූයේ 1966 වර්ෂයේදී ය. ලෝක වනසත්ත්ව අරමුදල හා ස්මිත් සෝනියන් ආයතනය එක්ව කළ ඒ ක්ෂේත්‍ර සමීක්ෂණය වඩාත් නිවැරැදි වූත් විද්‍යාත්මක පදනමක් මත කරන ලද්දකි. අදට වඩා විශාල වනගහණයක් එදා තිබුණි. මුළු දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණය පැවැත්වීමට සමීක්ෂකයෝ සමත්වූහ. එය මෙකල මෙන් සති දෙක තුනක සංගණනයක් නොවීය. වසර දෙකකට ආසන්න කාලයක් ඒ සඳහා මිඩංගු කෙරිණ. ඒ අනුව අලි 2800 ත් 3000 ත් අතර ප්‍රමාණයක් එදා ලංකාවේ සිටි බව වාර්තා කෙරිණ. එයින් දළ ඇතුන්ගේ සංඛ්‍යාව 70 ක් පමණ විය. අද වනවිට මේ සංඛ්‍යාව බොහෝ සේ අඩු වී ඇති බව කිව යුතුය. මන්ද එකල කඩිනම් මහවැලියක් ද නොතිබුණේ ය. ලෝකයෙන් ම අලි ගහනය අඩුවෙමින් යද්දී ශීඝ්‍ර වන විනාශයක් පවතින අපේ ලංකාවේ අලි ගහනය සියයට සීයකින් වර්ධනය වීම උත්ප්‍රාසය දනවන්නකි.
ගැටුමට හේතුව මිනිසාය. එනමුදු සිද්ධීන්වල වැඩි බර දරන්නට සිදු වී ඇත්තේ අලියාට ය. ඒ නිසාම “අපට මරණය නුඹලාට භූමිය” යන දුක්බර චෝදනාව අද අප හමුවේ තබමින් ම ශ්‍රී ලංකාවේ අලි සම්පත ශිඝ්‍ර විනාශයක් කරා ගමන් ගන්නා බව රහසක් නොවේ.
ජනගහනය වැඩි වුවාට භූමිය දලු දමන්නේ නැත. සංවර්ධනයත් සංරක්ෂණයත් නොපටලවා නොගත යුතු ය. වනසතාට අවශ්‍ය වන්නේ සංවර්ධනය නොව නිසි සංරක්ෂණයයි. අලි සම්පතේ අඳුරු අනාගතය දෙස බලන විට අපේ වනාන්තර තුළින් උන් සදහටම සමුගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. එබැවින් ජීවත්වන අලියාත් මිය ඇදෙන අලියාත් දෙදෙනා ම කෙරෙහි අප සිත්හි ඇත්තේ වේදනාවකි.