
බෙත්මේ වලව්වෙන් සමනොළ ගිරගට 09
මෙතෙක් කතාව...
බෙත්මෙ වලව්වේ දෙටුපුත් 'අප්පුහාමි' 1693දී පැවිදිබිමට ඇතුළත් වූයේ 'වේහැල්ලේ ධම්මදින්න' සාමණේර නමිනි. මොලමුරේ පෙළපත පැවතෙන්නේ එහිමියන්ගේ සොහොයුරුට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ලැබුණු 'මුලමොර' ගම්වරය නිසාය. රජුගේ ආරාධනයෙන් 1753 ඇසළ පුර පසළොස්වක සියම් දේශයේ සිට වැඩි උපාලි මහ ස්ථවිරයන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත පිරිසුදු උපසම්පදා කර්මය සිදු කරන ලදි. රජු විසින් වැලිවිට සරණංකර හිමියන් වෙත සංඝරාජ පදවියද වේහැල්ලේ ධම්මදින්න හිමියන් සසුනට කළ සේවය සහ වැලිවිට සරණංකර හිමියන් ඇසුරේ දැක්වූ දක්ෂතාවන්ට පැසසුමක් ලෙස තඹ සන්නසකින් සිරි සමනොළ ගල විහාරාධිපති පදවියද පූජා කරන ලදි. 1792 දක්වාම ශ්‍රී පාදස්ථානය භුක්ති විඳි ආඬි පකීර්ලා සිරිපාද පාලනය ඩැහැගැනීමට යෙදූ කූට උපක්‍රම නිසාදෝ එහි පැමිණි විශේෂ විදේශ අමුත්තන් පිළිබඳ සටහන් අවම වුවත් වෙනත් භාෂාවලින් ඒවා ලියැවී තිබේ. බොහෝ රජවරුන්ද සිරිපතුල නැමදීමට පැමිණ කළ විවිධ පූජා පිළිබඳ ඉතිහාස සාක්ෂිි දරයි. ඒ බෞද්ධයන්ගෙන් සිරිපා පාලනය ගිලිහුණේ 1581දීය. වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ මුල් පැවිදි බිම වන වේහැල්ලේ වේළුවනයේ වත්මන්් විහාරාධිපති හිමියන් බැහැදැක අපි තවත් බොහෝ තොරතුරු දැනගතිමු.
“වේහැල්ලේ සඟ පරපුර බොහොම විහිදුණු පැතිරුණු එකක්...’’ ගුණරතන හිමියෝ කතාව පටන් ගත්හ. උන් වහන්සේගේ තොරතුරුවලට සාක්ෂි සැපයීමට කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ පොතද මහත් අනුබලයක් විය.
“හැමදාම වේහැල්ලෙ පරපුරට සිදු වුණේ තමන්ගේ අයිතිය, උරුමය නැති වී යෑම. බුද්ධ පුත්‍රයන් හැටියට අයිතීන් උරුමයන් ගැන අපට කතා කරන්න අමාරුයි. ඒත් සමහරු වැරැදි තොරතුරු ලේඛනගත කළාම මේ රටේ, බුද්ධ ශාසනයේ සත්‍ය ඉතිහාසයට එයින් විකෘතියක් සිදු වෙනවා.
එය වෙන අය ප්‍රයෝජනයට ගැනීමයි හොඳ නැත්තේ. මේ පන්සල වුණත් පුරා විද්‍යා ස්ථානයක් වුණාට කිරි වෙහෙරේ නායක හිමියන් පවා ඉල්ලීම් කර තිබියදී පූජා භූමියක් වුණේ නෑ.
ධම්මදින්න නායක හිමියන්ට රාජ වරප්‍රසාද හැටියට පූජනීය ස්ථාන ගණනාවක් ලැබුණා. ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් 1728දී කතරගම කිරිවෙහෙර ඇතුළු පූජනීය ස්ථානයත්, තංගලු වෙහෙර, ප්‍රව්‍රජ්‍යාචාර්ය කර්මයෙන් තිස්ස මහාරාමය ලැබුණා. කැටකැටිය, කසාගල් විහාරය, තංගල්ලේ වනවාස විහාරය, කොටවායේ විහාරය, කහඳාගල විහාරය වගේම උණන පුරාණ විහාරයත් සද්ධිවිහාරික ගණ පිරිස සමඟ වැඩ සිටි ස්ථාන ලෙස සඳහන් වෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් වෙහැල්ලේ හිමියන්ට ශ්‍රීපාදස්ථානය, පොත්ගුල් රජමහා විහාරය, පැල්මඬුල්ලේ කොටවෙහෙර ගාවා පුරාණ විහාරය, කුට්ටාපිටියේ පුරාණ විහාරය, පළාබත්ගල පුරාණ විහාරය බාර දී තිබෙනවා. ඊට අමතරව වේහැල්ලේ ගෝළ පරපුර විසිරී ගිය ආකාරය අනුව මේ වන විට රට පුරා විහාරස්ථාන එකසිය පනහක් පමණ මේ පරපුරට අයිති බවට තොරතුරු ලැබී තිබෙනවා.’’
එසේ පැවසූ විහාරාධිපති හිමියෝ ඓතිහාසික වශයෙන් වේහැල්ලේ පරපුරේ සංඝයා වහන්සේ විසින් කරන ලද ශාසනික සේවය පිළිබඳවද බොහෝ කරුණු හෙළිදරවු කළහ.
“සියම් නිකායේ පන්සල්වලින් පහතරට හා සපරගමුව ඇතුළු අටමස්ථානවලින් හයක් පමණම වේහැල්ලේ සඟ පරපුරට තමයි අයිති. කැලණියත් ඉන් එකක් බවට මෑත කාලේ පිළිගත හැකි සාක්කියක් බවට පත් වුණේ විජිත ධම්මරක්ඛිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට පළ කළ චරිතාපදානයේ තිබුණු කරුණුයි. ජරාවාස වෙලා කැලේට අතෑරලා තිබුණු රුවන්මැලි සෑය යළි සොයාගෙන පිළිසකර කරන්න කටයුතු කළෙත් වේහැල්ලේ පරපුරෙන් පැවතුණු හිමි නමක්. ඒත් මේ දේවල් පිළිබඳ වර්තමානයේ දැනුම ඇති අය හරි අඩුයි.“
ශාස්ත්‍රපති අබේසේකරගම ගුණරතන හිමියන්ගේ විස්තරය අසමින්ම අපි විහාර ගේ තුළට පිවිසියෙමු. එහි ද ඉතා පැරැණි සිතුවම් රැසක් අපට දැකගත හැකි විය. බොඳ වී යන ඇතැම් සිතුවම් පිළිසකර කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති අය විසින් මිස, සිතෙන සිතෙන පරිදි නොවන බව හිමියන් පැහැදිලි කර දුන්නේ ඒ ඇතැම් සිතුවම්වලට අදාළ කථාද සැකැවින් පවසන අතරය.
“පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරද්දිත් මේ පන්සල බොහොම වැදගත්’’ ගුණරතන හිමියෝ අතීතය සිහිපත් කරමින් කීහ. පිරිවෙන් අධ්‍යාපනය ආපසු නඟා සිටුවීමට වේළුවන විහාරය මුල් වී ඇති බව එහි කෙටි අදහස විය.
“1812දී මේ විහාරස්ථානේ පැල්මඬුල්ලට ගෙනිහින් තිබෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ඒ කිසිවක්ම නොදැන අපි ආපහු 2012 පිරිවෙනක් පිහිටෙව්වා! බලද්දි හරියටම අවුරුදු 200කට පස්සේ තමයි නොදැනුවත්වම හරි අපි ඒ පියවර අරන් තිබෙන්නේ.’’ උන් වහන්සේගේ මුවග පැවැතියේ සතුටු සිනා රැල්ලකි. ඒ සමඟම සිරිපා නායක පදවියේ අතීතය පිළිබඳ ඇති වූ කතා බහෙන් ඒ සිනා රැල්ල මැකී ගියේය.
එයට හේතුව සාක්ෂි ඇතිව කිරිඇල්ලේ ඤාණවිමල නායක මහාස්ථවිරයන්ගේ ‘වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න ස්වාමින්ද්‍ර ශාසන ඉතිහාසය’ නම් ග්‍රන්ථයේ දක්වා ඇත්තේ වේහැල්ලේ ධම්මදින්න සඟපරපුරට සිදු වූ අලාභය යන හිසිනි.
“වැලිවිට සරණංකර ගණනායකයන්ගේ අදහස ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ ජනනායකයන් විසින් දෙලොවට වැඩ තකා හුදු ශාසනික අදහසින් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට හිමි වන සේ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න ගණනායකයන්ට පුදන ලද ලක්ෂ සංඛ්‍යාත ආදායමක් ලැබෙන කුට්ටාපිටිය ඇතුළු ශ්‍රී පාදස්ථානය අයිති කරගැනීම සඳහා මල්වතු මහ නාහිමිවරුන් 1783දී ඇරඹූ සටන අවසන් වූයේ 1911 දෙසැම්බ්‍ර 7 දින ශ්‍රී පාද හිමිකාර වේහැල්ලේ පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේලාගේ කිසිදු සම්බන්ධකමක් නැතිව, කාරක සංඝ සභාවේ විසිනමකගෙන් මහ නාහිමි සහ අනුනාහිමි දෙනමගේ පමණක් කැමැත්ත අනුව මහනුවර කච්චේරියේ දී එහි දිශාපති සී ඇස් වෝන් මහතා ඉදිරිපිටදී ඇති කරගත්, රාජ නීතියටත්, ධර්ම නීතියටත් පටහැනි වූ කමකට නැති ඒක පාර්ශ්වක ගිවිසුමකිනි,’’ යනුවෙන් එය එම ග්‍රන්ථයේ විස්තර කර තිබේ. එය උපසම්පදාවට වඩා ධනයට ගිජු වීම නිසා කරන්න ගිය අපරාධයක් ලෙස අර්ථකථනය කරන ඤාණවිමල හිමියන් එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ එවක ලක්දිව විසූ ශ්‍රේෂ්ඨතම පඬිරුවන වූ කරතොට ශ්‍රී ධර්මාරාම හිමියන්ට එරෙහිව අසත්‍ය රාජද්‍රෝහි කුමන්ත්‍රණ චෝදනා එල්ල කර මාතරටම පන්නා දමා ආදායමත්, දේපළත් මහනුවර සංඝයා යටතට පත් කරගැනීමේ පෘථග්ජන අභිලාශයකින් එය සිදු කළ බවයි. ශ්‍රී පාද නායක ධුරය පිළිබඳ ජෝජ් ටර්නර් වාර්තාව සැකසෙන්නේ ඉන් පසුවය.
මතු සබඳි...
සේයාරූ - රුවන් ද සිල්වා