හාමු මහ­ත්තයෝ, ඒක කරන්න එපා තමුන්ගෙ ලේ... | සිළුමිණ

හාමු මහ­ත්තයෝ, ඒක කරන්න එපා තමුන්ගෙ ලේ...

ශ්‍රීමාල්ට දැන් කිසිවක් හිතාගන්නවත් බැරිය. කියාගන්නත් බැරිව ගොත ගැසේ.

“මල්ලී...!”

ඒ හඬ ඇහුණේ හරියට ඈත ග්‍රහලෝකයකින් වගේ ය.

“මල්ලී.. ඔයාලා ඔක්කෝම මට බණිනවා ඇති.. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ මල්ලි. අපේ අප්පච්චිගෙයි අම්මගෙයි තද ගති එක්කම නපුරුකම් නොතිබ්බා නම්... මට කීයටවත් මෙහෙම ජයේන් එක්ක හොරෙන් යන්න හිත හදාගන්න බැරිවේවි.”

ඈ හයියෙන් හුස්ම ගන්නවා ඇහෙයි.

“අක්කේ ඔයාලා දෙන්නා හොඳින්ද...? මම ඔයාට ගත්තේ ඔයාලගෙ ජයේන්ගෙ තාත්තාට පරිස්සම් වෙලා ඉන්න කියලා කියන්න... ටික දවසකට හරි මඟෑරලා වගේ... තේරුණාද අක්කෙ.. මොකද අපේ අප්පච්චිත් වෙඩි කාපු ඌරා වගේ.. කොතැනකින් හරි ඔයාව කුදලාගෙන එන්න ඕඩරේ දීලා තියෙන්නෙ.. ඒ බැරි වුණොත්.. පළිය ගනීවි.. එයාගෙන්.. දන්නවනේ අපේ අප්පච්චිගෙ හැටි.. ඔයාලගෙ අම්මටත් ඔය තද ගති ගුණ ඇවිල්ලා තියෙන්නෙ එයාගෙන් ම තමා...”

“අපි දැන් ඉන්නේ හුඟක් දුරක මල්ලි, පස්සෙ විස්තර කියන්නම්... ජයේන්ගෙ යාළුවෙක් ඉන්නවා සුරේන්ද කියලා.. එයා තමා කිව්වෙ.. අපි රට ගිහිල්ලා කියලා ප්‍රචාරයක් අරින්න කියලා.. හරි .. මං ඕෆ් කරනවා මල්ලි...” දුරකතනය විසන්ධි කරනවාත් එක්කම පොල් එකතු කරමින් සිටිය ජන්තු උසට උසේ දුවගෙන එනවා පෙනෙයි.

“බේබි හාමු... බේබි හාමු... අන්න ලොකු හාමුගෙ වාහනේ ආවා මට පෙනුණා අර පඳුරු අතරින්.. ඉක් ඉක්මන් කරලා අපි යමුද... එහා බෑවුමේ කෙටි පාරෙන්.. නැත්නම් ඉඳලා ඉවරයි... හයියෝ...!”

“හා.. හා... කලබල වෙන්න ඕනි නෑ.. ජන්තු යන්නකො එහෙනම් ඒ විදියට.. අපි යන්නම්..! අපි පිටට ගියෙ නෑනෙ. අප්පච්චි කියන්න වගේ වලව් වත්තෙ හතර මායිමෙන් පිටට අපි ගියේ නෑනෙ..”

“අනිත් එක අප්පච්චිම කියන්නා වගේ මේ වලව්වේ රාජධානියේ අනාගත උරුමක්කාරයෝ නේ අපි...” ජයමාල් ඒ ඌණ පූර්ණය කළේ අයියාට උදව්වටය. කන්ද නැග වලව්වේ මිදුල වෙත ළඟාවෙද්දීම මහා ඝෝෂාවක හඬ ඇසී අයියා ම‍ලෝ දෙන්නා මූණට මූණ බලා ගත්තේ කිසිවක් සිතාගන්නට බැරිවය.

***

“ඕං.. දැන් පිඹගෙන ගියෙ වලව්වෙ වාහනේ.. පුදුම වේගෙකින්නේ බොලව් දැන් මේ වාහන යන්නෙත්. කරුණාදාසගෙ කොණ්ඩ බූටෑව දැක්කයින් තමා ඒකත් නිච්චි වුණේ.. අනේ මං දන්නෑ බං... දැන් හරියට කොළඹ පාරවල්වල යනවා වගේ තමා මෙහේ වාහන යන්නෙත්...”

“මේ පළාතටම ඉස්සර තිබුණේ ඔය වලව්වත්තෙ වාහන විතරයි. ඒකට දැං.. මං හිතන්නෙ වාහන අට දහයක් ම මේ පාරවල යනවා. තව ඉතිං අවුරුද්දක් යද්දි මේකෙ වාහනයක් නැති ගෙයක් හොයාගන්න බැරි වෙයි...”

දනෝරිස් කියන්නේ අපුල්ලන්න අරගෙන යන රෙදි පොට්ටනිය බිම තියා බංකුව උඩ වාඩිවෙමින්ය.

“එහෙම තමා බං ගං දියුණු වෙද්දි. ගෙවල්වල කොල්ලො කෙල්ලො ඉහළට ඉගෙන ගන්නවා.. ලොකු රස්සාවලට යනවා. එයාලා ගෙවල් හදනවා.. වාහන ගන්නවා... පොඩි මිනිහ උඩට එනවා... ලොකු මිනිහා යට යනවා... උද්දච්චකංවලට සොබා ධර්මෙම දඬුවම් දෙනවා..!”

එහෙම කිව්වේ මාළු බයිසිකලේ පැදගෙන ගම පුරා යන මාළු නෝනිස්ය.

“වක්කරන්නකො අපේ මුදලාලි හොඳවයින් කහට එකක් තියෙනං ආප්ප දෙකකුයි ලුණු මිරිසෙකුයිත් එක්ක..!” ‍‍

“හා.. හා.. උද්දච්චකං වොලට නං ඔයි ඇස්පනාපිට පල දීල තියෙන්නෙ විල්ප්‍රඩ් හාමුට..”

එහෙම කීවේ අගිද නැන්දාගේ අල්ලපු ගෙදර ඉන්නා මරියා ය. දැන් මුදලාලිටත් ඉවසිලි නැත.

මුදලාලි හීන් සීරුවේම තම උවමනාව සහ කුතුහලය මුදා හරින්නේ එකවරම තේ යාර හත අටක් ම ඉහළට පහළට වත්කර වීදුරු පුරවන ගමන්ය. ඒ අතරේ ලයනල් කඩිමුඩියේ ආප්ප බාපි.

“හා... දැන් තමා හරිම හරි දේවල් වෙන්නෙ.. ඔන්න විල්ප්‍රඩ් හාමු එහේ රත්නපුරේ ගිහිල්ලා දෙවනත් කරලා තේ වත්තෙ කංකානමව මරන්න ඕනෑ, කියලා ගුගුරලා.. හහ්.. දවස් තුනක් ඇතුළත ජෝඩුව ගෙනැල්ලා නුදුන්නොත් මරනවා කියලා..”

“හා තර්ජනේ කරලාද ඇවිල්ලා තියෙන්නේ... මේක යකාට ගිය කාලෙ.. හහ්... එහෙම මිනී මරන්න තියා තර්ජනේ කොරන්නවත් කාටවත් අයිතියක් නෑ බොලව්... අනේ අම්මපා... දුප්පත් එකෙක් කොලා නං... මෙලහකටත් පොලිසියෙ කූඩුවෙ...!”

දැන් කඩේට ආපු කට්ටියම කැලඹිලාය.

තේ වීදුරුව අතින් අතට මාරු කරලා බොනගමන් තේගිරිස් හඬ නඟා කියන්නේ නීතිය ගැන තමුන් දන්නා තරම් අනිත් අය දන්නේ නැති බව මතක් කර දෙමින්ය. ආප්ප පුච්චන ලයනල් කෝචොක් හිනාවක් දැම්මේ ඒ නිසා බව සමහරුන්ට තේරුණි.

“කොහොම වුණත් ඔය විල්ප්‍රඩ් හාමු එයාගෙ අප්පා වගේ නෙමේ මහ මරුමුසා.. දන්නවා නේද අවුරුදු විස්සක් විතර තිස්සේ මේ ගමේ මිනිස්සු පාවිච්චි කොරපු අර.. වලව්වත්ත පහළින් වැටිච්ච රතු ගුරු පාර එක පාරටම වහලා දැම්මෙ... කිසිම ආතක් පාතක් නැතිව..”

“ඒක නම් සහතික ඇත්ත.. මහ හාමු මැරිලා සති තුනක් යන්න කලින් විල්ප්‍රඩ් හාමු ඒ වැඩේ කරද්දි.. මට හිතුණා.. කවදහරි දවසක.. එයාගෙ දරුවොත් ඊට වඩා දේවල් කොරාවිය කියලා..”

“ඒත් ඔය දරුවො දෙන්නාගෙන් ලොකු දරුවා නම් එක විදියක්. හරිම කරුණාවන්තයි... දවසක් අපේ එලිසගෙ කොලුවට එයාගෙ ඇඳුම් වගේකුයි පොත් වගේකුයිත් දීලා තියෙනවා අප්පලාට හොරෙන්... මේ කුමාර කොල්ලා කීවෙ..”

“හැබෑට.. අනේ වාසනාවන් එහෙනම්.. තමුන්ගෙ මුත්තලා මී මුත්තලාගෙ ආරෙට ගියොත් නං හොඳයි අප්පගෙ ආරෙට නොගොහිං...!” එහෙම කියද්දිම දූලි වලා නංවාගෙන කඩේ අසලින් ඇදෙන විසල් රථය දෙස හැමෝගෙම නෙත් යොමුවෙලාය.

“හප්පා.. මැරෙන්නෙ නෑ! ඔය යන්නෙ මතක් කළා විතරයි විල්ප්‍රඩ් හාමු..!”

“අපෙ අප්පේ කරුණාදාසයා වාහනේ අරගෙන යන්නෙ දැන් අජානේය අස්සයා දක්කගෙන යනවා වගේ නේ..”

“ඕං.. බලහං.. තව මොකක් හරි අලකලංචියක්.. හවස් වෙනකොට ආරංචි වෙන්නෙ නැතෑ.. අබුද්දස්ස කාලෙ කිව්වලු..”

මුදලාලි ලොකු ‍ෙබ්සමට වීදුරු ටික දමා බස බසා ගා සොලවමින් හෝදන ගමන් කීවේ හිතේ දෙගිඩියාවෙනි.

***

“මට නම් දැන් මේ වැඩේ තිත්ත වෙලා තියෙන්නෙ.. අනේ මල්ලි ඔන්න ඔය දොර වහලා එන්න අපි පාඩම් කරමු. තව සති දෙකයි මගේ විභාගෙට තියෙන්නෙ. මේ මිනිස්සු මගේ ඔළුවත් අවුල් කරනවා..”

ශ්‍රීමාල් පාඩම් මේසයට වාඩිවී මල්ලිට කියන්නේ ඇහිබැම උඩට අරගෙනය. ජයමාල්ට අයියා ගැන දුකය. අවුරුද්ද අන්තිමේදි තමාත් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිය යුතුය. අම්මලා අප්පච්චිලා රත්නපුර වලව්වේ ප්‍රශ්න තමුන්ගේ ප්‍රශ්න කරගෙන දුක් විඳිනවා මදිවාට ගෙදර හැමෝටමත් දුක් දෙනවාය.

“අප්පච්චි අද නම් බොහොම තද විදියට හැසිරුණේ. එයාගෙ හිතට පොඩි සැකයක් ඇතුළුවෙලා තිබ්බා නේද අපි සමන්ති අක්කා එක්ක ටෙලිපෝන් මාර්ගයෙන් කතා කරනවා ඇති කියලා..”

“ඇත්තට ම මල්ලි මටත් දෙවියන් සිහිවුණා අප්පච්චි ගුගුරලා කියද්දි, ඔය මොබයිල් පෝන් ඔක්කොම අල්ලලා පොළොවෙ ගහන්න ඕනෑ කියලා කුඩේ කුඩුවෙන්න.. මං හිතුවෙ අයියෙ ඔයාගෙ ෆෝන් එක අරන් නිකමටවත් බැලුවා නං අන්තිමට තියෙන්නෙ සමන්ති අක්කගෙ නොම්මරෙන් ආපු කෝල් එකනේ...”

“ඒක නං ඇත්ත මල්ලි මටත් දෙලෝ රත් වුණා...! එහෙම වුණා නං අපි ඉවරයි. අප්පච්චිලා තදේටම හිතගෙන ඉන්නේ සමන්ති අක්කයි අපියි අතරෙ කිසි ඇයි හොඳයියක් නෑ කියලා දැන්...”

“ඉතින් ඒ නිසානේ ගුගුර කිව්වේ සමන්ති අක්කයි මලින්ද අයියයි එක්ක තියෙන සම්බන්ධෙ ඉවරම කරලා දාන්න කියලා.. එක අතකට සමන්ති අක්කා නම් වැරදි වැඩක් කළා කියමු. මලින්ද අයියා මොකක් කරලද... මොන වරදක් කරලද...”

“ඕවා මහා අසාධාරණ දේවල්. අර සිරිනාත කියන්නා වගේ අපිට එකපාරටම මේ රාමු කඩා බිඳ දමන්න බෑ. ඒ වෙනුවට ටිකක් ඒ අණ සකට අනුගත වෙලා අපි ශක්තිමත් වෙලා පස්සෙ අපේ විරුද්ධත්වය පළකරලා ඒවා පරාජය කරනවා මිස...”

“මල්ලි ඔයා මේ වැඩ ටික කරන්නකො.. මම පොඩ්ඩක් ඔළුව දාලා එන්නම් දැන් අම්මා මොකද කරන්නෙ කියලා..”

“අම්මා බබෙක් නෙමේනෙ අයියෙ... ඔයා ඉන්නේ එයා ගැන ‍‍හොයා බලන්න සිරියා, ජන්තුවා, කුමාර...” ජයමාල් කීවේ කෝපයෙනි.

“එහෙම කියන්න එපා මල්ලි... ඒක හරි නෑ මේ වෙලාවේ අම්මා හිතින් අසරණ වෙලා ඉන්නේ... ඒ වෙලාවට අපි හරි එයා ගැන බලන්න ඕනෑ හිත හදන්න ඕනෑ.. ඔයා ඉන්න මං ගිහිල්ලා එන්නම්...”

ශ්‍රීමාල් කාමරයෙන් එළියට එද්දිම දැක්කේ අම්මා සාලයේ මුල්ලකට වී වාඩිවී සිටින හැටිය. එකත් එකටම ටෙලිපෝනයට ආසන්නව සිටින්ට ඈ වගබලාගෙන ඇතුවාක් සේය.

“අම්මා මොකද මෙතනට වෙලා කරන්නේ.. අපි යමුකො මිදුලට මල් පාත්ති බලන්නවත්..”

“අනේ බෑ ලොකු පුතා.. මට අප්පච්චි ගැන හරි බයයි... එයා උදේ රත්නපුරේ ගිහිල්ලා ආවා.. දැන් ආයෙත් පිටවෙලා ගියා.. කොහේ ගියාද කියලා කිව්වෙත් නෑ. අනේ ඇත්තට අපේ අයියලත් දරුවො හදා‍ගෙන විඳින දුකක්.. දරුවො නැතිව ඉන්න එක සැපයි කියලා හිතෙන්නේ මේ වගේ දරුවො හැදිලා දහ දුක් දෙනකොට...”

ශ්‍රීමාල් උවමනාවෙන් අම්මා දෙස බැලුවේ එතකොටය. මේ දවස් දෙක තුනට අම්මා ඇදිලා පැදිලා ගිහිල්ලාය. හරියට අවුරුදු පහකින් විතර වයසට ගිහිල්ලා වගේය. ඒත් අම්මා ගැන අනුකම්පාවක් හිතන්ට වත් ඉ‍ඩ නොදෙන ගානට ඈ මහේශාක්‍ය ලීලා මවාගෙනය. ඇය බොරුවට පත්තරයක් අතට ගත්තේ තමා සමඟ කතාබහ මග හරින්නට බව වැටහී ශ්‍රීමාල්ට ඇතිවුනේ දුක්මුසු හැඟීමකි. ඔහු වහාම මුළුතැන්ගෙයි බරාදය පැත්තට ඇදුණේ ඒ හැඟීම කලකිරීමක් දක්වා වර්ධනය වන්නට පෙරය.

“අ.. නේ එන්න එන්න ලොකු බේබි හාමු.. අනේ ඉතින් වලව්වල තියෙන මහාම වස්තු තමා බේබි හාමුලා.. ලොකු හාමුලා ඔක්කොම දුක්ගන්නේ බේබි හාමුලා හින්දානේ..”

“ඒක නෙමේ ජන්තු.. දැන් මොකක්ද අප්පච්චි ආයෙත් ගියා කියන කතාව..”

බරාදයේ හාන්සි පුටුවට වී ශ්‍රීමාල් ඇසුවේ අම්මා එතැයි බයෙන් වටපිට බලමින් නොව කෙළින්මය. උත්තර දෙන්නට ආවේ ජන්තු වෙනුවට කුමාරය.

“ලොකු බේබිහාමු දන්නෙ නෑ. දැන් ලොකු හාමු ගියේ මහාම මහා අමුතුම දිහාවක. උදේ ගිහිලාල් ආපු රත්නපුර ගමනෙන් හොඳටම හෙම්බත් වෙලා ඇවිත් තිබුණේ. හොඳටම කේන්තිපිට.. ඇයි තර්ජන ගර්ජන පිටකරගන්න විදියක් නැතිව..”

“කුමාර පුතේ.. මේ.. මෙහාට ආවා නං..”

කුස්සියේ සිට සිරියා කෑගැසුවේ කුමාරගේ කට නවත්වන්නට ඕනෑ හින්ද බව ජන්තුට තේරෙයි.

“කුමාර දැන් ගොඩ දවසකින්ම ආවෙ නෑනේද මගෙන් අකුරු ඉගෙන ගන්නත්... ඉන්නකො.. කුමාරව මේ ගමේ ඉස්කෝලෙට දාන්න කතාකළා ඉස්කෝලෙ මහත්තයෙත් එක්ක.. එයා කැමති වුනා. එවන්න කියලත් කිව්වා.”

“ඒ වුණාට බේබි හාමු.. ලොකු හාමු ඕවට මනාපයක් නෑ නේද. ඕවා කොරල බේබි හාමුටත් එක්කම බැණුමක් අහගන්නනේ වෙන්නේ...”

ජන්තු කීවේ යටහත්පහත්වය. සිරියාගේත් ඇස්වල කඳුළකි. දුප්පත් වුණත් තමුන්ගේ දරුවාට අධ්‍යාපනයක් ලැබෙනවා නම් හොඳය යන සිතුවිල්ල ඔවුන් තුළ තිබීම ගැන ශ්‍රීමාල්ට සතුටුය. ඒ එක්කම ඔවුන් තුළ ඇති ‍ෙම් අනවශ්‍ය බයාදුකම ගැන ඇතිවෙන්නේ කේන්තියකි. මේ බයාදුකම් තියෙනකන්ම ඔවුන්ගේ මානුෂීය අයිතිවාසිකමක්වත් දිනා ගැනීමට ඔවුන්ට නොහැකිවනු නියතය.

“සිරියාවත් ජන්තුවත් ඒ ගැන කරදර ‍වෙන්න එපා. මම ඒ ගැන අප්පච්චි එක්කත් දවසක් කතා කළා. කොහේද ඔයා‍ලගෙ උනන්දුවක් නැතිකම නෙ තියෙන්නෙ. ඔයාලා නොලබපු දේ දරුවන්ටවත් ලබලා දෙන්න උනන්දුවෙන්න ඕනෑ ජන්තු...”

ශ්‍රීමාල් ඒ ටික කියා නැවැත්තුවත් තව කරුණු රාශියක් ඔහුගේ හිත හඩ නඟා කියන්ට ගති.

මේ වයසෙ දරුවො අධ්‍යාපනයක් නොදී වැඩකාරකම්වලට ගැනීම නීතියෙන් තහනම්.. මේ අයගෙ නූගත්කම තමා අනෙක් අයගේ වාසියට හේතුවෙන්නේ...

සාලයේ සිට මැණිකෙ හාමු එනවා දැකලා ජන්තුත් සිරියාත් කුස්සිය අස්සට රිංගනවා ශ්‍රීමාල් බලාගෙනය.

***

ගෙයි මිදුලට එහායින් නැවැත්වූ සුවිසල් වාහනය දැකලා ගෙහිමියෝ බිරන්තට්ටු වෙලාය. ඒ මදිවට වාහනය අතපත ගාන්නට හිතාගෙන කොලු කුරුට්ටන් රැලක් ගස් අතරේ හොරගල් අහුලති.

තේවත්ත කෙළවර පුංචි ගෙදර දැන් කල එළිවෙලාය. ඉස්සර තිබුණු කටුමැටි පැළ වෙනුවට දැන් එතැන ඇතතේ අලංකාර කුඩා නිවෙසකි. අවට ඇහළ ගස්වල මල් පිරිලාය. කුරුලු කිචිබිචියේ නිමක් නැත. අසලින් ගලාගෙන යන ‍දොළපාර පුරුදු සද්දය දීගෙන ගලා බහිනවාය.

මුලින් ම වාහනයෙන් එළියට තැබුණේ කරුණාදාසගේ පටි සෙරෙප්පු ලද කකුල් දෙකය. ඊළඟට පිටුපස අසුනෙයි මුලින් ම බස්තම් කොණකුත් ඊළඟට ගන ගාම්භීර දෙපා යුගලකුත් පොළව මත තැබිණ.

වැඩිහිටියෙකුගේ කිසියම් අණකින් කොටු රැළ බිරාන්තවෙලා ඈතට දුව යති. රැල් බුරුල් ඇරගෙන විල්ප්‍රඩ් රත්න‍ෙස්කර මහ හාමු මහත්තයා ප්‍රාදුර්භූත වෙද්දී පළාතම අමුතු බයකින් ගිඟුම් දුන්නා සේ විය.

අලංකාර කුඩා ගෙයි පිටුපස දොරෙන් කෙනෙක් වහංගු වී පලා යනවා කිසිවෙක් දැක්කේ නැත. කරුණාදාස රියැදුරා හාමු මහත්තයාගේ අණ පිළිපදිමින් ඉදිරියට විත් ගෙයි පඩිපෙළ ළඟ නතරවී උගුර රැල් බුරුල් ඇරියේය.

“කෝ.. මේ කංකානම් මහත්තයා!”

නිවෙසින් එළියට ආවේ කංකානමගේ බිරිය චන්ද්‍රලතාය. මැදිවියේ පසුවුවත් අතීත සුන්දරත්වය ඇ‍ගේ මුහුණේ මෙන් ම ඇඟපතේ ද තවමත් ඉතිරිව ඇතිවා සේය.

රත්නසේකර හාමු මහත්තයා ගිගුරුවේය.

“කෝ.. මේ.. ජයතිස්ස...! උඹලා එකෙක් මරලයි මම අද යන්නෙ.. උඹලා මගේ නගාගෙ කෙල්ලව රවට්ටලා ඉනා බේත් දීලා අල්ලගත්තා.. කෝ දැන් උන් දෙන්නා.. කියපිය..! මගේ මූණේ දැලි ගාන්නනෙ උඹලාට ඕනෑ වුණේ..”

භයානක නිශ්ශබ්දතාවක් පැතිරී ගියේය. චන්ද්‍රලතා අත්දෙක එක්කරගෙන හාමු දිහාට ආවේ කරකියා ගන්න දෙයක් නැතිවය. චන්ද්‍රලතාගේ දිග රවුම් ඇසි දුටු සැණින් හාමු මදක් මෙල්ල වූවාසේ විය. ඔහු වහා හැරී කරුණාදාසට සියුම් සංඥාවක් දුනි. කරුණාදාස කළේ මිදුලට පැන එබිකම් පාමින් සිටි කොලු කුරුට්ටන් රෑන එළවා දැමීමය. ඒ අතරේ විල්ප්‍රඩ් හාමු ආලින්ද උලුවස්සෙන් ගෙතුළට ඇතුළුවිය.

“මට කරන්න දෙයක් නෑ.. අපේ නම්බුව බේරගන්න කරන්න තීන්නෙ එකම දෙයයි. මං.. මං.. උඹේ පුතා ජයේන්ද්‍රව මරනවා!”

හාමු ස්ථිරසාර ගිගුරුම් හඬින් එසේ කියද්දී චන්ද්‍රලතා හාමුගේ පාමුල වැටුණේ හරියට වෙඩිල්ලක් වැදිලා වගේය.

“දෙයියෝ.. එපා.. එපා..! මේ අවුරුදු විසිපහම මං මේක කාටවත් කිව්වෙ නෑ.. දෙයියෝ” ඊළඟට ඇය වටපිට බලා අතින් තමුන්ගේ කට වසාගෙන රහසින් කෙඳිරුවේ හාමුට විතරක් ඇහෙන්නටය.

“ඒක කරන්න එපා! තමුන්ගෙ ලේ..!”

එවර විල්ප්‍රඩ් හාමු වෙඩි වැදුණාක් සේ අසල පුටුවක කඩා වැටුණි. කරුණාදාස ගෙතුළට දුවගෙන ආවේ ඒ සද්දෙටය...! 

Comments