යහපත් පුද්ගලයන්ටම ඡන්දය දෙයිද? | Page 2 | සිළුමිණ

යහපත් පුද්ගලයන්ටම ඡන්දය දෙයිද?

පුරා සතියක් ගෙවී අවසන්ය. අදින් එළඹෙන අරුණෝදයට ගෙවුණු සතියෙන් ගෙනැවිත් ඇත්තේ මොනවාද? ඔබ ම සිතන්න.

04 ඉරිදා

මහත්වරුද? හොරුද?

පුසුගිය රජය සමයේ මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙන මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන වංචනිකායා ලෙස පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා 4 දා අලුයම ඩුබායි ගුවන්තොටුපොළේ දී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ‍ගත්තේය.

රට රටවල්වලට පැන යමින් ආරක්ෂක අංශවලට වෙට්ටු දමමින් සැඟවී සිටි උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපොළ හරහා ‍ඊයේ අමෙරිකාව බලා යාමට සූදානම්ව සිටි බවත්, එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිතව සිටි බවත් පුවත් පත් වාර්තා කර තිබුණි. අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට උදයංග වීරතුංග මහතාට මිග් යානා ගනුදෙනුව හා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පැවැත්වෙන පරීක්ෂණවලට අදාළව එහි ප්‍රධාන සැකකරුවකු වශයෙන් කොටුව මහේස්ත්‍රාත් හමුවේ නඩු පවරා තිබූණි. ඊට අදාළව ජාත්‍යන්තර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණු අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා ද මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ තවත් සැකකරුවකු වේ.

රටේ වැදගත් නිලතල හොබවමින් ජනතා මුදල් වංචා කරන්නේ නම් එය යුක්ති සහගත නොවේ. යුධ ජයග්‍රහණය පෙන්වා ජනතාවගේ ඇස් වසා තම සියලු පාපයන්ගෙන් ගැලවීමට කටයුතු කරන්නේම් ජනතාව ඇස්කන් පියා නොසිට මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු නොවේද?

මේ කොහොම රටක්ද?

අප සිටින්නේ කවරාකාරයේ රටකදැයි නිශ්චිත වශයෙන් කිව නොහැකිය. මෙරට සිදු වූ විශාලතම මූල්‍ය වංචාවලින් එකක් වන බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහි දී 5වැනිදා දිනය දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

මෙය මෙරට දේශපාලනයට කළු පැල්ලමක් එක්කළ ක්‍රියාවක් බව සත්‍යයකි. නමුත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වීම, ඉතිහාසයේ ප්‍රථමවතාවට මෙරට ආණ්ඩුවක් විසින් ලබාදුන් යහපත් පූර්වාදර්ශයද වැදගත්ය. එසේ වුවත් මෙවැනි දේ සිදු වන්නේ අද ඊයේ සිට නොවේ. ජනතාව බලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කුමක් සිදුවේද යන දෙගිඩියාවෙනි.

ගෙල සිඳීම

අද දින (04) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රීලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත පිරිසකට හස්ත මුද්‍රාවෙන් “ගෙළ සිඳ දමන බව” සංඥා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන එම කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පිළිබඳව විවිධ පුවත් මැවෙන්නට විය. එහෙත් ඒ මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේද එයයි.

හමුදාවක වැදගත්ම දේ විනයයි. මේ නිසා අප යමක් කරන විට හැඟීම් මත නොව බුද්ධිමත් ව කටයුතු කළ යුතුය. එසේ නොවුණ හොත් මෙරටට යුධ අපරාධ චෝදනා එල්ල කරන එල්.ටී.ටී.ඊ හිතවාදීන්ට අපේ ගෙල සිඳලීමට උදව් කරන්නේ අපම බව මතක තබාගත යුතුය.

05 සඳුදා

පාපුවරුව අවදානම්

කොළඹ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පිරිසක් අද(5) පස්වරුවේ ලුනාව පාලම අසල නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිවු දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අඟුලාන පොලිසිය කියයි.

දුම්රියේ ගමන් ගත් තරුණයකුගේ පිටේ එල්ලාගෙන සිටි බෑගයක් ලොරියේ පැටලීමෙන් ඔහු දුම්රියෙන් ඉවතට ඇ දී යත්ම පාපුවරුවේ එල්ලී සිටි සෙසු පිරිසද ලොරියේ ගැටී ඇති බව පොලිසිය පවසයි.

මෙම ස්ථානයේ මාර්ගය පටුවීම නිසා අනතුරු රැසක්ම පසුගිය කාලය පුරා සිදු වී ඇත. එහෙත් මේ සමබන්ධයෙන් අදාළ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරති. ඒ කෙසේ වෙතත් පාපුවරුවේ ගමන් කිරීමද බරපතල වරදකි.

දූෂණය

පසු ගිය පාලන සමයේ රාජපක්ෂ හිතෛයිෂියකු ලෙස කටයුතු කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ මිණීමරුවකු හා ස්ත්‍රී දුෂකයකු ලෙස අධිචෝදනා ලැබූ අයෙකි. ඔහු සහ අනෙක් චූදිතයන් සිව්දෙනා

තමන්ට පනවා ඇති සිර දඬුවම් ලිහිල් කරන්නැයි ඉල්ලා පසුගියදා ගොනු කර තිබූ අභියාචනය සලකා බැලීම අභියාචනාධිකරණය විසින් ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට අද (05) තීන්දු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක නොකළ අතර, ඒ් ෙවනුවට හිටපු සභාපතිවරයාට දේශපාලන රැකවරණය ලබාදීමටද කටයුතු කළේය. එවක පාලන බලය හෙබ වූ ප්‍රබල දේශපාලනඥයන් කිපදෙනකුටම මේ සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. නැවත එවැනි වතාවරණයක් මේ රට තුළ ඇති නොවීමට වග බලා ගැනීම යුක්ති ගරුක මානව සමාජයක් බලාපොරොත්තුවන සැමගේ යුතුකමකි.

06 අඟරුවාදා

දැඩි ස්ථාවරයක

හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පිරීස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතාට එරෙහිව ආරම්භ වී ඇති අපරාධ නඩු ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දුවක් ගෙන තිබේ. කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ අද (06) පැවැති විශේෂ මාධ්‍ය හමුව දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අමල් ඒ. රන්දෙණිය මහතා ඒ බව මාධ්‍යවෙත ප්‍රකාශ කළේය.

මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා කියා සිටියේ වෘත්තීමය උපදේශනය හෝ මතය ප්‍රකාශ කිරීම නිසා යම් විනිසුරුවරයෙකුට එරෙහිව අපරාධ නඩු ක්‍රියාවලිය යටතේ නීතිමය පියවර ගැනීමට යාම අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල කිරීමක් වන බවයි. එබැවින් යම් නීතීඥයකු සිය වෘත්තීමය උපදේශනය හෝ මතය ප්‍රකාශ කළ පමණින් මෙවැනි අපරාධ අධිකරණමය විනිශ්චයකට භාජනය නොවිය යුතු බවය.

එහෙත් නීතිය සැමට සමාන විය යුතුය. මෙය නීතියේ උත්තරීතර භාවය හා ස්වාධීනත්වය රැකගැනීම වෙනුවෙන් නීතීඥ සංගමය විසින් ගනු ලැබූ ප්‍රසංශනීය පියවරක් වුවද අගවිනිසුරුවරයකු වුව කිසියම් බලපෑමකින් තොරව අපක්ෂපාතීව ස්වාධීනව එම තීරණයට එළඹි බව සැකයෙන් තොරවිය යුතුය. එම විනිශ්චය අපක්ෂපාතී සාධාරණ විනිශ්චයක් නොවේ නම් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම ද අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට යහපත් වනු ඇත.

ප්‍රමිතිය කාටද?

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අවම ප්‍රමිතීන් ඇතුළත් ගැසට් නිවේදනයට විරෝධය දක්වන අතරම එය අහෝසි කරන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාට බලකර සිටින බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය ප්‍රකාශ කර සිටිති.

වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සකස් කළ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ඇතුළත් නිර්ණායක විකෘති කරමින් හා වෙනස් කරමින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනූජ් වීරසිංහ මහතා කියා සිටී අතර, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ එකඟත්වය මත සකස්කොට ශ්‍රි ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කරන ලද වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ඇතුළත් ලියවිල්ලේ තිබූ කරුණු වෙනස් කිරීමේන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ බලතල සීමාවී තිබෙන බව ද ඔහු එහි දී පෙන්වාදී තිබුණි.

මෙය රටේ බරපතල ඛේදවාචකයකි. එක් පසෙකින් වෛද්‍යවරුන්ගේ භූමිකාවද අනෙක් පසින් වෛද්‍ය අමාත්‍යවරයාගේ භූමිකාවද රටේ මහජනතාව ඉතාමත් සැලකිල්ලෙන් බලා සිටිති.

විවාදය කාගෙද?

පාර්ලිමේන්තුවේ දී අද (06) පැවැති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කළ අතර එහි දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් දක්ණට ලැබුණි. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙහි දී අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වූහ. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ එම පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට තිබූ කාලය ද ලබාගනිමිනි. ඒ අනුව විවාදයේ දී අදහස් දක්වා තිබුණේ 11 දෙනකු පමණි.

මින් පෙනී යන්නේ හඬේ තරම ප්‍රාෙයා්ගිකව ක්‍රියා ෙනාකරන බවද?

අධිකරණයෙන් නොතීසි

විල්පත්තු වන රක්ෂිතය තුළ සිදු කෙරෙන විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම් නවතා දමන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය පරිසර ඇමැති ඇතුළු වගඋත්තරකරුවන්ට මාර්තු මස 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (06) නොතීසි නිකුත් කළේය. වන සත්ත්ව ආරක්ෂණ සංගමය සහ පරිසර පදනම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු සිව්දෙනකු නම් කරනු ලැබ ඇත.

අද රට මුහුණපා සිටින දරුණු නියඟ තත්ත්වයට මුළුමනින්ම හේතු වී ඇත්තේ පාරිසරික තත්ත්වයන් නොතකා ගණු ලබන වැරදි තීන්දු තීරණය. ඒවාට ඕනැ තරම් උදාහරණ පසුගිය කාලය පුරා දැකගත හැකි විය. එනිසා කිසියම් සංවර්ධන කටයුක්තක දී එය ස්වභාවික පරිසරයට උචිත ලෙස සිදු කිරීම වඩා යහපත්ය.

07 බදාදා

රන් බිස්කට්

යාපනය කන්කසන්තුරෙයි මුහුදු තීරයේ දී නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 3.7 ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මෙ පුද්ගලයින් ධිවර බොට්ටුවකින් රත්‍රන් ග්‍රෑම් 100 කැබලි 37 ක් වශයෙන් ඉතා සූක්ෂම ලෙස සඟවාගෙනයමින් සිටිය දී මෙලෙස හසු වී ඇත. කන්කසන්තුරය ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු සීමාවේ දී ඔවුන් නාවික හමුදා භාරයට පත් වූ අතර, එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 2 කට අධික බවට නාවික හමුදාව පවසයි.

මේ සිද්ධිය පිටුපස සිටින්නේ මොවුන් නොවන බව සහතිකය. එනිසා මෙහි නියම වග උත්තර කරුවන් කවුරුන්ද යන්න සොයාගෙන ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුය.

අත්හැරීම

මේ වන විට තමන් ගෙවමින් සිටින්නේ තම ජීවිත අවසන් සමය බව හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ.

අති උතුම් ශුද්ධෝත්තම හිටපු පාප්වහන්සේ යවා ඇති ලිපිය ඉතාලි පුවත්පතක පළ වී තිබුණ අතර තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන් විය.

සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේය. උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේ දී පාප් පදවියෙන් ඉවත් වූහ.

මෙරට තවමත් බලයට ඒමට සහ බලයේ රැඳී සිටින වයෝවෘද්ධ ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට පාප්වහන්සේ මහගු ආදර්ශයකි. ඔහු කිතුනුවකු වුවද අත්හැරීම මොනවට ප්‍රගුණ කර ඇති බෞද්ධයකු වැනිය.

අධි වේගය

අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්‍ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි.

දැනටමත් සවිකර ඇති මෙම වේග මාපක යන්ත්‍ර පද්ධතිය මෙම මස 14 වැනිදා සිට ක්‍රියාත්මක කරන අතර, එයින් වාහනවල වේගය නිරීක්‍ෂණය කරයි. මෙහි දී වේග සීමා උල්ලංඝනය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති ටැබ් හා මුද්‍රණ යන්ත්‍ර මඟින් ලබාදෙන අතර පහසුවෙන් වරද කරු හඳුනා ගැනීම සිදු වේ. මෙමගින් වාහන අංකය, නිරීක්‍ෂණ වේලාව මෙන්ම එම අවස්ථාවේ වේගය ද දැක්වෙන අතර රාත්‍රී කාලයේද මෙම නිරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

අධිවේගී මාර්ගවල සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27% ක් පමණ සිදුවනනේ අධික වේගයෙන් ධාවනය රථවාහන නිසාය. මේ තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පියවර ගැනීම ඉතාම කාලෝචිතය.

වන්දි ගෙවා අවසන්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවා අවසන් බව අද (7) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණි. මේ බව නීතිපතිවරයා දැනුම් දුන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම්වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය. නැවත මෙම පෙත්සම ලබන මාර්තු 28 වැනි දා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

අපූරු සූදු පොළ

කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු (බූරු) පොළක් වටලා සැකකරුවන් 36 දෙනකු සහ රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනකු, මානව හිමිකම් ආයතනයක පුද්ගලයකු, පුද්ගලික ආයතනයක විධායක නිළධාරියකු ඇතුළු විවිධ රැකියාවල නියුතු පුද්ගලයින් සිට තිබේ.

08 බ්‍රහස්පතින්දා

බිට් කොයින්

ඇත්තටම මොනවද මේ ක්‍රිප්ටෝ කරන්සි? මොනවද මේ බිට්කොයින්? මුල් කාලයේ දී සරළ ‘ඉන්ටර්නෙට් ගේම්’ හරහා ජයග්‍රහණය කළවිට Bit Coin කිහිපයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි. ලෝකයේ මුදල් වශයෙන් වැඩිපුර භාවිත කෙරෙන්නේ ඩොලර්, රුපියල්, යූරෝ වගේ ස්පර්ශ කළ හැකි (tangible) මුදල් වර්ග වේ. මූල්‍ය වෙළෙඳපො‍ළේ ඒවාට ඇති වටිනාකම ඒවා පදනම් වූ රටේ වත්කම් ප්‍රමාණය සාධක මත ද රැඳී පවතියි. Pay Pal, E Wallet වැනි ක්‍රමවේද හරහා ඩිජිටල් තාක්ෂණයෙන් මුදල් සංසරණය වූවත් ඒ හැම ක්‍රමයකදිම වන්නේ සාම්ප්‍රදායික මුදල්වලට ඩිජිටල් භාවයක් ලබාදීම පමණය.

නමුත් ‘ක්‍රිප්ටෝකරන්සි’ සම්පූර්ණයෙන්ම වෙනස් සංකල්පයකි. මේවා කිසිම සාම්ප්‍රදායික මුදල් වර්ගයක් සමඟ සෘජුව ගැටගැසී නැත. එමෙන්ම පවතින කිසිම රාජ්‍යයක් සමඟ සෘජු සම්බන්ධයක්ද නැත. තවද බහුතර ක්‍රිප්ටෝකරන්සි වර්ග සාම්ප්‍රාදායික බැංකු සමඟත් සෘජු සම්බන්ධයක් පවත්වන්නේද නැත. මින් පැහැදිලි වන්නේ ක්‍රිප්ටෝකරන්සි යනු සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය සංසරණ මාධ්‍යය කරගත් මුදල් ඒකක බවය. මේ අතරින් මුල්ම සහ ජනප්‍රියම මුදල් ඒකකය බිට් කොයින් නමින් හැඳින්වේ. මීට අමතරව එතූරියම්, රිපල් ඇතුළු ක්‍රිප්ටෝකරන්සි වර්ග විශාල සංඛ්‍යාවක් මේ වන විට බිහි වී ඇත. දවසින් දවස අලුතින් එකතු වෙමින්ද තිබේ.

අනාගත මූල්‍ය ලෝකය වෙනස් කරන තීරණාත්මක සාධකයක් බවට ක්‍රිප්ටෝ කරන්සීස් මේ වනවිටත් පත්වී අවසානය.

ඒ ගැන අදහස් දක්වන පීටර් තීල් (පේ පෑල් සම නිර්මාතෘ) පවසන්නේ “ 'Pay Pal නිර්මානය කරද් දී අපට අවශ්‍ය වුණෙත් නව මුදල් වර්ගයක් නිර්මාණය කරන්න. ඒත් අපි ඒකට අසමත් වුණා. බිට් කොයින්වලින් ඒ අභියෝගය ජය ගෙන තිබෙනවා. මුදල් ගෙවීම සම්බන්ධ තාක්ෂණික කාරණ ජය ගැනීම ඊට ඇති අභියෝගයයි” අනාගත ආර්ථික ලෝකයේ අපට ඇති අභියෝගය වන්නේ මේ කිසිවක් පිළිබඳව මේ රටේ ජනතාවට අවබෝධයක් නැතිකමය. තවම පෙට් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමටවත් නොදන්නා 65% පමණ මේ රටේ සිටිති. එසේ නම් නූතන ආර්ථික ලෝකය සමඟ අප සිටින්නේ කොතැනදැයි නිශ්චය කර ගැනීමට මෙය වුව ප්‍රමාණවත්ය.

09 සිකුරාදා

මතුයම් දවස

නොබෝදා සිය නිර්මාණකාය ඉතිරි කර භෞතිකව අප හැර ගිය ධර්මසේන පතිරාජ නම් යථාර්ථවාදී සිනමාකරුවාට උපහාර පිදීමක් වශයෙන් සහෝදර සිනමා කරුවන් එක්ව තරගනී සිනමා ශාලාවේ ඊයේ (8) ‘පති වත’ නමැති කෘතිය ජනගත කිරිමට කටයුතු කර තිබුණි. එහි දී පතිරාජගේ සිනමා සිතුවම් කිහිපයක් නැරඹීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබුණි. මෙහි විශේෂත්වය වන්නේ පතිරාජ විසින් නිර්මාණය කළ ‘මතුයම් දවස’සිනමා කෘතිය නැරඹීමට අවකාශ සලසා දී තිබීමය. 2001වසරේ තිරගත කෙරුණු මෙම චිත්‍රපටය වැඩි දිනක් ගෙවීයන්නට මත්තෙන් සිනමා ශාලාවලින් ඉවත් කෙරිණි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ ජනතාව ලෙස අප මුහුණ දී සිටින කටක යථාර්ථය ඉතාම නිවැරදිව චිත්‍රණය වී තිබිම යැයි සිතමි.

යහපාලනය අගයන රජයක් ලෙස කළ යුත්තේ නැවත මෙම සිතුවම මහජන ප්‍රදර්ශනයට මුදා හැරීමය. කිසිදු ගුණකථනයක්, ආගමික චාරිත්‍රයක් නොමැතිව අවසන් ගමන් ගිය අපගේ සහෘද කලාකරුවා වූ ආචාර්ය ධර්මසේන පතිරාජට ඒ හැර කළ හැකි වෙනත් ගෞරවයක් නොමැත.

නීතිය අකුරට

ත්‍රීරෝද රථවලට මීටර් සවිකිරීම අනිවාර්ය බවට පවතින නීතිය මාර්තු 01වෙනිදා සිට අකුරටම ක්‍රියාත්මක කරන බවත් පසුගියදා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මහින්ද කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේය. මීට අමතරව ප්‍රමිතියෙන් තොර හෙල්මට් ආදී ආරක්ෂික ආවරණ පිළිබදවද ශ්‍රි ලංකා ප්‍රමිති කාර්යංශය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය එළඹෙන 17 වෙනිදා සිට දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතය. මෙහි දී නිසි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ආයතන හා පිටරටින් ගෙන්වා අළෙවි කරන ආයතනවලට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කවර ආකාරයෙන් බැලුවද මෙය වටිනා පියවරකි. නමුත් අප වටහා ගත යුත්තේ මේ පිළිබදව නීතිය ක්‍රියා කිරීමට ප්‍රථම අපේ ආරක්ෂාව අප විසින් ම සලසා ගැනීම යහපත් බවය.

10 සෙනසුරාදා

ඡන්දය අදයි

නව මැතිවරණ ක්‍රමය යටතේ පවත් වනු ලබන පළමු මැතිවරණය මෙය වේ. ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන මෙම පළාත් පාලන මැතිවරණය සඳහා පළාත් පාලන ආයතන 341කට පත්විය යුතු සභිකයන් සංඛ්‍යාව ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා වැඩි වී ඇත. එය පළාත් පාලන මන්ත්‍රීවරු 3870කගේ වැඩිවීමකි. මෙතෙක් පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව ද 335 සිට 341 දක්වා වැඩි වී තිබේ. ඒ අලුතින් එක්වන පොලොන්නරුව මහ නගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා හේතුවෙනි. මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 335ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීම සඳහා ඡන්දය භාවිත කිරීමට ආසන්න වශයෙන් මිලියන 15.6 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි වාර්තාවේ.

අඳුර යුගය

යහපත් පුද්ගලයින්ට ඡන්දය ලබාදෙන්න යැයි සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිණි. සත්‍යයකි. මෙරටේ දේශපාලන බැඳීමකින් තොරව සිතන සැමගේ අදහස වී ඇත්තේ මෙවර මැතිවරණය යහපත් පුද්ගලයන් බලයට ගෙන එමින් රට මුහුණ දී තිබෙන අඳුරු යුගය නිමා කිරීමට හොඳ අරම්භයක් ලබා දිය හැකි බවය.

 රසික කොටුදුරගේ

Comments