අසාදු ලේඛනයෙන් ඉවත් වෙයි ද? | Page 2 | සිළුමිණ

අසාදු ලේඛනයෙන් ඉවත් වෙයි ද?

 11 - ඉරිදා

ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය

මැතිවරණයට ඉදිරිපත් වී ජයගත් කාන්තාවන්ට එරෙහිව විවිධ ප්‍රචණ්ඩත්වයන් මතු වෙමින් පවතින බව දිවයින පුරා නොයෙක් ප්‍රදේශවලින් වාර්තා වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය සඳහන් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල ලේකම්වරුන් සහ පොලිසිය දැනුවත් කළ බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා පැවැසීය.

මැතිවරණය අවසන් වූ ඊයේ (10) පස්වරු හතරෙන් පසු ගෙවී ගිය කාලයේ මැතිවරණයට අදාලව ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 26 ක් ලැබී ඇතැයි කී ගජනායක මහතා පෙළපාලි, පහර දීම් මෙන්ම රතිඤ්ඤා පත්තු කර නිවාස තුළට විසි කිරීමේ සිද්ධින් පිළිබඳ ද පැමිණිලි ඒ අතර ඇති බව ප්‍රකාශ කළේය. නාවලපිටියේ ද අර්බුදකාරි වාතාවරණයක් මතුව ඇතැයි වාර්තා වූ බව ද ඔහු කියා සිටියේය.

මහ මැතිවරණයක් ඕනෑ

වත්මන් පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ඊයේ (පෙබරවාරි 10) පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව අද බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබුණි.

ජයග්‍රහණයෙන් සතුට ඉයවහාගිය හිටපු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව පවා අමතකව ගිය සේයකි. පාර්ලිමේන්තු මැතිවරණයක් නැවත කැඳවිය හැක්කේ පවතින පාර්ලිමෙන්තුවේ කාලය අවසන් වීමෙන් පසුවය. නැති නම් පාර්ලිමෙන්වේ තුනෙන් දෙකක කැමැත්ත ඇතිව එය විසුරුවා හැරිය යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාටද හැකියාවක් නැත.එසේ නම් මෙය විසුළු කතාවකි. මන්ද එසේ වුවහොත් ඉදිරියේ දී පැවැත්වෙන නගර සභා මැතිවරණවලින් විපක්ෂයක් ජයගත් විට පවතින සෑම ආණ්ඩුවම විසිරුවා හැරීමට සිදුවන නිසාය.

12 - සඳුදා

අත්අඩංගුව

පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පනවා තිබූ නියෝගය.ලබන 28 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. ඒ ඩී.ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේ දී රජයේ මුදල් අවභාවිතා කිරීමට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොමිසම තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එය වළක්වන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

ජනතා මුදල් ගෝඨාභයට රිසි සේ වියපහැදම් කර මෙලෙස නීතිය ඉදිරියේ වරද කරුවකු නොවී සිටිය හැකි නම්, අපටද එෙලස මුදල් ප්‍රතිපාදන ලබා ගත හැකි ක්‍රමයක් ඇති කර නොදෙන්නේ මන්දැයි ජනතාව ප්‍රශ්න කර සිටිති.

ශ්‍රී ලංකන්ද? ඇමරිකන්ද?

ද්විත්ව පුරවැසිභාවය හිමි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නට සුදානම් දැයි විමසූ විට ඔහු පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය. එහෙත් මෙරට සමහරක් පුරවැසියන් සිතා සිටින්නේ රාජපක්ෂලා පියෝ ශ්‍රී ලංකන් පුරවැසියන් කියාය. නමුත් 2020 ජනාධිපති අපේක්ෂකයා වීමට සිහින මවන ගෝඨාභය රාජපක්ෂද තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඇතැම් විට ජනතාවගේ උද්යොගිමත් ප්‍රතිචාර ලබා ගනු පිණිස ඉදිරියේ දී ඔහු ඇමරිකානු පුරවැසි භාවය අත්හැරීමට ඉඩ ඇත.

13 - අඟරුවාදා

තනි ආණ්ඩුවක්

තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹෙමින් සිටින බව ජනාධිපතිවරයා සමඟ ඊයේ (12) රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවැති හමුවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයකු පවසා තිබුණි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහි දී තීරණයක් නොගැනුණු අතර, එවන් තීරණයක් ගැනීමට පළාත් පාලන මැතිවරණයේ දී 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නොමැති බවත්, එවැන්නක් තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් අදාළ සාකච්ඡාවේ නිගමනය වී තිබේ.

එසේ වුවත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු බීබීසී සිංහල සේවය පවසා තිබුණි.

තහනම ඉවතට

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හා රක්‌නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වරදකරුවන්ට පනවා තිබූ විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුණසිංහ මහතා ලබන මාර්තු මස 19 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ඉවත් කර තිබේ. ඒ පාලිත ප්‍රනාන්දු මහතාට මලල ක්‍රීඩා සංගමයේ කටයුතුවලට සහභාගී වීමටද, නිශ්ශංක සේනාධිපති මහතාට ප්‍රතිකාර ලබාගැනීමටද විදේශගත වීමට අවශ්‍ය බව ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

සාමයේ උලෙළ

දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළ හැඳින්වෙන්නේ ‘සාමයේ ඔලිම්පික් උලෙළ’ යන නමිනි. ඒ, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යහපත් සබඳතා ආරම්භ කිරීමට ක්‍රීඩා උලෙළ හේතුවක් වීමය. සීත ඔලිම්පික් උලෙළට තම රටට ඇරැයුම් කිරීමත්, තම රාජ්‍ය නියෝජිතයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සෙසු නිලධාරීන් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කිරීමත් සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප්‍රමුඛ රජයට ස්තුතිය පල කර ඇත. මේ සඳහා සහභාගි වීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රජය නිළධාරීන් පමණක් නොව, කිම් ජොන් උන්ගේ බාල නැගණිය කිම් යෝ ජොංග් දකුණු කොරියාවට පැමිණියාය.

උතුරු කොරියානු නායකයාගේ මෙම ප්‍රතිචාරය ලෝක සාමයට මෙන්ම ඇමරිකාවටද මහත් අස්වැසිල්ලකි.

14 - බදාදා

සමරු මුද්දරයක්

ගණිත විෂය සංවර්ධනය උදෙසා මහඟු සේවයක් සිදුකළ මහාචාර්ය ජේ. ඊ ජයසූරිය මහතාගේ සිය වන ජන්ම දිනය නිමිති කරගෙන සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් අද(14) නිකුත් කරන ලදී. එය මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂ එච්. වී. ඩී. අයි අබේවික්‍රම මහතා විසින් කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක හුනුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නා හිමියන් වෙත කොළඹ පදනම් ආයතනයේදි පිළිගැන්වූහ.

පිදිය යුත්තන් පුදනු ලැබීම වෙසෙස් කෘතගුණ දැක්වීමකි. එය වත්මන් පරපුරටද ආදර්ශයකි.

රහස් සාකච්ඡාවක්

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පත්විය යුත්තේ කවුරුන්දැයි තීරණය කිරීම සඳහා ලන්ඩන් නුවරට එක් රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන කිහිපයක දී මෙම සාකච්ඡා පවත්වා තිබේ. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මරණයෙන් පසු ඊට පත් විය යුත්තේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුවක් මතුවී තබෙන බව රොයිටර් පුවත් සේවය පවසයි. ඒ කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ලේකම්වරයා මෙම පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා කවුරුන්දැයි තීරණය කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වුණු බව පවසා සිටියේය.

නිලයේ බලය

ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව බමුණුත්තුව රක්ෂිතයෙන් බලපත් නොමැතිව රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව කපා ටැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අද (14) දින උතුරු මැද පාළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නිතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන පළාත් විශේෂ වැටලිම් අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව බලපත්‍ර නොමැතිව කලක් තිස්සේ බමුණුත්තුව දැව රක්ෂිතයේ ගස් කපා දමා ඇත. මෙසේ හොර රහසේ පටවන දැව ප්‍රදේශය පුරා දැව මඩුවලට මුදලට අලෙවි කරණ බවත්, මෙයට ඇතැම් බලධාරින් ගේ සහාය ලැබි ඇති බවත් පොලිසිය පවසයි.

ඉහළ නිලතලවල සිටින වුන් කොටිගණනික් ජනතා මුදල් හොරකම් කරන විට සෙසු සාමාජිකයින්ද ඒමඟ නොයා වෙන කුමන මඟක යන්නදැයි නොවැටහේ.

අගමැති නිමල්?

ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත්, අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති. නව ආණ්ඩුව පිහිටුවීමේ දී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇත. සම්මුතිය බිඳදමා කුලල්කාගත් විට අත්වන ඉරණම මෙය වේ. නමුත් ඉනිදු පාඩමක් ඉගෙන ගෙන නැති බව පෙනෙන්නට තිබේ.

ග්‍රෑන්ඩ්පාස්

අද දින (14) ග්‍රෑන්ඩ්පාස්හී පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත්දෙනකු මියගොස් තිබේ. ඒ අතර කාන්තාවන් තිදෙනකුද වන අතර තුවාල ලබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මේ වනවිට කොළඹ නගර සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව එහි සුන්බුන් අතර සිරවී සිටි පිරිස් මුදවා ගැනිමින් සිටියි. නියමිත ප්‍රමිතයට ගොඩනැගිලි ඉදිනොකළ විට අත්වන ඉරණම මෙය වේ. මීට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේද මෙවැනිම සිදු වීමක් වාර්තා විය. අදාළ බලධාරීන් මෙන්ම ක්‍රොන්ත්‍රාත් කරුද මීට වගකිව යුතුය.

රුපියල පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ගැනුම් මිල 152.97ක් දැක්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතවලට අනුව එක්සත් රාජධානයේ ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 218.84ක් ලෙසත් යුරෝවකට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 194.97ක් ලෙසත් දැක්විණි. රුපියලේ අගය මෙලෙස අවප්‍රමාණය වීම පළාත් පාලන මැතිවරණය නිසා ඇති වී තිබෙන අර්බුදකාරී දේශපාලන තත්ත්වය හේතුවී ඇතැයි වාර්තාවේ. වත්මන් දේශපාලන අවිනිශ්චිතතාව නිසා අපනයන ඩොලර් විකුණුම් අඩු වී ඇතැයි ද ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙරට තුළ දේශපාලන ස්ථාවර භාවයක් පෙන්නුම් කරන තුරු මේ තත්ත්වය දිගින් දිගටම පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

15 - බ්‍රහස්පතින්දා

ප්‍රගතිය සොයයි

2012 වසරේ නොවැම්බර් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් 27 දෙනකු මියයෑමට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට සහ රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ⁣මෙම සිද්ධිය ඇසින් දුටු සුදේශ් නන්දිමාල් නමැත්තා විසින් ගොනු කරනු ලැබ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය සිද්ධියට අදාළ රහස් පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය දන්වන්න යැයි අද (15) නීතිපතිට දැනුම් දුන්නේය. එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සෝදිසි මෙහෙයුමකින් මෙම ගැටුම ඇති වූ බව පෙත්සම්කරු කියා සි⁣ටිති. මෙහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, රහස් පොලීසි අධ්‍යක්ෂ, පොලිස්පති සහ බන්ධනාගාර ඇමැති ද නම් කරනු ලැබ සිටිති.

අසාදු ලේඛනය

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද ((15) දිනපැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව පැවැසීය.

මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ සඳහා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ ආසියා ශාන්තිකර සංවිධානය සමඟ කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදි තවදුරටත් පැවසිය.

අපරාධ නඩු පනත

අපරාධ නඩුවක දී ළමයකු ලෙස ගණන් ගන්නා වයස අවුරුදු 8 සිට 12 දක්වා ඉහළ නැංවීමේ විධිවිධාන ඇතුළත් කර 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. මීට අමතරව එවැනි නඩුවක දී වයස අවුරුදු 12ට වැඩ් එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් අවස්ථාවක දී චෝදනා ගොනු කරනු ලැබ ඇති වරද කිරීමේ බැරැරුම්කම තේරුම් ගැනීමට තරම් බුද්ධියක් ළමයාට තිබුනේද යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට තීරණය කළ හැකි ආකාරයේ විධ්විධානද ඊට ඇතුළත් කිරීමට නියමිතය.එවැනි අවස්ථාවක දී විද්‍යාත්මක පදනමක් මත අදාළ මතයට එළැඹීමට විශේෂඥ සහය ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි වන පිණිස ළමයා රජයේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කළ හැකිය. මෙය ඉතාමත් ප්‍රශස්ත පියවරකි.

නිතීය හා සාමය අත්හරී

නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් තවදුරටත් තමන්ට නොමැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට තමා දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්ෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය. ඒ මෙසේය,

“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත්, අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන ෙපෟද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙළා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා. ”

මෙය තම පක්ෂයේ අභිවෘද්ධය වෙනුවෙන් ක්‍රියාකරන නායකයකු වශයෙන් ඒ මහතා විසින් දෙනු ලැබූ වටිනා පූර්වාදර්ශයකි.

ලස්සන සර්පයා

ශ්‍රී ලංකාවේ ජීවත්වන සර්පයින් අතරින් ඉතාම ලස්සන මෙන් ම දුර්ලභම සර්පයා වන මල්සරා හෙවත් පොල්මල් කරවලෙකු පසුගියදා කුරුවිට තෙප්පනාව ප්‍රදේශයෙන් හමුවූ බව දෙහිවල සත්ත්ව උද්යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් මහතා පවසයි. ඉතා අඩු විසක් ඇති මෙම සර්පයා දුටු විගස මරා දැමීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව පවසන නිහාල් සෙනරත් මහතා ‘මල්සරා’ හොවත් පොල්මල් කරවලා’ මරා නොදමන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මල්සරා වැඩිපුරම ජීවත් වන්නේ ගස්වලය. කලබල වූ විට ඉතා කඩිසරව ගස්වලට මාරුවීම මල්රාගේ සිරිත ය. රතු පැහැයෙන් යුතු මල් සලකුණු තැඹිලිපාට හා කළු කුඩා කොටු වැනි සලකුණු පිටේ දිස්වේ. බඩපැත්ත ළා කොළ සහ ලා කහ පැහැයට හුරුය. මෙවැනි සර්පයකු දුටුව හොත් නොමරා නිදැල්ලේ යෑමට ඉඩසලසන මෙන් කාරණික ව ඉල්ලා සිටිමි.

16 - සිකුරාදා

එක්වෙන්නේ නෑ

ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමඟ එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ජ.වි.පෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.“අපේ ඡන්ද ප්‍රමාණය මහමැතිවරණයට සාපේක්ෂව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකින් වැඩිවි තිබෙනවා. අපට ඡන්දය දුන් සියලූ දෙනාගේ අරමුණ පවතින සමාජ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමයි. ඒ වගේම මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම ප්‍රතික්ෂේප කරන පිරිසක් තමයි අපිට ඡන්දය ලබාදුන්නේ. එසේ තිබිය දී අපිට වෙනත් පක්ෂයක් සමඟ එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නැහැ. අපි පළාත් පාලන ආයතන තුළදීත් ඉන් පිටතදිත් අපිට ඡන්දය දුන් ජනතාවට කිසිදා කණගාටුවන්නට කාරණා ඉතිරි නොවන පරිදි සැබෑ මහජන සේවකයන්ගේ කාර්යභාර්ය ඉටු කරනවා.

දැන් මේ කවුරු බලය පවත්වාගෙන ගියත් 2015 වෙනස කළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකරන්න ඔවුන්ට පුළුවන්කමක් නැහැ. ඒ අභිලාෂයන් ඉටුකළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ඒ වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයක් අපි ඉදිරියේ දී ගොඩනඟනවා යැයි ඒ මහතා පැවසීය.

කඩුලු 6ක ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහි දී පැවැති පළමු වැනි විස්සයි-20 තරගයේ දී කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරග දෙකකින් සමන්විත තරගාවලියේ දී 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටී. මෙහි දී බංග්ලාදේශය - ඕවර 20 ක දී කඩුලු 5 ක් දැවී 193 ලබාගත් අතර, ශ්‍රී ලංකාව - ඕවර 16.4 ක දී කඩුලු 4 ක් දැවී 194 රැස්කරමින් ජයග්‍රහණය තහවුරු කළේය.

නව ගොඩනැගිල්ලක්

පළමු වසරට ඇතුළත් කළ දිනයේ පටන් තාවකාලික මඩුවක අකුරු කළ දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ පළමු වසරේ සිසුන්ට දඹුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ප්‍රදේශයේ දානපතියකු සමඟ එක්ව මාසයක් ගතවීමට මත්තෙන් අලුත් ගොඩනැඟිල්ලක් ඉදිකර භාරදීම ඊයේ (15) සිදු කෙරිණි. මේ වසරේ ජනවාරි 15 වැනිදා 1 වසරට ඇතුළු වූ එම සිසුන් තාවකාලිකව ඉදිකරන ලද මඩුවකට ඇතුළත් කළ දුක්බර පුවත ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කර තිබිණි. මැති ඇමතිවරුන්ගේ මෙන්ම වගකිවයුතු බලධාරීන්ගේ කිසිදු අවධානයක් ඊට නතු නොවීම නිසා දෙමව්පියන් දැඩි අසරණ තාවයකට පත් වෙද් දී දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු සිදු කෙරිණි. මාතලේ පොලිස් අධිකාරි අයි. බී .ටී . සුගතපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පත් දායකත්වය ලබාදුන් ව්‍යාපාරික ටී. ජී. තුෂාර මහතා (ටජ්මහල් ටේලර් අධිපති) ඇතුළු ආරාධිත අමුත්තෝ පැමිණ උත්සවාකාරයෙන් පන්ති කාමරය කුඩා දරු දැරියන්ට ප්‍රදානය කළහ.

මාසයක් ගත වන පෙබරවාරි 15 වැනිදින අලුත් ගොඩනැගිල්ලට ඇතුළු වීමට හැකිවන පරිදි දඹුල්ල ප්‍රජා පොලිස් ඒකකය සිදුකළ මෙම සත්ක්‍රියාව මවුපියන්ගේ මෙන්ම රටේ සෑම දෙනකු ගේම ප්‍රශංසාවට පාත්‍රවිය යුතුය.

17 - සෙනසුරාදා

පළාත් සභා

සියලු පළාත් සභා සඳහා පළාත් පාලන මැතිවරණය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙය පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද නැතහොත් නව මිශ්‍ර ක්‍රමයට පවත්වන්නේද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද සභාපතිවරයා සඳහන් කළේය. මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී ඊයේ(16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෝටි 16ක කාරයක්

ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා ලෙසින් හැඳින්වෙන ධම්මික පෙරේරා මහතා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කර ඇතැයි වාර්තා වේ. ආනයන බදු ද ඇතුළත්ව මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් රුපියල් මිලියන 160ක් වන අතර දකුණු ආසියාවේ පුද්ගලයකු මෙවැනි මෝටර් රථයක් ආනයන කළ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.

එසේම අග්නිදිග ආසියාවේ හෝ මැද පෙරදිග කලාපයේ පුද්ගලයකු ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථයක් ආනයනය කළ පළමු අවස්ථාව මෙය විය හැකි බව ද පැවසේ. ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මෝටර් රථය එච්.ජේ. මුලිනර් සමාගම සහ බෙන්ට්ලි මෝටර් රථ සමාගම නිෂ්පාදනය කෙරූ සීමිත මෝටර් රථ වර්ගයකි.

මුලිනර් සමාගම ‘බෙන්ට්ලි මුල්සාන් හෝල්මාර්ක්’ මාදිලියේ මෝටර් රථ 50ක් නිෂ්පාදනය කර ඇති අතර එම මෝටර් රථ 50ම එකිනෙකට වෙනස් බව වාර්තා වේ.

රසික කොටුදුරගේ

Comments