බටහිර රටවල වැලන්ටයින් සමරන හැටි | Page 2 | සිළුමිණ

බටහිර රටවල වැලන්ටයින් සමරන හැටි

 වැලන්ටයින් දිනය අතීත රෝමයේ තිබූ ලූපකේලියා නමැති වාර්ෂික සෞඛ්‍ය සහ සරුබව වඩවාලීමේ උත්සවාංගයන්ට නෑකම් කියන්නක් බවට කෙලග් සහ කොක්ස් නමැති පර්යේෂකයන් සඳහන් කරන බව අන්තර්ජාල මුලාශ්‍ර සඳහන් කරනවා. මේ දිනය පසුකාලීනව ක්‍රිස්තියානිකරණය වීමෙන් පෙබරවාරි මැද දිනයකට ගෙන ආ නමුත් මේ දින නාමයේ කියැවෙන වැලන්ටයින් ස්වාමිවරයා කවුරුන්දැයි කියා පැහැදිලි සාක්ෂි නැහැ. ඒ නමින් බොහෝ සාමිවරුන් හිඳ තිබෙනවා. නමුත් එක් සාමිතුමෙක් දෙවන ක්ලෝඩියස් රජු යුද්ධයේ නාමයෙන් යෞවන රෝමානුවන්ට විවාහ වීමට තහනම් කොට තිබියදී රහසිගත විවාහයන් කරදීමෙන් මරණයට නියම කෙරුණා. මේ දිනය පෙබරවාරි 14 දිනට ගෙන ආවේ ජුලේසියස් පාප්තුමා විසින් පස්වන සියවසේදී යි. ක්‍රි.ව. 1300 පමණ වන තෙක් එම දිනය විශාල වශයෙන් සැමරුවේ නැතත් මේ දිනය යනු පක්ෂීන් කූඩු තනන්නට අරඹන දිනය ලෙසයි එකල වැසියන් විශ්වාස කළේ. මුල් කාලීන වැලන්ටයින් ලිපි 15වන සියවසෙන් හමුවන අතර බ්‍රිතාන්‍යයේ විශාල වශයෙන් වැලන්ටයින් කාඩ්, ලියුම් හුවමාරු කිරීම් 17වන සියවසේදී දකින්නට ලැබුණා. ක්‍රි.ව. 1840 වන විට මහා පරිමාණයෙන් වැලන්ටයින් කාඩ් සහ තෑගි අයිතම නිපැයෙන්නට පටන් ගත අතර එය අද වන තුරුත් ලෝ වටා ව්‍යාපාරිකයන්ට වසර ආරම්භය සහ මධ්‍යය අතර ඇති ආර්ථික හිඩැස පුරවා දෙන්නට මහත් සේවාවක් සපයනවා.

ලෝකයේ සෑම රටකම පෙම්වතුන් විසින් විශාල වශයෙන් සමරන මේ දිනයේදී බිලියනයක පමණ කාඩ් ප්‍රමාණයක් සංසරණය වන්නේ නත්තලට පමණක් දෙවැනි වෙමින්. බටහිර රටවල වැලන්ටයින් දිනය කියන්නේ සුභ පැතුම්පත් සහ මල්, පැණිරස හා වෙනත් තෑගි හුවමාරු කරගැනීමේ සහ ශෘංගාරාත්මක රාත්‍රී භෝජනවලට සහභාගී වීමේ විශේෂ දිනයක්. තනිකඩව සිටි අය දෙදෙනකු වන්නට මේ දිනය අතකොළුවක් කරගන්නා අතරේම පෙමින් බැඳී සිටියවුන් මංගල යෝජනා ඉදිරිපත් කරන්නට ද වැලන්ටයින් දිනය යොදා ගන්නවා. පෙරදිග රටවල ප්‍රේම සම්බන්ධතාව අරඹන්නේම විවාහ වීමේ අරමුණින් වුවත් බටහිර රටවල් ප්‍රේමයේ අනිත්‍යතාව දන්නා නිසාදෝ පෙමින් වෙළුණු ගමන් මංගල සීනු හඬවන්නේ නැහැ. සභ්‍යත්වය අතින් පෙරදිගට වඩා අඩුවුණත් ඔවුන් දිගු කාලයක් ළඟම මිතුරන් සේ ආශ්‍රය කිරීමෙන් අනතුරුවයි තම සිත්ගත් යුවතිය ඉදිරියේ දණගසා, මුද්දක් පිරිනමා විවාහ වන්නට කැමැත්ත විමසන්නේ. සෑම විටකදීම මෙය ඇයව පුදුම කරවන්නක් සේ සිදුකරන අතර ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දෙන තරුණයන්ගේ වීඩියෝ ද අන්තර්ජාලය පුරා ඕනෑතරම් තිබෙනවා. මෙවන් අකරතැබ්බයන්ගෙන් ගැලවෙන්නට ඇතැම් තරුණයන් තමා කළේ විහිළුවකැයි පෙන්වමින් සපත්තු ලේස් එක ගැටගසමින් ආඳා වාගේ ලිස්සා යන්නට ද සමත් වෙනවා. මංගල යෝජනා කරන්නට තරම් දුරදිග නොගිය සහ පෙමින් වෙලී මඳ කලක් ගතවූ අය රාත්‍රී භෝජනයන් සඳහා මුණ ගැසීම්, ත්‍යාග හුවමාරු කරගැනීම්, දුර සිටිනවා නම් මල් සහ කාඩ්පත් යැවීම් සිදු කරමින් තමන්ගේ ආදරය වෙනුවෙන් එය සැමරීමට දිනයක් ලෙස වෙන් කරගන්නවා.

මව්වරුන්ගේ දිනයටත් වඩා උත්කර්ෂවත්ව ලොව සැමරෙන වැලන්ටයින් දිනය අපේ රටේ නම් පියා නැති මව්වරුන්ව බිහි කරවන දිනයක් ලෙස ජයට සැමරෙනවා. පෙමින් බැඳී දින දෙකක් ගෙවී තිබුණ ද කුරුල්ලන්ට කූඩු හදන්නට හොඳ නම් අපට රූම්වලට යන්නට නොහැකිදැයි සිතන බාල වයස්කාරයන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්නට පෙම්වතියන්ට බල කරන්නේ ඔවුන් තම දේපළකැයි සිතමින්. ආදරය බිඳෙනවාට බයේ යුවතියන් ද පාපතරයන් හා යහන්ගත වන්නේ අනාගතයේ තමාට සිදුවන්නට යන දේවල් සහ තවත් අසරණ දරුවකුගේ ජීවිතයක් ද ආදරයේ නාමයෙන් උකස් කරමින්. කන්‍යාභාවය නොමැතිකම අගතියක් සේ සලකන සංස්කෘතියක් තුළ සැබෑ ආදරයෙන් යුතු අයෙක් කිසි දිනෙක විවාහ වනතෙක් බඹසර බිඳින්නේ නැති බව වටහා ගන්නට නොහැකි දැරිවියන් ද තමන්ගේ ද මෝදුවන ආසාවන්ට වහල්ව ජීවිතයම නාස්ති කරගන්නේ පිරිමි සංහතියටම වෛර බඳිමිනුයි.

මේ අතරේ විවාහ වන්නට ගෙදරින් ද කතා කරගෙන සිටින අය දණ ගසා මුද්දක් දී ඡායාරූප ගන්නා අතර පෙම්වතිය ද පුදුම වූවාක් සේ අපූරුවට රඟපානවා. වැලන්ටයින් දිනය වෙනත් රටවල අර්ථාන්විතව සැමරුවත් ලංකාවේ අප එය කරන්නේ හුදෙක් පොෂ් බව පෙන්වීමේ සහ සිතේ ආදරය නැතත්, ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් හරහා එවැන්නක් ඇතැයි රඟපා පෙන්වා යහළුවන්ගෙන් ලයික් ගැනීමටයි. සිහිවටනයක් සේ ඡායාරූප ගැනීම සහ ලොවට පුවත් ගෙන ඒම සඳහා ඡායාරූප ගැනීම යන දෙආකාරය මේ දිනයේ හොඳින් අන්තර්ජාලය පුරා දැකගැනීමට හැකිවෙනවා. මිත්‍ර යුවළක් මෙවන් දේ කරනවා නම් අප ඊටත් වඩා දෙයක් කළ යුතුයැයි සිතීම මිසක් ආදරයේ පවිත්‍රත්වයක් දකින්නට නැති අපේ වැලන්ටයින් දිනය වැලන්ටයින් සාමිවරයාගේ ජීවිත පරිත්‍යාගයටත් නිගාවක්. කොහොම නමුත් මේ හැමදේ බලා තැවෙන තනිකඩයන්ට නම් වැලන්ටයින් කියන්නේ අපූරු දිනයක්.

තඹරු විජේසේකර

Comments