
විවාහය යෞවනයේ සුන්දරතම අවස්ථාව බවට විවාදයක් නැත. පාසල් විය අවසන් කළ පසු අති බහුතරයක් තරුණ පිරිස සිහින මවන්නේ 'ලස්සන වෙඩිංඑකක්' ගැනීමටය. එතනින් එහාට පවුල් කන විදිහ ගැන එතරම් තැකීමක් නැති වුවද වෙඩිංඑක නම් ලස්සනට තිබිය යුතුමය.
මෙවැනි හීන ගැන අපේ විවේචනයක් නැත. ජීවිතවල සිහින තිබිය යුතුමය. වෙඩිංඑක පමණක් නොව එතනින් එහාට ජීවිතයද සුන්දර විය යුතුය. එහෙත් තරුණ තරුණියන්ගේ සුන්දර සිහින අතරට මාකටිං කාක්කන් රිංගාගෙන මඩිය තර කර ගන්නේ නම්, ඔවුන්ගේ සිහින අලෙවි කරන්නේ නම්, එවැනි තැන් ගැන අවදියෙන් සිටිය යුතුය.
අද වන විට අපේ රටේ බොහෝ දෙනකුගේ ආදායම් මාර්ගය වන්නේ වෙඩිංය. ඔවුන්ගේ ආදායම සරු වීමට නම් දෙදෙනෙක් විවාපත් විය යුතුමය. මේ විවාපත්වන ප්‍රමාණය වැඩි නම් අතමිට සරුය. ආදායම හොඳය. ඒ නිසා බිස්නස්එක බෙහෙවින් තරගකාරීය. බොහෝ ලාභ ලැබිය හැකි නිසාම ෆීල්ඩ්එකට එන පිරිසද වැඩිය. ඊට සාපේක්ෂව කසාද බඳින්නන් අඩුය. ඒ නිසාම පළමුවැනි විවාහය දික්කසාද වී දෙවැනි වර විවාහ වන විටද රටට ලෝකෙට පේන්න හොඳ වෙඩිංඑකක් ගැනීමේ සංස්කෘතියක්ද ක්‍රමයෙන් මතුව ආවේය. ඇතැම්විට මෙය තෙවැනි විවාහ උත්සවය දක්වාද ඇදගෙන යන්නට සමත් වූ අවස්ථා විය.
මෙසේ කිරීමට තරම් ලැජ්ජා බය නැති පිරිස සාපේක්ෂව අඩු නිසාදෝ පළමුවැනි වෙඩිංඑක තුළම බොහෝ දේ විකුණා ගැනීමට කටයුතු කිරීමට වෙඩිං කාක්කන්ට සිදුව තිබේ. විවාහ උත්සවය විහිළුවක් වන්නට පටන් ගන්නේ එතැන් සිටය.
අතීතයේ අපේ රටේ විවාහ සංස්කෘතිය ගැන අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. එක හිත ඇති බැවිනුන්, වංචාවක් කිරීමට හෝ වගකීම් පැහැර හැරීමට සිහිනෙකින් හෝ නොසිතූ බැවිනුත් නීති පොතේ සටහන් තැබීමක් අවශ්‍ය වූයේද නැත. ඉන්පසු පරම්පරාව සිහිවටනයක් ලෙස, දරු මුණුබුරන්ට ආදර්ශයක් ලෙස මගුල් දවසේ ඡායාරූපයක් ගෙන, රාමු කර හැමෝටම පෙනෙන ලෙස ගෙයි එළිපත්තට බසින තැන බිත්තියේ ඉහළින් එල්ලා තැබීමේ සංස්කෘතියක් විය.
මගුල් ෆොටෝ ගැනීම ලාබදායී ව්‍යපාරයක් බව වටහා ගත් පසු බිත්තියේ එල්ලූ ලොකු ෆොටෝඑක සමග ඡායාරූප ඇල්බමයක් පැමිණියේය. එයද ඉවසිය හැකිය. ඒ සියල්ල සිහිවටනය. නම්බුකාර විදිහට දීග ආ හැටි පරම්පරාවට පෙන්වන්නට අපූරුය. එහෙත් මේ ඡායාරූප ඇල්බමය ද එතනින් නැවතීමට සූදානම් වූයේ නැත.
ඇල්බම් එක එක විදිහට ආවේය. ඇතැම් එවා ඇල්බම් නොවේය. 'කතන්තර පොත්' ය. ඒ මදිවාට වීඩියෝ කරන්නටද කට්ටිය බිහි විය. මගුල් දවසේ සජීවී රූප රාමු සමග ඇද වැටුණු අවස්ථා, මනාලිය වඩාගෙන හති දමමින් වටේ කැරකුණු අවස්ථා, නහය කැසූ, හොටු හිරූ අවස්ථාද මේ වීඩියෝවට ඇතුළත් කර තිබිණ.
'වෙඩිං බිස්නස්එක' එතනින්ද නැවතුනේ නැත. මේ අලුත් ට්‍රෙන්ඩ්ස් බලා ගැනීමට තරම් වෙඩිංවලට ඉන්විටේෂන් ලැබෙන්නේ නැත. එහෙම වෙනඑක ගැන නම් අමනාපයක් නැත. නැතිනම් කරන්නට වන්නේ ඉතා අධික මිලක් වියදම් කර, ඇඳ පැලඳ, තෑගි බෝගද ගෙන ගොස් ඔහේ ඉඳගෙන ඉඳලා ගෙදර එන්නට සිදුවීමය.
එහෙත් මේ මිල අධික වෙඩිං බිස්නස් ගෙදර සාලයේ ඉඳගෙන, ඉතා සැප පහසුවට නොමිලේම බලා ගැනීමේ අවස්ථාව අපට අනේක විධ රූපවාහිනී නාලිකා මගින් උදා කර දී තිබෙන්නේය. සති අන්තයේ දවසක අහම්බෙන් හෝ රූපවාහිනිය ක්‍රියාත්මක කෙරුණහොත් මෙවැනි වැඩසටහන් පහ හයක්ම දැක ගැනීමට හැකිය. මේ ලියන්නට හිතුනේද එවැනි වැඩසටහන් දැකීමෙන් ඇති වූ විශ්මය නිසාමය.
පුදුම වූයේ අන් කිසිවකට නොවේය. මේ වෙඩිං බිස්නස්එක ගොස් ඇති දුර වැටහී යෑමෙන්ය.
දැන් මනාලියට සහ නහුතයක් පමණ කණ්ඩායමට ඇන්දවීමෙන් සහ ෆොටෝ, වීඩියෝවලින් වෙඩිං බිස්නස්එක බොහෝ දුර ගොස්ය. එය කොතරම් දුර ගොස් ඇතිදැයි කිව හොත් මගුල් දවසේ මනාලිය ඒක පුද්ගල රංගනයක් ඉදිරිපත් කරන්නීය. ඉන් පසුව මනාලයා සිය මිතුරන් සමග තවත් රංගනයක් ඉදිරිපත් කරන්නේය. මල් කුමර කුමරියෝ තවත් නැටුමක් නටති. ඉන් පසුව නටන්නේ සල්ලි දීලා ගෙන්වා ඇති නැටුම් කණ්ඩායම්ය. මනාලියගේ සහ මනාලයාගේ මව, පියා ඇතුළු ඥාති සනුහරය නටන්නේ අන්තිමටය.
කොටින්ම කිව හොත් අද කාලේ වෙඩිංඑකකට යෑම හරියට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ රීදී රැයක් බලනවා හා සමානය. රීදී රැයක්ද බලා සිටීමට අමාරුය. එමෙන්ම මේ වෙඩිං නැටුංද බලා සිටීම ලෙහෙසු පහසු ක්‍රියාවක් නොවේය.
මට දක්නට ලැබුණු එක් වෙඩිමක මනාලිය මාල හත සමග ඔසරියකින් සැරසී, මල් පොකුර පසෙක තබා, සබා මැදට පැමිණ වේගවත් ඒක පුද්ගල නර්තනයක නිතර වූවාය. ඇය වෙඩිම වෙනුවෙන්ම නටන්නට පුහුණු වන්නට ඇතැයි සිතුණු සිතිවිල්ල තහවුරු කළේ නම්‍යශීලී නොවූ මෙන්ම, නර්ථනය ගෑවී හෝ නැති ඇයගේ සිරුරය. ඒ බව රූපවාහිනිය බලා සිටි මට මෙන්ම තවත් බොහෝ දෙනාට වැටහෙන්නට ඇත. එමෙන්ම මේ නර්ථන අයිඩියාඑක ලබා දී පුහුණු කළවුන්ටද ඇස් නැතිවා වෙන්නට බැරිය. එහෙත් ඇය එයින් වළකන්නට කිසිවකු කටයුතු කර තිබුණේ නැත.
ගොං අං තට්ටුවක් පැලඳ පුටුවක හිඳ සිටි මනාලයා වටා කරකැවෙමින් නටමින් ගිය මිතුරන් පිරිසක් 'ළපටි කැකුළු නාඹර වස්සා' කසාද බඳින බව පැවසූහ. ගීතය අති සුන්දරය. එහෙත් තමන්ට 'නාඹර වස්සා' යැයි පවසා ගැනීමට දහස් ගණන් වියදම් කිරීමෙන්ම මනාලයා 'නාඹර වස්සකු' බව ඔප්පු විය.
දැන් වෙඩිං හෝල්වල හෙවත් උත්සව ශාලාවල අසුන් පනවන්නේම නැටීමට ඉඩ ප්‍රමාණවත් වන පරිදිය. උත්සවයට සහභාගී වන අමුත්තෝ කෑම වෙලාව එනතුරු මනාලියගේ හෝ මනාලයාගේ හෝ නැතිනම් සමස්ත කණ්ඩායමේ හෝ නැටුම් බලමින් සිටිති. නටන්නට බැරි යැයි බුද්ධිමත් ලෙස ස්වයං තක්සේරුවක නිරත වන මනාල මනාලියෝ ඒ වෙනුවෙන් මුදල් ගෙවා නැටුම් කණ්ඩායම් කැඳවති. එලෙස පැමිණෙන නැටුම් කණ්ඩායම් කරන්නේ උත්සවයේ සියලු දෙනාගේ අවධානය තමන් වෙත ලබා ගනිමින්, මනාල යුවළ දෙවැනි තැනට දමමින් නර්ථනයේ නිරත වීමය.
මීට අමතරව සෞභාග්‍යය සංඛේතවත් කරමින් රසායනික ද්‍රව්‍ය දමා උතුරුවන කිරි දහරාද වේ. මනාල යුවළ නොයෙක් අන්දමින් පෙනී සිටින ස්තුති පත්‍රිකාය. ඒ සේරටම වඩා වටින්නේ මංගල දිනයට පෙර ගන්නා අති විශාල මුදලක් වියදම් වන pre shoot හෙවත් පෙර ඡායාරූප ගැනීමය. ඒ වෙනුවෙන් ඇඳීමට ඇඳුම් හදා ගැනීමට මංගල ඇඳුමට වඩා වියදම් යන බව ප්‍රසිද්ධ කරුණකි. ඇතැම් දෙනා මේ වෙනුවෙන්ම පිට රටකටද යන්නේ තමන් පෙර ගත කළ ජීවිතය වඩා හොඳින් විද්‍යමාන කිරීමට වන්නට ඇත. එහෙත් pre shootඑකට හැර ඒ රටට මීට පෙර නොගිය අයද පෙර ජීවිතය විද්‍යමාන කිරීමට තැත් දැරීමද වෙනම කතාවකි.
මේ කතා සියල්ල අතරේ පැවසිය යුතු එක දෙයක් ඇත. එනම් තරුණ විය යනු ෆැෂන්, ට්‍රෙන්ඩ් සමග මෝඩකම් මෙන්ම නුවණක්කාරකම්ද එකසේ මිශ්‍රවන අවධියක් බවය. කර ඇත්තේ මෝඩකම්ද, නුවණක්කාරකම්ද යන්න තීරණය කරන්නේ මැදි විය හෝ මහලු වියය. එහෙත් ඉහත කී සියල්ල තරුණ විය හා සම්මිශ්ර වූයේ නැතිනම් ඒ තරුණ වියෙන්ද වැඩක් නැත.
මේ සියල්ල විවේචනාත්මක ස්වරයෙන් කීවද මේවා කරන්න එපා යැයි ඔබට කියන්නේ නැත. හැබැයි එක දෙයක් නම් කිව යුතුය. වෙඩිංඑක දවසේ නටන්නට හිතනවා නම් තමන් ගැන ස්වයං විවේචනයක් පවත්වා ගැනීම යහපත්ය. එහෙම බැරි නම් කල් තියා පුරුදු වීම පසුකාලීනව ඇති විය හැකි මරණීය ලැජ්ජාවකින් ඔබව ගලවා ගනු ඇත.
ටිරෝනි වෑවලගේ