කෝච්චිය ඇල්ලීම | සිළුමිණ

කෝච්චිය ඇල්ලීම

රූපසිංහ මාමා අපේ ගමේ සිටි ලංගම රියැදුරෙකි. ක්‍රේල් කොණ්ඩයත්, ගිනකූරු කට් රැවුලත්, ප්‍රසන්න සිනහවත් නිසා ඔහුට වූයේ ආකර්ෂණීය පෙනුමකි. විනෝදයට බර, සමාජශීලී ඔහුගේ එකම අඩුපාඩුව වූයේ සුරාවට ලොල් වීම පමණි.

සවස හයට සේවය නිමවී‍ෙමන් පසු බසය උඩහ හන්දියේ නතර කරන ඔහු සුපුරුදු තිප්පොළට ගොඩවී හීන් අඩියකින් සප්පායම් වෙමින් අනික් රියැදුරු මිතුරන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදේ. ඉන්පසු මහගිරිදඹේ වැනි පඩිපෙළ නගිමින් උස් කඳු මුදුනක පිහිටි ඔහුගේ නිවෙසට ළඟා වෙයි. මොන තරම් රෑ බෝවී ගෙදර ගියත්, පහුවදා පාන්දර පහයි කාලට බදුල්ල බලා ගමන් කරන බසය ගෙන යෑමට වෙලාවට එන්නට ඔහු වගබලා ගත්තේය. නිවෙසට ළඟා වන රූපසිංහ මාමා දරුවන් සමඟ කතා බහේ යෙදේ. මසක් මාළුවක් ගෙන ගිය දවසට ඔහු කුස්සිය බාර ගනි. බිරියට වඩා රසට උයන්නට ඔහුට හැකියාව තිබුණි.

එක් දිනක් ගමේ මඟුල් ගෙයකට සහභාගි වූ රූපසිංහ මාමා වෙනදාට වඩා වැඩියෙන් සප්පායම් විය. මොන තරම් වෙරි මත තිබුණත් රෑ දොළහට හෝ ගෙදර යෑමට ඔහු පුරුදුව සිටියේය. එදිනත් වැටෙමින් නැගිටිමින් මහ රෑ දොළහට පෙර ගෙදර යෑමට ඔහුට හැකි විය.

පාන්දර පහයි දහය වන විට කඩමණ්ඩියට එන රූපසිංහ මාමාට එදා ටිකක් වැඩිපුර නින්ද ගිය නිසා වෙලාවට එන්නට නොහැකි විය. පහයි කාලත් පසු වූ බැවින්, කොන්දොස්තර, රූපසිංහ මාමා සොයාගෙන මඟට ගියේය. උස් පඩිපෙළේ මඳ දුරක් යන විට, රූපසිංහ මාමා පහළට එමින් සිටියේය.

“මොකද මාමා පරක්කු? දැන් වෙලාව කීයද?” කොන්දොස්තර නොරිස්සුම් හඬින් ඇසීය.

“කට වහගෙන යමන්! මමනෙ බස් එක අරන් යන්නේ...” කී රූපසිංහ මාමා බසයට නැඟ එය පණ ගන්වා ගෙන ඉබි ගමනින් ඉදිරියට ඇදුණේ තවමත් පහව නොගිය වෙරිමත නිසාය. ඒ දිනවල මේ බසය දුම්රියපොළ හරහා ගමන් කළේ බණ්ඩාරවෙල, හපුතලේ ආදී ප්‍රදේශවල සේවය කළ රජයේ නිලධාරීන් මේ බසයේ ගමන් කිරීම නිසාය. එදා නම් රූපසිංහ මාමාට වෙලාවට දුම්රියපොළට යා ගන්නට නොහැකි විය. දුම්රිය පොළට හැරෙන යකඩ පාලම උඩින් බසය ගමන් කරද්දී, මගීන් දුටුවේ දුම්රිය පොළින් පිටත්ව ඉදිරියට ඇදෙන දුම්රියයි. එය දුටු රූපසිංහ මාමා මහ හඬින් බසයේ නලාව හැඬවූයේ දුම්රිය නතර කිරීමටය. කොන්දොස්තර හා මගීන් සිනහව නවත්වා ගත්තේ දැඩි උත්සාහයකිනි.

ආනන්ද සරත් ගුණසේන
කන්දෙගෙදර

Comments