
අධ්‍යාපන අමාත්‍යංශය වහාම ක්‍රියාත්මකවන පරිදි බැහැරගත ක්‍රියාශීලී පුහුණු වැඩසටහන් නතර කර තිබේ. පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා බව දක්වා ඇත. එම තීරණයට හේතුව බැහැරගත පුහුණුවක් අතරතුර විදුහල්පතිනියක මිය යෑමය. ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරයේ විධායක අධ්‍යක්ෂක චරිත රත්වත්ත මහතා නිවේදනයක් නිකුත් කළේය. සිද්ධිය ගැන කණගාටුව පළ කළ අතර තම ආයතනයේ සම්බන්ධයක් නැති බව කියා සිටියේය. චරිත රත්වත්ත මහතා තම ආයතනය ගැන සඳහන් කරමින් කියා සිටියේ ‘‘ලාභ නොලබන ආයතනයක් වශයෙන් 1988 වසරේ සිට සිය බැහැරගත පුහුණුව පවත්වාගෙන යන අතර ප්‍රමිතිය හා ආරක්ෂාව වෙනුවෙන් මුල් තැනක් දී ඇති’’ බවය. අවදානමට මුහුණ දෙන ආකාරය පමණක් නොව ආරක්ෂාකාරීව අභියෝගාත්මත අවස්ථාවකදී හැසිරෙන අන්දම සිය පුහුණුවේදී වැදගත් සාධකයක් සේ සලකන බවද ඔහු අවධාරණය කළේය.
අවිධිමත් පුහුණු ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් රට පුරා තිබේ. ඒවා අභියෝගාත්මක වැඩසටහන් හඳුන්වා දෙන අතර රජයේ හා පුද්ගලික අංශයේ විවිධ ආයතන හා සමාගම් සිය කාර්ය මණ්ඩලය මේවායේ පුහුණුවට යොමු කරමින් සිටී. බැහැරගත ක්‍රියාශීලී පුහුණුව සඳහා ආයතනයක් තෝරා ගැනීමට කලින් අධ්‍යයනය නොකිරීම බරපතල තත්ත්ව ඇති කර තිබේ. පුහුණු භාරකාරයේ උපදේශක සිරිල් ද සිල්වා මහතාට අනුව ‘‘පසුගිය දශක තුන තුළ මෙරට හා පිටරට පුහුණු අවස්ථා 850 ක් සංවිධානය කර තිබේ. ඒවාට රාජ්‍ය, පුද්ගලික ආයතනන හා දෙස් විදෙස් රාජ්‍ය නොවන ආයතනවල හතළිස් දහසකට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර එම කිසිම අවස්ථාවක අනතුරක් වාර්තා වී නැත.’’
මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන නිතිපතා කාර්යාලවලින් බැහැර පුහුණු වැඩසටහන් පවත්වයි. ඒවායේ දී සිදුවන අනතුරුවලින් අවාසනාවන්ත සිද්ධීන් වාර්තා වෙයි. මෙයට කලින් ද විදුහල්පතිවරයකු ජීවිතක්ෂයට පත්විය. මෙම සිද්ධි හෙයින් බැහැරගත ක්රියාශීලීත්ව පුහුණුව නොකළ යුතු දෙයක් යැයි ආකල්පයක් සමාජයේ වර්ධනය වෙමින් පවතී.
රාජකාරී ජීවිතය තුළ එදිනදා කටයුතුවලට බැහැර පැවැත්මක් තිබිය යුතු බව ජාත්‍යන්තර පිළිගැනීමයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය ස්වභාවය අනුව කාර්යාලය ජීවිතය සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. නිසි ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යන්නට අපොහොසත්ය. මානසික පීඩනය බරපතළ තත්ත්ව ඇති කර තිබේ. ආරම්භයක් වශයෙන් වසරකට වතාවක් හෝ ක්‍රියාශීලී පුහුණුව අවශ්‍ය බව ප්‍රතිපත්ති සම්පාදකයන් තීරණය කර ඇත. බැහරගත ක්‍රියාශීලී වැඩ සටහනකින් ලැබෙන ප්‍රතිඵලය උසස් නමුත් එය නිසි ප්‍රමිතියක් රහිතව පැවැත්වීම ගැටලුවක් බව පැහැදිලිය.
බැහැරගත ක්‍රියාශීලී පුහුණුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විශාල පිළිගැනීමක් තිබේ. එම සංකල්පවලට දීර්ඝ ඉතිහාසයක් ද ඇත. ජර්මන් ජාතිකයකු වන ක්වාට් මැතිව් රොබට් මෙම සංකල්පයේ නිර්මාතෘ වශයෙන් සැලකෙයි. ඔහු 1930 වසරේ දී ස්කොට්ලන්තයේ දී එයට මුල පිරීය. දරුවන් දෙදෙනකු ගේ සහභාගීත්වයෙන් විශේෂ පාසලක් අරඹන අතර එයට දිවීම පැනීම හා විසි කිරීම යන ඉසව් ඇතුළත්කර ඇත. පන්ති කාමරයෙන් එපිට දී පරිසරයේ ඇති අභියෝග ජයගෙන ජීවත්වන අන්දම හදාගන්නට එයින් අවකාශයක් සැපයීය.
කාලයකට පසු වේල්සයට පැමිණි හෙතෙම බ්‍රිතාන්‍ය නාවිකයකු වූ ශ්‍රීමත් ලෝරන්ස් හොල්ට් සමඟ සම්බන්ධ වී නියමිත පටිපාටියකට අනුව පුහුණු වැඩසටහන් ඇරඹූ අතර නාවික අත්දැකීම් පරිසරය හා මුහු කරන ලද වැඩ සටහනක් නිර්මාණය කළේය. දෙවන ලෝක යුද්ධය කාලයේ දී ආරක්ෂාවීමේ උවමනාව සහිත අයගේ අවධානය මෙම පුහුණුව කෙරෙහි නතු විය. යුද කාල පරිච්ඡේදය අවසන් වන විට කාර්යාල පරිසරයෙන් එපිට දී අභියෝගාත්මක අවස්ථාවල හැසිරෙන අන්දම හා තීරණ ගැනීමේ දී පුද්ගලයන් සතු දක්ෂතා වර්ධනය කරන ආකාරය ට බැහැරගත පුහුණුව සැලසුම් කළේය. එය අද ලෝකය පුරා පැතිරී තිබේ. වර්තමානයේ ලෝකයේ රටවල් තිස් තුනක ක්‍රියාත්මකය. ශ්‍රී ලංකා බැහැරගත ක්‍රියාශීලී පුහුණු භාරකාරය එහි එක පාර්ශවයකි. ලාභ නොලබන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යන අතර 1988 වසරේ සිට එහි පුහුණු වැඩ සටහන් කරගෙන යයි. වාර්ෂිකව ඇමරිකානු ඩොලර් පන් දහසක සාමාජික ගාස්තුවක් ගෙවා වසර දෙකකට වතාවක් ජාත්‍යන්තර ආයතනයේ අධීක්ෂණයට හා විගණනයට යටත්ව පුහුණු වැඩසටහන් පවත්වයි. දෙවසරකට වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ආයතනයේ නියෝජිතයෝ පුහුණුව එහි මෙවලම් හා පුහුණු වැඩසටහන අධීක්ෂණය කර සහතික කරන අතර ජාත්‍යන්තර පුහුණු ශිල්ප ක්‍රම ද හඳුන්වා දෙති. බැහැරගත ක්‍රියාශීලී ජාත්‍යන්තර වැඩ සටහනේ ප්‍රමිතිය අනුව වැඩසටහන් පවත්වාගෙන යන්නට අසමත් සංවිධාන යම් ප්‍රමාණයක් රට පුරා ක්‍රියාකාරකම් පවත්වයි. එම සංවිධාන අනුගමනය කරන අවදානමක් විය හැකි පුහුණුක්‍රම ගැටලු ඇති කර තිබේ.
ශ්‍රී ලංකාවේ බැහැරගත ක්‍රියාශීලී වැඩසටහන්වලට ඉල්ලුමක් ඇති වෙන්නේ ඇයි? එය සලකා බැලිය යුතු වැදගත් පැත්තකි. දල වශයෙන් මෙරට සෑම පුද්ගලයෙකුම අවුරුද්දකට හය වතාවක් රෝහල් ගත වෙයි. බෝ නොවෙන රෝග වැළඳීම පැතිරගොස් තිබේ. මෙරට සෞඛ්‍ය වාර්තා අනුව මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් සියයට හැත්තෑවක් බෝ නොවෙන රෝග හේතුවෙන් සිදුවෙයි. හෘද, පිලිකා, වකුගඩු හා දියවැඩියා තත්ත්ව එයට බලපා ඇති අතර සිදුවන මරණවල දී තරුණ හා මැදිවියේ පිරිස ගේ ජීවිත අහිමිවීම බරපතල තත්ත්වයක් වී තිබේ. රෝහල් ගතවීමේ දී දරන්නට සිදුවන පිරිවැය වලකා ගැනීමේ පියවරක් වශයෙන් ඇතැම් සමාගම් ක්‍රියාශීලී ජීවිතවලට සිය කාර්ය මණ්ඩලය හුරු කිරීම සඳහා බැහැරගත ක්රියාශීලීත්ව පුහුණුව උපයෝගී කරගන්නා අතර එය නිසි ප්‍රමිතියක් රහිත සුදුසුකම් සහිත උපදේශකයන් හා ගලවා ගැනීමේ කණ්ඩායම් නොමැතිව කරන වැඩසටහන්වල දී හදිසි අනතුරුවලට මුහුණ පෑමට සිදුවීම අභාග්‍යයකි.
ලෝක බැංකුව 2011 වසරේ දී ශ්‍රී ලංකාවේ බෝ නොවෙන රෝග වලකා ගැනීමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.25 ක ණය මුදලක් නිකුත් කර ඇත. එයින් රට තුළ එකිනෙකට වෙනස් ව්‍යාපෘති 17 ක් පවත්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය දක්වයි. ලෝක බැංකුවට අනුබද්ධ තවත් මූල්‍ය ව්‍යාපෘතියක් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 144 ක ණයක් මෙරටට ලබා දී ඇති අතර එයින් බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා වන විශේෂ ව්‍යාපෘති දහයක් බලගන්වා තිබේ. පාසල් සහ කාර්යාල මට්ටමින් ශරීර සුවතාවය පවත්වාගැනීම අරමුණු කරගෙන විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර ඒවායේ අවසාන අරමුණ නිරෝගී ජනතාවක් බිහිකිරීමය. බෝ නොවන රෝග හැකිතාක් වලකාගැනීමය. ශරීර සුවතාව හා ව්‍යායාම ආශි‍්‍රතව අලුත් වෙළඳපොළක් බිහිව ඇති අතර බැහැරගත ක්‍රියාශීලී පුහුණුව පමණක් නොව නගර මට්ටමින් ව්‍යායාම මධ්‍යස්ථාන ද බිහි වෙමින් තිබේ. මේවායේ පවැත්ම හා ව්‍යායාම අතරතුර හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණ දෙන ආකාරය අවධානයට යොමු කරන්නේ නැත. බැහැරගත ක්‍රියාකාරීත්ව පුහුණුව ඉතා වැදගත් නමුත් එය භීතියක් ඇති කරන ඉසව්වක් විය යුතු නැත. ප්‍රමිතිය වැදගත්ය. ජාත්‍යන්තර අනුකූලතා, නිසි ලියාපදිංචිය සහ වෛද්‍ය නිර්දේශය රහිතව වැඩසටහන් පැවැත්වීම නතර කිරීමට පියවර ගත යුතුය.
ගාමිණී සරත් ගොඩකන්ද