ඔය හැම පිම්මක්ම එදා ඉස්සෙල්ලාම පැන්නේ අපි | සිළුමිණ

ඔය හැම පිම්මක්ම එදා ඉස්සෙල්ලාම පැන්නේ අපි

* මුලින්ම ඉන්දියාවේ පුහුණුවට යද්දී පැරෂුට් පිමි ගැන කිසිම දෙයක් දැන සිටියේ නැහැ.
* දැන් හැමෝම අප අමතක කරලා. අපේ දැනුමෙන් වැඩක් ගන්නේ නෑ

නිදහස් උලෙළ දා පැරෂුට් විරුවන් ගුවනේ විස්කම් දක්වද්දී දෙනෝදාහක් දෙනා දෑස් අයා බලා සිටියේ විස්මයෙන් හා භීතියෙන් ද යුතුවය. එදා එලෙස විස්කම් නැරැඹූ බොහෝ දෙනකුට එම සන්දර්ශනය තවත් එක් අපූරු අවස්ථාවක් වුවද අප මේ කතා කිරීමට යන වීරයාට එය සැබැවින්ම අතීත අනුස්මරණයක් වූයේය. අද තරම් පහසුකම් නොතිබූ එකල ගුවනේ සිට පැරෂුටයකින් බිමට පිනූ ඒ පළමු පිම්ම ඔහු සිහිපත් කළේ සිත්හි උපන් ආඩම්බරය ද සමඟිනි.

කොමාන්ඩෝ බළකායේ හිටපු කපිතන්වරයකු වන ඔහු එච්. එම්. සුමින්දය. මෙරටින් බිහිවූ ප්‍රථම නිදහස්ආර පැරෂුට් කණ්ඩායමේ සාමාජිකයකු වූ මින් විසි හය වසරකට පෙර තමන් ඇතුළු කණ්ඩායමක් ප්‍රථම වරට ගුවනේ පෑ පෙළහර ගැන අප හා කතා බහ කළේය.

“ඇත්තටම මෙදා අපේ පැරෂුට් ජම්පස්ලා පෑ විස්කම් ගැන අපට පුදුම සන්තෝසයක් තියෙන්නෙ. මොකද මේ හැම පිම්මකම ආරම්භය අපෙන්.”

මේ වන විට හමුදා සේවයෙන් ඉසිඹු ලැබ ගම්පොළ ප්‍රදේශයේ වෙසෙන 56 හැවිරිදි හිටපු කපිතන්වරයා ඇතුළුව මෑතකදී ඔස්ට්‍රේලියාවේදී මියගිය මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර, කපිතන් එල්. ආර්. ඥානතිලක, සාජන් මේජර් ජේ. එම්. රම්බණ්ඩා සහ සාජන් එච්. එම්. එන්. ගුණරත්න යන පිරිස මෙරටින් බිහිවූ ප්‍රථම නිදහස්ආර පැරෂුට් කණ්ඩායම වෙයි. 1989 පෙබරවාරි 26 දා සිට ඉන්දියාවේ අග්‍රාහි පැරෂුට් පුහුණු පාසලෙන් මාස 3ක පුහුණුවක් ලැබූ ඔවුහු එම පුහුණුවට යාමට පෙර නිදහස්ආර පැරෂුට් පිම්ම ගැන කිසිදු අත්දැකීමක් ලැබ නොසිටියහ.

“අප ඉන්දියාවෙදි ලබන්න නියමිත ඒ භයානක පුහුණුව ගැන මුලදි ගෙවල්වලට වචනයක්වත් කිව්වෙ නෑ. කිව්වනම් බය වෙනවනේ. ඒක අමුතු අත්දැකීමක්... අපි ඔය පුහුණුවට යනකොට ඒ ගැන කිසිම දැනීමක් තිබුණේ නැහැ. ඇමෙරිකාවෙදි පෞද්ගලිකව මේ පිම්ම හදාරපු මේජර් චන්ද්‍රසේන පොඩි පොඩි උපදෙස් ටිකක් දුන්නා. කොහොමහරි තෝරගත්තට පුදුම චකිතයක්, තිගැස්මක් තිබුණේ... මේ පිම්ම කොහොම පිම්මක්ද කියන එක ගැන... අපි පස්දෙනාට අමතරව ඉන්දීය ජාතිකයන් හැටක් විතර හිටියා. මුල් මාස දෙකේම තිබුණේ ග්‍රවුන්ඩ් ට්‍රේනින්. අවසන් මාසේ තමයි ජම්ප් දැම්මේ. මුලින් මූලික පැරෂුට් පිමි පහක් විතර කළා. ඊට පස්සෙ තමයි මුලින්ම අඩි 4500න් නිදහස්ආර පිම්ම පනින්න පටන්ගත්තෙ. එහෙම පටන් අරන් අඩි 12000 දක්වා උසක සිට අපි පිමි 30ක් ඒ දවස් ටිකට පැන්නා.

සාමාන්‍යයෙන් පිමි තිහක් පැනීමෙන් පසුවයි නිදහස්ආර බැජය අපට දෙන්නෙ. අඩි 12000න් දාපු ජම්ප් එක ඇවිල්ලා තනිකරම යුදමය පිම්මක්. ඒ කියන්නෙ යුද්ධයේදී සතුරු භූමියට කඩා පනින විට අත්‍යවශ්‍ය තුවක්කුව ඇතුළු සියලුම උපකරණත් රැගෙනයි ඒ පිම්ම පැන්නෙ. ඒකට කියන්නෙ ඉක්විප්මන්ට් පිම්මක් කියලා. පැරෂුට් එක තනිකරම මිලිටරි. අපේ පුහුණුව බාරව හිටියේ ඉන්දීය ගුවන් හමුදාවේ ස්කෝඩ්‍රන් ලීඩර් වී. පී. ලාල්. පුහුණු කළේ වොරන්ට් ඔෆිසර් එස්. එස්. යදා.”

එදා ඉන්දියාවට ගොස් ලද ඒ පුහුණුව ඔවුන්ට අලුත්ම අත්දැකීමක් වූයේය.

“කොටින්ම කිව්වොත් පුදුම ත්‍රාසජනක බියක් ඇතිවුණේ. අඩි හාරපන්දාහක උඩ ඉඳලා අධික වේගයකින් යන ගුවන් යානයකින් පනිනවා කියන්නෙ හිතාගන්න පුළුවන්නෙ... දැන් ඉන්න ළමයින්ටනම් ඒ දේ හොඳින් දැකලා පුරුදු පුහුණු වෙන්න ඕනෑ තරම් ක්‍රම සහ විධි තියෙනවා. ඒ කාලේ මේ වගේ කිසිම තාක්ෂණික දියුණුවකුත් නැහැනේ. ඒ කාලේ අපිට වීඩියෝවක්වත් නිසියාකාරව බලන්න ක්‍රමයක් නැහැ. අදනම් සෙල් ෆෝන් එකෙනුත් පුළුවන් ලෝකේ ඕනෑම දෙයක් බලන්න. හැබැයි අපිට පුදුම අභිමානයක් තිබුණා මේ පුහුණුව ලබන මුල්ම ශ්‍රී ලාංකිකයන් පස‍්දෙනා අපිනේ කියලා. එයාර්ක්‍රාෆ්ට් එකේ ඉද්දි. ලොකු තිගැස්මක් තිබුණේ. නමුත් ගුවනට මුසු වූවාට පසුව අමුතුම ලෝකෙකට ගියා වගේ දැනුණේ. අපිට ඉන්දියාවෙන් ඉතා විශිෂ්ට පුහුණුවක් ලැබුණේ. කර්නල් සූරියබණ්ඩාර අපි සියලු දෙනා වෙනුවෙන් ලොකු දෙයක් කළා. ඔහු පැරෂුට් පිළිබඳ නියම දක්ෂයෙක්.”

දහස් ගණනක් වන මෙරට හමුදා විරුවන් අතරින් ඔවුන් පස්දෙනා පැරෂුට් පුහුණව සඳහා තෝරා ගනු ලැබ ඇත්තේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පැවැත්වූ සරඹ පරීක්ෂණයකිනි. ඔවුන්ට අමතරව නිලධාරියකු ද තෝරා ගනු ලැබිණ.

මෙරට පැරෂුට් විරුවන් ප්‍රථම වතාවට නිදහස් උලෙළකදී පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කරමින් 1992 වසරේදී ඛෙත්තාරම ක්‍රීඩාංගණයේදී පෑ පෙළහර ගැන එසමයෙහි බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. එදා ඔවුන් පස්දෙනාට අමතරව මේජර් එන්. ජී. චන්ද්‍රසේන, තවමත් සක්‍රීය හමුදා සේවයේ සිටින මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහ කෝප්‍රල් දහනායක යන තිදෙනාද එම සංදර්ශනයට එක්වූහ.

“පෙර පැවැති නිදහස් උලෙළවලදී පැරෂුට් පැන්නෙ ඉන්දීය, පාකිස්තාන, සිංගප්පූරු, මැලේසියන් ජාතිකයෝ. ඉතින් අපිටත් දැඩි අවශ්‍යතාවක් තිබුණා අපේ දක්ෂතා පෙන්වන්න. නමුත් අපි පුරුදු වෙලා ආවට වැඩක් වුණේ නෑ පනින්න පැරෂුට් තිබුණේ නෑ. ඊට පස්සෙ පැරෂුට් අටක් ඇමෙරිකාවෙන් ගෙන්නුවා. එදා මායි, කර්නල් සුරියබණ්ඩාරයි, ජෙනරල් ධර්මරත්නයි තමයි ලංකාවේ මුලින්ම ඉණිමගක ආකාරයේ රටාවක් (CRW) මවමින් පොළෝ තලයට පතිත වුණේ. පාකිස්තානයෙන් ආපු උපදේශකයන් දෙදෙ­‍නකු වූ මේජර් කෝසා සහ සාජන් ෆරුක් තමයි අපිට ඔය සීආර්ඩබ්ලිව් සහ බීආර්ඩබ්ලිව් කියන පැරෂුට් ශෛලින් දෙක ඉගැන්වූවේ.”

එදින පිනූ එම පිම්ම දුටු එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා පැරෂුට් කණ්ඩායම කැඳවා ‘රජ මුහුණ’ නමැති සමරු තිළිණයක්ද පිරි නමා ඇත්තේය.

මේ ත්‍රාසජනක ක්‍රීඩාවේදී ඔහු ලද ත්‍රාසජනක අත්දැකීම් බො‍හෝය. “එක්වරක් ආරක්ෂක සේවා ක්‍රීඩා උලෙළේදී සුගතදාස ක්‍රීඩාංගනයේදී ජම්ප් එකක් කළා. එදා පිම්ම පනිනකොටත් ඊට පෙර කටුකුරුන්දෙදි ජම්ප් කරලා කකුල කැඩිලා තිබුණේ. පහළට එනකොට මාර වැඩක් වුණේ. වෙන කෙනෙක් ඇවිල්ලා මගේ පැරෂුට් එකේ පැටළුණා. ඒක වුණේ අඩි 3000දී වගේ. බිමට පතිත වෙන්න ඔන්න-මෙන්න... පැටළුම් බේරගන්නත් බැරිවුණා. ඒ වෙනකොට අඩි 900ක් වගේ පහළටම ඇවිල්ලා. අන්තිමට කරන්නම දෙයක් නැතිකමට පැරෂුට් එක ‘කටවේ’ කළා. සාමාන්‍යයෙන් අඩි 1000ට පහළින් ‘කටවේ’ කරන්න එපා කියල පැරෂුට් එකේම ගහලා තියෙනවා. කොහොමහරි ඉතින් වාසනාවකට කරදරයකින් තොරව පතිත වුණා.”

2009 වර්ෂයේදී හමුදා සේවයෙන් විශ්‍රාම ගිය කපිතන් සුමින්ද ඒ වන විට පැරෂුට් පිමි 200කට ආසන්න සංඛ්‍යාවක් පැන සිටියේය. මෙරට පැරෂුට් වෙනුවෙන් කර්නල් සරත් හඳපාන්ගොඩ කළ සේවයද ඔහු සිහිපත් කළේය. එදා තමන් කළ දස්කම් විස්කම් සිහිපත් කරමින් ඔහු අද වත්මන් පැරෂුට් ශූරයන්ගේ දස්කම් විස්කම් අගය කරන්නේය.

“මට දැන් තියෙන්නේ ලොකු දුකක් වගේම සතුටක්. දුකට හේතුව කොතරම් වයසට ගියත් ජම්ප් දාන්නමයි හිත. සතුට ඔය නිදහස්ආර පිම්මේ ආරම්භකයෝ අපි නිසා. මටත් ඔය බිල්ඩිමෙන් පනින්න අවස්ථාවක් දුන්නොත් අනිවාර්යයෙන්ම පනිනවා. අපේ කාලේ තාක්ෂණය දියුණු නැතිවුණාට ඉතාම ඉහළ ආත්ම විශ්වාසයක් ගොඩනඟන පුහුණුවක් ලැබුණා. ඇත්තටම 2014 වසරේ කොමාන්ඩෝ පැරෂුට් කණ්ඩායමේ අය ඉණිමගේ (ලැඩර්) ශෛලිය ඉගෙනගන්න මට කතා කරලා සෑහෙන උපදෙස් ගත්තා. අපි කොතරම් පැරෂුට්වලට සේවයක් කළත් අද හුඟ දෙනෙක් අප අමතක කරලා. අපි පස්දෙනා තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු මිලිටරි පැරෂුට් ටීම් එක. ඇත්තටම එය අද කවුරුත් දන්නෙ නැහැ. ඒ ගැනනම් පොඩි දුකක් තියෙනවා. මං කියන්නෙ අදටත් අපේ තියෙන අත්දැකීම්වලින් වැඩක් ගන්න කියලා.”

Comments