
centella asiatica යන උද්භිද නාමයෙන් හඳුන්වනු ලබන ගොටුකොළ අපේ රට ඇතුළුව අප්‍රිකාව මැඩගස්කරය ආදි රටවල බොහෝ සරුවට වැඩෙන ශාකයකි. ගොටුකොළ වර්ග කිහිපයකි. හීන් ගොටුකොළ, වැල් ගොටුකොළ හා පෝච්චි ගොටුකොළ ඒ අතරින් ර ප්‍රධාන වේ. නමුදු මේ අතරින් ඖෂධීය ගුණයෙන් ඉහළ වන්නේ බිම දිගේ වැඩෙන හීන් වැල් ගොටුකොළය. විශේෂයෙන්ම රබර් වතුවල පොල් වතුවල යටි වගාවක් ලෙස ඉතා සරුවට හැදෙන ගොටුකොළය. මෙය ලංකාවට ආවේණිකය.
ගොටුකොළවල ඖෂධිය ගුණය පිළිබඳ බොහෝ පර්යේෂණ කර ඇත්තේය. කෙසේ වුවත් ගොටුකොළ පිළිබඳ විධිමත් මානව සායනික පර්යේෂණක් කර තම වෛද්‍ය විශාරද උපාධිය ලබාගත් ආයුර්වේද වෛද්‍යවරයකු පිළිබඳය මේ සටහන.
ඔහු නමින් නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය වජිර සෙනෙවිරත්නය. කළුතර අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ උපන් වජිර සෙනෙවිරත්න මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද අතර ද්විතීය අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු වුයේය. කුඩා කාලයේ පටන්ම වජිරට අවශ්‍ය වූයේ වෛද්‍ය පර්යේෂකයකු වීමටය. නමුදු උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ සිටම ඔහු තමන් යායුතු ගමන් මඟ පිළිබඳ උනන්දු වුයේය. එහෙත් ලංකාවේ වෛද්‍ය පර්යේෂකයකු වීමට හැකියාවක් නැති බව දැන ගත් වජිර ඉන්පසු වෛද්‍යවරයකු වීමට ඉටා ගත්තේය. එකල කොළඹ විශ්ව විද්‍යාලයේ මුල් වරට පටන් ගත් දේශිය වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය පාඨමාලාව හැදෑරීමට පටන් ගන්තේය. ඒ 1983 වසරේ දීය. නමුදු හැම විටම ඔහු සිතේ වැඩ කරන්නට වූයේ වෛද්‍යවරයකු වීමට වඩා ඖෂධ පර්යේෂකයකු වීම පිළිබඳය. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ බටහිර ඖෂධ පිළිබඳ වැඩිදුරටත් හාදාරන වජිර පසුව බටහිර ඖෂධ තත්ව පාලන හා උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. ඉන්පසු ඔහු ආයුර්වේද ඖෂධ ක්ෂේත්‍රයේ වැඩිදුර හැදැරීමක් කරන්නේය. එහි අවසන් ප්‍රථිඵලය වන්නේ ලංකාවේ ප්‍රථම වතාවට ආයුර්වේද වෛද්‍ය විශාරද උපාධිය දිනා ගැනීමටය.
තම පර්යේෂණ සඳහා ගොටුකොළ ශාකය තෝරා ගැනීමට ප්‍රධානම හේතුව කුමක්දැයි වෛද්‍ය සෙනෙවිරත්නගෙන් අපි ඇසුවෙමු.
“මගේ අත්තම්මා මට පුංචි කාලෙ ඉඳලම ගොටුකොළ ඉස්මවලට මී පැණි හෝ කිරි දාලා බොන්න දෙන පුරුද්දක් තිබුණා. මුතුන් මිත්තන් දරුවන්ට මේවා බොන්න දෙන්නේ ළමයින්ගේ බුද්ධි වර්ධනයට, මතක ශක්තිය ඇතිවෙන්න කියලා. ඒ එක සිද්ධියක්. මගේ හිතේ පුංචි කාලේ ඉඳලා මතක තවත් සිද්ධියක් තිබුණා. ඒ තමයි අපේ ගම්පළාතේ හිටපු ඇත් ගොව්වෙකු අලියා ගහලා මැරුණා. හැමෝම කිව්වේ අලියා එහෙම කළේ අවුරුදු විසිගණනකට පෙර ඇත්ගොව්වා කළ පහරදීමක් මතකයේ තියාගෙන හිටපු නිසයි කියලා. අලියා කියන්නේ බොහෝම හොඳ මතක ශක්තියක් තියෙන සතෙක්. අලි රබර් වතුවල යටි වගාවක් හැටියට තියෙන ගොටුකොළ කනවා. අලි ගොටුකොළ කන්න බොහෝම ප්‍රියයි. මෙන්න මේ සිද්ධි දෙකම මගේ හිතේ තිබුණා.මම වයසින් වැඩෙනවත් එක්කම ගොටුකොළ ගැන පර්යේෂණයක් කරන්න ඕන කියන හැඟිම මට ඇති වුණා. 2012 වසරේ එම්.ඩි. උපාධිය හදාරන තුරු මට ඒ අවස්ථාව උදාකර ගන්න බැරි වුණා. නමුත් උපාධිය හදාරන්න ගත්තට පස්සේ මට අවස්ථාව උදා වුණා ගොටුකොළ පිළිබඳ සායනික පර්යේෂණයක් කරන්නට.
මතකය සහ ස්මරණ ශක්තිය බුද්ධි වර්ධනයට ගොටුකොළවල බලපෑම කොහොමද කියන එක විද්‍යාත්මකව හොයලා බලන්න මම සැලසුම් කළා. මෙම පර්යේෂණය කරන්නට මට කොළඹ විශ්වවිද්‍යාලයේ දැනට දේශිය වෛද්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂ එස්.ඩි හපුආරච්චි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආයුර්වේද ඖෂධවේද පිළිබඳ ආචාර්ය කමල් පෙරේරා හා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායනික මනෝ වෛද්‍ය පිළිබඳ ආචාර්ය ප්‍රියංජලි ද සොයිසා යන ආචාර්යවරුන්ගේ සහාය ගුරු උපදෙස් මට පිටිවහලක් වුණා. ඒ වගේම ඉන්දියාවේ වාරනාසී හින්දු විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය වි.කේ. ජෝසික් මහතාගේ මඟ පෙන්වීම ද මගේ පර්යේෂණය සාර්ථක කරගැනීමට ලොකු සහායක් වුණා. මේ පිළිබඳ පර්යේෂණය කරද්දි මට ඖෂධ පිළිබඳ ලියැවුණු අවුරුදු තුන් හාර දහසකට වඩා පැරැණි පොත පත කියවන්නට ලැබුණා. මේවායින් මා විශාල දැනුමක් ලබා ගත්තා.
පර්යේෂණය සඳහා මෙහිදි මම භාවිත කළේ හීන් වැල් ගොටුකොළ. ඒවා වැවෙන්නේ අපේ රටේ පමණයි. අද ලෝකයේ ඕනෑම රටක ගොටු කොළ සඳහා භාවිත කරන්නේ ගොටුකොළ කියන නම. ගොටුකොළ කියන්නේ ශ්‍රී ලාංකික සිංහල නමක්. රටක් හැටියට මෙය අපට බොහෝ වටිනවා. ”
වෛද්‍ය වජිර සෙනෙවිරත්න ගොටුකොළ පිළිබඳ සායනික පර්යේෂණය සිදුකළ ආකාරය විස්තර කළේය.
මෙම පර්යේෂණය සඳහා වැල් ගොටුකොළ සෞඛ්‍ය ආරක්ෂිතිව තත්ත්ව පාලන ක්‍රම අනුගමනය කර තරලයක් ලෙස සකස් කර එය නීරෝගී පුද්ගලයන් කණ්ඩායම් දෙකකට මාස තුනක කාලයක් ලබා දි ඇත. වයස අවුරුදු දාසයත් හතළිහත් අතර තෝරා ගන්නා ලද කණ්ඩායමට ගැහැනු පිරිමි දෙකොටසින්ම පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, සාමාන්‍ය තරුණ සහ වැඩිහිටිෙයා් අයත් වූහ. මෙහිදි ගොටුකොළ ඖෂධය භාවිතයට පෙර සහ භාවිතයට පසු මෙන්ම ඖෂධ භාවිතා කරන අතර තුර ද ඔවුන්ගේ බුද්ධි පරාසයන් මතක ශක්තීන් පිළිගත් ක්‍රමවේදයන්ට අනුව පරික්ෂා කර බැලීය.
තම පර්යේෂණය සාර්ථක වීම ගැන වෛද්‍ය සෙනෙවිරත්න පවසන්නේ මෙවැන්නකි.
“පරික්ෂණය අවසානයේ ඉතාම පැහැලිව හඳුනා ගත් දේ තමයි නැවුම් කිරි සමඟ ගොටුකොළ ලබාගත් කණ්ඩායම පෝෂණ පරාමිතයෙන් හොඳ තත්ත්වයක සිටින බව. උදාහරණයක් ලෙස ඔවුන්ගේ බර, යකඩවල හොඳ ප්‍රතිශතයක් තිබුණා. ඒ වගේම මේ අයගේ සැලකිය යුතු තත්වයකින් කොලෙස්ටරෝල් අඩු වී තිබුණා. ඊට අමතරව මතක ශක්තිය ඉතාම ඉහළ තත්වයක තිබුණා. සමීප මතකය, යමක් හඳුනාගැනීම, අවධානය, කථනය, අතීත ස්මරණය, විශ්ලේෂණය යන පරාමිතීන්වල පැහැදිලි ලෙස සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් තිබුණා. බොහෝ ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත ගොටුකොළ ආරක්ෂාකාරි ලෙස ආහාරයට ගන්න පුළුවන්. අද වන විට වානිජ වටිනාකමක් දෙන්න ගොටු කොළවලට රසායනික පොහොර වර්ග භාවිත කරනවා. නමුත් පොහොර භාවිතයෙන් තොර ගොටුකොළ ආහාරයට ගන්න පුළුවන් නම් එයයි වටින්නේ. සතියට දින තුන හතරක් ගොටු කොළ ආහාරයට ගැනීමෙන් බුද්ධි වර්ධනයට හා මතක ශක්තිය දියුණු කර ගැනීමට පුළුවන්. කුඩා දරුවන්ට කැඳ ලෙස ගොටුකොළ දෙන්න පුළුවන්. එමෙන්ම ගොටුකොළ ඉස්ම දෙනවා නම් කුඩා දරුවන්ට දිය යුත්තේ තේ හැන්දක වගේ ප්‍රමාණයක්. වැඩිහිටියන්ට නම් මේස හැන්දක ප්‍රමාණයක ගොටුකොළ ඉස්ම සුදුසුයි. ගොටුකොළ ඉස්ම පානය කළ යුත්තේ උදෑසන. එමෙන්ම ඒ සමඟ තේ කහටවලින් තොරව නැවුම් එළකිරි වීදුරුවක්ද පානය කිරීමට හැකිනම් එයින් ඉහළ ප්‍රථිපල ලැබීමට පුළුවන්. මොළය ආශ්‍රිත රෝගවලට මෙන්ම ස්නායු රෝගවලටත් ගොටුකොළ ගුණයි. විශේෂයන්ම ගොටුකොළ ආහාරයට ගැනීමෙන් විවිධ මානසික රෝග සඳහා මෙන්ම මානසික ආතතියෙන් මිදී අකලට වයසට යෑමෙන් මිදෙන්න තරුණ බව රැක ගන්න පුළුවන්කම තියෙනවා. ”
සිය පර්යේෂණය අවසානයේ වෛද්‍ය වජිර සෙනෙවිරත්න එහි අගය ලොවටම කියා දී ඇත්තේය. දැන් ඔහුට අවශ්‍ය මෙය ඖෂධයක් ලෙස නිෂ්පාදනය කිරීමටය.
“සායනික වශයෙන් රෝග සඳහා භාවිත කිරීමට නම් ඖෂධයක් ලෙස වැඩි දියුණු කර නිෂ්පාදනය කිරීම කළ යුතුයි. ඒ සඳහා කවුරුන් හෝ ඉදිරිපත් වනවා නම් එය අපේ රටට ලොකු කීර්තියක්. මොකද මෙය අපේ රටේ ආවේණික ශාකයකින් අපේ රටේදිම නිපදවන අපේම දෙයක් නිසා. ”