
උපන්දා සිට දරුවකුට එන්නත් දීම මඟින් සිදු කරනු ලබන්නේ එම දරුවාගේ ශරීරය තුළ බාහිරින් බෝවන විෂබීජවලට එරෙහිව ප්‍රතිශක්තීකරණයක් නිපදවා ,ඔවුන් එම බෝවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම යි. එහෙයින් උපතේ සිට නියමිත වයස්වලදී දෙනු ලබන එන්නත් දරුවාගේ මුළු ජීවිත කාලයටම වැදගත් වේ. ඇතැම් මව්පියන් තම දරුවාට දිය යුතු එන්නත් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා විවිධ ගැටලුකාරී තත්ත්ව වලට මුහුණ දෙයි. එන්නතක් යනු මොනවා ද? දරුවෙකුට එන්නත් ලබා දීම මඟින් සිදු කරන්නේ කුමක් ද? දරුවාගේ එන්නත් සටහන් ලේඛනගත කර තබා ගැනීම වඩාත් වැදගත් වන්නේ ඇයි? යන කරුණු පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය , ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය දැක්වු අදහස් මෙසේ ය.
එන්නතක් යනු කුමක් ද?
එන්නතක් යනු බෝවන රෝග ඇති වීමට හේතුකාරක වන කිසියම් විෂබීජයකට (බැක්ටීරියාවකට හෝ වෛරසයකට) එරෙහිව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයක් ( සටන් කිරීමේ හැකියාව ) ඇති කිරීම සඳහා දෙනු ලබන ඖෂධ වර්ග වේ. එන්නත් සෑදීමේදී සිදුවන ක්‍රියාවලිය අනුව එන්නත් කොටස් 03 කට බෙදා දැක්විය හැකි ය.
(1) සජීවි එන්නත් - (Live attenuated Vaccines) විෂ අඩු කරන ලද සජීවි විෂබීජ යොදා ගනිමින් නිපදවන ලද එන්නත්
(2) අජීවි එන්නත්- (killed Vaccines) මුළුමනින්ම අජීවි කරන ලද විෂබීජ යොදා ගනිමින් නිපදවන ලද එන්නත්
(3) විෂබීජ මගින් නිපදවන යම් යම් සංඝටක පමණක් යොදා ගනිමින් නිපදවන එන්නත් (Toxoid)
බොහෝ එන්නත් “ විදීම “ මගින් ශරීරගත කරනු ලබන අතර සමහර එන්නත් “මුඛ බිංදු“ වශයෙන් දෙනු ලැබේ.
දරුවෙකුට එන්නත් ලබා දීම මඟින් සිදු කරන්නේ කුමක් ද?
උප්පත්තියේ පටන්ම දරුවකුට බාහිරින් එන්නත් දීම මඟින් සිදු කරනු ලබන්නේ එම දරුවාගේ ශරීරය තුළ බාහිරින් බෝවන විෂබීජවලට එරෙහිව ප්‍රතිශක්තීකරණයක් (සටන් කිරීමේ හැකියාවක්) නිපදවා දරුවාව බෝවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම ය.
දරුවෙකුට අනිවාර්යයෙන්ම ලබා දිය යුතු එන්නත් මොනවා ද?
රජය මඟින් නිකුත් කර ඇති ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන (Expanded Programme of Immunization - EPI Schedule) මඟින් නිර්දේශිත සියලුම එන්නත් වර්ග උපතේ සිට නියමිත වයස් කාණ්ඩවලදී ලබා දිය යුතු ය.
නිසි කලට එන්නත් ලබා නොදීම නිසා දරුවාට ඇතිවිය හැකි රෝගාබාධ මොනවා ද?
නියමිත වයස් කාණ්ඩවලදී නිර්දේශිත එන්නත් ලබා නොදීම මඟින් දරුවාට, එම එන්නත් මඟින් ආරක්ෂාව සලසන රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් නොලැබේ. එහෙයින් නියමිත ප්‍රතිශක්තිකරණය නොලැබූ දරුවන් එන්නත් මඟින් ප්‍රතිශක්තිකරණය සළසන බෝවන රෝගවලට ගොදුරු වීමේ අවධානම වැඩි වේ. මෙම රෝග තත්ත්වයන් ඉතා බරපතල හෝ ඇතැම් විට මාරාන්තික වීමට ද පුළුවන.
එන්නතක් ලබා දීමට දරුවා රැගෙන යන දෙමාව්පියන් සැළකිලිමත් විය යුතු කාරණා මොනවා ද?
නිර්දේශිත දිනයේ දී දරුවා රැගෙන යාම,දෙනු ලබන එන්නත පිළිබඳ වාර්තා කිරීම සඳහා සෞඛ්‍ය වර්ධක සටහන (Child Health Development Record - CHDR) රැගෙන යාම සහ දරුවාට පවතින විශේෂ රෝගී තත්ත්වයන්, අසාත්මිකතා, අතිතයේදී දෙන ලද එන්නත් සඳහා ඇති වූ අතුරු ආබාධ ආදිය පිළිබඳව එන්නත් ලබා දෙන්නන් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ.
දරුවාගේ එන්නත් සටහන් ලේඛනගත කර තබා ගැනීම වඩාත් වැදගත් වන්නේ ඇයි?
නිසි වාර්තා කිරීමක් නොමැතිව දරුවාට ලබා දී ඇති එන්නත් පිළිබඳව අනාගතයේ දී තහවුරු කර ගැනීම අපහසු වේ. මීට අමතරව දරුවාට දෙනු ලබන එන්නතක පවතින සංඝටක, කාණ්ඩ අංකය සහ කල් ඉකුත් වීමේ දිනය ආදීය පිළිබඳ වාර්තාවක් තබා ගැනීම අනිවාර්යය වේ. දැනට පවතින ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන( EPI Schedule) අනුව සමහර එන්නත් වර්ග කිහිපවතාවක් දිය යුතු වන අතර විවිධ එන්නත් අතර පැවතිය යුතු කාල පරාස විවිධ වේ. එම හේතුවෙන් එන්නත් ලබා දුන් දිනය සටහන් කිරීම ද ඉතාමත් වැදගත් ය.
දරුවෙකුට ඉදිරි කාලය තුළදී අධ්‍යාපන කටයුතු රැකී, රක්ෂා සහ විදේශගත වීම් සඳහා ද ලබා දී ඇති එන්නත් පිළිබඳ වාර්තා අවශ්‍ය වන අවස්ථා ඇත.
ඔබ දන්නා අකාරයට කුඩා දරුවන්ට දෙනු ලබන එන්නත් පිළිබඳව සමාජයේ පවතින මිත්‍යා මත මොනවා ද?
එන්නත් පිළිබඳ විවිධ සමාජ පසුතල තුළ විවිධ මිත්‍යා මත පවතී. දරුවකු තුළ පසුවන හෙම්බිරිස්සාව සහ කැස්ස වැනි සුළු ආසාදිත තත්ත්වයන්වල දී දරුවන්ට දෙනු ලබන එන්නත් අනවශ්‍ය ලෙස කල් දැමීම වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් තුළ වුව ද පවතින තත්ත්වයකි.
එන්නත් මඟින් අමතර රෝගී තත්ත්වයන් ඇති විය හැකි බවට විවිධ පුද්ගලයන් තුළ විවිධ මත පවතී. මහා බ්‍රිතාන්‍ය යේ, පසුගිය දශකය තුළ පැවති MMR එන්නත සහ ඔටිසම් (Autism) තත්ත්වය පිළිබඳ ඇති වු අර්බුදය ඉතාමත් හොඳ නිදසුනකි.
මෙවැනි කටකතා සහ වෛද්‍ය උපදෙස් නොමැතිව විවිධ පුද්ගලයින් දරණ මතිමතාන්තරවලට සවන් දී තම දරුවාට එන්නත් ලබා නොදී නොසිට තමා හට පවතින සැකයන් වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳා ගැනීම ඉතාමත් වැදගත් ය.
නොමේරු දරුවන්ට එන්නත් ලබා දීමේදී සැළකිය යුතු කරුණු මොනවාද?
අඩු වයසින් උපදින දරුවන්ට එන්නත් ලබාදීම ප්‍රමාද කිරීම අනවශ්‍ය ය. ඔවුන්ගේ උපන්දිනය අනුව, දින සම්පූර්ණව ඉපදෙන දරුවන්ට ලබාදෙන එන්නත්ම මොවුන්ට නියමිත දිනට ලබාදිය හැක.
දරුවෙකුට ලබා දෙන එන්නත්වල සුරක්ෂිතභාවය පිළිබඳව සෑහීමකට පත් වන්නේ කෙසේ ද?
වර්තමානයේ දී අප රට තුළ රජයේ සායනවලට අමතරව පෞද්ගලික ආයතනවල ද එන්නත් දීම සිදු කෙරේ. එම කුමන ආයතනයක එන්නත් ලබා දුන්න ද එන්නතේ ප්‍රමිතිය සහ ආරක්ෂාව තහවුරු විය යුතු ය. එන්නත නිෂ්පාදනය වු ස්ථානයේ සිට ප්‍රතිග්‍රාහකයාට ලබා දෙන තුරු කාල පරාසයේ දී නිෂ්පාදකයා විසින් නිර්දේශිත උෂ්ණත්ව පරාසය තුළ එන්නතක් පැවතිය යුතු ය. (Cold chain maintenance)
එන්නතක් ලබා දෙන ස්ථානය කුමක් වුව ද එන්නත නියමිත උෂ්ණත්වය තුළ තබා ගැනීම ඉතා වැදගත් ය. මීට අමතරව එන්නත් ලබා දෙන්නාහට මුලික පුහුණුවක් ලබා දිය යුතු අතර එන්නත මඟින් ඇතිවිය හැකි අසාත්මිකතා හඳුනා ගැනීම සහ ක්ෂණික ප්‍රතිකාර කිරීම පිළිබඳ අවශ්‍ය පුහුණුව සහ දැනුම මෙන්ම පහසුකම්ද අනිවාර්යයයෙන්ම තිබිය යුතු ය.
දරුවෙකුට එන්නතක් ලබා දීමෙන් පසු දෙමවුපියන් සැළකිලිමත් විය යුතු කාරණා මොනවා ද?
එන්නතක් ලබා දීමෙන් පසු ඇතිවන ඉතා දරුණු ආසාත්මිකතා (Anaphylaxis) සාමාන්‍යයෙන් ඇති වන්නේ විනාඩි 20–30 ක් ඇතුළත ය. එන්නතක් දී ප්‍රථම මිනිත්තු 20-30 දක්වා කාලය එම වෛද්‍ය මධ්‍යස්ථානයේ අවට රැඳිය යුතු ය. දරුවාට හුස්ම ගැනීමේ අපහසුතා, දිව සහ තොල් ඉදිමීම, දරුවා පණ නැති වීම, නිල් වීම වැනි තත්ත්වයන් මෙවැනි අසාත්මික තත්ත්වයන්ට නිදසුන් වේ.
මඳ උණ තත්ත්වයක් වැනි සුළු ආබාධිත තත්ත්වයක් නිවස තුළදී රැක බලා ගත යුතු ය. එන්නත් දීමෙන් පසු දරුවාට සාමාන්‍යයෙන් වශයෙන් නෑම හා ඇඟ සේදවීම හානිදායක නොවේ. එන්නත් දුන් ස්ථානය රතු වීමක් හෝ ඉදිමීමක් ඇති වු විට සීතල වතුරෙන් තැවීම කළ යුතු ය.
එන්නත් දීමෙන් පසු පළමුවන පැය 72 තුළදී කිසියම් අතුරු ආබාධ ඇතිවුවහොත්, දෙන ලද එන්නත් පිළිබඳ විස්තර සහිත සටහන සමඟ ගොස් වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ.
නියමිත දිනට එන්නත් ලබාදීම අතපසු වූ විට සිදුකළ යුත්තේ කුමක්ද?
අතපසු වූ එන්නතේ සිට නැවත එන්නත් ලබාදීම සිදුකළ හැක. නැවත මුලසිට එන්නත් ලබාදීම ආරම්භ කිරීම අනවශ්‍ය ය.
පිටරට උපන් දරුවන් සඳහා එන්නත් ලබා දෙන්නේ කෙසේද?
බොහෝ රටවල මූලික එන්නත් දෙනු ලබන කාල සීමාවේ සුළු වෙනස්කම් වලට අමතරව බොහෝ සෙයින් සමානය. මීට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අමතරව දෙනු ලබන එන්නත් පවතී.
උදා- මොළේ උණ (Japanese Encephalitis Vaccine)
පිටරටක සිට පැමිණෙනන දරුවන් සඳහා එන්නත් දීම පිළිබද නියමිත සටහන් රැගෙන ගොස් වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු ය.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන (EPI Schedule) අලුතින්ම එකතු වූ එන්නත් වර්ගය කුමක්ද?
ගැබ්ගෙළ පිළිකා ( Human Paoiloma Virus Vaccine) සැදීමට හේතුකාරක වන පැපිලෝමා වෛරසයට එරෙහිව දෙනු ලබන එන්නත ශ්‍රී ලංකා එන්නත් සටහනට 2017 සිට එකතු වී ඇත. මෙහි දී වයස අවුරුදු 10 සම්පුර්ණ වු 6 සහ 7 ශ්‍රේණිවල ඉගෙනුම ලබන , ගැහැණු දරුවන් සඳහා මාස 06ක පරතරයක් ඇතිව, එන්නත් 02ක් ලබා දීම සිදු කෙරේ.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන (EPI Schedule) අමතරව රජයේ රෝහල මගින් ලබාදෙන වෙනත් එන්නත් තිබේද?
දරුවන්ට විශේෂ තත්ත්වයන් යටතේ රජය මගින් ලබාදෙන එන්නත් පවතී. පිස්සු බලු රෝගී තත්ත්වය වැළැක්වීමට දෙනු ලබන එන්නත් මේ සඳහා නිදසුනකි. (Rhabies Vaccine)
EPI Schedule වලට අමතරව පෞද්ගලිකව දරුවන්ට ලබාදිය හැකි එන්නත් වර්ග මොනවාද?
*හෙපටයිටිස් A (Hepatitis A) එන්නත- වයස අවුරුද්ද සම්පුර්ණ වූ දරුවන්ට ලබාදිය හැක.
*ඉන්ෆුලුවන්සා එන්නත (Influenza) - මාස 6 ට වැඩි දරුවන්ට වාර්ෂිකව ලබාදිය හැක.
*නියුමොනොකල් එන්නත (Pneumococcal) - දරුවාගේ වයස අනුව වෛද්‍ය උපදෙස් මත දෙනු ලබන එන්නත් වර්ගය සහ මාත්‍රාවෙහි ප්‍රමාණය තීරණය කළ යුතු වේ.
*පැපොල එන්නත (Chickenpox) - වයස අවුරුද්ද සම්පුර්ණ වූ දරුවන්ට ලබාදිය යුතුවේ.
*රොටා වයිරස් එන්නත (Rotavirus vaccine) - මාස 6 ට වඩා වයසින් අඩු දරුවන්ට ලබාදෙන මුඛ එන්නත් වර්ගයකි.
*උණ සන්නිපාත එන්නත (Typhoid) -වයස අවුරුද්ද සම්පුර්ණ වු දරුවන්ට ලබා දිය හැක.
මදාරා මුදලිගේ