
ගිය සතියේ බදාදා (28) රටම රත් කළ සිදුවීමක් වූයේ තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයකදී පොලීසිය හා ගොවීන් අතර ඇතිවූ කලහකාරි සිද්ධියයි. ඊට හේතුව ලෙස වාර්තා වූ සිදුවීමේ සැකෙවි විස්තරය නම්,
මහවැලි ‘එච්’ කලාපයේ තඹුත්තේගම අවට ගම්වාසීහු දෙදහසක පමණ පිරිසක් තඹුත්තේගම නගරයට එක් රොක් වී රටේ සාමාන්‍ය ජනජීවිතයට බාධා පමුණ වන ආකාරයෙන් හැසිරීමයි. එහිදී උද්ඝෝෂකයන් දෙදහසකගේ කල්ක්‍රියාවට අවනත වෙමින් සෙසු ජනයාගේ ජනජීවිත අඩාළ වීමට ඉඩ දී කටයුතු කිරීම නීතිය හා සාමය රැකීම වෙනුවෙන් පැය 24 පුරාම කටයුතු කරන පොලීසියේද යුතුකමක් නොවන්නේය. ඒ අනුව රටේ සාමාන්‍ය ජනජීවිතය නඟා සිටුවීම සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලීසිය කටයුතු කිරීමේදී උද්ඝෝෂකයන් සමඟ යම් කලහකාරී වාතාවරණයක් ඇතිවීම එදින සිදුවීය.
රටේ කුමන තැනක හෝ තරාතිරම කුමක් වුවත් නීතියට පටහැණි යම් කලහකාරී සිදුවීමක් වෙනවානම් එය අවම බලය යොදා පාලනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමයි. ඒ අනුව එදා තඹුත්තේගම සිදුවීමේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ,
ගොවි විරෝධතාවට උද්ඝෝෂකයන් දෙදහසක් පමණ සහභාගිවූ බවත් එහිදී මුලින් පොලීසිය ඔවුන්ට කිසිදු බලපෑමක් නොකළද, මහාමාර්ගය අවහිර කරමින් පෙරට ගමන් ගනිමින් පොලිස් නිලධාරීන්ට සහ පොලීසියේ දේපොළවලට පහර දුන් මොහොතේ ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත් බවත්ය.
“කලාඔය පාලම හරස් කළ උද්ඝෝෂකයන් අනතුරුව නගරය දෙසට ගමන් ගත්තා. ප්‍රාදේශීය ලේකම් ඇතුළු බලධාරීන්ට කතා කිරීමටත් පොලීසිය ඔවුන්ට අවස්ථාව සලසා දුන්නත්, උද්ඝෝෂකයන් ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වමින් පොලීසියට ගල්මුල්වලින් පහර දුන්නා. අනතුරුව ඔවුන්ව විසුරුවා හැරීමට පියවර ගත් බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙලෙස ජනයා කලහකාරී ලෙස හැසිරීමට හේතුව වැරැදි වැටහීමක් බව අපට පෙන්වා දුන්නේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දීප්ති ගුණසේකර මහතායි.
“මෙහෙමයි අපි තඹුත්තේගමට නව ජල යෝජනා ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. දැනට තිබෙන ජල යෝජනා ක්‍රමයෙන් සියලුම පෙදෙස් ආවරණය කිරීමට අපහසු නිසා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්ද අනුමැතිය ගෙන දිනකට ජල ඝන මීටර් 18,000ක් ලබා ගැනීමටයි යෝජනා වුණේ. ඒ සඳහා චීන සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් ගෙන එම ව්‍යාපෘතිය ඉදිකිරීමට කොන්ත්‍රාත් සමාගමට බාර දීම පසුගියදා සිදුවුණා. ඒ අනුව එම කොන්ත්‍රාත් සමාගම ඉදිකිරීම් ආරම්භ කිරීමට සූදානම් වන මොහොතේයි මේ ගැටලුව ඇතිවූයේ.”
සාමාන්‍යාධිකාරීවරයා රාජාංගණය වැවෙන් ව්‍යාපෘතිය සඳහා ජලය ලබාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
“මෙතනදී අපි දිනකට ජල ඝන මීටර් 18,000ක් ලබාගන්නවා කීවාට සෑම දිනකම ඒ දේ එලෙසම සිදුවන්නෙ නැහැ. නියං සමයට වගේම වැවේ ජලය අඩු කාලෙට ජලය නියමිත ප්‍රමාණය ලබාගන්නෙ නැහැ. මොකද නියං සමයට ඕනෑම පළාතක අඛණ්ඩ ජල සැපයුම අපි සීමා කරනවා. එම නිසා අපි කිසිම විටෙක නියං සමයට දිනකට අවශ්‍ය උපරීම ජල ධාරිතාව ලබාගැනීමට කටයුතු කරන්නෙ නෑ. උදාහරණයක් කිව්වොත්, කුරුණෑගල මාගල්ඔය වැවෙන් නියං සමයට කිසිම ජල පොදක් ගන්නෙ නෑ.”
මෙලෙස වැව් ජලයම උතුරුමැද පළාත්වල ජනයාට පානීය ජලය ලෙස ලබාදීමට සිදුවී තිබෙන හේතුවද ඔහු පැහැදිලි කළේය.
“මොකද ඔය පළාත්වල ජනතාවට භූගත ජලය පානීය ජල යෝජනා ක්‍රමවලට ලබාදීමට හැකියාවක් නැහැ. ඒ වකුගඩු ප්‍රශ්නය නිසා. වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව භූගත ජලය. එම නිසා වැව් ජලය පිරිපහදු කරලා තමයි මේ සඳහා පිළියම් සෙවිය හැක්කෙ. ඒ හේතුව නිසා තමයි අපි මේ ව්‍යාපෘතියට රාජාංගණය වැව යොදාගන්නෙ."
උතුරුමැද පළාතෙන් ගලා යන කලාඔය හරස්කොට ඉදිකර තිබෙන රාජාංගණය වැව අක්කර අඩි 81,000 ක පමණ ජල ධාරිතාවකින් යුත් විශාල ජලාශයකි. අධික වැසි සහිත කාලවලදී ජලය ඝන මීටර් දහස් ගණනක් නිරපරාදේ මහ සාගරයට ගලා බසින කලාඔයේ රාජාංගණය ජලාශයේ ජල කඳෙන් උපරීම ප්‍රයෝජනය ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේම ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේත් වගකීමකි.
මේ උද්ඝෝෂකයන් අතරින් මතුවූ එක්තරා ආකාරයක අභූත චෝදනාවකටත් සාමාන්‍යාධිකාරිවරයා පිළිතුරු දුන්නේ ය.
“එක එක අය දේශපාලන සහ නොයෙක් ආකාරයේ වාසි ගන්න කටකතා පතුරවනවා. එහෙම ගිය කටකතාවක් තමයි ඔය ජල ව්‍යාපෘතියෙන් ජලය ලබාගෙන බෝතල් කර විකිණීමට යන කතාව. මම වගකීමෙන් කියනවා, එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක්.”
එලෙස වගකිවයුතු පාර්ශ්වයන් කරුණු හෙළි කරද්දී තඹුත්තේගම උද්ඝෝෂක ජනයාට අමතරව මේ ගැටලුව ගැන මැදහත් සිතින් බලන ගොවීන් පිරිසක්ද සිටිති. ඔවුන් පවසනුයේ මේ පානීය ජල ව්‍යාපෘතිය එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය බවයි. වර්තමානය වන විට සමස්ත රජරටම වකුගඩු මාරයා විසින් ගිලගෙන ඇති බවත් වකුගඩු රෝගියෙක් නොමැති නිවසක් රජරටින් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අසීරු කාරණයක් වී ඇති බවත්ය. එම නිසා මෙවැනි පානීය ජල ව්‍යාපෘති එකක් නොව කීපයක් උතුරුමැදට ලබා දුන්නත් පාඩුවක් නොවන බවයි. සමස්ත උතුරුමැද පළාතේම කතාව එයයි.
වකුගඩු මාරයා සමඟ පොරබදන මිනිස් කොට්ඨාසයක් වන උතුරුමැද පළාත්වාසීන් මෙවැනි ව්‍යාපෘති පළාතට එන විටදී මීට වඩා සාධනීය ලෙස එදෙස බැලීම වටී.
එසේ නොමැතිව මෙවැනි සංසිද්ධීන් හරහා යම් යම් දේශපාලන කණ්ඩායම්වලට අයුතු ප්‍රයෝජන ගනිමින් ජනතාව උසි ගැන්වෙන ආකාරයේ රුකුල් නොදීම ජනතාවගේද යුතුකමකි. ගැටලුවක් පැනනැඟුණු විට වගකිවයුත්තන් සමඟ සාකච්ඡා කොට ඊට මුහුණ දී සිටින ජනතාවට සේම රටටම යහපත් ආකාරයෙන් මෙවැනි සිදුවීම් විසඳා ගැනීම ජනතාවගේ බුද්ධිමත් භාවය පිළිබිඹු කරන අවස්ථා ලෙස සැලැකිය හැකිය. එම නිසා ඉතිහාසයෙන් පාඩම් උගෙන මෙවැනි සිදුවීම්වලට විසඳුම් සෙවීම කාගෙ කාගේත් වගකීමයි.
මේ වන විට පැවැති උද්ඝෝෂණවලින් අනතුරුව අදාළ පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා අප කළ විමසීමකදී පැවැසීය. ඒ අනුව ඉදිරියේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවත්, ජල සම්පාදන මණ්ඩලයත්, ගොවි සංවිධාන නායකයෝ සහ ගොවින් සමඟ සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ලේකම්වරයා කීවේය.
රටේ යම් සිදුවීමක් වූ විට වගකිවයුත්තන් සේම මහජනයාද හරිහැටි කරුණු සොයා බැලීමකින් තොරව සමාජ කතිකාවන් ඇතිකිරීම සේම නීතිය අතට ගෙන කටයුතු කිරීමට යාමත් යුක්ති සහගත සමාජයකට ඔබින ක්‍රියාවක් නොවේ. එසේම වගකිවයුත්තන් ද ජනතාවට ඍජුවම බලපාන යම් කාර්යභාරයකට මුල පුරන විටදී ජනතාව දැනුම්වත් කරමින් විනිවිද භාවයෙන් යුතුව සිදුකිරීම වගකීම්සහගත සියලු දෙනාගේම යුතුකම වන්නේය.
අමිල මලවිසූරිය
පසුබිම් තොරතුරු සහ සේයාරූ
තඹුත්තේගම විශේෂ - ඩබ්ලිව්. ප්‍රදීප්