ලෙබනනයේ පැවති 70 වන ජාතික නිදහස් උත්සවය | Page 2 | සිළුමිණ

ලෙබනනයේ පැවති 70 වන ජාතික නිදහස් උත්සවය

 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වන එච්.එම්.ජී.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 70 වන නිදහස් දින ජාතික උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

04 වන දින උදෑසන ජාතික ධජය එසවීමේ උත්සවය චාම් එහෙත් අභිමානවත් ලෙස “එකම ජාතියක්” තේමාව යටතේ තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකා සාම සාධක හමුදා භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් චින්තක රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් හා ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව සහභාගී වුහ.

මෙම නිදහස් දින උ‍ෙලළ සඳහා ශ්‍රී ලංකවේ සිට වැඩම කරවන ලද පුජ්‍ය සියඹලාවේ සිරිසුමන ස්වාමීන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංච සීලයෙහි පිහිටුවන ලදි. මීට අමතරව ක්‍රිස්තියානි ආගමික වතාවත් ඇන්ටනි මක්සුඩ් පියතුමන් විසින්ද, හින්දු ආගමික වතාවත් කේ. කෝකුලසිංහම් දේවගැති තුමා විසින් ද ඉස්ලාම් ආගමික වතාවත් අල් චෙයික් හසන් මර්හෙබි පියතුමන් විසින් ද සිදුකරන ලදි.

ශ්‍රී ලංකාව හා ලෙබනනය අතර සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙවර 70 වන ජාතික නිදහස් දින උලෙළට සමගාමීව ශ්‍රී ලංකා තනාපති කාර්යාලය මඟින් ලෙබනනයේ පාසල් ළමයි සඳහා චිත්‍ර තරගයක් පවත්වන ලදි.

සහභාගී වු ළමුන් 200 ක් අතුරින් තෝරා ගන්නා ලද චිත්‍ර 50 ක් සඳහා සහතික පත්‍ර ප්‍රධානය කිරීම හා එම චිත්‍ර ප්‍රදර්ශනය ජනවාරි 25 වන දින ලෙබනනයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය මර්වාන් හම්ඩ් (Mr. Marwan Hamadeh)මහතා ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ප්‍රථම ස්ථානය දිනාගත් බ්ලාල් ග්ලායානි (Bilal Glayini)සිසුවා සඳහා කුවේට් එයාවේස් සමාගම මඟින් ශ්‍රී ලංකාවට යෑම සඳහා ගුවන් බලපත්‍ර දෙකක් ප්‍රදානය කරන ලදි.

ශ්‍රී ලංක‍ාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් තම දහඩිය කඳුළු හෙළනා ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකික විගමනික ප්‍රජාව විසින් ඉදිරිපත් කරන ලද “රඟ සර” සංස්කෘතික උළෙල මඟින් 70 වන ජාතික නිදහස් දින උලෙළ ආ‍ලෝකවත් විය.

විචිත්‍රවත් නැටුම් ගැයුම් මඟින් ශ්‍රී ලාංකික අනන්‍යතාව ලොවට හඬගා කීමට මෙය මහඟු අවස්ථාවක් විය.

එම සංදර්ශනය නැරඹීමට ශ්‍රී ලාංකික හා ලෙබනන් ජාතික නරඹන්නන් 500 කට අධික පිරිසක් පැමිණ සිටියහ.

මැදපෙරදිග රාජ්‍යයක් සඳහා පත් කරන ලද ප්‍රථම තානාපති එච්. එම්.ජී. ආර්. ආර්.කේ. විජේරත්න මෙන්ඩිස් මහත්මියගේ සුරතින් “රඟ සර” සංස්කෘතික උලෙළ හැඩගැන්වුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

30 වසරක ජාතිවාදි යුධ ගැටුම් මැද ජීවත් වෙමින් ශ්‍රී ලාංකිකයන් ලෙස අප විඳි කටුක අත්දැකීම් හා ඒවා පන්නරය කරගෙන නැවත නැගීසිටි ජාතියක් ලෙස දැනට අත්පත් කරගෙන ඇති සංවර්ධනය පිළිබඳ මනාව පිළිබිඹු වන ඡායාරූප ප්‍රදර්ශනයක් ද 05 වන දින හස්මය නගරශාලාවේ දී පවත්වන ලදි.

මෙම නිදහස් දින ජාතික උත්සවයට සමගාමීව පෙබරවාරි 7 වන දින තානාපති නිල නිවසේදී ලෙබනනයේ වෙසෙන තානාපති නිලධාරීන් සඳහා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ලෙබනනයේ ජනාධිපති මිෂෙල් අවුන්(Michel Aoun) නි‍යෝජනය කරමින් බලශක්ති අමාත්‍ය සිසාර් අබ් කාලිඩ් (Mr. Cezar Abi Khalid) අමාත්‍යතුමා, අගමැති සාද් අල් හරිරි (Saad Al Hariri) නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය ක‍ාලෙඩ් සර්මාන් (Khaled Zahraman)විදේශ ඇමති ජෙබ්රන් බැසිල් (Gebran Bassil) නියෝජනය කරමින් ප්‍රධාන සංධාන නිලධාරී අසාප් ඩවුමිට් (Mr. Assaf Doumit) ඇතුළු ලෙබනනයේ උසස් රාජ්‍ය නිලධාරීන් හා තානාපති නිලධාරීන් ඇතුළු ආරාධිතයන් 50 දෙනෙකුට අධික පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව අද අත්පත් කරගෙන ඇති ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනය ලෝක ප්‍රජාව හමුවේ තබමින් තම මව්බිමේ ශ්‍රී විභූතිය ලොවට ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් කෙටි වාර්තාමය වැඩසටහනක් තිරගත කරන ලදි. 

Comments