
අවුරුදු 30ක් තිස්සේ රට පුරා ජනතාව පෙළා දැමූ යුද්ධයේ අඳුරු සෙවණැලි නිසා අපට අහිමි වූ දේ බොහෝයි. ඒ වගේම අප සතුව තිබී අපෙන් විනාශ වී ගිය දේද බොහෝය. එයින් වඩාත්ම විනාශයට පත් වූයේ සාමය හා සංහිදියාවයි. සාමය හෝ සංහිඳියාව බලෙන් හෝ මුදල් ගෙවා හෝ ලබා ගැන්මට හැකි දෙයක් නොවේ. එය ජනතා සිත් දතන් තුළින්ම ගොඩනැඟිය යුතු දෙයකි.
ජනතා සිත්සතන් තුළ සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වසර 19ක් තිස්සේ පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය පසුගියදා 19 වැනි වරටත් පවත්වන ලදී. එසේම ගුවන් හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගුවන් හමුදා ප්‍රදර්ශනය මෙවරද 'එයාර් ෆෝස් ටැටෝ 2018' නමින් පවත්වන ලදී.
මෙවර ප්‍රදර්ශනයේ හා පාපැදි සවාරියේ විශේෂත්වය වූයේ අම්පාර නගරය හා සම්බන්ධ වීමයි. ගුවන් හමුදා ප්‍රදර්ශනය අම්පාරේම පැවැති අතර ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ සිට ගමන් කර අවසානය සලකුණු කරන ලද්දේ ද අම්පාරයි. ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ මූලිකත්වයේන් යුතු ගුවන් හමුදා පාපැදි සවාරි සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විසින් මෙවර පාපැදි සවාරිය මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා ඉන්දියාවෙන්ද තරගකරුවෝ 6 දෙනෙක් සහභාගි වූහ. ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැත්වුණු මේ සවාරියේ ප්‍රධාන අරමුණ වූයේ ජාතීන් අතර සහයෝගිතාව වැඩිදියුණු කරලමින් පාපැදි තරග ජනප්‍රිය කරවීමයි.
කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ගමන් අරඹා පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව, වාලච්චේන, මඩකළපුව, කාත්තන්තුඩි, කල්මුණේ හරහා අම්පාර දක්වා පැවැත්වුණු මේ පාපැදි සවාරිය මෙරට සියලු ජාතීන් සහභාගි කරවාගෙන සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව බහුල වශයෙන් දිවි ගෙවන ප්‍රදේශ හරහා සංචාරය කිරීම විශේෂිතව සිදුවීම විය. පළමු දින කොළඹ සිට පුත්තලමටත් දෙවන දින පුත්තලමේ සිට හිඟුරක්ගොඩ දක්වාත් තුන්වන දින හිඟුරක්ගොඩ සිට අම්පාර දක්වාත් පැවැත්වුණු මේ සවාරියට 160 දෙනෙක් තරග කළහ.
විශේෂයෙන්ම එරාවුල් කාත්තන්කුඩි මුස්ලිම් ප්‍රදේශවලින් මේ සවාරිය ගමන් කරද්දී මුස්ලිම් ජනතාව මහත් උද්යෝගයෙන් යුතුව සවාරියට සහාය පළ කළහ.
මේ සවාරියත් සමඟම 'එයාර් ෆෝස් ටැටෝ 2018' ප්‍රදර්ශනය මාර්තු 3 වැනිදා සිට 5 වැනිදා දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එයාර් ෆෝස් ටැටෝ 2018 හි සභාපති එයාර් වයිස් මාර්ෂල් එස්.කේ පතිරණ මහතා පැවසුවේ තෙදිනක් පුරා පැවැති මේ ප්‍රදර්ශනය නැරැඹීමට අතිවිශාල පිරිසක් සහභාගි වූ බවයි. තෙදිනක් පුරා එයාර් ෆෝස් ටැටෝ 2018 ප්‍රදර්ශනය නොමිලේ පැවැත්වුණු අතර ඒ ප්‍රදර්ශනයේදී කෆීර් යානා ප්‍රහාරක හෙලිකොප්ටර් ඇතුළු ගුවන් හමුදාව සම්බන්ධ සියලු විස්තර දැක බලා ගත හැකි නිසා පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූ බව දැක ගත හැකි විය.
අම්පාර නගරයේ සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සලසා ඇති නිසා මේ සඳහා මහත් උනන්දුවෙන් සහභාගි වනු දක්නා ලදී. ගුවන් හමුදාවේ සියලු ප්‍රහාරක යානා විශේෂයෙන්ම කෆීර් යානා, මිග් ප්‍රහාරක යානා මෙන්ම මිග් 27 එෆ් -7 ඇතුළු ජෙට් යානා ද මේ ප්‍රදර්ශනයේදී ජනතාවට දැක බලා ගන්නට හැකි වූ අතර විශේෂත්වය වූයේ මේ ගුවන් යානා ඇතුළට ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වය දැක බලා ගන්නට හැකි වීමයි. ගුවන් යානයක් පියාසර කරන්නේ කෙසේද? එමෙන්ම ගුවන් යානා තාක්ෂණය ප්‍රහාරක යානා ක්‍රියාකාරිත්වය මෙන්ම ගුවන් නියමුවන්ගේ මෙහෙයුම් මෙන්ම වසර 67ක ගුවන් හමුදා ඉතිහාසයද දැක බලා ගත හැකි විය.විශේෂයෙන්ම ඒකීය රටක් උදෙසා සියලු ජාතීන් එක්ව 'සුරකිමු ලකඹර' තේමා කර ගනිමින් ගුවන් හමුදාව විසින් පවත්වන ලද මේ ප්‍රදර්ශන සැණකෙළියේදී සියලු ජාතීන් එක්ව ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණ තිබීම විශේෂත්වයකි.
ගුවන් යානා සංදර්ශනයන් මෙන්ම පැරෂුට් මඟින් ගුවනින් බැසීම, සරඹ සංදර්ශන හා සුනඛ සංදර්ශනත් මෙහිදී පැවැත්වුණු අතර සියලු කාර්යයන් ඒකීය රටක් හා සියලු ජාතීන් සමඟ සිදු කිරීම මෙහි විශේෂත්වයයි.
ගුවන් හමුදාව විසින් මේ සියලු කාර්යයන් සිදි කිරීම සඳහා වැය කර ඇත්තේ සුළු වැය පාර්ශ්වයකි. ගුවන් ගමන් පිළිබඳව නොදන්නා බොහෝ දේ ජනතාවට දැනුම් දීමත් ඒ හරහා මෙරට ජනතාව තුළ ආරක්ෂක අංශ ක්‍රියා කරන්නේ රටේත් ජනතාවගේත් ආරක්ෂාව පිණිස බව තහවුරු කිරීම මෙහි අරමුණ වී තිබේ. විශේෂයෙන්ම මේ කාර්යය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් පරිදි එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා සහ එයාර් වයිස් මාර්ෂල් එස්.කේ පතිරණ මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද්දේ හුදෙක්ම තවත් ගුවන් යානා ප්‍රදර්ශනයක් පමණක් නොවේ. ඒ ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කිරීමකි. හමුදාව යනු සමස්ත ලාංකේය ජනතාවගේම මිතුරකු බවත් එය හුදෙක්ම එක් ජාතිකයට හෝ එක් පිරිසකට හෝ අයත් නොවන බවත් මෙහිදී සංකේතවත් කරන්නට ඔවුහු සමත් වූහ. විශේෂයෙන්ම ගුවන් හමුදා පාපැදි සවාරිය සිංහල, දෙමළ, හා මුස්ලිම් යන සියලු ජන කොට්ඨාස ආවරණය වන පරිදි පවත්වන්නට යෙදුණේ ඒ නිසාය.
තාරක වික්‍රමසේකර