ධර්ම සන්නිවේදන‍යේ පුරෝගාමි දරණාගම කුසලධම්ම හිමිපාණෝ | Page 2 | සිළුමිණ

ධර්ම සන්නිවේදන‍යේ පුරෝගාමි දරණාගම කුසලධම්ම හිමිපාණෝ

 ශ්‍රී ලාංකික භික්ෂුව වනාහි දෙස-බස-රැස-සමය යන සිව් කරුණද සිය උර දරා සිවුරු දරන උත්තම පුරුෂයෙකි. උන් වහන්සේ‍ අභිප්‍රාය වශයෙන් සබ්බදුක්ඛ නිස්සරණයෙහි සපථ කොට පැවිද්දට එළඹියද ශාසන සංරක්ෂණ වගකීම විෂයයෙහි මහදුත්සහයෙන් ව්‍යවෘත වන්නෙකි. ශාසනය රැඳී පවතින්නේ ජාතිය මත බව උන් වහන්සේ හඳුනති. එබැවින් ජාතියේ ආරක්ෂාව පිණිස කැලම අවධානය යොමු කරති. ජාතියේ පැවැත්ම දේශයේ පැවැත්ම මත රඳා පවතින්නකි. එබැවින් දේශයේ අභේද්‍යභාවය විෂයයෙහි නිරන්තරයෙන් සාපේක්ෂ වෙති. ජාතියේ හා දේශයේ අනන්‍යතාව නම් භාෂාව හා සංස්කෘතියයි. එබැවින් හෙළ සංස්කෘතිකාංග සුරක්ෂිත කරගැනීමට මෙන් ම භාෂාවේ අක්මුල් වැනසී යා නොදී සුරැකීමටද උන්වහන්සේ පෙරමුණ ගනිති. දෙසත් බසත් රැසත් රැක ගැනීමෙන් ම සසුනේ සුරක්ෂිතභාවය තහවුරු වන බව ජානගතවම විජානනය කොටගත් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ සෙසු ථේරවාදි භික්ෂූන් වහන්සේගේන් වෙනස් වූ සුවිශේෂ චරිතයකි.

ථේරපුත්තාභය මිහියන් සිවුරු හැර දුටුගැමුණු යුද පෙරමුණේ සෙන්පතියකුව ගමන් ‍කළේ සම්බුදු සසුන සුරැකීමට නම් රට ජාතිය ආරක්ෂා වී පැවතිය යුතුය යන භූමි යථාර්ථය පසක් කොටගත් බැවිනි. මහානාම හිමියන්, කුඩාපොළ හිමියන්, වාරියපොළ හිමියන්, මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් මෙන්ම මෑත වැඩ සිටි දිඹුලාගල නාහිමියන්, මඩි‍හේ මහනාහිමියන් හා සෝම හිමියන්ද සිය ජාතික කාර්යභාරය නිරන්තරයෙන් දිවි දෙවැනි කොට ඉටු කළේ භික්ෂුවගේ ප්‍රවේණිගත වගකීම පිළිබඳ පැවති අවබෝධය හේතුවෙනි.

ගරුතර දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේද යථෝක්ත සඟපෙළෙහි වත්මන් නියෝජනය වෙති. යථෝක්ත ශ්‍රී ලාංකික ථේරීය භික්ෂු සම්ප්‍රදායෙහි උරුමයෙන් හෝ වගකීමෙන් හෝ බැහැර නොවූ සිය ජාතික මෙහෙවර මනාව අවබෝධ කොටගෙන ක්‍රියා කළ යතිවර ලකුණක් ඉතිරි කළ භික්ෂුවක ලෙස දරණාගම කුසලධම්ම හිමිපාණෝ ඉතිහාසයට එක් වනු ඇත.

වර්ෂ 1963 ජූලි මස 30 වන දින බියගම දරණාගම ග්‍රාමයේ විසූ කරලයින් නෝනා බාලසූරිය මවට සහ ගුණසේන කුමාරපේලී යන දම්පතීන්ට දාව උපත ලැබු ආනන්ද නෙවිල් කුමාරපේලී, දියණියන් දෙදෙනෙකුගේ සහ පුතුන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් දරුවා විය. උපතින්ම දහමට ළැදි සහ තැන්පත් ගතිලක්ෂණවලින් හෙබි මේ කුලකුමරුවා 1968 වර්ෂයේදී සියඹලාපේ දරණාගම මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර, අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද වැඩිදුර අධ්‍යාපනය ලැබීය.

යොවුන් විය එළඹීමත් සමගින්ම ගිහි ජීවිතයේ අරුත්සුන් බව තේරුම්ගත් හෙතෙම 1985 අප්‍රේල් මස 05 වන දින හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩසිටි පූජ්‍යපාද ‍කොරතොට විමලධම්ම නාහිමිපාණන් යටතේ දරණාගම කුසලධම්ම නමින් පැවිදි දිවියට ඇතුළත් විය. උන් වහන්සේ සරල, අල්පේච්ඡ ජීවිතය උපයෝගී කරගනිමින් බවුන් වැඩීමට වැඩි කලක් යොදවමින් ගිහි පින්වතුන් හටද භාවනා කමටහන් දෙමින් වැඩසිටියහ. ඉන් අනතුරුව කටුකුරුන්ද බෞද්ධ මධ්‍යස්ථානයට වැඩම ‍කළ උන් වහන්සේ තවත් ශාසනික මෙහෙවරයන් රැසක් ඉටු කළහ.

කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන් වහන්සේ බුද්ධධර්මය, සිංහල, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් හදාරමින් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමි කරගත්හ. ඒ කාල වකවානුව තුළ උන්වහන්සේ තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද පිරිවෙනෙහි වැඩ සිටියහ. ඉන් පසු බම්බලපිටිය සිරි වජිරාරාමයට වැඩම කළ දරණාගම කුසලධම්ම හිමි අතිපූජනීය පියදස්සි නාහිමිපාණන් වහන්සේ ඇසුරෙහි ඉතා කීකරු ශිෂ්‍ය රත්නයක් ලෙස ද පසුව වජිරාරාම විහාරස්ථ දහම් පාසලේ විදුහල්පතිතුමන් ලෙසද සිසුසිසුවියන්ගේ ධර්ම අධ්‍යාපනය නැංවීම පිණිස කැප විය.

පසුව උන් වහන්සේ අතිපූජනීය පියදස්සි නාහිමිපාණන් වහන්සේ සමඟ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට වැඩම කරන්නේ එවකට ශ්‍රී සම්බෝධී විහාරාධිපතිව වැඩසිටි අතිපූජනීය පාණදුරේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුවය. එසේ වැඩම කරවීමෙන් අනතුරුව උන් වහන්සේ, පියදස්සි නාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් මෙරට ප්‍රථම ඉංග්‍රිසි දහම් පාසල වන ශ්‍රී සම්බෝධි ඉංග්‍රිසි දහම් පාසල ආරම්භ කළහ. සිය තරුණ ජීවිතය ආගම දහම වෙනුවෙන් කැපකරමින් ආබාධිත රණවිරුවන් උදෙසා කිහිලිකරු, අත්වාරු, කෘත්‍රිම පාද, රෝදපුටු යනාදිය බෙදා දෙමින් ද, මරණයට කැප වූ කිරි ගවදෙනුන් මරණයෙන් නිදහස් කර අසරණ ජනතාව අතරේ බෙදා දෙමින්ද පියදස්සි නාහිමිපාණන් වහන්සේට මහත් සහයෝගයක් ලබා දෙමින් කටයුතු කළහ.

එතෙක් ගිලන්ව වැඩසිටි අතිපූජනීය පියදස්සි නාහිමිපාණන් වහන‍්සේගේ අපවත් වීමත් සමඟ වර්ෂ 1998 අ‍ගෝස්තු මස 18 වන දින ශ්‍රී සම්බෝධි විහාරයේ භාරකාරත්වයට කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ පත් වූහ. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායකව වැඩසිටි අතිපූජනීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිතාභිධාන මහා නාහිමිපාණන් වහන්සේ යටතේ උන් වහන්සේ නැවතත් 2005 වර්ෂයේදී උපසම්පදාව ලැබීය.

උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම ආරම්භ කළ උන් වහන්සේ සකල ලෝ වැසියන් හට උතුම් වූ ශ්‍රී සද්ධර්මය බෙදා දීමේ පරමාර්ථයෙන් වර්ෂ 2007 ජුනි මස 27 වන දින “සැමහිත සුව පිණිස” යන තේමාව මුල් කොටගනිමින් බෞද්ධයා රූපවාහිනි නාළිකාවත්, 2011 මැයි මස 15 වන දින බෞද්ධයා ගුවන් විදුලි නාළිකාව සහ ශ්‍රී සම්බෝධී සදහම් සඟරාවත් ආරම්භ කළහ.

නාරංවල දෙල්ගොඩ ගුණරතන ශ්‍රී සම්බෝධි සදහම් සෙවණ, එංගලන්තයේ ‍ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථාන‍ය උන් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් ආරම්භ කළ පුණ්‍යස්ථාන වේ.

තවද සිංහල ජාතිය සහ සම්බුද්ධ ශාසනය රැකගැනීමේ උදාරතර පරමාර්ථයෙන් “දරුදිරි සහන අරමුදල” හා “ගැමි පුනරුත්ථාපන වැඩසටහන” ආරම්භ කළ අතර, “ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා” වැඩසටහන යටතේ නියඟයෙන්, ගංවතුරින්, නායයෑම් සහ ස්වාභාවික ව්‍යවසනවලින් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීම ආදි වූ සමාජ සත්කාරක සේවාවන් රැසක් උන් වහන්සේ සිදු කළහ.

ශ්‍රී ලංකාව පුරා ඓතිහාසික සිද්ධස්ථාන මුල් කොටගනිමින් “මියුගුණ මහා සෑ වන්දනාව”, “මහා බෝ මහා සෑ අටමස්ථාන වන්දනාව”, “පොලොන්නරු සොළොස්මස්ථාන වන්දනාව” ආදි අසදෘශ මහා පින්කම් නිරන්තරයෙන් සිදු කළ උන් වහන්සේ, බුදුන් උපන් දේශය වන ඉන්දියාවේ අවිජහිත පුණ්‍යභූමි කේන්ද්‍රගත කරමින්ද මියන්මාරය, තායිලන්තය යන බෞද්ධ රාජ්‍යයන් මූලික කරගනිමින්ද සුවහසක් බෞද්ධ ජනතාවගේ සහභාගිත්වයෙන් ආදර්ශවත් මහා පින්කම් රාශියක් සිදු කළහ. එමෙන්ම චීනය, ජපානය ආදි බෞද්ධ රාජ්‍යයන්හිද ධර්ම ප්‍රචාරක කර්තව්‍යයන් රැසක් උන් වහන්සේ මහත් කැප වීමෙන් ක්‍රියාත්මක කළහ.

මීට මාස කිහිපයකට පෙර හදිසියේ ගිලන් වූ උන් වහන්සේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන්හි එම්.ඩී. ඇන්ඩර්සන් රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැඩම කළහ. අනතුරුව පෙරළා මෙරටට වැඩම කළ කුසලධම්ම හිමියෝ පිළිවෙළින් ලංකා රෝහල, නවලෝක රෝහල සහ ආසිරි රෝහල යන රෝහල්වලින් ප්‍රතිකාර ලබමින් සිටියදී වර්ෂ 2018 මාර්තු මස 03 වන දින අලුයම විහාරස්ථානයේදී අපවත් වී වදාළහ. රට-දැය-සමය වෙනුවෙන් අපරිමිත වූ සමාජීය, ශාසනික ජාතික මෙහෙවරක පුරෝගාමියා වූ ගරු දරණාගම කුසලධම්ම මාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුවයම ලැබේවා!

කොළඹ 08,
සුසමයවර්ධන විද්‍යාලයේ අ‍ාචාර්ය, නාරාහේන්පිට
ශ්‍රී හත්බෝධි විහාරාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත ගලගම ධම්මරංසි හිමිපාණෝ 

Comments