කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

ආද­රෙන් රැක­ගන්න

නෙත නිවන නිල පෙනෙන මේ දෑස් මානයේ
විසල් තුරු මුල් බලා කැති පොරෝ එල්ල කොට
තොල තෙමා ගනු රිසින් දිය බිඳක් යදින දා
හඬනු මිස පලක් නෑ ඉර හඳට ගතු කියා

ගිනි නිවන ගිම් නිවන සියො­ළඟ ම දැව­ටිලා
මඳ පවන් රැල් ගෙනා නුබ ගැබට විස පොවා‍
­දා­හ­යෙන් පීඩි­තව වැහි වලා යදින දා
තැවෙනු මිස පලක් නෑ මිහි­ක­තට ගතු කියා

සුනිල දිය පහස ලැබ පොළෝ ගැබ සැන­සෙන්න
අතු කිනිති මල් දරා තුරු සිරස හැඩ­වෙන්න
සිහිල් මඳ පවන් රැල් සියො­ළ­ඟම දැව­ටෙන්න
සොබා­දම් දිනි­තිය ව ආද­රෙන් රැක­ගන්න

ඒ. දන්ත­නා­රා­යන


ප්‍රාර්ථනා

සිනා තොටක් ළඟ
නතර වෙන්න ආසයි
මට කියා දෙන්න පුළු­වන්
මුළු ලෝකෙට
සිනාව උතු­රන මේ නිල් දෑසම
කඳු­ළට උල්පත වන බව..

කතා කරන තරු­වක ළඟ
නතර වෙන්න ආසයි මට
මටම පුදුම මගෙ කතාව
කියා දෙන්න ඒ තරු­වට...

යාළු වෙන්න ඇත්නම් මට
කළු­වන් කළු වැහි කුළ­කට
මහ වැස්සක් වී හැලෙ­න්නට
ඉරි තලා වැටුණු බිම් කඩ­කට

සුනිලා විජේ­සිංහ


බැල්ම

නොකළ කලට කළ යුතු දේ නිසි කලදී
අපල විපත් මත, මතු විය අද පලදී
විසිර දෙබරු කොටු කළ සිටි තැන මුලදී
පහර ගසති එළවා දුටු දුටු තැනදී

ඉහ වහ ගිහින් ඇත ඇති නැත පර­ත­රය
රස විත විඳී සැඟවී ඇති සුළු­ත­රය
යහ මඟ මිරි­ඟු­වකි පෙනි පෙනී අව­හි­රය
කර වන යාතිකා දෙවොලේ අත­ව­රය

පාලන ඉසව්වේ හැල හැප්පිලි මතුව
කාරම බැඳී ඔළු­ගෙඩි මළ බල ගතුව
සායම ගිහින් බොඳ වී යහ මග පැතුව
කාලම පිඹිති හොරු එළියේ බිය නැතුව

නඩු හබ කල් මරති එන තෙක් ළඟට මරු
ඔස­වන විලං­ගුව ද‍ෑතට පමණි හුරු
කොමි­ෂම කොමිටු පත් වේ නීති­යට ගරු
විස­ඳුම කොහෙද මේ කප පව­තිනා තුරු

කර­වට එරී­ගෙන මඩ ගොහො­රු­වක හෙණ
මොහො­තකි ගෙවන්නේ සැඟවී යන්න පණ
සෝභිත හිමි­යනේ අද වැඩ සිටින තැන
අනු­ක­ම්පා­ව­කින් බැල්මක් හෙලනු මැන

ඇල්බට් ඇම්. ලියනගේ


ගංගාවේ අසනු මැනවි

වු උණු­සුම අප හැර ගිය පැල්පත තුළ දුක නිවන්න
ලෙඩින් වැටුණු අප්ප­ච්චිට කහට වතුර බිඳක් දෙන්න
වේලක් හැර වේල­ක්වත් අපේ සුදහ ගිනි නිවන්න
අයිය ගියේ ගං පතු­ළට ජීවි­ත­යට හුස්ම දෙන්න

මහ ජල කඳ දෙබෑ­ක­රන් වැලි කූඩය මතු වෙන­කොට
දෙගො­ඩ­තලා ගලා ගියා ග‍‍ඟේ වතුර සැඩ පහ­රට
හැන්ද‍ෑ­වට ගෙදර ඇවිත් කාංසි­යට කවි කිව්වට
නින්ද නැතිව දුක කිව්වා දෑත දෙපයෙ පිපි කර­ගැට

වැහි වැහැලා ගඟ ‍උතුරා වියරු වෙලා ගලා ගියා
බොර වතු­රට වහ­න්වෙලා වැලි කූඩය ග‍ඟේ ගියා
ඉර­ගල වැටිලා හෙමි­හිට ගොම්මන සිවු අති­න්තියා
කන කෙකි­ණිය හඬා වැටී ගඟට උඩින් ඉගිල ගියා

දහ­ඩිය ලේ කඳුළු අරන් සුසුම් එක්ක ගඟ ගැලුවේ
එදා පටන් ගඟ එක්කයි ජීවි­ත­යම අපි ගෙව්වේ
වැලි අහු­රක් ගොඩ අර­ගෙන ජීවි­ත­යයි අපි හෙව්වේ
පැල්පත තුළ තිබූ පහන වියරු වෙලා ඇයි නිව්වේ

ලන්තෑ­රුම් එළිය නිවා ගන­ඳුර මෝදුව පැයේ
ඉවුර තලා හෙළූ කඳුළු ගඟ දිග­ටම අරන් ගියේ
කුස ගින්දර ඉව­ස­න්නම් කිසි­වක් නැති මුත් ආයේ‍
­අ­යි­ය­ණ්ඩිව අපට දෙන්න නුඹ අර­ගෙන ගිය ඊයේ

නන්දි අලුත්ගේ රත්න­වීර


මහ­සෙන් රජු වගේ....

දිය සිඳී ඉරි තැලී
පණ ඇද ඇද
අව­සන් ගම­නට සැර­සෙන
මහා වාපි­යට
දිය බිඳක් යදී
වැවෙන් දිවි රකින
දිරිය මිනි­සුන්...

යාදිනි ...දුක් අඳෝනා
සුනු විසුනු වී ගසා­ගෙන යයි
උඩු සුළ­ඟට...

වැසි පිරි­තත් අහ­වර වුණා
පැන් පෙර­හ­රත් ඇදුණා
මහ බෝ මළු­වට...

වී බිස්ස ළඟ කුහුඹු රෑනත් හාමතේ
මාසේ පෝය­ට­වත්
පිරු­වො­තින් වැසි බිත්තර
වියළි කර්කශ අහ­සට
සැන­සුම් සුසු­මක් හෙලා
හිත සැහැල්ලු කර ගනී වී අප්පච්චි...

බිඳෙන් බිඳ බොර වතුර
වැව් පතුල සිප ගන්න දව­සට
රටක් රාජ්‍ය­යක් දිනුවා වගේ
කෙත් යායේ සක්ම­න්ක­රාවි
අප්පච්චි ...

රත්න­සිරි පති­රණ


ඇය

නිල් ගුවන පුරා පායා
මගෙ ජීවි­ත­යම එළිය කරන
එකම එක තාර­කා­විය

මන­හර එම්. වෑකඩ


කුල මානය

දාන දුන්නත් උතුම් සිතු­වි­ල්ලෙ­කින් එලො­වට වැඩ ඇතී
ගේන ආයුස ඉවර වෙන්නට කළින් සම­හරු මිය යතී
හීන දැක දැක උජා­රු­ව­කින් මම­ත්වයෙ සෙව­ණැලි නැතී
මානයෙන් හිස ‍උදුම්මා­ගත් අය මිනි­ස්කම නොදකිතී

අරි අටඟ මඟ තුළින් දැනැ­දින හොඳ නරක වෙන් කළ හැකී
පිරි සුදුව ගුණ දහම් සුර­කින සිතට සම ­මෙත සිසිලකී
හරි දැකී­මෙන් බුදුන් බිඳලු නමුදු කුල මානය සැකී
තිරි සනු­න්ගෙන් වෙන් කළත් සම­හරු මිනි­ස්කම පිටු දකී

වැට කඩන් මී හරක් එනු දැක අම­ත­කව යා යුතු මඟත්
කටකතා පැති­රු­වත් කෙනෙ­කුට පට­ලවා ගෙන මුල අගත්
රටක ඉපදී කලා කාමී ලෝපුරා කිතු­ගොස රැගත්
විටක පුහු මාන­යෙන් පෙෙළ­තිලු සම­හ­රෙක් පත පොත උගත්

පිරුණු මල් රොන් තුළින් රැව් දෙනු බලා බිඟු ගුමු නද තුටින්
දරුණු ව‍‍ූවත් සම­හ­රුන්ගේ කතා බහ පිට­වෙන කටින්
කරුණු නොදැනී කෙනෙක් සියො­ලඟ වැසූ මානයෙ සළු පොටින්
මැරුණු දව­සට යන්න වෙන්නේ හතර දෙනෙ­කුගෙ කර පිටින්

ගෙයි පැලේ එක මව­කගේ දරු­වන් කුඩා කල එකමුතුයි
අැයි නියම මායි­මට පොර­කන සිරිත සම­හර අය සතුයි
දයි වයේ වර­ද­කින් ජීවි­ත­ව­ලට උස්මිටි කම නතුයි
කොයි කුලේ මිනි­හත් උපන්නේ නිරු­ව­තින් බව දත යුතුයි

සරෝ­ජිනී කවි­රත්න



නමක් දන්නෙ නැති මල්

බෙදා වෙන් කිරී­මෙහි ලා තැනූ
ඉපැ­රැණි මහා ප්‍රකාර බිතෙහි
තැනින් තැන මතු ව‍ූ
ඉරි­තැ­ළුම් මත්තෙහි
ඉසි­ඹු­වක් ලද වහා පැළවේ
නෙක නෙක රුවින් යුත්
නමක් දන්නෙ නැති මල්

ගයාන් ඉන්දුල කොඩි­තු­වක්කු
 


ඔබේ නෙතයි මගේ නෙතයි

ඔ‍බේ නෙතු විවර කොට
හොරැ­හින් බැලීය මා දෙස‍
­මගේ නෙත විවර විය‍
­සැ­ෙණ­කින් බැලීය ඔබ දෙස

රෝස පැහැ ඔබේ නෙත්
­ක­ඳුළු කැට පුරවා ගත්
සුසුම් හෙළනා සිත්
පාට මුතු ලෙස විසු­රුවා ගත්

එකතු කළ මා එවන් මුතු කැට
රන් හුයෙක අමුණා එකින් එක
ඔබේ ගෙල ඉන් සර­ස­ව­න්නට
සඟවා තැබුවා කිරි සයුර යට

සුසු­මන් දුරලා එනු මැන හනි­කට
වෙරළ කොනේ පා වෙන තරු­කැට
රැගෙන ඇවිත් අමුණා එක වැල­කට
මිණි මෙවු­ලත් අපි සර­සමු හෙමි­හිට

රංජිත් ගුණ­ව­ර්ධන


නිල දිගැ­සිය

විලා­සි­නියේ වෙර­ළස
මුලා­වකි නුරා මන­දොළ
මායා සිතිජ දැල
පැටලී නොයන් දිය­ඹට...
සොඳු­රුයි දකින ළැම
අඳු­රුයි අදිසි ළය
කදි­මයි රුසිරු කය
කුරි­රුයි සලෙල දන - මන‍...

ගයනා ලිහිණි කැල
සරයේ තනුව නුඹ­ම­ය‍
­ග­ව­සන මුහු­ල­සට
හා දුවකි තරඟ තර‍ෙ­ගට...
රළ පිට රළ පෙරළී
ඔබ දෙපා දොවා තුටු වී
කොඳු­රයි තෙරට ළංවී
සිරි­සර නීල දිගැසී

ජී. ශ්‍රියං­ගනී


එක්තරා සන්ධ්‍යා­වක

ඔබ නොපැ­මිණි බැවින්
අඳුර ඇවිත් වේල­ප­හින්

සුදත් ගාමිණි බණ්ඩාර


දුරුතු හිරු එළිය යට...

දුර ඈත සිට පෙරී ආ
දුරුතු හිරු එළිය
සුර­ත­ලෙන් දැව­ටෙයි
එළ­ළු­වන් සිරුරු මත
ඉස්පා­සු­වක් නොමැ­තිව
හාදු වැසී වසිනු දුටු
කතු­රු­මු­රුංගා මල්
විලි­බ­රව හිනැ­හෙන
බොළඳ පෙම් බස් වැගි­රෙත
වැසෙයි නිල්මිණි දෙන­යන
තාමත් තිඹිරි ඵල වන්
පිය­යුරු පහස සුව­බර
නිශා කත තුළ සැඟ­වුණ
නර කෙසක් නෙතට හසු­වන
සුර­තා­න්තය අසල ම
සුතන් හඬනා රඟ බල!

තිස්ස නිහාල් වික්‍ර­ම­සිංහ
 



මං ඔයාට ආද­රෙයි

කළ කී දේ
මට මත­කයි
ආගිය තැන්
මට මත­කයි
අර­න්දුන් ඒවා
ලැබිච්ච මේවා
මට මත­කයි
හද­වත ද මදිය
මට
හිත ද ඇති මට
දරා ගැනී­මම
කියා­පාන්නේ
ආද­ර­යම නේද
ඒත් ඉතිං ඇයි
මගෙන් අහන්නේ
මං මොන­වද
කරන්නෙ කියලා

වේනුක භාරත ධර්ම­රත්න



වහි­නව නම් තෙමෙන්න

කපු­ටෙක් ඇවිත් මා වට­කර කොටන්නා
ලේනෙක් ඇවිත් අතු අග සිට රවන්නා
ගිර­වෙක් ඇවිත් ඉද හිට ඉඟි කරන්නා
වරු­වක් වෙලත් නුඹ නම් අද නො එන්නා

සියො­තුන් අහසෙ උඩ යනවා පෙනෙන්නේ
මම නම් මෙතන ගිනි අව්වේ තැවෙන්නේ
නුඹ නම් ඉතින් සැමදා පැණි බුදින්නේ
සම­යන් ජාමේ මම තාමත් තැවෙන්නේ

කාලේ කුමට වහි­නව නම් තෙමෙන්න
දැලේ කුමට ගඟ හොඳ ඔරු පදින්න
සීලේ කුමට ගං ඉවුරේ රැදෙන්න
මාලේ කුමට සඟ­වනු හොඳ බඳින්න

සුනිල් ලීවා­නගේ


හිතක වෙහෙස

අමා­වක රෑ
සොයා විත්
පුන් සඳ
මං මුළා වී
අඳු­ර­ටම
පෙම්බැඳ...

නියං සමයේ
සොයා විත්‍
­වැ­සි­දි­ය‍
­පි­පා­සිත වී
බොර දියට
පෙම් බැඳ...

මල් සොයා­වි­ත්
­කටු අකුල්
බැදි වල
කටු ඇනී හිත
ගලන රතු ලේ
මවයි රස කවි පද
විඳි­න්නට රස
සොයා විත් කවි
ගයන්නේ කුම­කට...

මිනි­සුන්ගෙ හිත්
ගල් වෙලා මිස
මුදු මෙලෙක
කොතැ­නද?

රුව­න්මලී දීපිකා

 එතෙර කවිය

නොවැ­ල­පෙනු මා සොහොන මත සිට...

නොවැ­ල­පෙනු මා සොහොන මත සිට,
නොවෙමි මම එහි; නොනි­දමි
හමන දහ­සක් සුළඟ මම වෙමි
දිලෙන හිම­යෙහි පළිඟු කැට වෙමි
පැසුණු ගොයමේ පතිත හිරු වෙමි
සරත් කල මෘදු වැස්ස මම වෙමි‍‍....

නිසල උද­යක පිබිදි විට ඔබ
රංචු ගැසිලා හනික ඉහ­ළට
පියා­ස­ලනා සියොත් කැල මම
රැයෙහි දිලෙනා සුමුදු තරු මම
නොහ­ඬන්න මා සොහොන මත සිට
නොවෙමි මම එහි,
නොමැ‍රු­ණෙමි මම!

මේරි එලි­ස­බෙත් ෆ්‍රායි

(Mary Elizabeth Frye)
‘Do not stand at my grave and
weep’

මේරි එලි­ස­බෙත් ෆ්‍රායි (1905 – 2004) ඇමෙ­රි­කාවේ වාසය කළ ගෘහි­ණියකි. උක්ත කාව්‍යය ඇය’තින් බිහිවූ පළමු සහ එකම කාව්‍යය බව කියවේ‍. මේ කවිය ලිවී­මට පාදක වූ සිදු­වීම අති­ශය මානු­ෂී­යය. ජර්ම­නියේ ක්‍රියා­ත්මක වෙමින් පැවති යුදෙව් සමූල ඝාත­න­යෙන් දිවි ගල­වා­ගනු පිණිස එකල ෆ්‍රායි ගේ නිවසේ මාග්‍රට් ශ්මර්ස්කොෆ් නම් යුදෙව් තරු­ණි­යක වාසය කළා ය. තම මහළු, රෝගී මෑණි­යන් ද තමා හා කැටුව ඒමට නොහැ­කි­වීම ගැන ඕ සිත් පීඩා­වෙන් පසු වූවා ය. මද කලෙ­කින් ඇයට ආරංචි වූ සිය මවගේ මර­ණයේ පුවත එම සිත් පීඩාව දැඩි කම්ප­න­ය­කට හා ශෝක­ය­කට පෙර­ළීය. අස­රණ තරු­ණි­යගේ සිතට සැන­සීම ගෙනෙනු වස් ‍ෆ්‍රායි මෙම පද්‍යය රචනා කළා ය. එය මාග්‍රට් හට පම­ණක් නොව ඉන් පසු මුළු මහත් ලෝ වැසි­ය­නට ද අස්වැ­සිල්ල ළඟා කළේ ය. ජාති, ආගම්, සමාජ භේද­ය­කින් තොරව, අදට ද මෙය ලොවේම ආද­රය දිනා­ගත් කාව්‍ය­යකි. “මෙය අයිති මට නොවෙයි; ලෝක­ය­ටයි. මෙය ලිවීමේ මගේ අර­මුණ ලොවට ආද­ර­යත් සැන­සී­මත් ලබා­දී­මයි” යනු­වෙන් ෆ්‍රායි කිවි­ඳිය වරෙක පවසා ඇත.

අමන්දා දළු­පොත

 

Comments