
බීරංගය
මෙම සිදුවීම 60 දශකයේ වූවකි. නිලමේ මාමා ගමේ දක්ෂ සංගීතකාරයෙකි. ටීටර් කාරයෙකි. වසර 2 – 3 කට වරක් ගමේ පිරිස එකතු කරගෙන ටීටර් එකක් නොමිලේ පෙන්වීමට තරම් හැකියාවක්, වත්කමක් ඔහුට තිබුණි. පසුගිය වර පෙන්වූ රජ කතාවට විශාල වියදමක් දැරීමට සිදුවූ බැවින් ඔහු මෙවර තෝරා ගත්තේ සමාජ කතාවකි.
නිලමේ මාමාගේ සමාජ කතාවල ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය සහ දුෂ්ටයා ප්‍රධාන භූමිකාවන් පණ ගන්වන අතර අවසානයේ සත්‍ය ප්‍රේමය ජයගෙන දුෂ්ටයා පසුබසින අයුරින් කතාව ගොඩ නැඟේ.
මෙවර කතාවේ ප්‍රේමවන්තියගේ අනියම් සම්බන්ධතාව ප්‍රේමවන්තයාගේ අතටම හසුවන මොහොත ප්‍රේක්ෂකයන් බලා සිටියේ ත්‍රාසයෙන් ය. එම දර්ශනයේදී ප්‍රේමවන්තයා ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලයෙන් දුෂ්ටයාට වෙඩි තබයි. පිස්තෝලයේ කොකා ගස්සන විට වෙඩි හඬ වෙනුවට එකල පාවිච්චි කළේ බීරංගයයි. වෙඩි බෙහෙත් කොටා සකසා ගත් බීරංගය යකඩයකට හෝ ගලකට ගැසූ විට මහ හඬින් වෙඩිල්ලක් පත්තුවේ. නමුත් වෙරිමර ගාතේ සිටි බීරංගය ගසන්නා ගැසූ පහර නිසි අයුරින් පත්තු වූයේ නැත.
මේ අනපේක්ෂිත සිදුවීම කතාවේ ගලායෑමට බාධකයක් වූයේ ය. පුහුණුවීම් වලදීවත් එවැන්නකට මුහුණ දී නොසිටි පෙම්වතාට ස්ථානෝචිත ප්‍රඥාව පහළ විය. පිස්තෝලය පසෙකට විසි කළ පෙම්වතා ‘මූනිස්සං ඉවර වුණාට මගෙ අත්දෙක හයියයි මිනිහෝ...!’ යි කියමින් දුෂ්ටයාගේ බෙල්ල මිරිකීමට ඔහු වෙත කඩා පැන්නේ ය.
දෙදෙනා පොරකමින් සිටියදී හදිසියේ ම වෙඩිල්ලක් පත්තු වූයේ ප්‍රේක්ෂකයා අන්දමන්ද කරමින් ය. වෙරි මරගාතේ සිටි බීරංගය ගසන්නා පළමු උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු නැවතත් වෙඩි බෙහෙත් පුරවා බීරංගය ගැසුවේ වේදිකාවේ සිදුවන්නේ කුමක්ද යන්න ගැන සිහියක් නොමැතිව ය.
එදා ප්‍රේක්ෂකයන් නාට්‍යයේ කතාව නැරැඹීමෙන් ලබන සතුටට වඩා සතුටක් එම සිදුවීමෙන් ලැබූ බව අදද සිහිපත් කරන්නේ සතුටිනි.
එඩ්වර්ඩ් පෙරේරා
පොල්ගහවෙල
කරෝලිස්ගේ වැසිකිළි ප්‍රශ්නය
දම්පිටිය ග්‍රාමය තරමක් පිටිසර බද ගැමි පරිසරයකින් යුත් ප්‍රදේශයකි. මෙම ගමේ විසූ කරෝලිස් බත බුලතින් හා ගොවිතැනින් ජීවත්වූ ගැමියෙකි. රජය මඟින් අඩු ආදායම්ලාභීන්ට වැසිකිළි සෑදීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙද්දී කරෝලිස්ට ද වැසිකිළියක් සාදාගැනීම සඳහා මුදල් ලැබුණේ කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමකට අනුව ය. වැසිකිළි වළ කපා ගඩොල්, වැලි, සිමෙන්ති, කළුගල් හා උළු මිලදී ගැනීම සඳහා කරෝලිස්ට එමඟින් මුදල් ලැබුණු අතර වැසිකිළිය ක්‍රම ක්‍රමයෙන් ගොඩනඟාගත් කරෝලිස් එය වහලය දක්වා බැඳ නිම කළේ ය. දිනක් මෙම කටයුත්ත හරියාකාරව නිසි පරිදි කර ඇද්දැයි සොයා බැලීම සඳහා වගකිව යුතු නිලධාරියෙකු ඔහුගේ නිෙවස වෙත පැමිණියේ මේ අතරතුර ය. වැසිකිළිය ගඩොලින් බැද නිෙවසේ වහලය දක්වා සාදා තිබෙනු දුටු නිලධාරියා ඒ ගැන කරෝලිස්ගෙන් විමසීය. ඔහු පැවසුවේ තමාට වැසිකිළි යෑමේදී අහස පෙනෙන්නට අවශ්‍ය බවත් එසේ අහස නොපෙනුණොත් තම කාර්යය ඉටුකර ගත නොහැකි බවත් ය.
වහලය ගසා වැඩ නිමකර නැවත කාර්යාලයට දන්වන ලෙස අණ කළ නිලධාරියා යළි සති තුනකට පමණ පසු නැවත ගමට ගියේ වහලය ගසා වැසිකිළියේ වැඩ නිමකර ඇද්දැයි සොයා බැලීම සඳහා ය. නමුත් ඒ වනවිටත් වහලයේ වැඩ නිමකර නොතිබීම නිසා කෝපයට පත් නිලධාරියා වහලය නොගැසුවේ මන්දැයි ප්‍රශ්න කළේ ය. ඊට පිළිතුරු දුන් කරෝලිස් නැවත ද පැවසුවේ එදා කී දේමය.
මින් නැවතත් කෝපයට පත්වූ නිලධාරියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් කරෝලිස්ට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර ඔහු වෙත යැව්වේ වහලයට වැයවන මුදල ආපසු අයකර ගැනීමේ අරමුණිනි.
විශ්‍රාමලත් ආචාර්ය ඩී.එන්. දිසානායක
කොස්වත්ත - බිංගිරිය