දියුණුවේ මංපෙත් හෙළි කරමින් පුලතිසිපුර බල ගැන් වූ කාන්තා දෑත් | සිළුමිණ

දියුණුවේ මංපෙත් හෙළි කරමින් පුලතිසිපුර බල ගැන් වූ කාන්තා දෑත්

කාන්තා කටයුතු ඇමැතිවරිය හා නැ‍ඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා පළමු දින උත්සවය නැරැඹූ අවස්ථාව

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ පසුගිය 8 වැනිදාටයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත මෙවර පොළොන්නරුවේ පැවැත්වුණු කාන්තා දිනයේදී වැඩි දායකත්වයක් ගෙන කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද මෙවර කාන්තා දින උලෙළේ 'කාන්තාව එදා සහ අද' යන්න ඍජු ලෙසින් නොපෙන්වූවත් ඇය සවිමත් බව හා එඩිතර පෙන්වමින් සිදු කරන ලද සියලුම සංදර්ශන යුද හමුදාවේ මෙහයවීමෙන් සිදු කරන ලද අතර විශේෂයෙන්ම යුද්ධ හමුදා කාන්තා නිලධාරීන් හා සෙබළියන්ගේ සුවිශේෂි දක්‍ෂතා ඇතුළත් සංදර්ශන අංගයන් ද ප්‍රදර්ශන භූමියේ ඉදිරිපත් කිරීම කාගේත් සිත් ගත්තේය.

සමාරම්භක උලෙළ 7 වැනිදා වනිතා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අතින් සිදු වුණු අතර 8 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කාන්තා දින උත්සවය නිල වශයෙන් විවෘත කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කාන්තාවන් පමණක් සහභාගි වී අඩි 7000ක ඉහළ අහසේ සිට බිමට පැරෂුට් මඟින් පැමිණීම සිදු කරන ලදී. කාන්තාවද පුරුෂයාට හා සමාන ලෙසින් ධෛර්යය සම්පන්න හා එඩිතරකම ඇත්තියක් බව මෙයින් විදහා පෑමට අදහස් කරන ලදි.

විශේෂයෙන්ම 3 වන ශ්‍රී ලංකා කාන්තා බළකායේ අණදෙන නිලධාරී මේජර් චමරි විජේතිලක විසින් මෙහි වැඩි දායකත්වයක් ගෙන කටයුතු කළ අතර මේ පැරෂුට් සංදර්ශනවලට අමතරව විශේෂ තූර්ය වාදන හා නර්තන සංදර්ශනත් ශාරීරික අභ්‍යාස සංදර්ශන හා ආත්මාරක්‍ෂක සටන් ක්‍රමත් ඉදිරිපත් කරන ලදී. එයින් හමුදා සේවයේ නියුතු කාන්තාවන්ගේ ධෛර්යය ශක්තිමත් භාවය, එඩිතර බවත් පෙන්නුම් කළ අතර සෞන්දර්යාත්මක හැකියාවන්ද ප්‍රදර්ශනය කරන ලද්දේ කාන්තාවන් සවිබලගැන්වී ඇති බව පෙන්නුම් කරමිනි.

මේ සඳහා යුද්ධ හමුදා සංඥා බළකාය, ඉංජිනේරු සේවා බළකාය, බුද්ධි බළකාය, වෛද්‍ය බළකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය, පොදු සේවා බළකාය සහ යුද්ධ හමුදා කාන්තා බළකාය පූර්ණ දායකත්වය ලබා දෙන ලදී.

පොළොන්නරුව යෝජිත ආර්ථික මධ්‍යස්ථාන භූමියේදී පැවැති මෙම උත්සවයේදී වෙළඳ කුටි 90කින් යුක්තව පැවැත්වුණු කාන්තා නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළට ව්‍යවසායිකාවන් 100කගේ සහභාගීත්වය තිබුණි. විශේෂයෙන්ම ‘දියුණුවේ මංපෙත් හෙළි කරයි ඇය සවිමත්‘ යන්න තේමා කර ගනිමින් පැවැත්වුණු මෙවර කාන්තා දිනයේදී කාන්තාවන්ටද ධෛර්යය සම්පන්න බවින් යුක්තව සියල්ල කර ගැනීමට හැකි බව පෙන්වීම ප්‍රධාන අරමුණ විය. එසේ වුවත් ඇය විසින් ජයගත යුතු අභියෝග මොනවාද යන්න ගැනත් මෙහිදී පැහැදිලි විය.

ගෘහනියක වී නිවස පිටුපසටම වීම නොව ඊට එහා ගිය ලෝකයකට ඇයට ගමන් කළ හැකි බව පෙන්වමින් පැවැති මෙවර කාන්තා දින උලෙළේ විශේෂත්වය වූයේ ඉංජිනේරු වැනි කාන්තාවන් අඩුවෙන් දායකත්වය සපයනු ලබන අංශයන්ගේ වැඩි දායකත්වයක් කාන්තාවට ලබා දිය හැකි බව පෙන්වා දීමයි.

විශේෂයෙන්ම කාන්තා කාර්යාංශයේ ලියාපදිංචි කාන්තා සංවිධානවල අඩු ආදායම්ලාභීන් බල ගැන්වීම සඳහා ඔවුන් ව්‍යාපාර ක්ෂේත්‍රයට පෙළඹවීම සහ උනන්දු කරවීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරනු ලබන චක්‍රීය ණය වැඩසටහන ඵලදායී ලෙසින් පවත්වා ගත හැකි ආකාරය සම්බන්ධවද මෙහිදී දැනුවත් කරන ලදී.

ඒ අනුව කාන්තාවන් වැඩි පිරිසකට වැඩි ප්‍රතිලාභ ලබා දිමේ අරමුණින් කණ්ඩායම් ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට අවශ්‍ය කටයුතු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ. එසේම පෞද්ගලික ආයතනයක් හා එක්ව ශ්‍රී ලාංකීය කාන්තාව ආර්ථිකයට දායක කර ගැනීමේ වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමටද කාන්තා කාර්යාංශය කටයුතු කරන ලදී.

ගෘහමූලික කාන්තාවන් සඳහා ස්වයං රැකියා අවස්ථා ලබා දීමත් එම රැකියාවන්ගෙන් පවුල් නඩත්තුව නිසි පරිදි සිදු කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කරන ලදී.

විශේෂයෙන්ම කුමන හෝ හේතුවකින් ස්වාමියා නොමැතිව පවුලේ බර ගෙන යාමට සිදුව ඇති කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ සඳහා විශේෂ ආදායම් උත්පාදන මාර්ග සදහා පෙළඹවීමේ පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.


ඡායාරූප - නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය

Comments