
කළගෙඩියේ සිට හට්ටි, මුට්ටි, ඇතිලි, මඩක්කු, කොරස්, නෑඹිලි, ගුරුලේත්තු, මල් බඳුන්, දර උදුන් ආදි මෙකී නොකී එදිනෙදා ජන ජීවිතයට අත්‍යවශ්‍ය බොහොමයක් භාණ්ඩ සකසා සපයා දුන් වළං කර්මාන්තය එදවස සිටම මෙරට ජන ජීවිතය හා එකට බැඳී පවතින්නකි. ක්‍රමයෙන් අභාවයට යෑමේ අවදානමට ලක්ව ඇති මෙකී කර්මාන්තය උදෙසා පණ දීමට වෙහෙසෙන ඈත ගම්මැද්දක නෑ සියන් සොයා ඉකුත් දිනක අප ගියෙමු. ඒ පිටිසර සිරියාව තවමත් නොඅඩුව ශේෂව ඇති තඹුත්තේගම, මැහිඇල්ලෑව ගම්මැද්ද වෙතය.
මැහිඇල්ලෑව ගම්මැද්ද පාරම්පරික මැටි වළං කර්මාන්තයට ප්‍රකටව ඇත්තේ අද ඊයේ සිට නොවේ. එය දශක ගණනාව සිටය. තඹුත්තේගම නගරයට උතුරු දෙසින් කිලෝ මීටර් දහයක් පමණ මෑත්ව ගම්මානය පිහිටා ඇත.
බොහෝ තැන්හි සකපෝරු කරකවමින්, දහදිය හෙළමින් කර්මාන්තයේ නියැළෙන ගැමියන්ගේ දසුන මෙහි දුලබ නොවේ. ඔවුන් එලෙස වෙහෙසෙන්නේ සිය දරු සිඟිත්තන්ගේ හෙට දවස යහපත් කර ගැනීමටය. මැටි කපා ගෙනැවිත් පාගා පදම් කොට ගල් මුල් අපද්‍රව්‍ය ඉවත් කොට, රළු මැටි පිඬ සකපෝරුව මත තබා සුරුවම් වළඳක් බවට පත් කරන්නේ හරි අපූරුවටය. එහෙත් එම වළඳ මද පවනේ වේලා පෝරණුවේ දමා පුලුස්සා වෙළෙද පොළ දක්වා ගෙන යන ගමන ඉතා දුෂ්කර කටයුත්තකි. නේක දුක් ගැහැට මැද අපමණක් අපෙක්ෂා පෙරදැරිව සකපෝරුව මත දහදිය හෙළන පී.ඒ. කුසුමාවතී මහත්මිය අපට පැවසුයේ ඒ පිළිබඳය.
“රස්සාව කරන්න මැටි පස් හොයාගන්න එක ලේසි නෑ. අපි පස් ගන්නේ ගමේ කෙළවරේ තියෙන මණ්ඩාවල වැවෙන්. කුඹුරු මැදින් ගිහිල්ලා උරවල පුරෝගෙන කරේ තියාගෙන තමයි මැටි අදින්නේ. ඒක ලොකු දුකක්. ඒත් කාටවත් බරක් නැතිව කරන මේ දෑතේ රස්සාව ලොකු නිදහසක්. ඒත් අපෙන් පස්සේ නම් මේ කර්මාන්තේ කරගෙන යන්ඩ කෙනෙක් ඉතුරු වෙන එකක් නෑ. අපි විඳින දුක විඳගෙන දරුවෝ කැමැති නෑ මේ රස්සාව කරන්ඩ. කාගෙන්වත් උදව්වක් නැතත් ජීවත් වෙන්ඩ ඕන නිසා අපි හැම කරදරයක්ම විඳගෙන රස්සාව කරනවා.”
පවුල් තිහක් පමණ මේ ගම්මානයේ වළං කර්මාන්තයේ යෙදී සිටිති. ස්ථිර මඩු නොමැති වීම හේතුවෙන් පායන කාලයේ දී මෙන්ම වැසි සමයේදී ද විවිධ දුෂ්කරතා විදීමට ඔවුනට සිදුව ඇත්තේය. මැටි පදං කරගැනීමට යන්ත්‍රයක් ලබාදෙන්නේ නම් එය මහත් පහසුවක් බව ඔවුහු පවසති. පහසුකම් නොමැතිවීම හේතුවෙන් බොහෝ දෙනෙක් කර්මාන්තයෙන් ඈත් වෙමින් සිටින බව ද ගැමියන්ගේ අදහසයි.
ඒ ගමේ පදිංචි කේ.එන්. නිලංකාට රළු මැටි පිඩක් අපූරු නිර්මාණයක් බවට පෙරැළීමේ මනා හැකියාවක් ඇත්තේය. යෞවනියක වුවද ඇය මේ නිර්මාණකරණයට කැමැත්තේය.
“අපි වළං හදනවා කිව්වහම සමහරු අපි දිහා අමුතු විදිහට බලන්නේ. ඒත් මට නම් වළං හදනවා කියන එක ලැජ්ජාවක් නෙමේ. ඒත් වෙලා තියෙන්නේ අපි තවමත් පුරුදු විදිහටමයි වළං හදන්නේ. හදිසියට එහෙන් මෙහෙන් හදාගත්ත මඩු ඇතුළෙයි ගොඩක් දෙනෙක් රස්සාව කරන්නේ. වළං පුච්චන පෝරණුව තියෙන්නෙත් මේ මඩුව ඇතුළේ. වැහි කාලෙට මේ මඩු දෝර ගලනවා. එහෙන් හිරිකඩ. බොහෝ දෙනෙක් ඒ කාලෙට රස්සාව අතඇරලා දානවා. හොඳ මඩුවක් නැති වුණාම වහින කොටත් කරදරයි. පායන කොටත් කරදරයි. වහින කොට වළං නොතෙමී තියාගන්න විදිහක් නෑ. පායන කොට තද අව් රස්නෙට හදන වළං පුපුරනවා. කවුරු හරි අපිට සෙවිලි තහඩු ටිකක්වත් දෙනවා නම් ඒකත් ලොකු උපකාරයක්.”
කාලයක් මුළුල්ලේ නොනැසී පැවැති දේශීය කර්මාන්ත බොහොමයක් වත්මන් තරගකාරි විවෘත ආර්ථික වටපිටාව තුළ බාධක රැසකට මැදිව පැවතීම නොරහසකි. නවීන තාක්ෂණික මෙවලම් භාවිතය, නව දැනුම, සාධාරණ වෙළෙදපොළ අවස්ථා උදාකරදීම, නිර්ව්‍යාජ අතහිත දීම් සහිත වැඩපිළිවෙළක් මේ පාරම්පරික වළං කර්මාන්තයට අවශ්‍යමය. අද බොහෝ දෙනෙක් මැටි වළං භාවිතයට ප්‍රියතාවක් දක්වද්දීත් කර්මාන්තයේ නියුතුවුවන් මෙලෙස අසරණ වීම ගැටලුවකි. අවශ්‍ය වන්නේ කර්මාන්තය දියුණු කර ගැනීමට ඔවුන්ට අතදීමකි. එම්.බී. පියසේන දශක තුනක පමණ සිට කර්මාන්තයේ නියුතු අයෙකි.
“කෙතරම් දුක් මහන්සි වෙලා හම්බ කෙරුවත් අද කාලේ හැටියට මේ රස්සාවෙන් ඉතුරුවක් කරන්න අමාරුයි. හරියට බැලුවොත් මේකෙන් ලොකුම ලාභය ගන්නේ අතරමැදි වෙළෙන්දෝ. අපි කියන ගාණට කවදාවත් වෙළෙන්දෝ අපෙන් වළං ගන්නේ නෑ. අපිට හැමදේම කරලා දෙන්න කියලා අපි කියන්නේ නෑ. අපේ වියදමෙන් මහන්සියෙන් කරගන්න අමාරු දේවල් ටික කරගන්න අපිට උදවු කෙරුවොත් කරදරයක් නැතිව මේ රස්සාව කරගන්න පුළුවන්. ඇත්තටම අපිත් කරන්නේ සේවයක්. අපි මේ රස්සාව අතඇරියොත් වළං හදන වැඩේ කරන්න කෙනෙක් නෑ. අපිම කරනවා ඇරෙන්න වෙන කවුරුවත් මේ රස්සාව කරන්න කැමතිත් නෑ. කරන්නත් බෑ.”
මැටි පිඩක් සකසුරුවමින් අනා ඉන් බඳුනක් තැනීම ද කලාවකි. පී.ඒ. කුසුමාවතී මහත්මිය වසර ගණනාවක් තිස්සේ සිය දෑතින් වළං දහස් ගණනක් සාදා ඇත්තේය.
“හරියට මැටි පදං කරගන්න බැරිවුණොත් පුච්චන කොට වළං පුපුරනවා. මුළු මහන්සියම අපතේ යනවා. කකුලෙන් මැටි පාගලා පදම ගන්න ලොකු වෙලාවක් යනවා. ඒත් පොඩ්ඩ බැරිවුණොත් ඔක්කොම ඉවරයි. මැටි අඹරන මැෂින් එකක් තියෙනවා නම් පැය භාගෙට දවස් ගාණකට ඇතිවෙන්ඩ මැටි අඹරා ගන්ඩ පුළුවන්. එහෙම දෙයක්වත් ගමට ගැබෙනවා නම් ඒක ලොකු දෙයක්. වළං පුච්චන්ඩ දර, පොල් ලෙලි, පොල් පිති වගේ දේවල් ගේන්නෙත් සල්ලි දීලා. මේ හැමදේමත් එක්ක අපෙන් පස්සේ කවුද මේ රස්සාව කරන්නේ. ඒ ගැන කවුරුවත් හිතන් නෑ. ඒක තමයි අවාසනාව.” ඇය දුක් වන්නීය.
ඩබ්ලිව්. ප්‍රදීප්
තඹුත්තේගම විශේෂ