අලුත් ගුරුවරයෙක් අලුත් පාසලක් | Page 2 | සිළුමිණ

අලුත් ගුරුවරයෙක් අලුත් පාසලක්

 පාසලට සමු දී කාලයක් ගත වීමෙන් අනතුරුව එදා තමාට ඉගැන්වූ ගුරුවරුන් බලන්නට උගත් පාසලට යෑම බොහෝ දෙනකුගේ සිරිත විය. වසර 10ක් නොව, වසර 15කින් ගියත් අපට ඉගැන්වූ ඒ පැරණි ගුරුවරු පාසලේදී හමු වෙති. පාසලත් පෙර තිබූ පරිදිම විය. ගුරුවරුද ඔවුහුම වූහ. ඔවුන් එදා ඉගැන්වූ විෂයයද එසේම උගන්වති. කිසිදු වෙනසක් දිස් නොවුණද එදා තාරුණ්‍යයේ සිටි මේ ගුරුවරු ඒ පාසලේම සේවය වෙනුවෙන් සිය තාරුණ්‍යය කැප කර විශ්‍රාම යෑමට ආසන්නව ඇත්තෝය.

එහෙත් මෑතක සිට මේ සම්ප්‍රදායට සමු දුන්නේ පාසල් පද්ධතියද අලුත් වෙමිනි. දැන් පාසලේ පරණ ගුරුවරු කිසිවෙක් නැත්තාහ. ඒ සියල්ලටම අලුත් මුහුණු එකතු වී ඇත්තේය. දරුවෝද මේ අලුත් මුහුණු හේතුවෙන් අලුත් වී ඇත්තේය. එසේ හෙයින් රටේ තුන්සිය ගණනකට අධිකව ඇති සියලු ජාතික පාසල්ද දැන් අලුත් වී ඇත්තේය. අලුතින් විද්‍යාවට ගුරුවරයකු පැමිණෙද්දී ගණිතයටද අලුතින් ගුරුවරියක් පාසලට පැමිණ සිටින්නීය. ඒ අලුත් මුහුණු හේතුවෙන් දරුවන්ගේ සිතුම් -පැතුම් පවා නව මුහුණුවරක් ගෙන ඇත්තේය. ඈ හෝ ඔහු අලුත් මුහුණක් වුවත් දැනුමින් ඔවුහුද වසර 10කට වඩා පැරණි ඇත්තෝය. එසේම බොහෝ කාලයක් තවත් දරු පිරිසක් සමඟ දැනුම බෙදා ගත්තෝ වෙති. දැන් පාසල අළු ගසා පණ ගැන්වී ඇත. විදුහල්පතිවරුන්ට පාසල් පරිපාලනය පහසු වී ඇත්තා සේය. පැරණි පාසලට කාලයක් අරක්ගත් ගුරුවරුන්ගේ බලාධිකාරිය දැන් ගිලිහී ඇත්තේය. මෙසේ හෙයින් පාසල කිසිදු ගැටලුවක් නැතිව පාලනය කිරීමට විදුහල්පතිවරුන්ට හැකි වී ඇත්තේය.

මෙය කාලයක් පුරා කරන්නට සිහින මැවූ වෙනසේ යථාර්ථයයි. පසුගිය කාලයේ හිටපු අධ්‍යාපන ඇමැතිවරුන්ටත් කළ නොහැකි වූ මේ වෙනසට මුල පිරිවේ වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාය. මේ වන විට ගුරු මාරුවේ අදියර දෙකක් අවසන්ව ඇති අතර, ලබන සතියේ තවත් අදියරක් අවසන් වන්නේය. එය සරලව පැවැසුවොත් ලබන සතියේ සියලු ජාතික පාසල් තවත් අලුත් වෙන්නේය. ලංකාවේ සියලු ජාතික පාසල් ප්‍රමාණය 353ක් වන අතර, මෙහි ගුරුවරුන් 38,000ක් පමණ වෙතත් එයින් 12,220ක්ම මේ මාරුවීම් ප්‍රතිපත්තිය යටතට වැටුණේ ඔවුන් එකම පාසලේ අවුරුදු 10කට වැඩි කාලයක් සේවය කිරීම හේතුවෙනි. සාමාන්‍යයෙන් රජයේ සෙවයේ ප්‍රතිපත්තිය වන්නේ වසර තුනෙන් තුනට හෝ වසර පහෙන් පහට මාරුවීම් සිදු කිරීම වුවත් ගුරු මාරුවීම් එසේ සිදු නොවුණේ නිය පොත්තෙන් කඩන්නට තිබූ දෙය දැන් පොරොවෙනුත් කැපීමට නොහැකි පරිදිය. කෙසේ වෙතත් අවසානයේ සියලු අභියෝග ජය ගනිමින් මේ මාරු වීම් ක්‍රියාත්මක වූයේ කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන පරිදිය.

“අපි වසර 10කට වැඩි ජාතික පාසල් ගුරුවරුන්ගේ ස්ථාන මාරු අදියර තුනක් යටතේ ක්‍රියාවට නැංවූවා. එහෙම කළේ දරුවන්ට සිදු වන අපහසුතා වළක්වාගැනීමේ අරමුණින්. පළමු අදියර 2017 උසස් පෙළ විභාගයෙන් අනතුරුව උසස් පෙළ ගුරුවරුන්ටත්, දෙවැනි අදියර ලෙස 1-5 ශ්‍රේණිවල උගන්වන ගුරුවරුන්ටත්, තෙවැනි අදියර ලෙස ද්විතීයික ශ්‍රේණි (එනම් 6-11 ශ්‍රේණි) ගුරුවරුන්ටත් ස්ථාන මාරු ලබා දීම් සිදු කෙරෙනවා. ඒ අනුව තෙවැනි අදියර යටතේ ගුරුවරු 5470කට ඉදිරි සතියේ ලිපි යැවීම් සිදු වෙනවා. මේ වන විට උසස් පෙළ ගුරුවරු 3120 අතරින් 2590කටත්, ප්‍රාථමික ශ්‍රේණි ගුරුවරුන් 760කටත් මාරුවීම් සිදු කළා. මේ අනුව ගුරුමාරුවීම් ප්‍රතිපත්තිය යටතේ මාරුවීම් කර ඇති සමස්ත ගුරුවරු සංඛ්‍යාව 8820ක් වෙනවා..." එසේ පැවැසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් ආචාර්ය මධුරා එම්. වේහැල්ල.

දිගු කාලයක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ඒ පාසල පිළිබඳ ඇති අයිතිය කොතරම්ද යත්: බොහෝ විට යම් යම් චරිතයන් පාසල් පරිපාලනයටද යම් ආකාරයෙන් බාධා පමුණුවන අවස්ථා වාර්තා විණි. බොහෝ විදුහල්පතිවරුන් පවසන්නේ මෙවැනි ඇතැම් ගුරුවරුන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් තමන්ට පාසල් පරිපාලනයේදී විවිධ බාධා ගෙන දුන් බව හා එසේ හෙයින් මෙවැනි මාරුවීම් හේතුවෙන් දිනෙන් දින යාවත්කාලීන වන පාසල් පරිසරයක් බිහි කිරිමට තුඩුදුන් බවයි. විශේෂයෙන්ම සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියේදී මෙවැනි ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා චක්‍රලේඛයන්ට පරිබාහිර දේ පවා සිදු වූ බව පැවසෙයි. එසේම ගුරුමාරුවීම් පිළිබඳ යම් යම් පිරිස් මීට වෙනස් මතවාදයන්ද ප්‍රකාශ කර සිටිති. කිසිදු විදුහල්පතිවරයකු මේ අදහස් ඍජුව ප්‍රකාශ නොකළත්, යම් යම් පිරිස්වල අදහස වී ඇත්තේ පළපුරුදු ගුරුවරුන්ගේ සේවය අහිමි වී යෑම හේතුවෙන් ගොඩනැගී තිබූ පාසල් පද්ධතිය බිඳ වැටීමකට ලක් වූ බවයි. එහෙත් කල්පනා කළ යුතු දේ වන්නේ මෙසේ පැමිණෙන්නේද පළපුරුදු ගුරුවරයෙක්ම වන බවයි.

“කාලයක් තිස්සේ කරන්න අපොහොසත් වූ මේ ගුරුමාරුව නිසා දක්ෂ ගුරුවරු එකම පාසලකට සීමා වීම වැළකුණා. මේ නිසා දක්ෂ ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීය සංවර්ධන අවස්ථා පුළුල් කරගනිමින් පහසුකම් සහිත පාසලක උගන්වන්න මේ නිසා හැකි වුණා. මේ හැම දෙයකම හොඳම ප්‍රතිඵලය ළඟා විය යුතුතේ දරුවන්ට. නගරයේ පාසලක සේවය කර නගරයෙන් දුර-බැහැර පාසලකට මාරු වීම් ලැබ ගිය ගුරුවරුන් අවබෝධ කරගත යුත්තේ මේ සෑම පාසලකම සිටින්නේ අපේම දරුවන් බවයි. එසේම මෙවැනි කැප වීමකින් හා වගවීමකින් කටයුතු කරන ගුරුවරුන් බහුතරයක් අපේ පාසල් පද්ධතිය තුළ සිටිනවා. මේ ගුරුමාරු වීම් ප්‍රතිපත්තියේදී අපි ගුරුවරුන් පිළිබඳවත් විශේෂයෙන් සලකා බැලෙනවා. මේ වසර අග වයස අවුරුදු 60 සම්පූර්ණ වු විශ්‍රාම යෑමට නියමිත ගුරුභවතුන් මාරු කිරීම නිරර්ථක කටයුත්තක් නිසා ඔවුන්ට මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ නැහැ. එසේම අංක 2005/1 දරන පාසල් වර්ගීකරණ චක්‍රලේඛයට අනුව භූගෝලිය පිහිටීම මත පාසල් අතිදුෂ්කර, දුෂ්කර, අපහසු නොවන, පහසු හා වඩාත් පහසු ලෙස පාසල් වර්ග කෙරුණා. ඒ අනුවයි ගුරුවරයෙකුගේ උපරිම හෝ අවම සේවා කාලය තීරණය වෙන්නේ. වඩාක් පහසු පාසලක උපරිමය වසර 6 ක්, පහසු පාසලක උපරිමය වසර 8 ක්,අපහසු නොවන පාසලක අවමය වසර 4 ක්,අති දුෂ්කර හෝ දුෂ්කර පාසලක අවමය වසර 3ක් සේවය කළ යුතුයි. චක්‍රලේඛයේ මේ විදියට උපදෙස්දී තිබුණත් මේ ගුරු මාරුවීම් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා පාසල්වල තිබූ විෂමතා හා හා අසමානතා හැකි තාක් දුරට අවම කරමින් එක් පාසලකට ප්‍රදේශයකට සීමා වි තිබූ ගුණාත්මක මානව සම්පත් රටේ අනිකුත් ප්‍රදේශවලටත් සාධාරණව බෙදී යෑමක් සිදු වුණා.." ඒ අතිරේක ලේකම්වරියගේ අදහසයි.

දැන් පාසල් දරුවන් බහුතරයකට අලුත් මුහුණු යටතේ දැනුම බෙදාගන්නට අවස්ථාව උදා වී ඇත්තේය. ජාතික පාසල්වලින් ආරම්භයක් සැපයූ මේ ක්‍රියාදාමයේ ප්‍රතිලාභයන් සමස්ත පාසල් දරුවන්ටත් ළඟා විය යුත්තේය. පළාත් පාසල්ද ඉදිරියේදී මෙසේ අලුත් වන්නට හැකි නම් නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිලාභ සියලු දරුවන්ට එකසේ විඳින්නට හැකි වනු ඇත.

සුභාෂිණි ජයරත්න 

Comments