එෆ්බී පේජස් | Page 2 | සිළුමිණ

එෆ්බී පේජස්

 අතීත සමාජයේ මිනිස්සුන්ට නැණස පාදා දෙන්නට ගමේ වැඩිමහලු කෙනෙක්, බමුණෙක් හෝ පසු කාලීනව පැවිද්දෙක් හිටියා. මේ උපදේශක තනතුරට පත් වන්නා කිසිදු අංගචලනමය ක්‍රියාවක නියැලෙන්නේ නැති, ඇතැම්විට වයස නිසා දුර්වල නමුත් අත්දැකීම් වලින් පිරිපුන් ඥානයෙන් අගතැන් කෙනෙක් වූ අතර, ඔහුගේ දැනුමට මිල වශයෙන් ඔහුට අත් පා මෙහෙ කිරීම, ආහාර පාන සැපයීම, ඔහු වටා සිටින ජනතාව සිදු කළා. ඔවුන් ඉතා සිල්වත්ව, ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කොට ගෙන ජීවිත සටනේ නියැලුණු අයගෙන් බැහැරව සිටිමින්, ජීවිතය දෙස තෙවන ඇසකින් බලමින් තම දැනුම යදින්නන්ට සෙත සැලසූ අතර, ශරීරය ජීවත් කරවිය යුතු වීමෙන් ඊට ආහාර පාන ලබාදෙන්නට අවශ්‍ය නිසා තමාට ලැබෙන දෙයකින් යැපෙමින් උපේක්ෂාවෙන් කල් ගෙවනු ලැබුවා. මේ අතරේ බොරුවට සිල්වත් බව පෙන්වමින් තමාගේ වාසිය වෙනුවෙන් නැණ නැතත් නැණැති යැයි පෙන්වමින් බඩ වඩාගන්නා අය බුදුන් සමයේ ද නොසිටියා නොවේ. නමුත් කාලය ගත වෙද්දී වැඩිහිටියන් යනු කිසිවක් නොදන්නා දුබලයන්ය, සමාජයේ යැපෙන්නන්ය කියා කොන් කර දුරකතනය අතට ගෙන එහි තිබෙන දේවල් අදහන ආකාරයේ සමාජ රටාවක් අභ්‍යවකාශයේ ඇති එක්තරා ග්‍රහලෝකයක ජීවීන් පිරිසක් පටන් ගත්තා. අපි තවමත් වැඩිහිටියන්ට ගරු කරන, පසඟ පිහිටුවා වඳින සහ වැඩිහිටියන් ද ගරු කටයුතු ලෙස ජීවත් වන නිසා මේ කියන්නේ අපිට වඩා බොහොම නොදියුණු ජීවීන් පිරිසක් බව නොරහසක්.

එම එක්තරා ලෝකයේ ඇති ෆේස්බුක් නමැති අන්තර්ජාල සේවාව හරහා බිහිවූ ‘පේජ් ඇඩ්මින්’ නමැති බුද්ධිමතුන් පිරිස එම ලෝකයේ නැණැස පාදන පිරිස බවට පත්ව තිබෙනවා. ඔවුන් කියන දේවල් එම ජනතාව හිස් මුදුනින් පිළිගෙන එයට ‘ලයික්’ ලෙස හැඳින්වෙන වන්දනාමානයක් කොට ‘ශෙයා’ නමැති සුවඳ මලින් පුදනවා. නමුත් එහි අන්තර්ගතයේ ඇති හරය මඳක් සිතා බලන්නට ඒ ජීවීන්ට වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ. “මේ රූපයේ සිටින කාන්තාව මහත් වේදනාවෙන් ඉන්නේ. ඇයට බුදුසරණයි කියා කමෙන්ට් කරන්න” යැයි කියූ වහා ඉංග්‍රීසි චිත්‍රපටයකින් ලබා ගන්නා ලද එම ඡායාරූපයට බුදුසරණ ලැබෙන්නේ අබුදස්ස කාලේ ලබු; හතු පිපෙන්නාක් මෙනි. දේවවාදී නොවන දහමක බුදුසරණ ලැබිය හැක්කේ ප්‍රාර්ථනා කිරීමකින් නම් අපිට ලැබෙන කිසිදු සරණක් නැත. මන්ද, දෙවියන් මෙන් නොව බුදුන් වහන්සේ යනු සාමාන්‍ය පුද්ගලයෙකු සහ දැනට මෙලොව නොමැති කෙනෙකු නිසා උන්වහන්සේට අපිට පිහිට වෙන්නට බැහැ. ඒ ධර්මය සරණ නොගොසින් ක්‍රියාවේ නොයෙදෙමින් බෝධි පූජා තබා අතහැරීම උගන්වන උතුම් ධර්මයකින් සැප සම්පත් පැතීමෙන් ලැබිය හැකි යමක් ද නැහැ. සංඝයාට දිනපතා නුගුණ කියමින් සහ මෛත්‍රිය උගන්වන දහමක් අදහමින් තවත් ජාතියකට කුණුහරුපයෙන් බණිමින් හැසිරෙනවා මෙන්ම ඇතැම් චීවරධාරීන් ද “ඒ ජාතිය අතුගා දාමු” යැයි අසභ්‍ය වචනයක් ද කියා අවසානයේ බුදුසරණයි කියනවා නම් බුදුන්ටත් අද කාලයේ දෙවියන්ගේ පිහිටයි. එහෙත් තනි කෙනෙක් ෆේස්බුක් එකේ තම ප්‍රොෆයිල් එකකින් යමක් පළ කළාට ඉන් සිදුවන මහත් බලපෑමක් නොමැති වූවත් එය උලුප්පා දක්වමින් ජනතාව අතරට ගෙන යන බුද්ධියෙන් අගතැන් ෆේස්බුක් පිටු හිමිකරුවන්ගේ ධර්මය සරණ යෑම වෙනම ආතල් එකකි.

ඇමරිකාවේ තුවක්කු මිලදි ගන්නට ඕනෑම වැඩිහිටියකුට හැකියාව තිබෙනවා සහ එය මිලදී ගන්නට පෙර පුහුණුවක් ද සපයන්නේ අපේ රටේ වාහන ලයිසන් ගන්නා ආකාරයට සමාන ලෙසකින්මයි. මාස තුනක පුහුණුවක් ලබාවත් අපි හරියට පාරේ නොගියාට එරට තුවක්කු නිසා ඇතිවන ආරවුල් නිතර දකින්නට ලැබෙන්නේ චිත්‍රපටවලම පමණයි. තනි ආගමක් සහ ඉණට යම්තම් රෙදිකඩක් ඇඳගෙන විලිවසාගන්නට පමණක් එරට වැසියන් දන්නා නමුත් තමන්ගේ් ආත්ම ආරක්ෂාව සහ අරගල කිරීම යනු කුමක්දැයි වෙන් කර හඳුනාගන්නට ඔවුන්ට ලැබී තිබෙන ආකල්පය සංවර්ධනය මෙතරම් උතුම් ආගම් කිහිපයකින් කළවම් වුණු, ප්‍රෞඪ ඉතිහාසයකින් සන්නද්ධ වුණු ලංකාවට නොලැබීමෙහි වරද කොහිද? එහි වරද සෑම කොණකින්ම හැම කෙනෙක්ටම, හරියට රටේ ඇති ණය බර මෙන්ම බෙදී යනවා. කාර්යබහුලකම නිසා වැඩිහිටියන්ට තමන්ගේ දරුවන් මොනවා කරනවාද, කාගෙන් දැනමුතුකම් ගන්නවාද කියා සොයන්නට වෙලාවක් නැහැ. ඔවුන්ව ළඟට ගෙන ආදරය කොට දැනමුතුකම් දී නිසි මඟ කියා දෙනවාට වඩා ඔවුන් පාසලේ, පන්තියේ ප්‍රථමයා වී විශ්වවිද්‍යාලයට ගොස් කෙසේ හෝ කුමක් හෝ උපාධියක් ගැනීමෙන් ම ජීවිතය සාර්ථක වේ යැයි හිස් මුදුනින් පිළිගෙන සිටීම පමණයි අද සමාජ දැක්ම වන්නේ. දරුවන්ද දෙමාපිය ඇසුරක් නොලැබෙන නිසා දෙමාපියන් යනු තමාගේ කෑම සහ මුදල් අවශ්‍යතාව සපයාදෙන සේවකයන් යැයි පහත් කොට සලකා ෆේස්බුක් එකේ දකින දේවල් ගරුකොට සලකන්නේ තමා වැනිම තවත් අන්තර්ජාල දරු දැරියන්ගේ ද ජීවිත එහි දකින දේවල් අත්හදා බලන්නට යෑමෙන්. මේ අතරේ පුංචි නංගිලා මල්ලිලාගේ හිතසුව පිණිස තම කාලය ඔවුන් වෙනුවෙන්ම කැප කරන ලද උත්තුංග පුද්ගලයන් පිරිසක් ඉන්නවා. ‘පේජ් ඇඩ්මින්’ නමැති නූතන රහත්බව ලැබූ ඔවුන් ලාංකිකත්වය, බුද්ධාගම, සංස්කෘතිය, අපේකම ආදිය ගැන මහත් කැක්කුමෙන් ලෝකයාට ධර්මය දේශනා කරනු ලබනවා.

මේ උත්තම පුද්ගලයන් ද අප පෙර සඳහන් කළාක් මෙන් සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයන් නොව, අන්ත දුබලයන්ය. පෙර ඍෂිවරුන්ට නම් දැනුම සහ නව දැක්මක්වත් තිබුණත් ඇඩ්මින්ලා තුන්වේල කන්නෙත්, අන්තර්ජාල බිල ගෙවන්නේත් තමන්ගේ අම්මා තාත්තා ගෙනත් දෙන දෙයින්ය. කෙසේ නමුත් පේජ් එක ප්‍රසිද්ධ වූවාට පසු එහි වෙළඳ දැන්වීම් පළකොට තම ජීවනෝපාය සලසා ගන්නෝද නැතුවම නොවෙයි. නමුත් එතැනට පත්වීම සඳහා ඔවුන් බිල්ලට තබන්නේ තමන්ගේ කීබෝඩ් එකෙන් සහජීවනයේ නාමය බිල්ලට දීමෙනුයි. පැණය නම්, සහජීවනය සොයන ඇඩ්මින්ලාට ජීවනී ලබාදී සුව කිරීම ද නැත්නම් ඔවුන් පසුපස රැල්ලට යන්නන් වැල්ලට යැවීමදැයි තීරණය කිරීමයි. මෙය තමන්ටත් හොරෙන් ෆෝන් එක අතේ තියාගෙන දවසේම ෆේස්බුක් යන දරුවන්ගේ වැඩිහිටියන්ට කළ නොහැකි දෙයක් මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමටවත් අන්තර්ජාලය බ්ලොක් කොට විසඳීමට නොහැකි දෙයක්. යා යුතු මඟ නොපෙන්වා, වැරදි මඟෙහි සහ නිවැරදි මඟෙහි ආදීනව නොපෙන්වා කොටු කිරීමෙන් සිදු වන්නේ ලිහා දමන තෙක් හෝ ඉන් පැන ගොස් ඉබාගාතේ යන්නට ඔවුන් පෙළඹවීම මිස කොටුවී සිටින්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලීමට ඉඩ සැලසීම නොවෙයි. තමාගේ අනාගතය ගැන සිතන්නට තේරුමක් නැති මේ පිරිස රටේ අනාගතයක් ගැන තනිව අවබෝධ කරගනීවි යැයි බ්‍රහ්ම දණ්ඩනය දීම කොටියාගේ පුල්ලි මාරුකර කූඩුවකට දමා, ගහෙන් වැටුණු විට ඇනපු ගොනා ගෙදර ගෙන ඒමට තැත් කිරීමක්. ඒ නිසා අැදහිය යුත්තේ කාගේ වචනයදැයි තාර්කිකව සිතීමට ඉගැන්වීමත් අද කාලයට අත්‍යාවශ්‍ය දෙයක් බවයි පෙනී යන්නේ.

අලුත් කලාවක් සොයා ගත්තා මං
දියුණු වෙන්නට ඕනෑ නම්
නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි
හදපන් එෆ්බී පේජස්.

තඹරු විජේසේකර

Comments