කිලිනොච්චියෙන් බිහිවූ සංහිඳියාවේ තෝතැන්න | Page 5 | සිළුමිණ

කිලිනොච්චියෙන් බිහිවූ සංහිඳියාවේ තෝතැන්න

 කිලිනොච්චි විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි ‘කස්ත්‍රෝගේ කඳවුර’ 2009 ට පෙර දශක දෙකක් තුළ පැවතියේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබලතම යුද සැලසුම් ස්ථානයක් ලෙස ය. වේළුපිල්ලේ ප්‍රභාකරන් වැනි යුද නායකයන් නිතරම ආ ගිය එදා යුද්ධය පැතිරවූ ප්‍රහාර එල්ල කළ ඒ කඳවුර අද දෙමළ - සිංහල සිවිල් ආරක්ෂක නිලධාරින් සමඟිව සිටිනා සංහිඳියාවේ තෝතැන්නකි. අද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මුලතිව්, කිලිනොච්චි, යාපනය මූලස්ථානය පිහිටි ඒ කඳවුරේ. එදා තුවක්කුව අතට ගත් ද්‍රවිඩ තරුණ තරුණියෝ 3500ක් කැත්ත උදැල්ල අතට ගෙන රට සුරැකීමට එක්වී සිටිති.

යාපනය, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශවල තරුණ තරුණියන් ඇතුළු ජනතාව පසුගිය දශක තුන ඇතුළත ජීවත්වූයේ ප්‍රබල යුද මානසිකත්වයක් යටතේ ය.

ඒ අනුව පසුගිය දශක තුන ඇතුළත මේ ප්‍රදේශයේ තරුණ තරුණියන් අනුගමනය කළේ එල්ටීටීඊ යුද නායකයන්ගේ උපදෙස් ය. නමුත් 2009 යුද්ධය අවසානයෙන් පසු එහි නායකත්වය මොවුන්ට අහිමි විය. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වූ මේ අය යළි ගම්බිම්වලට පැමිණි පසු ‍ඔවුන්ට නායකත්වයක් සිටියේ නැත. ඒ නායකත්වයේ රික්තකයක් තිබිණි.

ඒ රික්තකය පිරවීමට මුලතිව්, කිලිනොච්චි හා යාපනය ප්‍රදේශවල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අණදෙන මූලස්ථානයක් පිහිටුවීමට රජය කටයුතු කළේ ය. එහි අණදෙන නිලධාරි ලෙස මහජන සම්බන්ධතාව ඉහළින්ම ඇති දක්ෂ හමුදා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පත් කළේ ය. ඒ අනුව ඔහු ප්‍රදේශයේ ද්‍රවිඩ තරුණ තරුණියන් යහ මඟට ගෙන ඒම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් ඔවුන්ගේ ජන ජීවිත හා පුද්ගල චරිත ද ගවේෂණය කළේ ය.

ඒ අනුව ඔහු තම මූලස්ථානය ලෙස තෝර‍ා ගත්තේ කලක් කොටින්ගේ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක් වූ කිලිනොච්චි විශ්වමඩු කස්ත්‍රෝ කඳවුරයි. කර්නල් රත්නප්‍රිය බන්දු මේ අවට තරුණ තරුණියන්ගේ චර්යා රටා, ගැටලු හා ජීවත්වෙන ආකාරය පිළිබඳව පැය 72 ක් ඇතුළත ගවේෂණය කළේ ය. ඒ අනුව මුලින් ම රජයේ අනුමැතිය ඇතිව අවට සිටි පුනරුත්ථාපනය වූ සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට කටයුතු ඇරැඹීය.

නමුත් ඒ පුනරුත්ථාපනය වූ පිරිසගේ මතය වූයේ යළිත් යුද්ධයක් ආවොත් ඒ අය ඉදිරියට දැමීමට මෙලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා බවයි.

මේ මතය වෙනස් කිරීමට මුලින් ම රත්නප්‍රිය බන්දු කළේ කඳවුර තුළ ස්ථිර ගොඩනැඟිලි ඉඳි කළේ ය. පසුව ඔහු තම අංග ලක්ෂණ ඇඳුම් පැළඳුම් පවා වෙනස්කර ඒ ද්‍රවිඩ තරුණ තරුණියන් ගේ සිත් ගන්නා අයුරින් ඔවුන් සමඟ සුහදව කටයුතු කළේ ය. අවට ජනතාව හමුවී එල්ටීටීඊ පුනරුත්ථාපනය වූ අය හමුවී සුහදත්වයේ සංහිඳියාවේ හස්තය ඔවුන්ට දිගු කළේ ය.

ඒ අනුව එල්ටීටීඊ ය යුද්ධයට ‍උදවු කළ පිරිසක් 2012 ද‍ී මුල් වරට ශ්‍රී ලංකා ආණ්ඩුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගත්තා. ඒ අය පසුව අප සමඟ ඉතා සමීපව කටයුතු කළා. අපිත් ඒ අයගේ ගැටලු විසඳුවා.

2012 ඔක්තෝබර් මාසයේ අපි මුල්ම කණ්ඩායම සෑදුවාට පසුව ඒ අයට අපි මසකට රුපියල් 15000 පමණ පඩියක් දීලා අපේ දෙපාර්තමේන්තුව බඳවා ගත්තා. කෘෂිකර්ම කටයුතු හා සංවර්ධන කටයුතු සඳහා ඉන් රජයටත් ලොකු වාසියක් වුණා. පසුව අපි අපට එක්ව‍ූ අයට පූර්ණ සුබසාධන පහසුකම් ලබාදුන්නා. ත්‍රිවිධ හමුදාවට නොයන අය විශාල පිරිසක් අපේ ගේට්ටුව ළඟට ආවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගත්ත කියලා. අපි ඒ විධියට පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සැකකරුවන් 3500 ක් දැන් අප බඳවා ගෙන තිබෙනවා.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයට වත්මන් ජනාධිපතිතුමා ස්ථිර පත්වීම් ලබාදීමත් සමඟ මේ අයටත් දැන් රජයේ විශ්‍රාම වැටුප් අනත්දරු වැටුප් සහිත මසකට රුපියල් 30000 ක වඩා වැටුපක් ලැබෙනවා. මේ නිසා දැන් අපේ දෙපාර්තමේන්තුව තවත් අය බැදෙන්න ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ කටයුත්ත ගැන මේ පැත්තේ කොල්ලෝ කෙල්ලො නිතරම උද්ඝෝෂණ කරනවා. නමුත් රජයේ උපදෙස් නැතිව අපට බඳවා ගන්න බැහැ” කර්නල් රත්නප්‍රිය බන්දු තමා ව්‍යාප්ත කළ සුවිශේෂ සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව අපට විස්තර කළේ ය.

මේ සංහිඳියා වැඩපිළිවෙළ කරගෙන යෑම සිදුවන්නේ විශ්වාසය පදනම් කරගත් ක්‍රියාදාමයක් ඔස්සේ ය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිංහල නිලධාරීන් ඇත්තේ දහයක් ‍පහළොවක් පමණි. ඉතිරි සියල්ල සිදුකරන්නේ පුනරුත්ථාපනය ව‍ූ දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ස්ථිර නිලධාරීන් ලෙස සේවය කරන ද්‍රවිඩ තරුණ තරුණියන් ය‍. රත්නප්‍රිය බන්දු කර්නල් වරයාගේ උපදෙස් පරිදි මේ මූලස්ථානය ඇතුළත කිසිම ගිනි අවියක් පාවිච්චි කරන්නේ නැත. පෞද්ගලික ආරක්ෂක පිස්තෝල පවා එහි නිලධාරීහු පාවිච්චි නොකරති. ඒ අනුව සාමය, සංහිඳියාව, හිතවත්කම. මනුස්සකම යන පදනම් යටතේ මේ සංහිඳියා වැඩපිළිවෙළ මේ කඳවුර ඇතුළත සාම‍ූහිකව කරගෙන යාම රටට ම ආදර්ශයකි.

“මේ ලෝකෙ කිසිම යුද්ධයක් අවසන් වෙලා ත්‍රස්තවාදී පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නැහැ අවිආයුධ නැතිව. නමුත් මා හා මගේ නිලධාරීන් සංහිඳියාව රට තුළ ව්‍යාප්ත කිරීමේ පෙර ගමන්කරුවන් ලෙස තම ජීවිතය අනතුරේ තබා මේ කඳවුර ගිනි අවි භාවිතයේ නැති සංහිඳියාවේ තෝතැන්නක් ලෙස පසුගිය වසර 5 ඇතුළත අප මෙහෙයවනවා” රත්න ප්‍රිය බන්දු කර්නල්වරයා පැවසීය.

මේ අනුව මුලතිව්, කිලිනොච්චි, යාපනය ප්‍රදේශවල කිසිම සිවිල් ආරක්ෂක කඳවුරක හෝ ඔවුන් අස්වද්දන කිසිම ගොවිපළක කිසිම ගිනි අවියක් පාවිච්චි කරන්නේ නැත. ඒ ස්ථානවල සිංහල දෙමළ තරුණ තරුණියන් 5000 ක් පමණ එකට උයා පිහා කමින් සමඟියෙන් සහජීවනයෙන් සංහිඳියාවේ පෙර ගමන් යන්නේ අන් සියලු රට වැසියන්ට ද ඒ ගමනට ආරාධනා කරමින් ය.

මේ සංහිඳියා වැඩපිළිවෙළ අනුව උතුරේ ජනප්‍රියතම රාජ්‍ය ආයතනය ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පත්වී තිබේ. දැනට මුලතිව් කිලිනොච්චි හා යාපනය සිවිල් ආරක්ෂක ප්‍රධාන අණදෙන මූලස්ථානයට බැඳීමට ද්‍රවිඩ තරුණයෝ 15000 ක් ඉල්ලුම් කර ඇත‍. දෙවරක් ඒ පිළිබඳව උද්ඝෝෂණ ද අණදෙන මූලස්ථාන ඉදිරිපිට දී පැවැත්විණි.

මේ අනුව සිංහල ජනතාව හා ආරක්ෂක අංශ ද්‍රවිඩ තරුණ තරුණියන් වෙත සංහිඳියාවේ හස්තය දිගු කරන විට ඔවුන් ද එයට අතට අත දී එක්වන්නට සූදානම් බව මෙය හොඳම නිදසුනකි. මේ සියලු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා ඉහළ නිලධාරීන්ගේ උපදෙස් හා අධීක්ෂණය මත සිදුකෙරේ.

යුද්ධය අවසාන වීමත් සමඟ උතුරු නැ‍ෙඟනහිර ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී. ජාතියට බත සැපයීමේ මහා මෙහෙවරට ජාති, කුල, ආගම් බේද නොමැතිව ගිනි අවිය පසෙකලා ගොවිබිමට පා තැබූ ඔවුන්ගේ ශ්‍රමයෙන් මුලතිව් කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි සංවර්ධන සංග්‍රාමය සිවිල් ආරක්ෂක බළකාය මඟින් ආරම්භ කර මේ වනවිට සාර්ථක ඵල නෙලා ඇත. කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කයන්හි ද මේ වනවිට සුවිශාල වූ ආර්ථික සංවර්ධනයක් සිදුවෙමින් පවතී. සමාජගත කරන ලද දමිළ සාමාජිකයින් සිවිල් ආරක්ෂක බළකායට එක්වීමත් සමඟ එම ප්‍රදේශයන්හි විනාශ වී ගිය ඉඩම් අක්කර දස දහස් ගණනක් නැවත අස්වද්දමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වී ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රය උදෙසා ද මෙම සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ලබාදී ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

විශේෂයෙන් ම කිලිනොච්චි/ මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කයන්හි සමාජගත වූ දමිළ සාමාජික සාමාජිකාවන් 3500 ක් පමණ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක්වීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව අතර පවතින විශ්වාසය, අන්‍යෝන්‍ය සුහදත්වය, සංහිඳියාව සියලුම දෙනාගේ පැසසුමට ලක් වී ඇත.

අධ්‍යක්ෂ ජන‍රාල් පල්ලේගම මහතා පවසන පරිදි මුලතිව් බළකායට අයත් කොලොන්දුපුලොව් ව්‍යාපෘතියේ රාජකාරි නියුතු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් කොලොන්පුලොව් ජලාශය ඉදිකර පුරන්ව පැවත ඉඩම් අක්කර දස දහස් ගණනක් නැවත අස්වද්දමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වී ඇත.

මෙලෙස බඳවා ගත් තරුණ තරුණියන් කෘෂිකර්ම කටයුතු සඳහා පමණක් නොව එම ප්‍රදේශයන්හි, විශේෂයෙන් ළමා අධ්‍යාපනය ක්‍රමවත්ව ලබාදීම සඳහා පෙර පාසල් 260 ක් ආරම්භ කර ඇති අතර නිසි ව‍ෘත්තීමය පුහුණුවක් ඇති පෙර පාසල් ගුරුවරුන් 500 ක් අනුයුක්ත කර ඇතැයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සුබසාධක හා සෞන්දර්ය අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරතුංග පවසයි.

මේ අනුව පසුගියදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු අණ දෙන මූලස්ථානයට පැමිණි ස්විට්සර්ලන්ත තානාපතිවරයා පැවසූ ආකාරයෙන් ම මෙතරම් ද්‍රවිඩ තරුණ තරුණියන්ට පහසුකම් ලබාදුන් විශ්වමඩු සංහිඳියා‍වේ තෝතැන්න පිළිබඳව ජිනීවා මානව හිමිකම් නිලධාරීන් පවා අවධානය යොමු කළ යුතුව ඇත. අපේ පැතුම වියයුත්තේ ජාති ආගම් භේදයෙන් තොරව කිලිනොච්චියෙන් ඇරැඹි මේ සංහිඳියා වැඩපිළිවෙළ රටපුරා ව්‍යාප්ත කිරීමට හැමදෙනාගේම සහයෝගය ලැබිය යුතු බවයි.

සේයාරූ - සමන් ශ්‍ර‍ී වෙදගේ
 

Comments

wonderful job done by Lieutenant colonel Ratnapryabandhu and our heartiest greetings to him and officials behalf of Srilankan Tamils in India.THANKS to Silumina.

පිටු