
වෑකන්ද ඉහළින් ඇති රූස්ස ගස් අතුරින් හිරු නැඟෙයි. උදැල්ලක් කර තබාගත් මහලු මිනිසා වෑකන්ද දිගේ සෙමෙන් පහළට බසී. කන්ද පාමුල ඇති ඇළ පාරෙහි ගලා බසින දිය පාරෙහි හඬ හිමිදිරියට හොඳින් ඇසෙයි. ගම්මුන් විසින් පස් ගොඩදමා සකසන ලද ඇළෙහි ජලය වසර ගණනාවක් පුරන් කුඹුරු දෙසින් රිද්මයකට ගලා බසියි. වෑකන්ද පාමුල ඇළ ඉහත්තාවේ ගොඩගැසුණු පස් කන්දේ පිඩලි දෙකතුනක් කපා මහලු මිනිසා සුපුරුදු රාජකාරී අරඹන්නේය. පෙර දිනයේ මහ වරුසාවෙන් කැඩී බිඳී ගිය සියඹලෑවේ සිට නගරයට යන එන පාර දියකඩිති බවට පත් වී ඇත. එදා මෙදා තුර මේ පටු මාවත පිළිසකර කිරීම ඔහුගේ සුපුරුදු රාජකාරිය බවට පත් වී ඇත. ඔහු සියඹලෑව සිට සිට නගරයට යන පාරක් තනන්නට වෑකන්දට පහළින් ඇති වන රොද කපා පටු මාවත සෑදීම ආරම්භ කළේ මීට වසර ගණනාවකට පෙර ය. හේ එදා සිට අද වන තෙක් නිහඬව ගම්මුන්ට නගරයට යන මං සදා සැනසුම් සුසුම් හෙළන්නේය. මේ අපූරු මිනිසා අපට මුණගැසුණේ ගල්ගමුව ප්රදේශයේ සියඹලෑව නම් කුඩා ග්රාමයේදී ය. අප ඔහුගේ නිවෙස සෙයා යන විටත් ගිනි ගහන සැඩ හිරු රැස් යට ඔහු ඇළ පාර අසල පස් කන්දෙන් පස් පිඩලි එකිනෙක ගෙන බොරලු පාරේ වළ-ගොඩැලි පිළිසකර කරමින් සිටියේය.
ගල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලෑව ගම්මානයේ ජීවත් වන ඒ.එච්. කපුවා (60) නම් වන ඔහු ජීවිතයේ සැදෑ සමය වන තෙක් මේ කාර්යය තමාගේ යුතුකමක් ලෙස ඉටු කළද ඔහුගේ නමක් හො එහි කිසිදු සඳහනක් එහි නැත. කපුවා මහතාගේ බිරිය සිරිමලතාද ඇතැම් දිනවල වර්ෂාවෙන් සේදී යන මාවත යළි පිළියම් කිරීමට ස්වාමියාට සහාය වන්නීය. වෑකන්ද පාමුල ඇළෙන් පස් කපන්නට ඔහුට සහාය වන්නේ ඇයයි.
"දැන් මහත්තයෝ මට අවුරුදු 60ක් වෙනවා. ඉතිං දැන් වයසයි කියලා පුටුවක ඉඳගෙන බලන් ඉන්නවට වඩා යන තැනට පිනක් දහමක් කරගන්න කාලේ තමා මේ. ඇත්තටම මම මේ වැඩේ කරන්න පටන් අරන් දැන් අවුරුදු ගානක් වෙනවා. කාලය පුරාම මම මේ විදිහට මේ පාරෙ තියන ලොකු වළවල් පොඩි වළවල් පස්වලින් වහලා සමතලා කරලා දානවා. මේවා කරන්න මට යාන-වාහන බැකෝ යන්ත්ර නෑ. මගේ විල්බැරෝවෙන් පස් ටික ටික අරන් ඇවිත් උදැල්ලෙන් තමා පුරවන්නෙ. ඒ විදිහට දැනට මේ සියඹලෑව පාර කිලෝමීටර් දෙකක් විතර වළවල් වහලා තියෙනවා. තවත් ටික දුරක් තියෙනවා වහන්න. ඒ ටිකත් මම කොහොම හරි කරන්නයි හිතාගෙන ඉන්නෙ. මේ පාරේ ඉස්කෝලෙ ළමයි යනවා; ස්වාමීන් වහන්සේලා යනවා; රජයේ රස්සාවලට යන අය යනවා; දරුවො ලැබෙන්න ඉන්න අම්මලා යනවා. ඉතිං ඒ අයට පහසුවෙන් මේ පාරෙ ගමන් ගන්න පුළුවන් තත්ත්වෙකට මේ පාර තිබුණේ නෑ. විශාල ලොකු වළවල් ගොඩක් තියනවා. වහින කාලෙට බෝට්ටු පදින්න පුළුවන්. මඩ ගොහොරුවල කොහොමත් යන්න එන්න බැහැ. ඒ වගේම තමා ඉතිං පායන කාලෙටත්: දුවිලිවලින් පිරෙනවා. මම හිතුවා 'ගමේ මිනිස්සු මේ කාල දෙකේදිම හරි අපහසුතාවට පත් වෙනවා. වහින පායන හැමකාලෙදිම යන්න එන්න පුළුවන් විදිහට මම මේ වළවල් ටික වහලා දැම්මොත් ඒක පිනක්!' කියලා. කවුරුත් හදලා දෙන තුරු බලන් ඉන්නෙ නැතිව මම මට පුළුවන් විදිහට ඒ දේ මැරෙන තුරු කරනවා. මගේ බිරියත් මට උදවු කරනවා. ගේ ඉස්සරහින් ඇළක් කපනවා. ඒකෙ පස් තමා මම පාරේ වළවල් ගොඩකරන්න යොදාගන්නෙ. අව්ව සැරයි කියලා මම පාර හදනඑක නතර කරන්නේ නැහැ. වැස්ස දවසටත් වැස්ස කියලා මම වැඩේ නතර කරන්නේ නැහැ. පාරේ වළවල් ටික වහල තමයි මම ගෙදර යන්නේ" යැයි කපුවා මහතා තමා විසින් කරන ලද මේ සත්කාර්යය පිළිබඳව අප හා පැවසුවේය.
සැමියාගේ මේ උදාරතර කාර්යයට හැකි පමණින් හෝ උර දෙමින් ඔහුට සහයෝගය දෙන කපුවා මහතාගේ බිරිය වූ ඒ.එච්. සිරිමලතා (59) මහත්මිය අප සමඟ අදහස් හුවමාරු කරගත්තේ මෙලෙසිනි: "ගමේ අයට කිව්වාම කියන්නෙ පාර කාපට් කරන නිසා ඕවා වහන්න ඕනෙ නෑ කියලා. ඒත් පොරොන්දු දෙන කිසි කෙනෙක් පාර හැදුවෙ නැහැ. අවුරුදු 4ක් තිස්සෙ පාර කාපට් කරනවා කියලා කියනවා. අද වන තුරු වුණේ නෑ. පාරෙ වළවල් නිසා මේ පාරෙ යන ලංගම බස් දෙකත් දැනට දවස් දෙක-තුනක් වෙනකල්ම වෑකන්ද උඩින් දාලා තමා ගියේ. අපි දෙන්න වළවල් ටික පුරවලා දුන්නට පස්සෙ තමා ඒ බස් දෙකත් ගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ. ලොකු වළවල් නිසා වාහනවලට යන්න අමාරුයි. මමත් පස් ටිකක් ඇදලා දීලා මගේ මහත්තයාට උදවු කරනවා. ඉතිං අනික් අයට පහසුවෙන් යන්න මේ විදිහට අපිට පුළුවන් දෙයක් කරන එක ඇත්තටම ලොකු පිනක්. මේ පාරෙ තියන වළවල හැටියට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් අරන් රෝහලට යන්න බයයි. දැන් මේ පාරෙ සෑහෙන දුරක් වළවල් ටික පුරවලා ඉවරයි. තව ටිකක් තියනවා පුරවන්න. එතකොට සම්පූර්ණයෙන්ම වගේ වළවල් තියෙන කොටස පස් දාලා පුරවලා නිසා වෙනදට වඩා ටිකක් හරි පහසුවෙන් පාරෙ යන එන අයට යන්න එන්න පුළුවන්"
කපුවා මහතා ගිනි අවුව මහ වැස්ස නොතකා දෑතේ වීරියෙන් මිනිසුන් වෙනුවෙන් මං තනන්නේය. සැබැවින් ඔහු නිහඬව සමාජයට කරන සේවය ඇගයිය යුතුය. ඡන්ද කාලයට දේශපාලනඥයෝද මේ මාවත දිගේ ගමට එති. ඡන්ද කාලයට දේශපාලනඥයෝ දෙන බොහෝ පොරොන්දු ඉටු නොකරති. සියඹලෑවේ වැසියන්ට මඟ තනන කපුවා මහතා ඒ කිසිදු බලධරයකුට නිලධරයකුට ගතු නොකීවේය. තමාගේ යුතුකම සමාජයට සේවය කිරීමය, යන සිතිවිල්ලෙන් ඔහු මේ උතුම් කාරිය නියමාකාරයෙන් ඉටු කරන්නේය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මේ උදාර මිනිසාගේ සත් කාර්යය සැබැවින්ම ඇගැයීමට ලක් විය යුතුය.
සුභද්රා දේශප්රිය
ඡායාරූප හා පසුබිම් තොරතුරු-එමි. එම්. ක්රිෂාන්, තඹුත්තේගම සමූහ