
කොළඹට ආසන්නයෙන් ම පිහිටි සුන්දර හා ජෛව විවිධත්වයෙන් අනූන වූ තෙත් බිමක් වූත් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ගංවතුර වැළැක්වීමටත් නියං සමයේ භූගත ජලය සුරැකීමටත් කටයුතු කරන සංවේදි කලාපයක් වූත් මුතුරාජවෙල අභය භූමිය පසුගිය වසර 20 ඇතුළත ඇතිවූ පාරිසරික දූෂණ තත්ත්ව හා ව්‍යාපාරික හා දේශපාලන බලපෑම් නිසා අද දරුණු ලෙස විනාශ වෙමින් පවතී.
මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සභාපති අනිල් ජයමහ පවසන පරිදි මේ භූමියට පසුගිය සමයේ මහා විනාශයක් කරමින් කොළඹ නගර සභාවේ මහා කුණු තොග ගෙනැවිත් දැමීම ද සිදු කෙරිණ.
සත්ත්ව හා ශාක විශේෂ 500 කට පමණ නිවහනක් ලබාදෙන මේ අභය භූමියට අභය දානය දීමට නම් සංවිධානය නඩු මගට ගොස් එම කුණු දැමීමේ ව්‍යසනයෙන් අභය භූමිය බේරා ගත් බව ඔහු කියයි.
පසුගිය සමයේ මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇතැයිද ඒ පිළිබඳව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දැනුම්වත් කිරීමට තම සංවිධානය පියවර ගත් බවද ජයමහ මහතා පවසයි. කිසිම පාරිසරික ඇගැයීම් වාර්තාවක් නැතිව සිදුකරන මේ සංවර්ධන කටයුත්ත ඇතුළු පරිසර දූෂණ කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා පූර්ණ අවධානය යොමු කර ඒ පරිසර දූෂණ කටයුතු වහාම තහනම් කිරීම පිළිබඳව තම සංවිධානයේ ස්තූතිය සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත් විශේෂයෙන් ජනාධිපති විමර්ශන ඒකකයටත් හිමිවන බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය අවධාරණය කරයි.
ජනාධිපතිතුමා මුතුරාජවෙල සුරැකීමට මෙලෙස අවධානය යොමු නොකළා නම් අතීතයේ මුතු මෙන් ලස්සන සහල් ලබා දුන් ගම්පහ, කොළඹ පාරිසරික සමබරතාව සුරකින මේ පාරිසරික සංවේදී කලාපය මුළු ලොවටම අහිමි වන්නට තිබුණු බවද මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි.
මුතුරාජවෙල අගනුවරට ඉතාම සමීප ලංකාවේ විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිමයි. කැලණි ගඟේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්තව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශ්‍රීක කුඹුරු යායක් ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශ්‍රැතිවල සඳහන් වේ. මෙහි ජෛව විවිධත්වය ඉතා ඉහළය. සත්ව ශාක විශේෂ 449 මෙහි ඇත.
බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙල වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. සමහරුන් මෙම ප්‍රදේශය ගොඩ කර නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට ය. නමුත් පරිසරය පිළිබඳව අවබෝධයක් අති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳව සැලැසුම් සකස් කෙරිණි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙල හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලසුමක් ද සකස් කෙරිණි.
මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝබර් මස 31 වන දින අංක 947/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 ක භූමි ප්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මීට අමතරව ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24ඈ උප වගන්තිවලට අනුව මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප්‍රදේශය ලංකාවේ ප්‍රථම පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයටප ත් කෙරිණි. ඒ 2006 ඔක්තෝබර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය මඟිනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678 ක් මුතුරාජවෙල පරිසර ආරක්ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදි සජීව චාමිකර පවසයි.
මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මෙම වගුරු බිම් නම් කෙරිණි. එපමණක් නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන තිබේ.
හෙක්ටයාර 3164 ක් වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙල තෙත් බිම මේ ආකාරයට ආරක්ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප්‍රදේශ ගණනාවක් ඇතුළුව විශාල ප්‍රදේශයක් ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය රඳා සිටීම, අවට ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසුදු තත්ත්වයට පත් කිරීමට අමතරව නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩෙයාක්සයිඩ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම ආදී ප්‍රයෝජන රාශියක් මෙම තෙත් බිමෙන් ටු වෙන බව මේ පිළිබඳව පර්යේෂණ කළ පරිසරවේදී සජීව චාමිකර පවසයි.
පරිසරවේදී සජීව චාමිකර ඇතුළු පරිසරවේදීහු දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාතම්කව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පදුරු වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර ඒ අතර වේ. අති විශාල සත්ත්ව ප්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයින්. උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේස 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ. පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැගුම් පොළක් වන මුතුරාජවෙල තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ.
මෙවන් පාරිසරික සංවේදී කලාපයක් හා නීත්‍යානුකූල දැඩි සංරක්ෂිත කලාපයක් වූ මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට මැල්වත්ත ප්‍රොපට් ඩිවලප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අවසර ලබාදීම විශාල පාරිසරික හානියක් හා නීතිරීති උල්ලංගනය කිරීමක් බව මේ පිළිබඳ පාරිසරික ගවේෂණ රැසක් සිදුකළ පරිසරවේදී සජීව චාමිකර සියලු දත්ත සහිතව පෙන්වා දෙයි.
මේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබා ගැනීමට සමාගමේ හිමිකාරීත්වය දරන අජිත් පණ්ඩිතරත්න මහතාත් ගම්පහ ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිනියකුත් එක්ව කටයුතු කර ඇත.
සජීව චාමිකර මහතා පවසන පරිදි මෙහිදී සිදුවී ඇත්තේ වත්තල ප්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ 165 A තුඩුව - බෝවිටිය හා 166 A කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ. ඇති අභය භූමියට අයත් තෙත්බිම් ගොඩකිරීමට පර්චසයකට රු. 500 බැගින් පර්චස් 65,102 ක් සඳහා රුපියල් කෝටි 3.25 ක් එම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ගෙවීමක් සිදු කිරීමයි.
මේ සියලු කටයුතු නීති විරෝධී බවද පරිසරවේදීහු හා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ද පෙන්වා දෙයි.
අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා ගම්පහ ගොවිජන සේවා නිලධාරිනියකුගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම්ය. එය සම්පූර්ණයෙන් ම නීති විරෝධී ක්‍රියාවකි. 2009 අංක 22 දරන පනතින් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත අභය භූමියක වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ක්‍රියාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව අභය භූමියක හානිකර ක්‍රියාවක නිරත වන පුද්ගලයකු වරදකරුවකු කරණු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි සංඤ්ය වරදක් වේ.
එපමණක් නොව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප්‍රදේශ ගොඩ කිරීමට ප්‍රථමයෙන් හා මෙම උප වගන්තිය යටතේ ම ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත මේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට අභ්‍ය භූමියකට අයත් ඉඩම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.
මීට අමතරව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘථිවල කාර්යය පටිපාටි නියෝගවලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතුය. ඊට අමතරව මෙය අප රට අස්සන් කළ තෙත් බිම් සුරැකීම ගැන රැම්සාර් සම්මුතිය ද උල්ලංඝණය කිරීමකි.
මේ අනුව පෙනී යන්නේ ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන පනත් තුන ම උල්ලංඝනය කරමින් මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ගොඩ කර නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව සජීව චාමිකර පවසයි.
මෙවන් තත්ත්ව හමුවේ පරිසරවේදීහු අවධාරණය කර සිටින්නේ මුතුරාජවෙල වැනි රක්ෂිත භූමි හෝ කුඹුරු ඉඩම් ලෙස පැවති භූමි ප්‍රදේශ කිසිදු ආකාරයකින් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා නොදිය යුතු බවයි. එපමණක් නොව ඒ සඳහා ඉඩ ප්‍රස්තාව හිමි වන අයුරින් අණ පනත් සංශෝධනය කිරීම ද වහා ම නතර කළ යුතු ය. අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මුතුරාජවෙල අභය භූමිය ගොඩකර ගොඩනැගීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ රැකවරණය කඩිනමින් තහවුරු කරන ලෙස ය. ඒ සඳහා 2006 වසරේ දී සකස් කරන ලද ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව ක්‍රියාමාර්ග ගෙන තෙත් බිම් සංරක්ෂණයට අවශ්‍ය ඍජු නීථි රීති හා පරිපාලන ව්‍යුහයක් සකස් කර ක්‍රියාවට නැංවියයුතු බවද චාමිකර මහතා අවධාරණය කරයි.
නිහාල් පී. අබේසිංහ
ජනපති නියෝගයෙන් මුතුරාජවෙල පරිසර විනාශය තහනම්
මුතුරාජවෙල අභය භූමි ප්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මඟින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
එමෙන්ම වැදගත් තෙත්බිම් විනාශයන්ට අනුග්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරීන් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා අදාළ අංශ දැනුවත් කළේය.
මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා පැවසුවේ ඒ පොදු අභය භූමිය ඇතුළත ඇතුළුවීම තහනම් යනුවෙන් දැන්වීම් පුවරු ගසාගෙන හොර රහසේ අදාළ සමාගම මුතුරාජවෙල ගොඩකිරීම සිදුකරන බවයි.
“මේ ප්‍රොපටි ඩිවලප්මන්ට් සමාගම අභය භූමිය ගොඩ කරන්න අධිවේගී මාර්ගය හාරලාත් පස් අරන් තියෙනවා. අඩි 7 - 8 ක් යටට අධිවේගී මාර්ගය හාරලා තිබෙනවා. ඒ අනුව තව ටික කලක් යනවිට අධිවේගයටත් අහිතකර බලපෑම් එල්ල වේවි.” රූබන් වික්‍රමාරච්චි මහතා කියයි.
“මේ පිළිබඳව අපි පූර්ණ ලෙස පරීක්ෂණ කරනවා. ජනාධිපතිතුමාගේ නියමය අනුව එතුමාට අප පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර පසු එතුමා අදාළ පරිසර විනාශ කළ අයට ඊට උදව් කළ අයට දැඩි දඬුවම් දේවි.” රූබන් වික්‍රමාරච්චි මහතා කීය.